Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වූ කුසිනාරාව

කුසිනාරාව පිහිටියේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ගොරක්පුර් සිට නැගෙනහිර දෙසට සැතපුම් 35 ක් දුරින් බිහාර් සිට ඇසෑම් ප්‍රාන්ත වලට දිවෙන ප්‍රධාන මාර්ගය අසල ද ශ්‍රාවස්ති සිට රජගහ දක්වා හිරංවතී ගංගාවේ බටහිර ඉවුර දිගේ දිවෙන වෙළෙඳ මාර්ගය අසලය. දැනට හිරංවතී ගංගාව ව්‍යවහාර වන ප්‍රාදේශීය නාමය නම් පහදි නදීය වේ. මෙම ගංගාව වියළි කාලයේදී වැලි තලාවක් වන අතර වර්ෂා කාලයේදී දෙගොඩ තලා ජලය බැස යයි. එම නදිය කුසිනාරාවේ රම්භාහි පිහිටි මහා පරිනිර්වාණ චෛත්‍යයට පසුපස ඈතින් පිහිටා ඇත.

කුසිනාරාව ඈත අතීතයේදී කුෂිනගර් හෝ කුසාමතී නමින් හඳුන්වා ඇත. පසුව පුරා විද්‍යාඥයන් විසින් කුසිනාරාව, උත්තර ප්‍රදේශ් ගොරක්පූර් දිස්ත්‍රික්කයේ කාසි නමැති උප නගරය ලෙස හඳුනා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ මෙන් ඉන්දියාවේ වංශ කථා, මහා වංශය, දීප වංශ, චූලවංශ යනාදී මූලාශ්‍ර නොමැති හෙයින් බොදු පුද බිම් ගැන නිවැරැදි විස්තර ලබා ගැනීමට ඇති මූලාශ්‍ර වන්නේ ඉන්දියාවට වන්දනාව සඳහා පැමිණි චීන සංචාරක මහායානික භික්ෂූන්ගේ දේශාටන වාර්තා සහ පුරාවිද්‍යා කැණීම් වලින් සොයා ගත් සෙල් ලිපි පමණි. ක්‍රි. ව. 5 වැනි සියවස එසේ පැමිණි චීන ජාතික පාහියන් භික්ෂුවගේ ද, ක්‍රි. ව. 7 වැනි සියවසෙහි පැමිණි හියුං සෑං සහ ඉසෑං භික්ෂූන්ගේ දේශාටන වාර්තාවල සඳහන් වනුයේ උන්වහන්සේලා කුසිනාරාව වැඳ පුදා ගැනීමට පැමිණි අවධියේ කුසිනාරාව ඝන සල් වෘක්ෂ වලින් ගහණ කැලෑවක් හා ජනශුන්‍ය ප්‍රදේශයක් වූ බවයි.

කුසිනාරාව භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණයට පත්වූ ස්ථානයේ පරිනිර්වාණ චෛත්‍යයක් ගැන සඳහන් සෙල් ලිපියක් වෙයි. අශෝක රජතුමා සිය අටවැනි රාජ්‍ය වර්ෂයේදී කාලිංගය රුදුරු අති විශාල ජනසංහාරයකින් යටපත් කර ගෙන ඉන් පසු නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ පි‍්‍රය මනාප හා විනීත ගති පැවතුම් දැක එමගින් මහා මොග්ගලීපුත්ත තිස්ස හිමියන් නොහොත් උපගුප්ත හිමියන්ගේ ඇසුරට පත්ව සිය ජන සංහාරය පිළිබඳව කලකිරීමටපත්ව බොදු දහම වැළඳ ගත්තේ ය. එම අවස්ථාව පිළිබඳ ඔහුගේ බ්‍රාහ්මි අක්ෂරයෙන් යුත් දවුලි සෙල් ලිපියේ සඳහන් වේ.

තවද අශෝක රජතුමා සිය දස වැනි රාජ්‍ය වර්ෂයේ බුද්ධ ගයාව වැඳ පුදා ගැනීමට ධර්ම යාත්‍රාවක යෙදුණු බවත්, ඔහුගේ 8 වැනි පර්වත සෙල් ලිපියේ සඳහන් වන අතර එහි ධර්ම යාත්‍රා ඇරඹු බවද දැක්වේ (ගිරිනාර් හා සම්බගර්හි සෙල් ලිපි). තවද අශෝක රජු සිය අංක 04 සුළු පර්වත සෙල් ලිපියේ තමා දින 256 ක වන්දනා ගමනක යෙදුණු බවත්, රාමග්‍රාමයේ වූ නාගයන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේලා වඩා හිඳුවා තනන ලද ස්තූපය කැණීමට නාගයන් ඉඩ නුදුන් අතර තවත් ස්තූප හතක් කැණීම් කර ශ්‍රී ධාතුන් වහන්සේ ලබාගෙන භාරතය සිසාරා ස්තූප 84000 ක් තැනූ බවද සඳහන් කරයි.

අශෝක රජතුමා සිය දොළොස් වැනි රාජ්‍ය වර්ෂයේ ලුම්බිණියට ගොස් බුද්ධ ශාක්‍ය මුනින්දුයන් වහන්සේ උපත ලද එම ස්ථානය වැඳ පුදා ගෙන එම ධර්ම යාත්‍රාව සිහිවීමට ශෛලමය කුළුණක් පිහිට වූ බවත් ලුම්බිණි ග්‍රාමය බදු වලින් නිදහස් කළ බවත්, ජනයාගේ භෝග වලින් රජයට ගෙවන බද්ද 1 / 8 කට අඩු කළ බවත්, ලුම්බිණියේ අශෝක කුළුණේ සඳහන් වේ. තවද (දැනට නේපාලයේ) පිහිටි පෙර වැඩ සිටි කෝණාගමන බුදුන් සඳහා වූ ස්තූපය දෙගුණයකින් විශාල කළ බවත් සෙල් ලිපියක සඳහන් වන අතර එහි අශෝක කුළුණක් ද පිහිටුවන ලදී. එම කැඩී බිඳී ගිය අශෝක කුළුණ, ආවරණයක් තුළ නේපාලයේ නිග්ලිනවාහි (තුම්ලිහාවා සිට කිලෝමීටර් 7 ක් පමණ දුරින්) දැනුදු දැක ගැනීමට හැක.

පෙර සඳහන් විස්තර අනුව අශෝක රජතුමා කුසිනාරාවටද පැමිණ අශෝක කුළුණක් හා ස්තූපයක්ද තැනූ අතර, එම කුළුණ දැනට නොමැත.එම ස්තුපය පසු කාලීනව තනන ලද ස්තූපවලට යටවී ඇතැයි විශ්වාස කළ හැකිවේ. කුසිනාරාවේ දැනට ඇති සෙල් ලිපිය (ක්‍රි. ව. 335 – 540 දක්වා) පළමු වැනි චන්ද්‍රගුප්ත රජ සමයට අයත් වේ.

පුරාවිද්‍යාඥ කාර්ලයිල්තුමා සුවිශාල ලෙස කුසිනාරාවේ කැණීම් සිදු කර මාතා කුනාර් ක කොට් ස්තුපය සොයා ගන්නා ලද්දේ කහුම් යන ස්ථානයේය. පළාත් වාසීන් එම ස්ථානයට ව්‍යවහාර කරන නාමය රාමභාර්ය. එය තථාගතයන් වහන්සේගේ ශ්‍රී ආදාහන පූජෝත්සවය සිදු කළ ස්ථානය වේ.

දැනට අවුරුදු පනහකට පෙර මෙම ස්ථානය අති විශාල සල් වෘක්ෂයන් ගෙන් ගහණ විය. (ශ්‍රී ලංකාවේ සල් වෘක්ෂ නොවේ. ඉන්දීය සල් වෘක්ෂවල උද්භිද නාමය ශෝරියා රෝබස්ථා ය)

බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරියෙකු වූ එච්. එච්. නෙල්සන් මයා 1854 දී කාශියා නමැති ස්ථානය ඉපැරැණි කුශිනගර් බවට යෝජනා කළේ ය. දැනට කුසිනාරාවේ ඇති බොදු නටබුන් අනුරාධාව නමැති ග්‍රාමය දක්වා සුවිසල් භූමි ප්‍රමාණයක විසිරී පැවැති අතර එම අනුරාධාව ග්‍රාමයේ ජනතාව එම නටබුන් මත නිවෙස් තනාගෙන ප්‍රදේශය ගොවි බිමක් බවට පත්කර ගෙන ඇත.

කුසිනාරාවේ ඉපැරැණි නගරයක නටබුන් කුසිනාරාවේ සිට සැතපුම් 5 ක වපසරියක විසිරී පැතිරී ඇත. විශාල හිස් ලෙන්ද පොළොව මතු පිට ඉපැරැණි නගර ප්‍රාකාරයක නටබුන් ද කුසිනාරාව අති විශාල පරිමාවකට අයත්ව පැවැති බවට කදිම නිදසුන් ය.

චීන සංචාරක පාහියන් සහ හියං යෑං භික්ෂූන් වහන්සේද බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණයට පත්වූ ස්ථානයේද ආදාහන මලුවේ (මකුට බන්ධන චෛත්‍යය) යන ස්ථානවලද ස්තුප හා කුළුණු දුටු බැව් වාර්තා කරති.

කුසිනාරාවේ ප්‍රධානතම ස්ථානය නම් නිර්වාණ ස්තුපය හා එයට යා බද එකම උස් භූමි භාගයේ ඇති නිර්වාණ බුදු මැදුරයි. මෙම ස්ථානය 1876 දී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ කර්ලයිල් තුමා සොයාගත් අවස්ථාවේ එය අති විශාල ගඩොල් ගොඩක් පමණක් වී තිබිණි. මෙම ස්තුපයේ මුදුනේ සිට පහළට එක එල්ලේ (Shaft)  ඇතුළතට අඩි 14 ක් පමණට කුහරයක් සෑරීමෙන් ස්තූපය තුල ගඩොලින් තනන ලද කුඩා කාමරයක තඹ තහඩුවකින් වසන ලද තඹ පෙට්ටියක් හමු විය. එම තඹ තහඩුවේ තඹ පෙට්ටිය හරිබල නමැති අයෙක් චෛත්‍ය තුළ නිදන්කර බැව් සනිටුහන් කළ පාඨයක්ද තිබුණි. තවද එම පෙට්ටිය තුළ කුමාර ගුප්ත රජ සමයේදී (ක්‍රි. ව. 415 – 455) නිකුත් වූ රිදී කාසියක්ද තිබී ඇත. ඉක්බිතිව වැඩිදුරට කුහරය කැණීමේදී එහි තුළ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින තද රෝස පැහැති මැටි පිළිමයක්ද සොයා ගන්නා ලදී.

මෙම කැණීම් හා ස්ථානය හඳුනාගැනීමෙන් අනතුරුව 1927 මාර්තු මස 18 වැනි දින බුරුම ජාතික යු. චන්ද්‍රාමානි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වූ භික්ෂු සංඝයා මධ්‍යයේ උත්සවශ්‍රීයෙන් එම කුහරය වසා දමන ලදී.

විවිධ රන්, රිදී හා තඹ භාණ්ඩද එම ස්තූ®පය සොයා ගැනීමට අදාළ විස්තර සහ එය ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ මගින් සොයා ගත්බවද හඳුනා ගැනීමට පාදක වූ පුරාවිද්‍යාත්මක සාධක සනිටුහන් කරවන ලද තඹ පත්‍රයක් එම නිදන් වස්තු සමග එම අවස්ථාවේදී නිදන් කරන ලදී.

නිර්වාණ විහාරය තුල මීටර් 6 ක් පමණ දිගැති එක් චූ නාර් වැලිගලින් (චුනාර් යන ප්‍රදේශය බිහාර් ප්‍රාන්තයේ මෙම වැලිගල් සුලභ ප්‍රදේශයකි) නිම වන ලද භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණ මංචකය අනුව මූර්තිමත් කළ ප්‍රතිමාව ගඩොල් ආසනයක් මත තැන්පත් කර ඇත. මෙය කාර්ලයිල් මැතිතුමා 1876 දී කැඩී බිඳීම් සොයා ගෙන ඒ සියලු බිඳී ගිය කොටස් එක් තැන් කර ප්‍රතිමාව මනාව සකසා ඇත. ඉදිරිපස හඬා වැළපෙන භික්‍ෂු රූප තුනකි. එහි බ්‍රාහ්මී අක්‍ෂර සෙල් ලිපියක්ද ඇති අතර එහි ප්‍රතිමාව මහා විහාර ස්වාමීන් හරිබල විසින් පූජා කළ බැව් කියැවේ . මෙම ලේඛනය ක්‍රි.ව. 5 වැනි සියවසට අයත් වේ. එම ස්ථානයේ කැනීම් වලදී, ශෛලමය කාමර කිහිපයක් ද, බිත්තියක් සහිත අංගනයක් ද පිටතින් ඝනකමකින් යුක්ත බිත්තිද, අංගනයේ ගිලා බැස ගිය; භාරහාර සඳහා තනන ලද කුඩා ස්තූපද, අංගනය දෙපස ඇත. මෙම නිර්වාණ ස්තූපයට බටහිරින් මාතා කුආර් යන ස්ථානයක් ද තිබේ. මෙහි ඇතුළත ඇති අඩි 10 ක් පමණ උසැති භූමි ස්පර්ෂ මුද්‍රාවෙන් යුත් බුද්ධ ප්‍රතිමාවට ප්‍රදේශවාසීන් භාවිතා කරන නාමය මාතා බබා යනුවෙනි. මෙම ප්‍රතිමාවට ඉදිරියෙන් දකුණට ක්‍රි.ව. 10 වැනි සියවසට අයත් විහාරස්ථානයක නටබුන් හමුවේ. මෙයින් පසක් වනුයේ මෙම ප්‍රතිමාව එම සුවිසල් ආරාමයට පිවිසෙන ස්ථානයේ එලිමහනේ ඉදිකළ බවකි.

මෙම ප්‍රතිමාව සහිත මාතාකු ආර් සිට සැතපුමක් පමණ නැගෙනහිරින් අති විශාල ස්තූපයක නටබුන් වේ. ස්තූපයේ උස අඩි 50 ක් පමණ වන අතර දැනට එය පුරාවිද්‍යා අධිකාරීහු ශුද්ධ පවිත්‍ර කරමින් පසුවෙති. මෙහි මකුඨ බන්ධන රජවරුනට ඔටුනු පළඳින ස්ථානය නමින් වූ තැන ඈත අතීතයේ විශාල විහාරයක භික්‍ෂූන් වහන්සේ වැඩ සිටිය බැව් ක්‍රි.ව. 7 වැනි සියවස එහි සංචාරය කළ චීන ඊසිංහ භික්‍ෂු සිය ගමන් වාර්තාවේ සටහන් කර ඇත.

මෙම විහාරයට නැගෙනහිරින් හිරංවතී ගංගාවයි. එහි වර්තමාන නාමය සොන්රා වේ. මෙහි දැනට කුසිනාරා ස්ථාන කෞතුකාගාරය ඇති අතර එහි කැනීම් වලින් සොයාගත් පුරා වස්තු විශාල ප්‍රමාණයක් ද ඇත. අසූවැනි වියට පත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් ද භික්‍ෂූ සංඝයා ද සමග ගිජ්ජුකූටයේ සිට කුසිනාරාවට මහා පරිනිර්වාණය සඳහා සැතපුම් 300 ක් පමණ පහත දැක්වෙන ස්ථානවල වැඩ සිටිමින් වර්ෂයක් තුළදී පියවි ගමනින් වැඩිසේක. රජගහ ගිජ්ජකූටය, රජගහ අම්බපාලි උයනේ රාජාගාරය, නාලන්ද පචාරික අඹ වනය, පාටලි ග්‍රාම ගංගා නදී තරණය, ඤාතිගාම, වෛශාලි, අම්බපාලි අඹ උයන, බේලුව ගම, භණ්ඩගාම, හත්ථිගාම, අම්බගාම පාවා කුකුත්ථා නදිය, හිරංමතී ගං ගා තරණය, කුසිණාරා බේලුවගම අන්තිම වස් කාලය ගත කළ සේක. පාවාහිදී චුන්ද රන්කරුවා පිළිගැන් වූ සූකර මද්දව ව්‍යංජනය වැළඳුහ.

පසුව කුසිනාරවේ මල්ල රජ දරුවන්ගෙ සල් උයනට වැඩම කර සල් වෘක්‍ෂ ;දකක් අතර ආනන්ද හිමියන් පිළියෙළ කළ ස්ථානයේ සිංහ සෙය්‍යාවෙන් උතුරට සිය හිස සහිතව මහා පරිනිර්වාණයට පත් වූ සේක. ආලාරකාලාමගේ අනුගාමියකු වූ පුක්කුස ආනන්ද හිමියනට ද චීවරයක් පූජා කළේ ය. පසුව භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනයකින් පුක්කුසද පැවිදි විය. ආනන්ද හිමියන් එම චීවර දෙක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය මත තැබූ විට එහි දීප්තිය විනාශ විය. “භාග්‍යවතුන් වහන්ස, මම චීවර යුගල ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය මත තැබූ විට එහි දීප්තිය විනාශ විය. ඔබ වහන්සේගේ ඡවි වර්ණය, ඉතා පැහැපත් ය. දීප්තිමත් යැයි ආනන්ද හිමියන් පැවසූ සේක. “එසේ ආනන්දය තථාගතයන් වහන්සේගේ ඡවි වර්ණය දීප්තිමත් වන අවස්ථා දෙකක් ඇත. එනම් බුද්ධත්වයට පත් වීමේ දී හා පරිනිර්වාණයට පත්වීමේ දී යැයි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ සේක.” “මා මල්ල රජ දරුවන්ගේ සල් උයනේ සල් වෘක්‍ෂ දෙකක් අතර අද රාත්‍රියේ අන්තිම යාමයේ දී පරිනිර්වාණයට පත්වන්නේ යැයි වදාළ සේක. එක් චීවරයක් ආනන්ද හිමියන් භාග්‍යවතුන් වහන්සේට හැ ඳවු අතර භාග්‍යවතුන් වහන්සේගේම නියමය පරිදි අනික ආනන්ද හිමියන් පැළැඳ ගත් සේක. (දීඝ නිකාය)

බුද්ධ පරිනිර්වාණය ආනන්ද හිමියන් මල්ල රජදරුවනට ද දැන් වූ අතර විගස එම රජදරුවෝ ද එම ස්ථානයට සපැමිණියෝ ය. ආදාහන කටයුතු සිදුකළ යුතු අන්දම ආනන්ද හිමියන් භාග්‍යවතුන් වහන්සේගෙන් මුලදී විමසන ලදුව භාග්‍යවතුන් වහන්සේ එම කටයුතු සිදු කළ යුත්තේ චක්‍රවර්ති රජවරුන් සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයට සමාන ලෙස බව වදාළ සේක.

ආදාහනයෙන් අනතුරුව විවිධ රජදරුවන් ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ සඳහා අරගල කළ බැවින් දෝන බ්‍රාහ්මණයා එසේ කිරීම අකැප යැයි පවසා ශ්‍රී ධාතූ®න් වහන්සේලා මගධ රාජ්‍යයේ අජාසත්ත රජතුමාට, වෛශ්‍යාලියේ ලිච්ඡවි රජදරුවන්ට කපිල වස්තුවේ ශාක්‍යයන්ට අල්ලකප්පක බුලියන්ට රාම ග්‍රාම කෝලියනට, පංචාවේ මල්ලයනට වේත දිවයිනේ බ්‍රාහ්මණයාට සහ වෙනම කොටස් නාගයනට හා දේවයනට සමසේ භාජනයකින් නොහොත් නැලියකින් බෙදා වෙන් කරන ලදී. ඉතාමත් සැදැහැවත් දෝන බ්‍රාහ්මණයා තමා සිදු කළ කාර්යය සඳහා තමාට සර්වඥධාතූන් වහන්සේ කොටසක් ලබා නොගෙන එම නැලිය පමණක් තමා සන්තක කර ගෙන එය නිදන් කර ඔහුම කුසිනාරාවේ ස්තූපයක් ගොඩ නඟන ලදී. මෙම ධාතූන් වහන්සේ බෙදා දීමෙන් පසුව පැමිණි පිප්ඵලි වනයේ මෞරියනට ගත හැකි වූයේ චිතකයේ ගිනි අඟුරු ස්වල්පයක් පමණි. එම සියලු රජවරු හා ප්‍රධානීන් මගධ රාජ්‍යයේ අජාසත්ත විදේහ රජු මෙන්ම අති විශාල උත්සව පවත්වා ශ්‍රී ධාතූන් වහන්සේ තම දේශයනට වැඩමවා ශ්‍රී ධාතූන් තැන්පත් කර ස්තූප තනන ලදී.

මෙම ස්තූප තැනීම භාග්‍යවතුන් වහන්සේම අනුදැන වදාළ පූජා චාරිත්‍රයකි. භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණය සඳහා හිරංවතී ගංගාවේ එපිට ගංඉවුර අසලින් හැරී යන මල්ල රජ දරුවන්ගේ සල් උයනට වැඩම කරවූ අවස්ථාවේ ආනන්ද හිමියන් භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේ ගැන ක්‍රියා කළ යුතු අන්දම භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන ලදී. ආනන්දය තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේ ගැන ක්‍රියා කළ යුත්තේ දැහැමි පාලන චක්‍රය ප්‍රාර්ථනය කරන චක්‍රවර්ති රජ කෙනෙකුගේ භෂ්මාවශේෂ ගැන ක්‍රියා කළ යුතු අන්දමට යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

තථාගත බුදුපියාණන් වහන්ස, දැහැමි පාලන චක්‍රය ප්‍රවර්තනය කරණ චක්‍ර වර්ති රජ කෙනෙකුගේ භෂ්මාවශේෂ ගැන ක්‍රියා කරන්නේ කෙසේදැයි? ආනන්ද හිමියන් විමසන ලදී. එවිට භාග්‍යවතුන් වහන්සේ චක්‍රවර්ති රජ කෙනෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කර සතර මංසන්ධි අසල ස්තූප ගොඩ නඟති. ඒ අන්දමට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ධාතූන් නිදන් කර සතර මං සන්ධිවල ස්තූප තැනිය යුතු ය.

එවිට එම ස්තූප වලට මල් හා සුවඳ දුම් වලින් පූජා කරන හෝ එම ස්තූප සුදු පිරියම් කරන හෝ චන්දනාමාන කරන හෝ සැදැහැවතුන් තුළ ශ්‍රද්ධාව ජනිතව එය ඔවුන්ගේ සැප විහරණය සඳහා දීර්ඝ කාලයකට බලපවත් වන්නේ ය.

ස්තූප ගොඩ නැඟිය යුතු පුද්ගලයන් සතර දෙනෙකි. එම සතර පුද්ගලයන් කවරේද? බුද්ධත්වයට පත් භාග්‍යවතුන් වහන්සේ. පසේ බුදුවරයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේගේ. ශ්‍රාවකයකු වූ රහතන් වහන්සේ දැහැමි පාලන චක්‍රය ප්‍රාර්තනය කරණ චක්‍රවර්ති රජ. මෙම ස්තූප වන්දනා කිරීමේ අරමුණ කවරේද? මෙසේ සිතමින් ශ්‍රද්ධාව ජනිත කරගන්නා බොහෝ අය සිටිති.

මෙය බුද්ධත්වයට පත් තථාගතයන් වහන්සේගේ ස්තූපයයි මෙය පසේ බුදුරදුන්ගේ ස්තූපයැයි මෙය රහතන් වහන්සේගේ ස්තූ®පය යැයි සහ මෙය ධාර්මිෂ්ට චක්‍රවර්තී රජතුමකුගේ ස්තූ®ප යැයි යනුවෙනි. මෙසේ සිය හදවත් වල ජනිතවන ශ්‍රද්ධාව ඔවුහු මරණයට පත්වූ පසු ඔවුනට සුගතිගාමීව උපත ලැබීමට හේතු සාධක වන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ සේක.

(දීඝනිකාය 16, 17 අංගුත්තර නිකාය 11, 129, 30 සංයුක්ත නිකාය 6.15 විනය චූලවග්ග 11.1)

තවද භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා යම් සැදැහැවතෙකු භාග්‍යවතුන් වහන්සේ උපන් ස්ථානය (ලුම්බිනිය, නේපාලයේ) බුද්ධත්වයට පත් වූ ස්ථානය (බුද්ධ ගයාව බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කය) පළමු ධර්ම දේශනාව සිදු කළ ස්ථානය (උත්තර් ප්‍රදේශ බරණැස වාරානසී, ඉසිපතන මිගදාය,) සහ මහාපරි නිර්වාණයට පත් වූ ස්ථානය (උත්තර ප්‍රාදේශ කාසියා නොහොත් කුසිනාරාව නොහොත් කුෂිනගර්) වැද පුදාගෙන ඇත්නම්, එම සැදැහැවතා හෝ සැදැහැවතියට හෝ සිය මරණ මොහොතේදී පවා එම ස්ථාන සිහියට නැගී එමගින් චිත්ත පී‍්‍රතියට පත්ව සුගතියක නැවත උපත ලබන්නේ යැයි ද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එබැවින් මෙම ස්ථාන සතර වන්දනා මාන කර ගැනීම සිය ජීවිතයේ දී එක් වරක් හෝ සිදු කිරීම බෞද්ධයකුට සුගතිය සලසන පුණ්‍යක්‍රියාවකි. ආනන්ද හිමියනට කුසිනාරාවේ දී භාග්‍යවතුන් වහන්සේ තමන් මහා පරිනිර්වාණයට පත්වන බැව් එම අන්තිම පියවි ගමනේදී වදාළ අවස්ථාවේ, ආනන්ද හිමියන් “භාග්‍යවතුන් වහන්ස කුසිනාරාව වූ මෙම ශාඛා නගරයේ පරිනිර්වාණයට පත් නොවන්න. වෙනත් අතිවිශාල හා සුප්‍රසිද්ධ නගර ඇත. චම්පා, රජගහ ශ්‍රාවස්ති සාකේත, කෝසම්බි සහ බරණැස වැනි නගරයක මහා පරිනිර්වාණයට පත්වනු මැනවි.

එහි ප්‍රධානතම නායක කාරකයන්, ක්‍ෂත්‍රියන්, බ්‍රාහ්මණයන්, ගෘහපතියන් ඇත. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සැදී පැහැදී ඇති එම අය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ධාතූ®න් වහන්සේලාට වන්දනාමාන කරනු ඇතැයි පවසන ලදී. එවිට භාග්‍යවතුන් වහන්සේ ආනන්ද එසේ නොපවසන්න.

මෙය අඳුරු නගරයක් ශාඛා නගරයක් වුවද එක් සමයක මෙහි මහා සුදස්සන නම් රජෙකු විය. මෙහි දැහැමි පාලනචක්‍රය ප්‍රාර්තනය කරනු චක්‍රවර්ති රජ කෙනෙකුද විය. ඔහු සතර දෙස යටපත් කරවිය. දේශ සීමා පුළුල් කර ගන්නා ලදී. ඔහුට වස්තු සතක් ද තිබුණි. ඔහුගේ අගනුවර කුසිනාරාව විය. එකල එහි නාමය කුසාවතිය යි . එහි දිග පළල නැගෙනහිරට බටහිරට උතුරට දකුණට යොදුන් සතකි.

කුසාවතිය බලවත් විය. සශ්‍රීකය. ජනාකීර්ණය. ධනවත් ය. දෙවිවරුන්ගේ අගනුවර ආලක මන්දාව මෙන් කුසාවතී අගනුවර කවර දිනයකවත් ශබ්ද දහයකින් තොර නොවීය. එම ශබ්ද නම් ඇතුන්ගේ අශ්වයන්ගේ ගමන් රිය වල, බෙරවල, තබ්ලා වල, වීනාවල ගායනා වල කායිතාලම් වල, සක්හඬවල සහ කනු, බොණු රස බලනු දසවැනි ශබ්දය ලෙස කුසිනාරාවේ අතීත ශ්‍රී විභූතිය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.