Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුම ස්ථානයක් ලෙස ලේඛන ගත කළ

බුද්ධගයාව සංවර්ධන සැලසුම

බුදු දහම ලෝකවාසී මිලියන 376 ක පමණ මහජනතාව ආගමක් ලෙස අනුගමනය කරනු ලැබේ. විශාලතම ලෙස බෞද්ධයින් වසන රාජ්‍යය නම් චීනය, ජපානය, තායිලන්තය, වියට්නාම්, මියන්මාර් , (බුරුමය) ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, තායිවානය, කාම්බෝජය සහ ඉන්දියාව යන රාජ්‍යයන් හැඳින්විය හැකි ය. එම රාජ්‍ය අතරින් බොදුනුවන් විශාල ලෙස වසන රාජ්‍ය දහයක් වෙති. එනම් තායිලන්තය, කාම්බෝජය, මියන්මාරය, ශ්‍රී ලංකාව, ටිබටය, ලාඕස්, වියට්නාම්, ජපානය, මැකෝ, සහ තායිවාන් වෙයි.


බුද්ධගයා මහා විහාරය

බොදු ඓතිහාසික උරුමයන් සහිත, ප්‍රදේශ ඉන්දියාව පුරාම දැනට ඇත. උතුරු ඉන්දියාවේ පිප්රවා, ලෞරියා නන්ද නගර් සිදුහත් කුමරු නේවාසිකව සිටි (අඹවනය) මෙහි අශෝක කුළුණක් ධර්ම ලිපියක් සහිතව ඇත. ලෞරියා අරරාජ ආලාරකාලාම, උද්දක රාම පුත්‍ර යටතේ සිදුහත් කුමරු කලක් ධර්මය උගත් ස්ථානය මෙහිද ධර්ම ලිපියක් සහිත අශෝක කුළුණක්ද ඇත. වෛයශාලි (ලිච්ඡවී රජදරුවන් ඉදිකළ ස්තූපය, කූටාගාරශාලාව මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදි වූ ස්ථානය, භික්‍ෂුණී ශාසනය පිහිටවූ ස්ථානය (සාන්චි, බයිරාට්, සාරානාත්) පළමු ධර්මදේශනාව ධම්මචක්ක පවත්තන සූත්‍රය හා සංඝ ශාසනය ආරම්භ කළ ස්ථානය, කාසියාල කුසිනගර් මහාපරිනිර්වාණ ස්ථානයට (බුද්ධගයාවද) බුද්ධත්වයට පත් වූ ස්ථානය, නාලන්ද (බුදුන් වැඩි ස්ථානයක්) සාරිපුත්ත රහතන් වහන්සේගේ ජන්මභූමිය, නාලන්ද විශ්වවිද්‍යාලභූමිය, රාජ්ගිරි (රජගහ, ගිජ්ජකූට පර්වතය සහ පළමු ධර්ම සංගායනා සප්ත පර්ණී ගුහා ප්‍රදේශය) සහෙත්, ටහෙත්(ශ්‍රාවස්තිය, ජේතවනාරාමය, අංගුලිමාල චෛත්‍ය, අනාථපිණ්ඩික සිටු මැදුර කම්සම්බි (කෝංසම්බි කුටි) රත්නගිරි උදයගිරි, ලලිත් ගිරි විහාර සංකීර්ණ (ඔරිස්සා ප්‍රාන්තය පැරණි කාලිංගය) සහ දෙවෙනි මෝරි යන ස්ථාන වෙති.

දකුණු ඉන්දියාවේ බොදු පුදබිම් නම් අමරාවතී, නාගර්ජුන, කොන්ඩ අජන්තාලෙන් විහාරය, එල්ලෝරා සහ මලභි ලෙන් විහාර වෙති. භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළේ තමන් වහන්සේ උපත ලද ලුම්බිණිය (වර්තමාන රුපින්ඩායි නේපාලය) බුද්ධත්වයට පත් වූ ස්ථානය බුද්ධ ගයාව (බිහාර් ප්‍රාන්ත රාජ්‍යයේ ගයා දිස්ත්‍රික්ක) පළමු ධර්ම දේශනාව පැවැත් වූ (ධම්මචක්ක පවත්තන සූත්‍රය) මිගදාය ඉසිපතන සාරනාත් වාරනාසී බරණැස උත්තර් ප්‍රදේශ සහ තමන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වූ කුසිනාරාව (උත්තර ප්‍රදේශ්) වැඳ පුදා ගන්නා සැදැහැවතෙකුට මරණ මංචකයේ දී මෙම ස්ථානයන් චුති චිත්තයට පැමිණීමෙන් ප්‍රතිසන්ධිය ලබනුයේ දෙව්ලොව හෝ සුගතියක හෝ බවයි. මෙම ස්ථාන සතරට අමතරව ශ්‍රාවස්ති, සංකස්ස (භාග්‍යවතුන් වහන්සේ සිය සත්වැනි වස් කාලය කුසිත දෙව්ලොව වැඩ සිට සිය මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කර රුවන් ඉණිමගින් මිහිතලයට වැඩි ස්ථානය) උත්තර් ප්‍රදේශ, රජගහ සහ වෛශ්‍යාලිය (විශාලා මහනුවර) යන ස්ථාන ද සහිතව අෂ්ට මහා ස්ථාන ලෙස සැලකේ.

මෙම සියලු පුදබිම් අතරින් ප්‍රමුඛත්වය ලබනුයේ බුද්ධ ගයාවයි. ඒ අනුව බෞද්ධයන්ගේ අති උත්තම පූජා භූමිය බුද්ධ ගයාවයි.

යම් ස්ථානයක් ලෝක උරුම ස්ථානයක් ලෙසට යුනෙස්කෝ, නම් කරනුයේ එම සංවිධානයේ ප්‍රඥප්තිය අනුව පහත දැක්වෙන සුදුසුකම් ඇත්නම් පමණි.

එනම්, (1) ස්ථානය මානව නිර්මාණශීලී භාවයේ අති විශිෂ්ට නිර්මාණයක් වීම, 2. එම ස්ථානය ලෝකයේ එක්තරා සංස්කෘතික වපසරියක, දීර්ඝ කාලයක් තුළ මානව අගැයීම් සමග සන්ධිස්ථානයක් වීම, සහ ගෘහ නිර්මාණ ශිල්පයේ, තාක්‍ෂණයේ, ප්‍රතිමූර්තියක්, නගර සැලැසුමක් හෝ පරිසර නිර්මාණයක් විහිදා දැක්වීම.3.දැනට පවත්නා හෝ නැති වී ගිය සංස්කෘතික දායාදයක සුවිශේෂ වූ සාක්‍ෂියක් වීම, 4.

මානව ඉතිහාසයේ සුවිශේෂ තලයන් විදහා දැක්වීමට එම ස්ථානයේ ගොඩනැගිලි හෝ ගෘහ නිර්මාණ ශිල්පය හෝ විද්‍යානුකූල එකමුතුවක් හෝ ප්‍රදේශයක් වීම, 5 ජාත්‍යන්තර ලෙස සුවිශේෂ වූ එක එල්ලේ හෝ පෙනෙන අන්දමට පවත්නා සංස්කෘතියකට අදාළ සිතුම් පැතුම් හෝ ආගමික හෝ වෙනත් විශ්වාසයනට අදාළ හෝ ස්ථානයක් වීම යනාදිය වේ.

බුද්ධ ගයාව මෙම අවශ්‍යතාවයන් සපුරා ඇති අතර ඊට අමතරව බුද්ධ ගයා මහා විහාර සංකීර්ණයේ සත්‍යතාවය හා පරිපාලනයට අදාළ පහත දැක්වෙන මූලික සාධක ද සපුරා ඇත. එනම්,

1. එම ස්ථානය නිර්මාණය, ද්‍රව්‍ය භාවිතය, කර්මාන්ත ශෛලිය සහ පිහිටීම.

2. ස්ථානය ප්‍රමාණවත් නෛතික සහ බැඳිම් සහිත වීම සහ සම්ප්‍රදායානුකූල ස්ථානික සංරක්‍ෂණයට අවශ්‍ය පරිපාලන යාන්ත්‍රයක් සහිත වීම. ඒ අනුව යුනෙස්කෝ සංවිධානය 2002 ජූනි මස බුද්ධ ගයා මහා විහාර සංකීර්ණය ලෝක උරුම ලෙස ලේඛන ගත කර අඇත.

වර්තමාන තත්ත්වය

බුද්ධගයා මහා විහාරය, ශ්‍රී මහා බෝධිය, භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු වැඩ සිටි ස්ථාන සත (ශ්‍රී මහා බෝධිය ඇතුළුව) සහ ගල් ගරාදියෙන් පිටත පිහිටි කුඩා ස්තූප පිහිටා ඇත්තේ ස්ථානයට පිවිසෙන ප්‍රධානස්ථානයේ සිට අඩි 75 ක් පමණ පහත භූමිභාගයකය. උස් බිමෙහි, වෙළඳ සැල්, යනාදියද, ස්ථානයට නුදුරුව උතුරු දෙස ගයා තැපැල් කාර්යාලය පිහිටි භූමි භාගය එළිමහනේ සහ අපිරිසුදු ;ගාඩනැගිලිවල වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන ප්‍රදේශයකි. මහාමාර්ගය දෙපසද නානාවිධ වෙළඳසැල් සහ හෝටල් ද ඇත.

2006 – 2031 සංවර්ධන සැලසුම

දැනට ක්‍රියාත්මකවෙමින් පවතින සංවර්ධන සැලසුමේ පරමර්ථ මෙසේ ය.

1. ස්ථානයේ පාලනය, ස්ථානයේ අනර්ඝත්වය ආරක්‍ෂා කිරීමට හා සංරක්‍ෂණයට සහ එම කරුණු ගැන තීරණ ගැනීම සඳහා ක්‍රියාවලියක් දියත් කිරීම.

2. ලෝක උරුම ස්ථානයට පැමිණෙන වන්දනා පිරිස් හා අනිකුත් දේශාවන පිරිස් සඳහා පහසුකම් හා අනිකුත් අවශතා සැලසීම.

3. ලෝක උරුම ස්ථානය ගැන දැනුවත් කිරීම්, ඒ ගැන අභිලාෂයන් සහ පර්යේෂණ පැවැත්වීම සැලසීමට හා එය වර්ධනය කිරීමට ක්‍රමෝපාකර සැකසීම.

4. ලෝක උරුම ස්ථානයේ අනගි බව වර්ධනය කිරීම දීර්ඝ කාලීන කෙටිකාලීන කටයුතු අවශ්‍යතාවයන්ට අනුකූලව වටිනාකම් අනුව අනු පිළිවෙළක් සැකසීම සහ එම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ පරිපාලන සැළසුම් ස්ථාවරව ක්‍රියාත්මක කිරීම ආදිය වෙයි.

සංවර්ධන සැලසුම

බුද්ධ ගයාව බිහාර්ප්‍රාන්තයට අයත් පුදබිමකි. ඒ අනුව සංවර්ධන සැලසුම එම ප්‍රාන්ත රාජ්‍යයට ක්‍රියාකිරීමට මඟ පෙන්වීමක් වන අතර එය දීර්ඝ කාලීන වේ. 2006 සිට 2031 දක්වා එම සැලසුම ක්‍රියාත්මක වන අතර සැලසුම සම්පූර්ණ වනුයේ 2031 දී ය. වාර්ෂිකව එක් එක් සැලසුම් කළ සංවර්ධන කටයුතු සපුරාලනු ලැබේ.

එම සංවර්ධන සැලසුමේ දැක්වෙන සංවර්ධන කටයුතු මෙසේ ය.

1. සැලසුමේ ප්‍රධාන තේමාව බුද්ධගයාවේ ඓතිහාසික උරුමය සංරක්‍ෂණය කිරීමය. ඒ අනුව නගරයේ භූගෝලීය සැලසුම අනුව නිශ්චිත වශයෙන් එක්තරා වපසරියක් නම් කර ඇති අතර එය සංරක්‍ෂණයට අවශ්‍ය රෙගුලාසි සහ නෛතික අවශ්‍යතාවයන් පිළිබඳ මග පෙන්වීමක් සංවර්ධනය සඳහා සලසා ඇත.

2. බුද්ධගයාව 2031 වන විට ලෝක උරුම ස්ථානයක් බවට පරිවර්තනය විය යුතු අතර ස්ථානයට අදාළ වන්දනා ගමනක් සහ වෙනත් අයගේ පැමිණීම් සඳහා යටිතල පහසුකම් වර්ධනය කර ඇත. ස්ථානය බෞද්ධ ලෝකයේ ප්‍රධානතම ස්ථානයක් බවට පත් කිරීමේ දර්ශනය අනුව නගරය තුළ සංස්කෘතික කටයුතු ද හඳුන්වා දී ඇත.

3. සම්පූර්ණ ප්‍රදේශයේ උරුමය සංරක්‍ෂණය කිරීමට, එනම් බක් රවුර් (සුජාතා සිටු දේවිය භාග්‍යවතුන් වහන්සේට ක්‍ෂීර පායාස පිදු, බුද්ධ ගයාව අසළ නේරංජරා ගංගාවේ එපිට පිහිටි සේනානිගම) බුද්ධ ගයා නගරය විශේෂ ප්‍රදේශයක් ලෙස ඇතුළත් කර සංරක්‍ෂිත උද්‍ය්‍යානයක් ලෙස සැකසීම.

4. බුද්ධ ගයාවේ බොදු උරුමය ස්ථිර කිරීමට සේනානිගම, බුද්ධගයාව සහ ප්‍රාග් බෝධි කඳු වැටිය අතර සම්බන්ධතාවයක් සැලසීම.

5. මෙයට අමතරව නගරයේ පළාත්හි පරිසරය හා ස්වභාවික සෞන්දර්ය සහ බොදු උරුමය සංරක්‍ෂණය කිරීම.

6. බුද්ධගයාවේ වැදගත්කම නිසා විදේශ සංචාර හා වන්දනා ගමන් අංශ සංවර්ධනය කිරීම.

7. නගරය තුළ 2031 වර්ෂය වන විට වැඩි උස නොමැති ගොඩනැගිලි දැනට වඩා සැකසීම. ඒ අනුව, මුළු නගරයම අලංකාර කිරීම.

8. නගරය සංවර්ධනය කිරීම භූමි භාගය යොදා ගැනීම විමධ්‍යගත කිරීම එමගින් දැනට ජනාකීර්ණ ප්‍රදේශ වර්තමානයට හා අනාගතයට සුදුසු පරිදි සැකසීම.

9. දැනට නගරයේ ඇති අවහිරතාවයන් ඉවත් කිරීම නැවත ස්ථාන වෙනත් ස්ථානවලට රැගෙන යෑම් අවම වශයෙන් සිදු කිරීම.

10. වැඩිවන ජනගහණයට සමාජයීය හා භෞතික යටිතල පහසුකම් ප්‍රමාණවත්ව සැලසීම.

11. දැනට නගරයේ ඇති කාර්ය බහුල ස්ථාන වෙනත් ස්ථානවල පිහිටුවා තදබද ස්වභාවය අවම කිරීම.

12. දැනට නගරය කෘෂිකර්මය මත පාදකව ඇත. තවද වෙනත් වෙළද කටයුතු ද ඇත. එබැවින් නගරයේ ජනගහණය වැඩි වීම අරභයා වෙනත් අංශවල පහසුකම් සැලසීම.

13. තවද නිවාස හා රැකියා අවස්ථා විරල ජන කොටස් වලට අවස්ථා සැලසීම.

14. බුද්ධගයාව අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සහ එමඟින් රැකියා නිපුණතාවයන් සහ කාන්තා පක්‍ෂයේ ලිවීමේ කියවීමේ හැකියා වර්ධනය කිරීම.

15. ගමන් බිමන් පහසුකම් හා රථවාහන නවත්වන අංගන සැලසීම.

16. බුද්ධගයාවේ නගරය වටා ඇති ස්ථාන තුරුලතා රෝපණය කිරීමයි. ඉතා උස ගොඩනැඟිලි තැනීමට අවසර නොදීම නගරය අවට කෘෂිකර්මය සඳහා භූමිභාගයන් සැලසීම.

17. මාර්ග දෙපස රුක්රෝපණය දියත්කර අවට පරිසරයට නිල් පැහැති වටපිටාවක් සැලසීම.

18. තවද සියලු වෛද්‍ය පහසුකම් සපයා බුද්ධගයාව සෞඛ්‍ය තත්ත්වයෙන් පිරිපුන් නගරයක් බවට පත් කිරීම.

එම සංවර්ධන අන්තර්ගත වන ප්‍රදේශය හෙක්ටයරේ 2995 කි. සේනානිගමද ඇතුළුව. 2031 වන විට බලාපොරොත්තු ජනගහණය 1, 20, 000 කි. ඒ අතරින් 92, 000 ස්ථිර පදිංචිකරුවන් වන අතර ඉතිරි පිරිස විටින් විට පැමිණෙන සංඛ්‍යාව වේ.

එම සැලසුමේ යෝජිත යටිතල පහසුකම් වර්ධනය මෙසේ ය.

1.නගර පරිපාලන කාර්යාල සඳහා අභිනව ගොඩනැගිලි සහිත කාර්යාල සඳහා.

2. අභිනව රෝහල් දෙකක් ප්‍රධානතම රෝහලක් මාතෲ රෝහලක්.

3. අභිනව විද්‍යාල දෙකක්, කාර්මික අධ්‍යාපන මධ්‍යස්ථානයක්, කාන්තා බහු කාර්මික ආයතනයක්,

4. අභිනව වාණිජ දිස්ත්‍රික් මධ්‍යස්ථාන දෙකක් තවද ජනතා දිස්ත්‍රික් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීම

5. ජනතාව සඳහා මධ්‍යස්ථාන හයක් එක් එක් මධ්‍යස්ථානය සඳහා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, ජනතා රැස්වීම් ශාලාවක්, වෙළඳ සංකීර්ණයක්, වාහන නැවැත්වීමට අංගන සහ අනිකුත් පහසුකම්.

6. ඒකාබද්ධ පහසුකම් සහිත වාසස්ථාන සහිත ප්‍රදේශ 13 ක් තැනීම.

7. ක්‍රීඩා සංකීර්ණයක්, දිස්ත්‍රික් උද්‍යාන දෙකක් සහ රැස්වීම් සඳහා විවෘත භූමියක්.

8. මීටර් 45 ක මාර්ග පද්ධතියක්, මීටර් 30 ක් පළල මාර්ගයක් සහ මීටර් 24 ක් පළල මාර්ගයක් තවද මීටර් 18 ක් සහ මීටර් 15 ක් පළල මාර්ග දෙකක් .

මෙයට අමතරව ප්‍රාන්ත රාජ්‍යයේ දායකත්වයෙන් පහත දැක්වෙන සැලසුම් සකස්කර ඇත.

1. අන්තර්නගර බස්නැවතුම් පොළක්

2. නේරංජරා ගංගාව හරහා සේනානිගම බුද්ධගයාව සම්බන්ධ කිරීමට පාලමක්.

3. ඉන්ධන සැපයුම් ස්ථාන තුනක්

4. භාරත ගාර්ත් (ඉන්දීය වෙළඳපොළ)

5. කාන්තා හා ළමා ආරෝග්‍ය ශාලාවක්.

6. ඇඳන් 100 ක් සහිත රෝහලක්.

7. උසස් අධ්‍යාපන පාසලක් සහ ප්‍රාථමික පාසල් හතක්.

8. අලුතින් කලා විද්‍යාලයක්.

9. කාර්මික විද්‍යාලයක්.

10.විද්‍යා විද්‍යාලයක්.

11. නගර උද්‍යානයක්

12. ප්‍රධාන සැලසුම ප්‍රාකාර නිවෙස් සංකීර්ණයක් සියලු යටිතල පහසුකම් සහිත.

13. පරිගණක පහසුකම් සහිත බොදු උරුම විස්තර සපයන ස්ථානයක්.

14. නේරංජරා ගංගාවට පඩිපෙළ

15. ආධ්‍යාත්මික හා භාවනා මධ්‍යස්ථාන දෙකක්.

16. සංස්කෘතිය ප්‍රචලිත කිරීමට විශේෂාංග සහිත පුවත්පත් පාසල් හා විද්‍යාල සඳහා.

17. ප්‍රධාන සැලසුම් ප්‍රකාර තරු තත්ත්වයේ හෝටලයක්.

18. තරු තුනේ හෝටල්

19. තරු හතේ හෝටලයක්.

20. ගෝල්ප් පිටිය අවට නැවතුම් පහසුකම්.

21. අපද්‍රව්‍ය පරිපාලනයට උපදෙස් ලබාදෙන ස්ථානයක්.

22. ඝණ අපද්‍රව්‍ය සඳහා ස්ථානයක්.

23. සංචාරකයන්ට හා වන්දනා කරුවන්ට කැසිකිළි වැසිකිළි සංකීර්ණයක්.

24. සූර්යතාපය යොදා බල ශක්ති යොදා ගැනීම් අධ්‍යාපන සඳහා ස්ථානයක්.

25. සංස්කෘතික සංකීර්ණය සංවර්ධනය.

එම ක්‍රියාවලිය සඳහා 2006 – 12 දක්වා වැයවෙන මුදල ඉන්දීය රුපියල් කෝටි 222 ක් යැයි ගණන් බලා ඇත.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

බුද්ධගයාව ක්‍රි.පූ. තෙවැනි සියවසට පසු හා ක්‍රි.ව. 3 – 4 ශතවර්ෂ වල ගුප්ත රජ්ජුරුවන්ගෙන් පසු බොදු පුද බිමක් බවට නැවත පත්වීමට දිවි හිමියෙන් ක්‍රියා කළේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ය.

පසුව සිරි දේවමිත්ත වශයෙන් පැවිදි විය. බුද්ධගයාව සහ අනගාරික ධර්මපාලතුමා අතර වූ ඓතිහාසික කරුණු ඇතැම් ලේඛකයෝ මූලාශ්‍ර අධ්‍යයනය කිරීමකින් තොරව කරුණු ඉදිරිපත් කරති. එම තත්ත්වය නිවැරැදි කිරීමේ අපේක්‍ෂාවෙන් ද මූලාශ්‍ර අනුසාරයෙන් එම ඓතිහාසික කරුණු මෙසේ ඉදිරිපත් කරමු.

අශෝක රජතුමා (ක්‍රි.පූ. 269 – 232 ) සිය අටවැනි රාජ්‍ය වර!ෂයේ දී ස්වාධීනව පැවැති කාලිංගය ආක්‍රමණය කර ජනයා ලක්‍ෂ ගණනක් ඝාතනයකට, පිටුවහල් කිරීමට සහ ශාරීරික ආබාධවලට යොමුකර කාලිංගය සිය අධිරාජ්‍යයට අත්පත් කර ගන්නා ලදී. පසුව නීග්‍රෝධ සාමණේර හිමියන් ද එමගින් උපගුප්ත හිමියන්ද (මහා මොග්ගලීපුත්ත තිස්ස) හමුවී බුදුදහම ගැන මනා අවබෝධයක් ලබාගෙන සිය කෘර යුද්ධය ගැන කළ කිරිණි. එම තත්ත්වය ගැන කාලිංගයේ දමිළ පර්වත ශිලාලේඛනයේ සනිටුහන් කරන ලදී. පසුව අශෝක රජතුමා සිය දියණියක් වූ චාරුමති කුමරිය ද උපගුප්ත හිමියන් සමග බොදු පුද බිම්වල වන්දනා ගමනක යෙදුණි.

වන්දනා ගමනේ දී බුද්ධගයාවට පැමිණි ඔහු ශ්‍රී මහා බෝධිය වැද පුදාගෙන ගිරිගර්භි අංක 08 පර්වත සෙල්ලිපියක්ද බුද්ධගයාවේ කුළුණු සෙල්ලිපියක් ද පිහිටුවන ලදී. බුද්ධගයා සෙල්ලිපිය මැකී ගොස් ඇති බැවින් ශිරිනාර් ලිපියේ මෙසේ සඳහන් වේ. පෙර දවස රජවරු විනෝද චාරිකාවල යෙදුණි. එම චාරිකාවල දඩයම් කිරීම් සහ වෙනත් විනෝද ක්‍රියාවල යෙදුණි. එනමුත් රාජාභිෂේකයෙන් දස වසරකට පසු දේවානම් පි‍්‍ර පි‍්‍රයදර්ශන් රජු සම්බෝධියට පැමිණියේ ය. එබැවින් මෙම ධර්ම චාරිකා වල යෙදුණි. මෙම ධර්ම චාරිකාව ලදී පහත සඳහන් දෑ සිදු කරන ලදී. බ්‍රාහ්මණයන් සහ ශ්‍රමණයන් බැහැදැකීම ඔවුනට ත්‍යාග පිරිනැමීම, වියපත් අය බැහැ දැකීම ඔවුනට ආධාරයක් ලෙස රන් පිරිනැමීම, දේශයේ ජනතාව බැහැ දැකීම, ඔවුනට ධර්මය පැහැදිලි කර දීම, අවස්ථාවට සුදුසු අන්දමට ඔවුනගෙන් ධර්මය ගැන ප්‍රශ්න කිරීම් මෙය දේවානම්පි‍්‍රය පි‍්‍රයදර්ශීන් රජුගේ දෙවැනි රාජ්‍ය සමයැයි. එමගින් ඉතා උසස් තත්ත්වයක් පී‍්‍රති ප්‍රමෝදයක් ඔහු ලබා ගනී. නැවත බුද්ධගයාව ගැන සඳහන් වනුයේ අඩි 170 ක් පමණ කෝණාකාර බුද්ධගයා විහාරය නොහොත් ස්තූපය (චෛත්‍යඝරය) ක්‍රි.ව. 2 – 6 ශතවර්ෂ වලදී පමණ එනම් ඉන්දියාවේ ගුප්ත රාජ්‍ය සමයේ (ක්‍රි.ව. 320 – 540) තැනීමය. ගුප්ත රජවරු අශෝක අධිරාජ්‍යයා ශ්‍රී මහා බෝධිය වටා ඉදිකළ දැව අවාරණ වැට වෙනුවට ශෛලමය ගල්වැටක් ඉදිකර එය මූර්තිමත් ද කරවන ලදී. දැනට ඇත්තේ එම ගල් බැම්මය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.