Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අකුරැස්ස යහමුල්ල බෝධිරුක්ඛාරාමය



අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේ
ඉපැරණි නුග වෘක්ෂය


 බෝධීන් වහන්සේ

අකුරැස්ස නගරයේ සිට අතුරලිය හරහා කඹුරුපිටිය දක්වා දිවෙන මහ මාර්ගයේ කිලෝ මීටර් පහක් පමණ ගමන් කර විහාරස්ථානයේ නාම පුවරුව ලගින් දකුණු පසට හැරී සරු සාර කෙත්වතු මැදින් කිලෝමීටරයක පමණ දුරක් ගෙවූ පසු සුන්දර පරිසරයක කුඩා කඳු ගැටයක පිහිටා ඇති මෙම පූජනීයස්ථානයට පිවිසිය හැක.

මීට සියවස් කිහිපයකට පෙර රුහුණේ රාජ්‍ය පාලනය කළ කුමාරදාස රජතුමන් මෙම ගම්මානයේ වත්මන් විහාරස්ථානයට සමීපව මාලිගාවක් තනාගෙන ඇත.

මේ වනවිටත් මෙම පූජා භූමිය ආශි‍්‍රත රක්ෂිතයේ එම මාළිගාවේ නටබුන් දක්නට ඇත.

එවක සිට පැවත එන මේ ආසන්නයේ පිහිටි සදා නොසිෙඳන ජල බුබුලකින් ගලා බසින ජලධාරාවෙන් ඒ කාලවකවානුවල සිට මේ දක්වා අවට කුඹුර අක්කර අටසියයක් පමණ යල මහ කන්න දෙකම වගා කෙරෙති. ජල බුබුල ආශි‍්‍රතව රජතුමන්ගේ නාන තොටුපල තිබී ඇති අතර නාන තොටුපල දක්වා රජතුමන්ට ගමන් කිරීමට ඉදිකර තිබූ පාලම ආශි‍්‍රතව පිහිටා තිබුණු කුඹුරු යාය පාලම ලියද්ද නමින් හඳුන්වා ඇත. වත්මන් බෝධිරුක්ඛාරාමය පිහිටි භූමියේ සියවස් ගණනාවක් පැරණි ගම්බාර දෙවියන් අධිගෘහිත වූ යැයි විශ්වාස කෙරෙන එවකට ‘වනසපති’ නමින් හැඳින්වූ නුග වෘක්ෂයක් තිබූ අතර අදත් ඒ නුග වෘක්ෂය මෙම පූජා භූමිය තුළ දක්නට ලැබේ.

කුමාරදාස රජ සමයේ ආරම්භ වූ දේවාල උත්සවය පාරම්පරාවෙන් පරාවට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන එයි.

මෙම පූජා භූමිය තුළ එවක සිට අදෘශ්‍යමාන බලයත් පවතින බවට විශ්වාස කරන ගම්වැසියො මෙම පූජා භූමියේ හා විහාරස්ථානයේ දියුණුව පැවැත්ම සඳහා නුග වෘක්ෂයට අධිගෘහිත ගම්බාර දෙවියන්ගේ ආශිර්වාදය හා රැකවරණය නොමදව ලැබෙන බවද තරයේ විශ්වාස කරති.

මේ අනුව මෙම විහාරස්ථානය පිහිටි පූජා භූමිය වසර දහස් ගණනක් ඈත එපිට සිට තුනුරුවන්ට දෙවියන්ට පුද පූජා පැවැත්වූ පූජනීය භූමියක් බව විශ්වාස කෙරේ.

කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී දහඅටවන දහනව වන සියවසේදී අපේ රටේ ආගමික හා සංස්කෘතියේ අඳුරු යුගයක් උදාවිය.

ඒ අවධියේ අනගාරික ධර්මපාලතුමා වැනි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් නිසා යලිත් ජාතික ආගමික ප්‍රබෝධයක් ආරම්භ වීමට අවස්ථාව උදා වී ඇත. එතුමන් ගමින් ගමට ගොස් පැවැත් වූ දේශනා තුළින් උදා වූ ජාතික ආගමික පුනර්ජීවය සමග බොහෝ දුෂ්කර ගම්මානවල පවා අභිනව වෙහෙර විහාරස්ථාන ඉදිවීම ආරම්භ කෙරිණි. ඒ අනුව අතුරලිය සුදස්සනානන්ද විහාරස්ථානය හා භාවනා මධ්‍යස්ථානය ආරම්භ වූවේ ඓතිහාසික නුග වෘක්ෂය පිහිටි ස්ථානයේ ය.

අතුරලියේ ශ්‍රී සුදස්සනාරාමාධිපති පූජ්‍යපාද කරගොඩ උයන්ගොඩ ආරියසීල නායක ස්වාමීන්වහන්සේ 1988 වසරේදී මෙම පූජා භූමියට වැඩම කර වස්වසා යහමුල්ල බෝධිරුක්ඛාරාමය නමින් මෙම විහාරස්ථානය ආරම්භ කළහ. පසුව උන්වහන්සේ විසින් තම ශිෂ්‍ය රත්නය වූ අතුරලිය ශ්‍රී සුදස්සන පරිවේනාධිපති ශාස්ත්‍රපති කඹුරුපිටියේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි යහමුල්ලේ අනුරුද්ධ හිමියන්ට මෙම විහාරස්ථානයේ වගකීම් පවරා ඇත. එතැන් පටන් උන්වහන්සේ විසින් යහමුල්ල ගමේ ජාතික ආගමික සංස්කෘතික හා අධ්‍යාපනික සේවාවන් සැලසීමේ අරමුණින් ගමේ බාල තරුණ වැඩිහිටි පිරිස් හා සියලු ස්වේච්ඡා සංවිධාන විහාරස්ථනය ආශි‍්‍රතව ඒකාබද්ධ කරමින් ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් විහාරස්ථානයේ දහම් පාසලක් ද අරඹා ප්‍රදේශයේ දරුවනට දහම් දැනුම ඉතා සාර්ථක ලෙස ලබාදෙමින් පවතී.

කලායතනයක් හා ප්‍රජා මණ්ඩලයක් ආරම්භ කර ඇති අතර එම කලායතනයට අනුබද්ධව පලාත් කිහිපයක කලායතන හතක්ද බිහිවී තිබේ.

විහාරස්ථානයේ දක්නට ලැබෙන සුන්දර බුද්ධ ප්‍රතිමා වහන්සේ බෝධි ප්‍රාකාරය හා මලසුන ඉදිවෙමින් පවතින බුදුමැදුර නුග වෘක්ෂ ප්‍රාකාරය, ධර්ම ශාලාව, ජල විදුලිය කඳු ගැටය පියමං කිරීමට ඉදිකළ කොන්ක්‍රිට් පඩිපෙල හා කොත් වහන්සේ නිරාවරණය කිරීමට නියමිත අභිනව චෛත්‍ය රාජයාණන්වහන්සේ ඇතුළු විහාරාංගයන්ගෙන් මෙම විහාරස්ථානය පෝෂණය වී තිබේ.

කල්යත්ම අක්‍රමවත්ව පැවැති වාර්ෂික දේවාල උත්සවය හා බැඳුන ඇසළ පෙරහර වසරෙන් වසර නව අංගෝපාංගයන්ගෙන් සමන්විතව වර්ධනය වෙමින් දර්ශනීය ලෙස පවත්වාගෙන යාම ප්‍රදේශවාසී බැතිමතුන්ගේ මහත් ප්‍රසාදයට ලක්වී ඇත.

දීර්ඝ කාල වකවානුවක සිට මේ පූජා භූමියෙන් පිහිට හා ආශිර්වාදය ලබාගත් විශාල පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වේ. ඒ අනුව යහමුල්ල බෝධිරුක්ඛාරාම විහාරස්ථ දායක සභාවට අනුබද්ධව මාතර සහ කොළඹ යන ප්‍රදේශවලද දායක සභා දෙකක්ද ආරම්භ කර පවත්වාගෙන යති.

කොළඹ ශාඛාවේ අනුග්‍රහයෙන් තායිලන්ත තානාපතිතුමා විසින් රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක් හා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනමගේ ප්‍රතිමා දෙකක් පරිත්‍යාග කර ඇති අතර මාතර ශාඛාවේ අනුග්‍රහයෙන් ශෛලමය බුද්ධ ප්‍රතිමාවක්ද පළාත්වාසි දානපතියන් හා දායක දායිකාවන් විසින් රුපියල් ලක්ෂ තිහක් පමණ වැයකර විහාර මන්දිරයේ මුල් අදියරද නිමකර තිබේ.

ඔක්තෝම්බර් 30 වනදින කොත් වහන්සේ නිරාවරණය කරන චෛත්‍ය රාජයාණන්වහන්සේ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිතුමාගේ මූලිකත්වයෙන් මුල්ගල තබා වසරක පමණ කාලයක් තුළදී රුපියල් ලක්ෂ දොළහක් පමණ වැයකර වැඩ අවසන් කර තිබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.