Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - නුවණ, ඤාණය සිතෙහි එකඟ බව යහපත් අදහස් වලක්වන පංච නීවරණ නමින් කෙලෙස් කරුණු පහක් දහමෙහි සඳහන්ව ඇත. ඒ මොනවාද?

පිළිතුර - පංච නීවරණානි, නීවරණ පහකි. එනම් කාමච්ඡන්ද නීවරණය, කාම සම්පත් විඳීමට ඇති කැමැත්ත, කාම රාගය, ව්‍යාපාද ව්‍යාපාද නීවරණය අනර්ථයක් මට කළේ ය. අනර්ථයක් මට කරයි යනුවෙන් වෛරය, ක්‍රෝධය, ද්වේෂය, ව්‍යාපාද නීවරණ නම් ගත සිතෙහි හැකිලෙන බව අක්‍රියශීලී බව යනුථීනමිද්ධ නීවරණයයි. උද්ධච්ච කුක්කුච්ච, සිතෙහි නොසන්සුන් බවයි. විචිකිච්ඡා සැකය අවිශ්වාසය බුද්ධාදී අටතැන්හි සැකයයි.

ප්‍රශ්නය - බුදු දහම ලෞකික මිනිස්ගති ලකුණු අමතක කර දමා ලෝකෝත්තර (මරණින් මතු) සුවදායක සිහිනයක් මවන්නක් නොවේ. මෙලොව මිනිසා (සබ්බත්ථ මපරාජිතා) ජයග්‍රාහක විය යුතු ය. එය මිනිසා පරිසරය හා පුද්ගල විහරණය අනුව සිදුවන්නකි. අඹු සැමි සබඳතාවය බුදු සමය ප්‍රතික්‍ෂේප නොකරන අතර එහි අන්තර්ගතය. සදාර බ්‍රහ්ම චර්ය ‘සදාරසන්තුට්ඨි’ යන සද්ගුණයන් පැවතිය යුතුය. ඒ අතර පුරුෂයකු සිත් හද බැඳගන්න. මාගමක් කාන්තා ගතිලක්‍ෂණ ද පෙළදහමට එක්ව තිබීම ඉහතින් සඳහන් කළ අඹුසැමි සබඳතාවය දහම පිළිගත් බවට සාධකයකි. නිකායාගත තොරතුරු අනුව කාන්තාවක් පුරුෂයෙකුගේ මන බඳනා කාන්තා ගති ලක්‍ෂණ මොනවාදැයි පහදන්න.

පිළිතුර - (සං.නි. 111 – 288 පිටු) (මාගමක්) කාන්තාවක් පිරිමි අයකුගේ මනාපය සඳහා හේතුවන කරුණු පහකි. (පංචහි අංගෙහි සමන්නාගතො මාගමො පුරිසස්ස මනාපොහොති) එනම් රූපවා) සුරූපී බව (භොගවා) සම්පත් ඇති බව (සීලවා) සිල්වත්වීම (දක්ඛොච හොති අනල සො කුසීත නොවීම පජඤ්චස්ස ලභති (නොවඳබව) මෙබඳු කාන්තාවකට බොහෝ පුරුෂ මනාපය ලබාගත හැකි ය.

ප්‍රශ්නය - ධර්ම සන්නිවේදනය වර්තමාන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ලාභදායී භාණ්ඩයක් බවට පත්ව ඇත. විද්‍යුත් නාලිකා පමණක් නොව විහාරස්ථාන හා පාසල් ආදී බොහෝ ස්ථානවල මෙම ධර්ම දේශනා අසන්නට ලැබෙයි. එහෙත් එම සන්නිවේදන මාධ්‍ය තුළින්ම අපරාධ ප්‍රතිශතය බෙහෙවින් වර්ධනය වී ඇති බව සඳහන් කරයි. එසේනම් කොතැනක හෝ මෙහි දුර්වලතාවයක් ඇති බව වටහාගත යුතු ය. ධර්මශ්‍රවණයෙහි අරමුණ සූත්‍රාගත තොරතුරු ඇසුරෙන් පහදන්න.

පිළිතුර - පංච ආනිසංසා ධම්ම සවනෙ ධර්ම ශ්‍රවණයෙන් පස් ආකාර ආනිසංසයන් ශ්‍රාවකයාට ලැබෙන්නේ ය. එනම් (අස්සුතං සුණාති) නො ඇසූ දෙය ඇසීම (සුතං පරියොදපෙති) අසා ඇති දෙය පිරිසුදුවීම (කංඛා විතරති) සැක දුරු කරගැනීම (දිටඨං උජුං කරොති) විශ්වාසය කරවීම (චිත්තං පසීදති) සිත පැහැදීම.

ප්‍රශ්නය - මිනිසා අවනතියට හේතුවන කරුණු පරාභව සූත්‍රාගත දේශනාවලින් පැහැදිලි වෙයි. ඊට අමතරව තමා ආශ්‍රය, නිශ්‍රය පරිසරය හා සමීපත පිරිහීමේ කරුණු පෙළ දහමට එක්ව ඇත. ඒ මොනවාද?

පිළිතුර - (ඡ පරිහානියා ධම්මා) පුද්ගල පරිහානිය සඳහා යොමුගත කරුණු අතර ප්‍රධාන කරුණු හයක් අටුවාග්‍රන්ථවල එයි. එයින් පළමුවැන්න ඔලාරික බව යමක් පිළිබඳව කෑදරකම ඇලීම (කම්මාරමතා) දෙවැන්න දෙඩමළු වාචාලකමයි. (භස්සාරාමතා) නිද්‍රාසීලබවට ලොල්බව තෙවැන්නයි. සංගතික, නිරතුරුව සභාසීලී බව (සීමාරහිත කථාව (නින්දාරාමතා සංගතිකා රාමතා) නොහික්මුණු බව නිරතුරුව එකිනෙකා කෙරෙහි ගැටීම (දොවස්සතා) පවිටු මිතුරන් ඇතිවීම (පාපමිත්තතා)

ප්‍රශ්නය - සංවාදය නිරවුල් චින්තනයට පාදකයෙකි. විවාදය අවුලට මුලකි. සමගියට බාධාවකි. විවාදාපන්න කරුණු හයක් සූත්‍ර දේශනා වලදී හමුවෙයි. වර්තමානික ජනසංවාද වලදී මෙම පරිහානි ලක්‍ෂණ බෙහෙවින් දක්නට ලැබෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - විවාද සඳහා මූලික වන කරුණු හයකි. (කොධො) ක්‍රෝධය. එයින් එකකි. තමන්ටද අනුන්ටද දෙපාර්ශ්වයට මෙන්ම මෙලොව පරලොව දෙකහිම අනර්ථය ගෙන දෙන අකුශල චෛතසිකයෙකි. දෙවැන්න උදහස කෝපයයි. තෙවැන්න ඊෂ්‍යාවයි. කපටිකම, සිව්වැන්නයි. පාපිච්ඡතා පාපකාමී වීම පස් වැන්නයි. (සන්දිට්ඨික පරාමාස) ස්වමතය දැඩිව එල්බ ගැනීම, මෙම පාපී විවාද මුල කරුණු අත්හළ යුතු බව ධර්මයෙහි සඳහන් වෙයි.

ප්‍රශ්නය - තිට්ඨං චරං නිසින්නෝවා
සයානෝවා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

සිංහල අර්ථය - නොනිදා පහන් සිතැතිව සතර ඉරියව්වෙන් (සිටීම, හිඳීම, ඇවිදීම, නිදීම) ශරීරය පවත්නා සෑම අවස්ථාවකදීම මෛත්‍රී සහගත සිහිය පවත්වාගත යුතුය. බුද්ධාදී උතුමෝ මේ ජීවිත විහාරණය ‘බ්‍රහ්ම විහාර’ යයි වදාළහ. කරණීය මෙත්ත සූත්‍ර දේශනාවට අනුව නිවන් දක්නා (පදං අභිසමෙච්ච) කැමැත්තාහු විසින් අනුගමනය කළයුත පිළිවෙතක් ලෙස ‘බ්‍රහ්ම විහාර’ හඳුන්වා ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර - කරණීය මෙත්ත සූත්‍ර පාඨයට අනුව ‘කරණීය මත්ථ කුසලෙන යන්තං සන්තං පදං අභිසමෙච්ච (සු. නිපාත) සන්තං පදං අභිසමෙච්ච විහරිතු කාමෙන අත්ථ කුසලෙන යං කාතබ්බං තං කරණීයං ‘ ඒ ශාන්ත වූ නිවණ කැමැත්තා දක්ෂයෙකු විය යුතුවාක් මෙන්ම ඔහු විසින් ඒ සඳහා යමක් කළ යුතු නම් එය කළ යුතුය. ‘අත්ථ’ නම් ප්‍රතිපදාව හෙවත් පිළිවතෙයි. පිළිවෙත් ගරුක, දක්ෂයා විසින් අනුගමනය කළයුතු එක් පිළිවෙතක් නම් ‘සබ්බ භූතෙසු මානසං භාවයේ අපරිමාණං’ සකල ලෝකවාසී සත්ත්වයන් වෙත මෙත් සිත වැඩිය යුතුය. තමා හාස්පස (උඩ, යට, සරස) සියලු සත්වයෝම සතුරන් නැති වෛර නැති, දුක් කරදර නැති පිරිසක් වේවා. තවද මවක් තම එකම පුතු දිවි දෙවැනිකොට රක්නා සේ අප්‍රමාණ වූ සෙනෙහස සියලු සතුන් කෙරෙහි පැවතිය යුතුය.

‘කරණීය මෙත්ත’ සූත්‍රයෙහි එන ‘බ්‍රහ්මමෙතං විහාරං’ යන්නෙන් බුදු සමයෙ හි එන කේන්ද්‍රිය වූ සද්ගුණයන් හතර මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සිව් ගුණයයි. මෛත්‍රීය ප්‍රගුණ කිරීම බෞද්ධ භාවනා මාර්ගයෙහි දී ඉතා ප්‍රධාන තැනක් ගනී. අසුරුසනක් ගසත තරමේ සුළු මොහොතක් තුළ හෝ කෙනෙකු මෛත්‍රීය ප්‍රගුණ කරන්නේ නම් ඒ තැනැත්තා ලබන පුණ්‍ය සම්භාරය කෙතරම් විශාලද කිවහොත් ඒ තැනැත්තා උතුම් පුද්ගල හැටියට සැලකිය හැකියයි බුදුරදුන් වදාළහ. මෙත් සිතිවිලි කෙනෙකු නිවුනු බවට ශාන්ත බවට පත්වෙයි. ‘මහණෙනි මෛත්‍රියෙහි මූලික අවස්ථාව පවා එනම් අනුන් ගැන සිතීම පවා පහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට හේතුවක් වන්නේ්ය. බුදුරජාණන් වහන්සේ වරෙක මහණෙනි! මෛත්‍රීය තුළින් ලැබෙන්නා වූ චෛතසික විමුක්තිය දිගටම වර්ධනය කිරීමට (භාවිතො - බහුලීකතො) භාවිත කිරීමෙන් මනාව ප්‍රගුණ කිරීමෙන් මහානිශංසයන් එකොළසක් බලාපොරොත්තු විය හැක්කේ්ය. ඒ ආනිශංස නම් සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. පාපී සිහින නොදකින්නේය. මිනිසුන්ට පමණක් නොව අමනුෂ්‍යයන්ටද පි‍්‍රය වන්නේය. දෙවිවරුන් විසින් ආරක්ෂා කරනු ලබන්නේය. ගිනි, වස විස, සහ ආයුධ වලින් තමාට හානි සිදු නොවෙයි. මනසෙහි සමාධිගති බව ඉක්මනින් ඇතිවන්නේ ය. මුහුණ පැහැපත්ය. සිහි මුළාවකින් තොරව කලුරිය කරන්නේය. නිර්වාණ අධිගමය කර නැත්නම් බඹලොව මරණින් මතු උපත ලබන්නේ ය.

බුදුදහමට අනුව මෙත් සිතිවිලි නිරතුරුව සිත තුළ ජනිතවන පුද්ගලයා තමා සතු බල ශක්තියක් ගොඩනැගෙන බවත් එම ශක්තිය විසින්ම තමා ආරක්ෂා කරන බව අටුවා ග්‍රන්ථාගත පුවත් වලින් පැහැදිලි වෙයි. (අං. අ. කථාප. 82.83) එම පුවතට අනුව එළදෙනෙක තම වසුපැටියාට කිරිදෙමින් සිටගෙන සිටියාය. හෙල්ලක් අතින්ගත් දඩයක්කරුවකු මෙසේ සිතීය. ‘මම අර එළදෙනට හෙල්ලෙන් අනින්නෙමියි සිතා හෙල්ලෙන් දමා ගැසීය. එය ඇයගේ ඇඟේ වැදී තල් කොලයක් මෙන් ආපසු විසි විය. එය එසේ වූයේ දරුවාගේ (වසුපැටියාගේ) යහපත උදෙසා කැපවුණ බලවත් මානසික තත්ත්වයක් (මෛත්‍රියක්) ඇය තුළ පැවති නිසාය. මේ අයුරින් මෛත්‍රීය අතිශයින් බලසම්පන්නය.

කරුණාවෙහි විශේෂ ලක්ෂණය වනුයේ වෙනත් අයෙකුගේ දුක හඳුනාගෙන එයින් තමා වෙත පවරාගෙන දුකට පත් තැනැත්තා සුවපත් කිරීමයි. (විසු - මා) කරුණාව භාවනාමය වශයෙන් වැඩීම හිංසාකාරිත්වය දුරුකිරීම සඳහා දැඩි ලෙස උපකාරි වන්නේය. දුකට පත් වූවෙකු දැක සත්පුරුෂ හදවත කම්පිත වෙයි. එම අරුතින් කරුණා නම් වූයේ ය. අන් අයව දුකට එරෙහිව (කිනති) සටන් වදී. පහරදෙයි. එය විනාශ කරයි. එම අර්ථයෙන් කරුණා නම් වෙයි. තවද දුකටපත් හැමදෙනා කෙරෙහිම (කිරීයති) විසිරී පවතී. ඒ නිසා ම හාත්පසම විහිදී යන්නේය යන අර්ථයෙන් කරුණා නම් වන්නේ්ය. මුදිතාවෙහි ලක්ෂණය නම් පී‍්‍රතියට පත්වීමයි. භාවනාමය වශයෙන් මුදිතාව වර්ධනය කර ගැනීම දොම්නස පලවා හැරීමට විශේෂයෙන්ම උපකාරී වෙයි. උපෙක්ෂාවෙහි ලක්ෂණය වනුයේ උපේක්ෂා සහගත මනසක් ඇතිකර ගැනීම කෙරෙහි සිත නැඹුරු කරවීමය. භාවනාමය වශයෙන් උපේක්ෂාව ප්‍රගුණ කිරීම රාගය නැතිකර දැමීමට විශේෂයෙන් උපකාරී වන්නේය. මෙම බ්‍රහ්ම විහරණයන්ගේ හෙවත් සද්ගුණයන්ගේ් ක්‍රියාකාරීත්වයත් ඒවා මගින් කෙනෙකු තුළ උපදවන්නා වූ පිරිසුදු සිත් පරපූර පිළිබඳව පෙලදහමෙහි මෙසේ සටහන් කොට ඇත.

‘මෛත්‍රීය යනු සියලු සත්වයෝ සුවපත් වේවා! යනාදී වශයෙන් සිතමින් සැපත හා අභිවෘද්ධිය අන්අයට පිරිනැමීමට බලවත් කැමැත්තකින් පසුවීමයි. කරුණාව යනු ඔවුහු මේ දුක්වලින් නිදහස් වෙත්වා යනාදී වශයෙන් සිතමින් අනුන්ගේ් දුක් සහ කම්කටොලු ඉවත් කිරීමට බලවත් කැමැත්තෙන් පසුවීමයි. මුදිතාව යනු ‘ඔබලා විනෝදවෙමින් සිටින්නාහුය. එය ඉතා හොඳයි’. යනාදී වශයෙන් සිතමින් අන් අයගේ සැපත කෙරෙහි බලවත් කැමැත්තයි. උපේක්ෂාව යනු කෙනෙකුගේ දුක හෝ සැපත දෙස බලා මේවා මොවුන් විසින් පෙර කර්මානුකූලව ලබන්නේය ආදී වශයෙන් සිතීමය.

(පරමත්ථපොතිකා 1128)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.