Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‍බෞද්ධ කැටයම් කලාවේ නිර්මාණ අපූර්වත්වය මුරගල

ලාංකේය කැටයම් ශිල්පියාගේ උසස් කලාත්මක ශිල්පීය හා තාක්‍ෂණ ක්‍රමවේදයේ අගනා ලෙසින් සැළකිය හැකිය. මෙම මුරගල ක්‍රි.පූ. අවධියේ පටන්ම බෞද්ධ ස්තූප හා පිළිම ගෙවල්වලට මෙන්ම වෙනත් අවශේෂ ස්ථානයන්ට ප්‍රවිෂ්ටවන ස්ථානවල අපට හමුවේ. විශේෂයෙන් සඳකඩපහණ දෙපස ඇති අඩි 4 ක් තරම් උස් වූ සිරස් ශෛලස්ථම්භ යුගලයක හැඩයට නිමවා තිබෙනු දැක ගත හැකි ය. වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස සැළකෙන පියගැටපෙළ දෙපස ඇති අත්වැළ පාමුළල වන කොරවක්ගල් දෙකට සම්බන්ධ කොට එය තල්ලු වී යාම වළක්වනු පිණිස මෙන් මෙම මුරගල ඉදිකර ඇත. ඇතැම් විද්වතුන්ගේ පිළිගැනීමක් වූයේ ද මුරගල යනු කොරවක්ගල් දෙක තල්ලු වී යාම වැළැක්වීම සඳහා ඉදිකරන ලද කිසියම් ආධාරකයක් බවකි.

මුරගල පූජනීය මෙන්ම රාජකීය ගොඩනැඟිලි දොරටුවල දෙපස කොරවක්ගල් අග පාමුල ඉදි වූ අතර ඒවා ප්‍රධාන වශයෙන් කැටයම් සහිත හා රහිත වශයෙන් හඳුනාගත හැකි ය. මුරගල දොරටුවලට අංග සම්පූර්ණත්වයක් මෙන්ම සෞන්දර්යාත්මක අගයක්ද එක් කර තිබේ.

නිර්මාණකරණයට අනුව මුරගල වර්ග හතරකින් දැක ගත හැකි ය. එනම් පූර්ණ ඝට හෙවත් පුන්කලස සහිත මුරගල, භෛරව හෙවත් වාමන රූප ලෙස දැක්වෙන මුරගල, නාගරූප සහිත මුරගල සහ නාග සහ මිනිස් රූප සහිත මුරගල ලෙසයි. මේවාට අමතරව ශංක මුරගල්, පද්ම මුරගල්, කල්ප වෘක්‍ෂ මුරගල්, දිසාපාලන දෙවිරුව සහිත මුරගල්, දිසාපාලන හා භාර්යාව සහිත මුරගල් ලෙසින් ද හඳුන්වනු ලබන මුරගල් ද වෙයි.

මීළඟට අපගේ අවධානය යොමු කෙරෙන්නේ මුරගලෙහි ප්‍රභවය සම්බන්ධවයි. ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා ගේ අදහස වන්නේ පියගැටපෙළ පාමුල ඇති කොරවක්ගල ලිස්සා ඒම වැළැක්වීම සඳහා යොදන ලද කූඤ්ඤයක් ලෙස මුරගල සැළකිය හැකි බවයි. ස්වකීය අදහස සනාථ කිරීම සඳහා ඔහු පෙන්වා දෙන්නේ, තිරියායේ ගල් වැටියක අවසන් ගල ලිස්සා යාම වැළැක්වීමට එබඳු ගල් කූඤ්ඤයක් යොදා ඇති බවයි. එය කොරවක්ගල අග සවිකර ඇති මුරගල බඳු එකක් බවද හෙතෙම පවසයි. තවත් මෙබඳු නිදසුන් රාජාංගනයේ හත්ථිකුච්ඡි විහාරයේ වටදා ගෙය සහ අනුරාධපුර වෙස්සගිරියේ හමුවන බව ද හෙතෙම සඳහන් කරයි.

මුරගලේ අරමුණ කොරවක්ගල ඉදිරියට තල්ලු වී යාම වැළැක්වීමය යන අදහසක් පැරැණි ගොඩනැඟිලි දෙස බලන්නකුට වරදවා පෙනී ගියත් මුරගල ගොඩනැඟිලි දොරටුවලට හඳුන්වා දුන් අයතුළ එබඳු අදහසක් පැවතියේ ද යන්න සැක සහිත බව පෙන්වා දෙන මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා ප්‍රකාශ කරන්නේ මුරගල කොරවක්ගල හෙවත් කොරවක් බැම්ම ඉදිරියට ලිස්සා ඒම වැළැක්වීම සඳහා යොදන ලද්දක් බව පිළිගත නොහැකි අතර දොරටු සැලැස්මේ අලංකාරය හා අංග සම්පූර්ණත්වය සඳහා අවශ්‍ය අංගයක් ලෙස යොදන ලද්දක් බවයි. ඔහු එසේ පවසන්නේ මුරගල තල්ලු කරගෙන කොරවක්ගල ඉදිරියට ලිස්සා ගිය ස්ථාන හෙයිනි. ඊට උදාහරණ ලෙස අභයගිරි විහාරයේ ස්තූපයට නිරිත දෙස බටහිර සීමාවේ ඇති ආරාම සංකීර්ණයේ පූජනීය ගොඩනැඟිලි පිහිටි මැද කොටසේ බටහිර සීමාවට ආසන්නව ඇති නටබුන්ව ගිය ප්‍රාසාදයේ මුරගල් දෙකම පෙරැළී වැටී ඇති බව පෙන්වා දෙයි. මෙය මෑතකදී වූවක් නොවන බව ප්‍රකාශ කරන ඒ මහතා කොරවක්ගල ඉදිරියට ඒම වැළැක්වීමට මුරගලට ඇති හැකියාව ඉතාම සීමිත බවද සඳහන් කර සිටී.

සැබවින්ම මුරගලක් ඉදිවීමට හේතුභූත වූ කරුණු පිළිබඳව සැකෙවින් හෝ සලකා බැලීම යුක්ති යුක්තය. පැරැණි දඹදිව දේව පුරාණයන්හි දැක්වෙන පරිදි රජ සිටු මැදුරුවල ප්‍රවිෂ්ට දොරටුවලට අරක්ගත් දෙවියන් යන අර්ථය රැගත් ‘ද්වාර ආරක්‍ෂක’ යන වචනය බොහෝ විට යෙදී තිබේ. අජන්තා ලෙන් විහාරවලද මෙබඳු දොරටුපාල රූප දැක ගත හැකි අතර ඒවා හුදෙක් නග්න බවින් යුක්තය. එමෙන්ම පැරැණි විහාරාරාම තුළ මෙම රූකම් බහුලව දැක ගත හැකිවනවා පමණක් නොව ඒවා ඉදිකර ඇත්තේ ද පොළොවෙන් මතුපිට උස් භූමි භාගවල ය. එහි මූලික අරමුණ වී ඇත්තේ පූජනීය ස්ථානවලට සෝදා ගොස් වැටෙන ජලය මුළු ප්‍රදේශයට පාහේ මහත් ආශිර්වාදයක් වන බව සැළකීමයි.

මෙම අදහස තුළ මෙම පූජනීය ස්ථානයට බොහෝ විට ඇතුළු වන්නේ පියගැට පෙළකිනි. වයෝවෘද්ධ භික්‍ෂූන් වහන්සේට අත්වැළක් අවශ්‍ය වූ අතර එම අත්වැළ පහතට ලිස්සා ඒම වැළැක්වීම පිණිස යෙදූ ආධාරය ක්‍රමයෙන් විකාශණය වීමේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම ද්වාරපාල රූප මුරගල් බිහි වූ බට ඇතමෙක් සළකති. තවත් සමහරකු අදහස් කරන්නේ සංඝ සමාජයේ විනයේ සුරක්‍ෂිත භාවය කරණකොටගෙන ඉදි වූ පූජනීය ස්ථානය රැක ගනු වස් මෙම මුරගල් රූ කතම නිර්මාණය කරන ලද බවකි.

විහාරාරාමවල ඇත්තේ බුදුන්වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය නිසා එය සුරක්‍ෂිත කරනු වස් සාමාන්‍ය ජනතාවට බෞද්ධ පණිවුඩය ප්‍රචලිත කිරීම වෙනුවෙන් මෙම මුරගල නමැති අපූර්ව නිර්මාණය ඉදිකරන ලද බව තවත් පිරිසකගේ මතයයි. ධර්මය වූවද ශ්‍රාවකයා ආරක්‍ෂා සහිතව ශ්‍රවණය කළ යුතු වූ හෙයින් එම සුරක්‍ෂිත භාවය හඟවනු පිණිස මෙම දොරටුපාල රූපය හෙවත් මුරගල ඉදිවන්නට ඇති බවද සැළකීමට ඉඩ නැතිවා නොවේ. මෙම කුමන අරමුණකින් හෝ මුරගල ඉදිවූවද එමඟින් පූජනීය හෝ රාජකීය ස්ථානයට දෙනු ලබන අපූර්වත්වය මෙතෙකැයි කියා කිව නොහැකි තරම් ය.

මීළඟට අපගේ අවධානය යොමු වන්නේ මුරගලේ ක්‍රමික වර්ධනය හෙවත් එහි විකාශය පිළිබඳවයි. මුලින්ම මුරගල හැඩ ගැන්වූයේ දිග හතරැස් ගල් පුවරුවක් ලෙසිනි. එය මුදුනේ දෙකොන් හැඩ ගන්වා තිබුණි. ඊළඟට එහිම මුදුනේ මැද උන්නත ගැටියක් විය. මෙහි තෙවන අවස්ථාව වූයේ මුරගලට පුන්කළස කැටයමක් එක් වීමයි.

ප්‍රථමවරට මුරගලට කැටයමක් එක්වීම සිදුවූයේ ඒ අවස්ථාවේදී ය. සිවුවෙනිව ශංඛ පද්ම හා වාමන රූප මුරගලට එක් වූ අතර පස්වැනිව දිසාපාලන රූප එක්වීම සිදුවිය. අවසානවරට දිසාපාලන රූප සහිත මුරගලට මකර තොරණ එක්වීම සිදු විය.

මෙහි පළමුවන අවස්ථාවට ගැනෙන කැටයම් රහිත, මුදුනේ දෙකොණ හැඩගැන්වූ දිග හතරැස් මුරගල් සහිත ද්වාරයන් කාලය අතින් ඉතාම පැරැණි ගණයට අයත් ය. මෙහි දක්නට ඇති විශේෂත්වයක් නම් එම ද්වාරයන්හි කොරවක්ගල්, පාටිකා හෝ කැටයම් රහිත සඳකඩ පහන් හා කැටයම් රහිත ගල් පඩි දැක ගත හැකිවීමයි.

දෙවැනි පියවරට අයත් ලෙස ගැනෙන මුරගල් පළමු පියවරේ මුරගල් වලට වඩා කිසියම් දියුණුවක් පෙන්වයි. එනම් මුරගල් මුදුනේ හරි මැද කිසියම් ගැටියක් මතුකර තිබීමයි. එමඟින් පළමු පියවරේ මුරගලට වඩා කිසියම් සුන්දරත්වයක් පෙන්වයි. මේ අවස්ථාවේදී ද ඊට යාව ඇති පාටිකාව හෝ සඳකඩ පහණ අලංකාර මෝස්තර හා කැටයම් වලින් තොර බව සැළකිය යුතු ය.

මුරගලේ තුන්වැනි පියවර වශයෙන් සැළකෙන පුන්කළස එක්වීමේ අවස්ථාවේදී සෞභාග්‍යය සශ්‍රීකත්වය හා ජයග්‍රහණය සංකේතවත් කිරීම තුළින් අලංකාරත්වය හා සුන්දරත්වය තව තවත් වර්ධනය විය. පුන්කළස මංගල වස්තුවක් ලෙස සැළකෙන හෙයින් ගොඩනැඟිලි අලංකාරය හේතු කොටගෙන පුන්කළස සහිත මුරගල් ඇති පූජනීය ස්ථාන දොරටු වෙත එන බැතිමතුන් කිසියම් ප්‍රබෝධතාවයකට පත් කරනු ලබයි. මෙබඳු පුන්කලස සහිත මුරගල් හේතුවෙන් කොරවක්ගලට සහ සඳකඩ පහනට මෝස්තර හා කැටයම් එක්වීම ආරම්භ වූ බවද සඳහන් කළ යුතු ය.

පුන්කළස සහිත මුරගල් වලට නිදසුන් වශයෙන් අභයගිරි විහාරයේ සන්නිපාත ශාලාවට නැගෙනහිරින් පිවිසෙන ප්‍රාකාර දොරටුවේ කල්ප වෘක්‍ෂය හා පුන්කලස සහිත මුරගල දැක්විය හැකි ය. ඊට අමතරව රැස් වෙහෙර ලෙන් විහාරයට පිවිසෙන දොරටුවෙහි මුරගල් ද දැක්විය හැකි ය.

මුරගලේ සිවුවැනි අවස්ථාව වන විට එතෙක් තිබූ පුන්ක ලස මුරගලින් ඉවත් වී ගොස් වාමන රූප ඊට එක්විය. එම මුරගල් වල කුවේරයන්ගේ සමුද්‍රගත නිධන් රකින ශංඛ හා පද්ම නමැති බහිරවයන්ගේ රූප කෙටීම සිදු විය. කාලිදාසයන්ගේ මේඝදූතයට අනුව කුවේරගේ සේවක යක්‍ෂයකුගේ වාස භවනයක දොරටුව දෙපස සංඛ හා පද්ම දෙදෙනාගේ රූප නිර්මාණය කර තිබුණු බව පැවසේ. මේඝදූත පුරාණයට අනුව (12 වැනි සියවසට පමණ අයත් ලෙස සැළකෙන) සංඛ හා පද්ම දෙදෙනා යක්‍ෂයින් ය. දකුණු ඉන්දියානු ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථවලට අනුව කුවේරයන්ගේ දකුණු පසින් ශංඛ නිධියද වම් පසින් පද්ම නිදයද වන බව දැක්වේ. මෙබඳු සමහර මුරගල් වල බහිරවයන්ගේ හිස මුදුන සංඛ හා පද්ම හැඩයෙන් තනා තිබෙන අතර එමඟින් බහිරවයන් එම නිධි තම හිස මත තබාගෙන ආරක්‍ෂා කරන බව අදහස් කෙරේ. සංඛ හා පද්ම මුරගල් අතුරින් පද්ම බහිරව මුරගල සුවිශේෂ වන බව ද සැළකිය යුතු ය. කුවේර සංකල්පය ලාංකේය වාස්තුවිද්‍යා නිර්මාණවලට ආදේශ කරමින් ලක්දිව බෞද්ධ ස්තූපයකින් හෝ ප්‍රතිමා ගෘහයකින් හෝ වෙනත් බෞද්ධ කලා නිර්මාණයකින් වූවද සංකේතවත් කෙරෙනුයේ ධර්මය නමැති මහා නිධානයයි. එම නිධානය දීර්ඝ කාලයක් ආරක්‍ෂා කරන්නා වන්නේ මුරගලෙහි සිටින පද්ම බහිරවයා ය. මෙම මුරගල පද්ම බහිරව මුරගල ලෙස හඳුනා ගැනෙන්නේ මුරගලෙහි ශීර්ෂයේ ඇති පද්ම සැරසිල්ලෙනි. සුපුෂ්පිත නෙළුමක ආකාරයට එය නෙළා ඇත. නෙලුමෙහි පිපි පෙති සෘජුව දක්වා තිබේ. සිලින්ඩරාකාර කුණ්ඩලාභරණයකින් දෙකන් සරසා ඇත. දෙඇස් මනාව විවෘතය. මුව මඳක් විවරවන අතර උඩුකුරුව කැරකුණු උඩු රැවුළකි. මුහුණ ඕවලාකාරය. රෞද්‍ර පෙනුමකින් යුක්තයි. ගෙලෙහි බැඳි ආභරණ තුනකි. බාහු වළලු අත් වළලු වෙයි. අතැඟිලි කොට වන අතර නියපොතු මතු කොට පෙන්වා ඇත. උදර මධ්‍යයේ උදර බන්ධනයකි. කෙටි සලුවකින් යටිකය සරසා ඇත. දකුණු උරහිසින් පටන් ගන්නා පළඳනාවක් උදරය මතින් වම් ඇළය තෙක් දිවයයි. දකුණත ඉණේ රුවා ගෙන ඇති අතර වමතින් පුෂ්ප මඤ්ජරියක් දරා ඇත.

ශ්‍රී ලාංකේය බෞද්ධ කලා ශිල්පයේ උසස්තම නිර්මාණයක් ලෙස සැළකෙන මෙම පද්ම බහිරව මුරගල අනුරාධපුර විජයාරාමයෙන් ලැබී දැනට ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. එය ක්‍රි. 7 – 9 සියවස් වලට අයත් වූවකි. අනුරාධපුර අභයගිරි ස්තූපයේ වැළි මලුවට පිවිසෙන දක්‍ෂිණ ගෝපුරය ඉදිරිපිට දෙපැත්තේ සහ අනුරාධපුර විජයබාහු මාළිගයේ දොරටුවේ ද සංඛ හා පද්ම බහිරව රූප සහිත මුරගල් තවදුරටත් දැක ගත හැකිය. මෙහි දක්නට ඇති විශේෂත්වයක් නම් ලාංකේය කැටයම් කරුවන්ගේ අභිමතය පරිදි මෙම බහිරවයන් යොදා ගෙන තිබීමයි. ඉන්දියානු මූලාශ්‍රයන්ට අනුව සංඛ හා පද්ම නිධි බහිරවයන්ගේ අත්වල වන අතර මෙහි එම නිධි බහිරවයන්ගේ හිස මත වෙයි.

සංඛ හා පද්ම නිධි රකින බහිරවයන් පසුව දේශීයත්වයට පත්වීමේ දී එම නිධි සංකේත බැහැර කොට තිබේ. දිසාව නියෝජනය කරන සත්ව රූප හා බහිරව රූප සහිත මුරගල් කලාතුරකින් දැක ගත හැකි වන අතර ඊට නිදසුනක් ලෙස අනුරාධපුර ථූපාරාමය අසළ ගොඩනැඟිල්ලක ඇති මුරගල පෙන්වා දිය හැකි ය.

මීළඟට මුරගලේ පස් වැනි පියවර පිළිබඳ සළකා බලමු. මෙහිදී මුරගල කිසියම් සංකීර්ණත්වයකට පත් වෙමින් සංඛ හා පද්ම රූප වෙනුවට සතරවරම් දෙවියන්ගේ රූප මුරගලට එක්විය. ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්‍ෂ හා වෛශ්‍රවණ (කුවේර) යන මෙම දෙවිවරුන් සිවු දෙනා බෞද්ධ ආරක්‍ෂණ මහාරාජ දෙවිවරු වෙති. බුදු දහම ලංකාවට හඳුන්වා දීමත් සමඟ මෙම සතරවරම් දෙවිවරුන් බෞද්ධ පූජනීය ගොඩනැඟිලිවල ස්තූපයන්හි ධාතු ගර්භයන්හි, වාහල්කඩ දෙපස සතර පැත්තේ ආරක්‍ෂකයන් වශයෙන් නිර්මාණය කරනු ලැබිණි. ඉන් අනතුරුව එම පූජනීය ස්ථානයන්හි ගොඩනැඟිලි ද්වාරයන් දෙපස මුරගල් වලට සතරවරම් දෙවිවරුන් ගේ රූප එක්වීම සිදු විය. නැගෙනහිර දකුණ බටහිර හා උතුර යන දිසා වලට මුහුණ ලා තනා ඇති දොරටුවල මුරගල් වලට පිළිවෙළින් ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ විරූපාක්ෂ හා වෛශ්‍රවණ රූප යොදා ගැනීම සිදු විය. මේ රූප වල හිස වටා නාග පෙණ දක්වා තිබීම නිසා ඇතමුන් මෙම රූප නාග රාජයන් ලෙස සළකන්නට වීම දෝෂ සහිතයි. මෙම රූප එසේ නාග රූප ලෙස ඔවුන් සළකන්නට තවත් හේතුවක් වන්නට ඇත්තේ මෙම දෙවිවරුන් ගෙන් වෛශ්‍රවණ හැර සෙසු තිදෙනා නාග ප්‍රභවයන් ඇති අය වූ නිසාද විය හැකි ය. වෛශ්‍රවණ රාක්‍ෂ ප්‍රභවය ඇති දිසා පාලන මහරජ කෙනෙකි. මුරගල්වල තිදෙනකුටම නාග පෙණ තිබෙන නිසා වෛශ්‍රවණට ද නාග පෙණයක් දී නිර්මාණය කර ඇති බවත්, එකළ ශිල්පීන් එසේ කර ඇත්තේ මුරගල් වල සමරූපතාවයක් ඇති කිරීම සඳහා බවත් විශ්වාස කළ හැකි ය. ඒ අනුව සියලු මුරගල් වලම මෙබදු එකම විධියේ ද්වාරපාල රූප මුරගල් දැක ගත හැකි ය. දිසා පාලන මහා රාජවරුන් සහිත මුරගල් වල එම දිසාපාලන රූප සමාන බවක් ගත් නිසා එක් එක් දිසාවට අධිපති මහාරාජ දෙවිවරුන් හඳුනා ගැනීම දුෂ්කර විය.

මේ නිසා මුරගලේ එක පැත්තක දිසාව නියෝජනය කරන සිවුපා රූපය බැගින් යෙදීම සිදුවිය. නැගෙනහිර දකුණ බටහිර හා උතුර යන දොරටුවල පිළිවෙළින් ඇතා, ගවයා, අශ්වයා සහ සිංහයා යොදා තිබේ. මේ අනුව අදාළ දිසාවට අයත් දොරටුවෙහි අදාළ සිවුපා රූ හිස් දක්වා ඇත. අභයගිරිවිහාරයේ රත්න ප්‍රාසාදයේ නැගෙනහිරින් ඇති දොරටුවේ මුරගලෙහි වම්පස ඇත් රූපයක් දක්වා ඇත. අභයගිරි ස්තූපයට නිරිත දෙස බටහිර සීමාවේ ඇති ආරාම සංකීර්ණයේ පූජනීය ගොඩනැඟිලි වලට ආසන්නයේ ඇති ප්‍රාසාදයේ නැගෙනහිර දොරටුවේ මුරගල් දෙකහිද ඇත්රූප කොටා ඇත. (මෙම මුරගල් දෙක සිවයස් ගණනකට පෙරාතුව බිම ඇද වැටී තිබී මෑතක මතු කර ගන්නා ලදී) මෙසේ මුලින්ම තිබූ තැන්වලම තවමත් ඇති මුරගල් වල නියම දිසාවට අයත් සිවුපා රූප දක්වා ඇති බව සඳහන් කළ යුතු ය. තවද, අභයගිරි විහාරයේම කපරාරාමයේ ගොඩනැගිල්ලක උතුරු දොරටුවෙන් ලැබී ඇති මුරගලකද පැත්තක සිංහ රූපයක් දක්නට ඇත.

දිසා පාලන මහරජුන්ගේ රූප පමණක් නොව ඔවුන්ගේ භාර්යාවන්ගේද රූප සහිත මුරගල් ද දැකිය හැකි ය. අභයගිරි විහාරයේ මහසෙන් මාළිගය නමින් දැනට හඳුන්වනු ලබන පංචාවාසයට නැගෙනහිරින් පිවිසෙන දොරටුවේ දෙපස ධ්‍රතරාෂ්ට්‍ර සිය බිරිඳ සමඟ පෙනී සිටින මුරගලක් දක්නට ලැබේ. මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ පුරුෂයාට වන අතර ස්ත්‍රී රුව ප්‍රමාණයෙන් කුඩා කර නිර්මාණය කර ඇත. මහියංගන ධාතු ගර්භයෙන් ලැබුණු ලෝකඩ රූප වල පිරිමි රූපය ඉදිරියෙනුත් ගැහැණු රූපය පසුවත් දැක්වෙන පරිදි නිර්මාණය කර ඇත. වාහල්කඩවල මෙය දැක්වෙන්නේ පිරිමි දිසාපාලන රූපය උස් තැනකත් ගැහැණු රූපය පහළිනුත් දැක්වෙන පරිදි ය. පීතෘමූලික සමාජයේ බලපෑම මීට එල්ලවන්නට ඇති බව සැළකිය හැකි බව මහාචාර්ය චන්ද්‍ර වික්‍රම ගමගේ මහතා පවසයි.

මෙම දිසා පාලන රූප රැගත් මුරගල් සමභංග හෝ ත්‍රිභංග ඉරියව් වලින් යුක්ත ය. අඩක් ඔසවන ලද දකුණු අතින් පුන් කළසද, කටියෙහි රඳවන ලද වමතින් මල් කොළ සහිත අත්තක්ද, රැගෙන රාජකීය ඇඳුම් හා දේවරාජත්වය පිළිබිඹු කෙරෙන ඔටුන්නක් ද සහිත සියලු රාජාභරණයන්ගෙන් සැරසී සිටින ලෙස නිර්මාණය කර ඇත. අනුරාධපුර යුගයෙන් පසු අද දක්වාම මෙම මුරගල් වල දිසා පාලකයන් කඩු අමෝරා ගෙන දොරටුවල සිටින්නේ එම ගොඩනැගිලි තමන් විසින් මුරකරන බව සෙස්සන්ට හෙවත් එම ගොඩනැඟිලි වලට එන යන්නන්හට පෙන්වීමට ය. එමගින් අනුරාධපුර යුගයෙන් පසු මෙරට ශිෂ්ටත්වයේ පරිහානියක් පෙන්නුම් කරවන්නක් බවද සැළකිය හැකි ය.

මෙහිදී සිදු වූ තවත් කාර්යයක් නම් දිසා පාලන රජවරුන් මුරගල් වලට එක් වීමෙන් පසු ඒවායේ කලින් සිටි බහිරවයන් එම දිසාපාලන රජවරුන්ගේ සේවක පිරිස් බවට පත්වීමයි. එම මහ රජවරුන්ට යටත්පක්‍ෂපාතී භාවය ප්‍රදර්ශනය කරවමින් ඔවුන්ගේ පාමුළ තනිව හෝ දෙදෙනා බැගින් බහිරව රූප දක්වා ඇති මුරගල් බහුලව දැක ගන්නට ලැබේ. ඇතැම් මුරගල්වල එම බහිරව රූපය ඉවත් කර තිබේ. අහඹුවෙන් මෙන් රුහුණේ මඟුල් මල් විහාරයේ මුරගලක දිසා පාලන මහරජුට සම තත්ත්වයෙන් බහිරවයා දක්වා ඇත.

මුරගල් අතුරින් ශ්‍රී ලංකාවේ ඉතාමත්ම කලාත්මක මුරගල ලෙස දැක්විය හැක්කේ රත්නප්‍රාසාදයේ (අභයගිරි විහාරයේ) මුරගලයි. මෙහි ආරුක්කුව මුදුනේ මැද දෙපසට මුළු දල්වා ගත් මකර හිස් දෙකකි. පහළින්ද උඩට මුළු දල්වා ගත් මකර හිස් දෙකක් දෙපසින් ඇත. ඒ අතර පෙම්වතුන් හා යෝධයන් මකර කටට ඇදී යන අන්දම පෙන්වයි. මෙහි මකරාගෙන් සංකේතවත් වන්නේ කාලයයි. කාලය විසින් භූතයන් හා දමන බව මහායාන ඉගැන්වීමයි. මෙම මුරගල ඉහළින් ඇති එම මකර තොරණින් එම අදහස සංකේතවත් වන බව පෙන්වා දිය යුතු ය.

මකර කට වලින් විහිදෙන ලියවැල් සහිත මුරගල් ද දක්නට ලැබේ. මෙවැනි මුරගලක් අභයගිරි විහාරයේ සන්නිපාත ශාලාවේ බටහිර පැත්තේ සංඝාරාමයක දක්නට ලැබේ. එහිම තවත් මුරගලක දෙපස යට මකර කට වලින් විහිදෙන ලියවැල් දෙක ඉහළ මැදදී කීර්ති මුඛයට සම්බන්ධකර ඇත. අභයගිරි විහාරයෙන් හමු වී ඇති තවත් සුවිශේෂ වූ මුරගලක නැගිට සිටින සිංහ රූප දෙකක් තොරණට යටින් දක්වා ඇත. දකුණු පසින් ඉදිරිය බලා සිටින සිංහයකු වන අතර එම සිංහයාට ඉහළින් කණුවක් මත ගවරූප කිහිපයක් දක්නට ලැබේ.

බෞද්ධ පූජනීය ස්ථාන ඇසුරේ වෙසෙසින් දැක ගැනීමට ලැබෙන ‘නාගරාජ මුරගල්’ ලෙසින් හඳුන්වනු ලබන මුරගල් සම්බන්ධයෙන් විශේෂිත අවධානයක් යොමු නොකළහොත් එය අඩුපාඩුවක් විය හැකි ය. ඒ අනුව කලින් සඳහන් කළ පරිදි බුදු දහමේ ව්‍යාප්තිය ලංකාවේ සිදුවීමත් සමගම ලාංකේය කැටයම් කලාවට නාග සංකේතය එක් වූයේ කිසියම් පූජනීයත්වයකින් යුතුව ය. බුද්ධත්වයෙන් හයවන සතියේ මුචලින්ද නාග දරණය යට බුදුන් වහන්සේ වැඩ සිටීම, අනෝතප්ත විලට අධිගෘහිත අනත්ත නම් නාග රාජයා ආදී නාගයන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව තිබීම බෞද්ධයන් වශයෙන් ඉතා අගය කොට සැළකෙන්නකි. සිංහල කැටයම් කලාවේ නාග සංකල්පය ව්‍යාප්තවීමට මෙය පිටුවහළක් වන්නට ඇත.

එම හේතුව නිසා පැරැණි පූජනීය ස්ථානවලට පිවිසෙන දොරටුවල, මාලිගා දොරටුවල, දිය පොකුණු හා ජලාශ ආශි‍්‍රතව, මෙම නාග රාජ මුරගල් නිර්මාණය කර ඇත.

මෙම නාග රාජ මුරගල් වල නයි පෙන සංඛ්‍යාව එක, තුන, පහ, හත වශයෙන් දැක ගත හැකි ය. පෙන සහිත මිනිස් රූපයෙන් දැක්වෙන මුරගල් අනුරාධපුරයෙන් දැක ගත හැකි බව ඒ සම්බන්ධව ඉහතින් කරුණු දැක්වීමේ දී සඳහන් කර ඇත. මෙම කැටයම් විශේෂය ඉන්දියාවේ මථුරා කලා සම්ප්‍රදායට අයත් වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

සෑම අවස්ථාවකදීම ශ්‍රී ලාංකේය කලා කරුවා තම නිර්මාණය තුළින් පුළුල් අර්ථයක් දෙන්නට උත්සාහ ගත් අතර නාග සළකුණෙන් උත්සාහ ගෙන ඇත්තේ ද සශ්‍රීකත්වය, සෞභාග්‍යය සංකේතවත් කිරීමයි. එමෙන්ම ශ්‍රේෂ්ඨත්වය හා නායකත්වයද මෙම නාග සංකල්පය තුළින් සංකේතවත් විය. පූජනීය ස්ථානයක හෝ මාලිගාවක හෝ ජලාශයක හෝ නාග සංකේතය සහිත මුරගල් ඉදිවූයේ ද එම අදහසිනි. පැරැණි සංස්කෘතිය තුළ නාගයා හා ජලය අතර අවිච්ඡින්න වූ සබඳතාවයක් පැවතීම කරන කොට ගෙන නාගරාජ මුරගල් එම ස්ථානයන්හි ඉදි වූ බව සඳහන් කළ යුතු ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.