Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර - පොළොන්නරු යුගවල බිතු සිතුවම් කලාව

දඹදිව

චිත්‍ර කලාව පිළිබඳ යමක් සඳහන් කළ හැක්කේ බෞද්ධ සාහිත්‍යය ඇසුරෙනි. ඒ අනුව බුදු රජාණන් වහන්සේ ගේ කාලයේ දී භික්‍ෂුන් වහන්සේ ද චිත්‍ර කලාව කෙරෙහි අවධානය යොමු කළහ. භික්‍ෂු ආරාමයන් හි බිත්ති සහ බිම විවිධ වර්ණ නොයොදා එහි සුදු පාට සහ ගුරු පාට ආලේප කිරීමට බුදු රජාණන් වහන්සේ අනු දැන වදාළ බබව චුල්ල වග්ගයේ සේනාසනක්ඛන්ධ යේ දැක්වේ. බිම්සර රජතුමා ක්‍රි. පූ. 552 – 490 සිය මිතුරෙකුට බුදු සිරිත සිතුවම් පටයකට නංවා යැවූ බව ථෙරගාථා අටුවාවේ සඳහන් වෙයි. කුස රජතුමා කලා කරුවන් පුදුම කරවන කාන්තා රුවක් රනින් නිම කළ ආකාරය කුස ජාතකයේ දැක්වෙයි. මහෞෂධ පණ්ඩිතයෝ අලංකාර බිතු සිතුවම් වලින් යුක්ත වූ උමගක් කළ බව උම්මග්ග ජාතකයේ කියැවේ.
“තවද ඒ උමග දෙපාර්ශ්වයෙහි දක්‍ෂවූ චිත්‍ර කාරයන් ලවා අති මනෝහර වූ සිත්තම් කරවන ලද්දේ ය.”

උම්මග්ග ජාතකය 157 පිටුව

රාජකීය පණ්ඩිත ගිරිදර සුමන ජෝති ස්ථවිර බී. ඒ. ගෞරව.
ඉන්දික මුද්‍රණාලය
ඩීන්ස් පාර කොළඹ 10
1978.12.25

ලක්දිව

ලක්දිව චිත්‍ර කලාවේ ඉතිහාසය ද ඉතා ඈතට දිවයන්නකි. එහි ආරම්භය කොතැන දැ’යි අපට කිව නොහැක. ඈත අතීතයේ ආදි වාසීන් විසින් ගල් ගුහාවල නොයෙක් චිත්‍ර ඇඳ තිබේ’ අප ගේ දේශීය චිත්‍ර කලාවක් අතීතයේ තිබෙන්නට ඇත. ලක්දිව බලි ඇඳුරන්ගේ චිත්‍ර කලාව අපේ පැරැණි දේශීය චිත්‍ර කලාවෙන් පැවත එන්න කැ’යි අපට සිතන්නට පුළුවන. ලක්දිව චිත්‍ර කලාවේ පැහැදිලි ආරම්භයක් අපට පෙනෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙ රටට වැඩම කිරීමෙන් පසුවය. පොදු ජනතාවට බුද්ධ චරිතය සහ ජාතක කතා ඉගැන්වීමේ මාධ්‍යයක් වශයෙන් බෞද්ධ චිත්‍ර කලාව විකාශනය විය.

අනුරාධපුර යුගය

අනුරාධපුර යුගයේ මුල් කාලයේ දී විහාරාරාම ආදියෙහි චිත්‍ර ඇඳ ඇත. නමුත් ඒ පිළිබඳව සාක්‍ෂි සොයා ගැනීම අපහසු ය. ථුපාරාමයට නැගෙනහිරින් චිත්‍ර ශාලාව නම් ගොඩනැගිල්ලක් විය. සංඝමිත්තා තෙරණිය ආදාහනය කරන ලද්දේ ඒ සමීපයෙහි ය.

“කුළු ගෙයෙහි නගන ලද තෙරණි සිරුර සත් දවසක් ඇවෑමෙන් නුවරින් පිටත් කොට ථූපාරාමයට නැගෙනහිරින් චිත්‍ර ශාලා සමීපයෙහි මහා බොධි උපඞශ්‍රයෙහි තෙරණි විසු තැන ගිනි කිස කරවි”

මහා වංශය 20 පරිච්ඡේදය 86 පිටුව
හික්කඩුවේ සුමංගල හිමි 4 වන මුද්‍රණය
රත්නාකර පොත් සමාගම

කොළඹ - 1946

ලෝවා මහා පායේ සැලැස්ම භරණී දෙව්දුවගේ විමානය හිඳැගුලෙන් වස්ත්‍රයක් ඇඳ ගෙන දුටුගැමුණු රජතුමාට ඉදිරිපත් කරන ලද්දේ රහතන් වහන්සේ නමකි.

“ඒ ස්ථවිරයෝ තුමූ දෙව්ලොවට වඩනෝ ඒ පහය දැක දෑහිඟුලෙන් වස්ත්‍රයෙක්හි ඒ විමානාකාරය සිතියම් කොට ගෙන එතැනින් නැවතී ආගමනය කොට වස්ත්‍රය සංඝයාට දැක්වූහ. සංඝ තෙම ඒ වස්ත්‍රය රැගෙන රජු කරා යැවූ සේක. ඒ දැක සතුටු සිත් ඇත්තාවූ රජතෙම උතුම් වූ ආරාමයට අවුත් ඒ සිතියම් ආකාරයට උතුම් වූ ලෝහ ප්‍රාසාදය කරවූයේ ය.”

මහා වංශය 17 පරිච්ඡේදය 111 පිටුව.

මෙම ස්ථවිරයන් වහන්සේ චිත්‍ර කලාවට දක්‍ෂ වූ කෙනෙක් බව මෙයින් පැහැදිලි වේ.

පස්වන සියවසේ දී බුද්ධඝොෂ හිමියන් විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ගයෙහි කරණ්ඩක ලෙනෙහි සත් බුදුවරයන්ගේ අභිනිෂ්ක්‍රමණ චිත්‍රයට නගා තිබූ බව සඳහන් වෙයි.

“කුණ්ඩක ලෙණෙ කිර සත්තන්නං බුද්ධානං -
අභිනික්ඛමන චිත්ත කම්මං මනොරමා අහොසි”
(විසුද්ධි මග්ග - සීල නිද්දෙස)

මෙම තරඬිගල දකුණු පළාතේ අම්බලන්තොට තරඹගල නම් ස්ථානයයි. මේ තරඹලෙන ගුහාවේ දුඹුරු පාට ඉතා කුඩා සිතියම් පැල්ලමක් දක්නට ඇත. ක්‍රි. ව. 2 සියවසට අයත් මෙය මෙරට මුල් යුගයේ චිත්‍ර පිළිබඳ සාක්‍ෂියක් හැටියට සැලකීමට පුළුවන.

සීගිරිය

අනුරාධපුර යුගයේ විශිෂ්ට චිත්‍ර දක්නට ලැබෙන්නේ සීගිරි ලෙන් වලය. 1 වන කාශ්‍යප රජතුමා (ක්‍රි. ව. 473 – 491) තම වාස භවනය කරගත් සීගිරි පර්වතයේ බටහිර පැත්තේ ගුහාවල මෙම චිත්‍ර දකින්නට ඇත. මෙහි වැඩි වශයෙන් දක්නට ඇත්තේ කාන්තා චිත්‍රය. මේවා ලක්දිව පැරණිම චිත්‍ර ලෙස සැලකේ. කාන්තාවන්ගේ උඩුකය පමණක් නිරූපණය කර ඇත.

මෙම චිත්‍රවලින් දැක්වෙන්නේ කාශ්‍යප රජතුමාගේ බිසෝවරුන් සහ සේවිකාවන් අසල ඇති පිදුරංගල විහාරයට වන්දනාවේ යන බව බෙල් මහතා කියයි. ආනන්ද කුමාරස්වාමි, කොඩ්රින්ටන් දක්වා ඇත්තේ මේ අය අප්සරාවන් බවයි.

පරණවිතාන මහතා මේ විදුලි කුමරියන් සහ වලා කුමරියන් බව ප්‍රකාශ කරයි. ගොවිතැන සඳහා අවශ්‍ය වැස්ස සහ විදුලිය දේවත්වයෙන් පුදන ලද බව එතුමාගේ අදහසයි. මෙම චිත්‍ර ඉන්දියාවේ අජන්තා ලෙන් චිත්‍ර ගුරු කොට ගෙන ඇති බව සමහරු ප්‍රකාශ කරති. දැනට මෙහි චිත්‍ර විසි හතරක් පමණ විද්‍යාමානය. ආරම්භයේ දී මෙහි චිත්‍ර පන්සිය ගණනක් තිබුණ බව කැටපත් පවුරේ කුරුටු ගී වලින් පැහැදිලි වේ. කාන්තාවන් ගේ හිස, කන්, අත්, ගෙල අලංකාර ආභරණවලින් සරසා ඇත. මෙම චිත්‍ර ඇඳීම සඳහා ගල් තලය මැටි, කිරි මැටි, දහයියා, කොහු බත් යනාදිය උපයෝගී කර ගෙන ඇත. ඒ මත සුදු හුණු ගා පිරිමැද රතු පැහැයෙන් ආකෘතිය සකස් කර තිබේ. චිත්‍ර වර්ණ සඳහා කහ, රතු සහ කොල වර්ණ යොදා ගෙන ඇත.

හිඳගල

මහනුවරට සමීප හිඳගල විහාරයේ සීගිරි සම්ප්‍රදායට අයත් චිත්‍ර දකින්නට ලැබේ. මේවා ක්‍රි. ව. හත්වන සිය වසට අයත් ය. මෙහි ඇති මිනිස් රූප විවිධ ඉරියව්වලින් දක්වා තිබේ. සිතුවම් චිත්‍ර රේඛා ප්‍රාණවත් ය. ඉන්ද්‍රශාල ගුහාවේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටි අවස්ථාවේ උන්වහන්සේ හමුවීමට සක් දෙවි රජුගේ පැමිණීම එම සිතුවම් වලින් දැක්වෙයි.

මිහින්තලය

මිහින්තලයේ දාගැබ ධාතු ගර්භයකින් සිතුවමක් හමුවී ඇත. එහි දැක්වෙන්නේ වළාකුලකින් මතුවන දේවතා රූපයකි. මෙය සීගිරි සිතුවම් කලාවේ ලක්‍ෂණ දක්වයි. මෙම සිතුවමේ දක්නට ඇත්තේ ආකෘති රේඛා පමණි.

රුවන්වැලි සෑය

රුවන්වැලි සෑයේ ධාතු ගර්භය තුළ බිත්තිවල බෝසත් චරිතයේ විවිධ අවස්ථා චිත්‍රයට නගා ඇති බව මහා වංශයේ සඳහන්ව ඇත. මෙහි නැඟෙනහිර වාහල්කඩ ලිය වැලක මැද පිපුණු මලක් මත හිඳ සිටින මිනිස් මුහුණකින් යුත් කුරුළු රූපයක සටහනක් ඇත. තවද නලාවක් ගෙන සිටින වාමන රූපයක සටහනක් ද තවමත් නො මැකී ඇත. මෙය අටවන සියවසට අයත් යැයි සැලකේ.

පොළොන්නරු යුගය

මේ යුගයට අයත් සිතුවම් නොයෙක් ස්ථානවල ව්‍යාප්තව තිබුණි. බෞද්ධ ෂහාරවල ඇතුළත මෙන් ම පිටත ද සිතුවම් වලින් සහ වර්ණ මෝස්තරවලින් යුක්ත විය.

මහියංගනය

මහියංගන දාගැබෙන් සොයා ගත් චිත්‍ර පොළොන්නරු යුගයට අයත් පැරණිම සිතුවම් ලෙස සැලකිය හැකිය. 1 වන විජයබාහු (ක්‍රි. ව. 1055 – 1110) රජතුමා ගේ කාලයට අයත් මෙහි රේඛාවලින් රූප ඇඳ තිබේ. පසුව ගැළපෙන වර්ණ යොදා චිත්‍ර නිමකර ඇත. මෙම චිත්‍ර කලාව අනුරාධපුර යුගයෙන් පොළොන්නරු යුගයට පැමිණ ඇති බව තහවුරු කරයි. මෙම චිත්‍රයේ දැක්වෙන්නේ මාර පරාජයයි. බුදුරජාණන් වහන්සේ බෝ රුක මුල වැඩ සිටිති. දෙව් බඹුන් උන් වහන්සේ පිරිවරා සිටිති. මෙම දෙව්වරුන් අතරින් ශිව හා විෂ්ණු ගේ රූප පැහැදිලි ව ඇත.

බෝ රුකෙහි බෝපත් ද වෙන් වෙන්ව පැහැදිලිව පෙනෙයි. දේවරූපවල අත් පා ආදිය රේඛා මගින් වටකුරුව දක්වා ඇත. රතු කහ කළු සහ සුදු වර්ණ වලින් යුක්තය.

දිඹුලාගල

උදුම්බර ගිරි විහාරය නමින් හැඳින්වෙන මෙහි මාර වීදිය නමැති ස්ථානයේ ලෙන්වල ඇද තිබුණ චිත්‍ර අද විනාශයට පත්ව ඇත. සස ජාතකය, දෙවිදත් තෙරුන් හා ඇතෙකු පිළිබඳ සිද්ධියකුත් දැක්වෙනු චිත්‍ර තිබූ බව පැහැදිලි ය. මෙම චිත්‍ර දැන් මැකී ගොස් ඇත.

පුල්ලිගොඩ

මෙහි පර්වත කුහරයක් තුළ රැස් වළලු සහිතව වාඩි වී සිටින පස් දෙනෙකු ගේ සිතුවමක් දක්නට ඇත. මේ බුදුරජාණන් වහන්සේ වඳින දේව පිරිසක් බව පැහැදිලිය.

ජේතවනාරාමය

ජාතක කතා සහ බුදු සිරිත හා සම්බන්ධ සිතුවම් මෙහි තිබේ. මෙම චිත්‍ර කලාව සීගිරි හා අජන්තා ආභාෂය ලබා ඇත. අත්, මුහුණ සහ ඇස් අලංකාරව දැක්වීමට මෙම චිත්‍ර ශිල්පීහු උනන්දු වූහ.

ගල් විහාරය

උත්තරාරාමය නමින් ද හැඳින්වෙන මෙහි ඇති පිළිමයෙහි පැත්තක මහලු මිනිසෙකු ගේ රූපයක් සිතුවම් කොට ඇත. ඔහු ගේ කෙස් සුදුය. ඇස් පියවී ගොස්ය. භාවනා යෝගීව සිටී. නෙළුම් මලක් අතින් ගෙන ඇත. සැදැහැවතෙකි.

ලංකාතිලක විහාරය

මෙහි පිට බිත්තියේත් ආරුක්කුවල යටි පැත්තේ සිතුවම් ඇත. ඒ සිතුවම්වල කැබලි කැඩී ගොස් ය.

තිවංක පිළිම ගෙය

මහා පරාක්‍රම බාහු රජතුමා (ක්‍රි. ව. 1153 – 1186) විසින් තනවන ලද තිවංක පිළිමයෙහි චිත්‍ර රාශියක් දක්නට ඇත. මෙහි බිත්ති සහ වියන මුල් අවස්ථාවේ දී නොයෙක් චිත්‍රවලින් සරසා තිබුණි. දැන් දක්නට ලැබෙන චිත්‍ර ඇත්තේ බිත්තිවල ඇතුළු පැත්තේ් කරන ලද කපරාරු මතය. මෙහි එක් සිතුවම් තට්ටුවක් මත පසුව තවත් සිතුවම් තට්ටුවක් අඳින ලදී. අන්තරාලය ජාතක කතා දැක්වෙන චිත්‍ර වලින් සරසා තිබේ. මෛත්‍රී බල, විධුර, ගුත්තිල සාම යන ජාතක මෙහි දැක්වෙයි. රජ, ඇමති, කුමාර, ඍෂි යන අයගේ රූප සම්මත සම්ප්‍රදාය අනුගමනය කරමින් දක්වා ඇත. කතා නායකයාගේ රූපය කිහිව වාරයක් දක්වා තිබේ. ගන්ධ කුටියේ සිතුවම් වලින් බුදු රජාණන් වහන්සේ තුසිත දෙව් ලොවට වැඩම කිරීම, විශාලා නුවර ආරක්‍ෂාවට නැවකින් වැඩම කිරීම යන චිත්‍ර පැහැදිලිව හඳුනා ගැනීමට පුළුවන. ගර්භ ගෘහයට සහ අන්තරාලය අතර කොටසේ විශාල දෙව් පිරිසක් දැක්වෙන චිත්‍රයකි. තුසිත දෙව්ලොව සිටින බෝසතාණන් වහන්සේට බුදුවීම සඳහා මනුලොව වැඩීමට දෙවියන් ආරාධනා කරන ආකාරය මෙයින් දැක්වේ. අතකින් පුෂ්පයක් රැගෙන සිටින බෝසතාණන් වහන්සේ පැහැදිලිව හඳුනා ගත හැක. මෙම බෝසත් රුව අජන්තා ගුහාවෙහි ඇති පද්ම පාණි බෝසත් රුවට සමානය. ඒ ඒ පුද්ගලයන් ගේ ඇඳුම් පැළඳුම්, ආභරණ මනාව දක්වා ඇත. හිස් පළඳනා අලංකාරය; සියුම් මෝස්තරවලින් යුක්තය. මුහුණු උදාරය. අජන්තා සම්ප්‍රදායේ ලක්‍ෂණ අවසන් වරට දක්නට ඇත්තේ පොළොන්නරුවෙහි ය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.