Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාෂාව-සාහිත්‍යය හා සාහිත්‍ය නිර්මාණ

සාහිත්‍ය නිර්මාණය වූ කලි භාෂා ප්‍රයෝගයන්ගේ සූක්ෂ්මාත්ම භාවයේ හාස්කමකි යි සිතේ. මේ අනුව සිතතොත්, සාහිත්‍ය නිර්මාණය බැරෑරුම් වගකීමක් සිතෙහි දරාගෙන කළ යුත්තක් බව කිව යුතු ය. එසේ කියන්නට සිදුව ඇත්තේ භාෂාවෙන් තොර සාහිත්‍ය නිර්මාණයක් බලාපොරොත්තු නොවිය හැකි හෙයිනි. සාහිත්‍ය නිර්මාණකරුවා භාෂා ප්‍රයෝගයන්හි හසළයකු විය යුතු ය. ඔහු තුළ තිබිය යුතු ඒ හසළත්වය හෙවත් ප්‍රාගුණ්‍යය විසින් නිර්මාණයෙහි සූක්‍ෂ්ත්මාත්ම භාවයක් ජනිත වෙයි. සාහිත්‍ය නිර්මාණය හාස්කමක් වන්නේ එසේ යැයි තර්ක කළ හැකි ය.

මෙතෙක් ලොව කවර බසකින් හෝ බිහිවී ඇති සාහිත්‍ය නිර්මාණ ශ්‍රේෂ්ඨත්වයෙන් නැඟී සිටින්නේ, අඩු වැඩි විසින් වුවත්, එකී ලක්‍ෂණයන්ගෙන් පරිපෝෂිත වූ අනුපාතයෙන් බව පෙනේ. කවර නිර්මාණයක වූවත් ශ්‍රේෂ්ඨත්වය තීරණය කරනු ලබන්නේ කාලය විසින් බවට සාක්ෂ්‍ය එළවිය හැකි ය. එසේ ම කාලය විසින් නිසරු නිර්මාණයන්ගේ නිරායුෂත්වය ද ප්‍රකට කරනු ඇත. සාහිත්‍ය නිර්මාණයක් බිහි වන්නේ ප්‍රතිභා, ව්‍යුත්පත්ති හා සත්තාභ්‍යාසයේ එකමිතියෙනි යි කියනු ලැබේ. එහෙත් ඒවා කවර අනුසාතයෙන් තිබිය යුතු දැයි කිරා මැන දැක්විය නොහැකි ය. ප්‍රතිභා යනු අපූර්ව වස්තු නිර්මාණාත්මක ප්‍රඥා හෙවත් වටහා ගැනීමේ ශක්තිය යැයි කියනු ලැබේ. ව්‍යුත්පත්ති යනු ප්‍රකාශන ශක්තියයි. සත්තාභ්‍යාසය යනු ප්‍රතිභා හා ව්‍යුක්පත්ති දෙකෙහි ශක්තිය නිරන්තරයෙන් ප්‍රායෝගිකත්වයට පත් කිරීමේ ශක්තිය හෙවත් ප්‍රාගුණ්‍ය යි.

මේ අර්ථ කථනය අනුව ප්‍රතිභා යනු මනෝමූලික බුද්ධිමය කාර්යාවලියක් බව පෙනේ. ව්‍යුත්පත්ති යනු ප්‍රතිභාවෙන් වියුක්ත නොකළ හැකි භාෂාත්මක කෞශල්‍යයයි. සතත අභ්‍යාසය හෙවත් සත්තාභ්‍යාසය යනු නිරන්තරයෙන් අත් දැකීමෙන්, ප්‍රායෝගික අත් හදා බැලීමට භාවිත කරන ලද කෞශල්‍යය යි. මේ කාර්යාවලිය කෙතරම් වැදගත් ද, බැරෑරුම් ද යත්, ඒ නිසා ම කවර දාකවත් පරිසමාප්ත නිර්මාණයක් බිහි නොවනු ඇත. එබැවින් සාහිත්‍ය නිර්මාණකරණයෙහිලා කිසිවකු පසුබට විය යුතු නොවේ. ඒ තරගයේ ජයග්‍රාහකයකු වන්නට කිසිවකුට නොහැකි හෙයිනි.

මානව පරිණාමයත් සමඟ සහ සම්බන්ධතාවෙන්, භාෂා පරිණාමය ඔස්සේ මානවයාට භාෂාවක් උරුමවීම පිළිබඳ කතා පුවත සංකීර්ණ සංසිද්ධියක් සේ ම සිත් ගන්නා සුළු වූවක් ද වෙයි. ඒඅතර තවත් කිව යුත්තක් ද ඇත. එනම්, මානව පරිණාමයේ නිමාවක් නොදැකිය හැකි අතර භාෂා පරිණාමයේ ද සීමාවක් නොදැකිය හැකි බවයි. එබැවින් සාහිත්‍ය නිර්මාණයේ ද නිමාවක් නොදැකිය හැකි ය.

මෙකී දෑ අනුව සාහිත්‍ය නිර්මාණය කෙතරම් වගකීම් සහිත වූවක් දැයි තේරුම් ගැනීම වැදගත් වනු ඇත. සාහිත්‍ය නිර්මාණ කෘතියක් අප අතට පත් වන්නේ භාෂාත්මක ප්‍රකාශනයක් ලෙසිනි. ඒ නිසා එහිලා ප්‍රකාශිත භාෂාවේ වැදගත්කම මිල කළ නොහැක්කකි. ඇයි ද යත්, භාෂාවෙන් තොරව සාහිත්‍ය නිර්මාණයක් බිහි විය නොහැකි හෙයිනි. සාහිත්‍ය නිර්මාණයේ දී නිර්මාණකරුවා සිය නිර්මාණය සඳහා කිසියම් වස්තු විෂයයක් හෙවත් අන්තර්ගතයක් ඉලක්ක කර ගනී. එහි විකාශනයේ දී ඔහු යොදා ගන්නා භාෂාව ඇසුරින් ඔහුගේ භාෂා නෛපුණ්‍යය කෙබඳු දැයි කියවන්නාට තේරුම් යෑම නොවැළැක්විය හැකි ය. ප්‍රතිභා සම්පන්න ලේඛකයා වුවත් සිය පරමාර්ථ සාධනය පිණිස වූ භාෂා නිපුණත්වයෙන් තොර වූයේ නම් සාර්ථක නිර්මාණයක් බිහි නොවනු ඇත.

එක් හැටියකින් කියතොත්, ප්‍රතිභා සම්පන්න ලේඛකයා තම සහෝදර සමාජයට පෙරගමන් කරුවෙකි. ඔහු මානව හිතවාදී පණිවිඩ කරුවෙකි. ඔහු මනුෂ්‍යත්වය යනු කුමක් දැයි තේරුම් ගත හැක්කකු විය යුතු ය. තමාට සේම මිනිස් හදවතක් හා මනසක් ඇති මෙරමාගේ ද හද ගැස්මේත්, මනස් චලනයේත් රාවයත්, රිද්මයත් තමාගේ හදවතේ හා මනසේ ගැස්මේ රාවයත්, රිද්මයත් සමඟ බද්ධ කර ගත්තකු විය යුතු ය.

හුදෙක් පසිඳුරන් වෙත විචිත්‍ර අරමුණු එළවා, එමඟින් රසිකයාගේ මනස අවුල් ජාලයක් බවට පත් කිරීම සදාචාර සම්පන්න හික්මීමක් ලද නිර්මාණ කරුවකුගේ යුතුකම නොවේ. එසේ කරන්නේ නම් හෙතෙම නිර්මාණ කරුවකුගේ වෙස් ගත් සමාජ ද්‍රෝහියෙකි. උන්මත්තකයෙකි. නියත වශයෙන් ම එවන් ද්‍රෝහිකමක් හෝ මානව හිතවාදී සදුපදේශයක් හෝ සාහිත්‍යකරුවා සමාජයට සන්නිවේදනය කරන්නේ තමාගේ භාෂා කෞශල්‍යයෙන් බව පෙනේ.

අපට උරුම සම්භාව්‍ය සාහිත්‍ය දායාදයක් ඇත. එයට දිගු කාලීන ඉතිහාසයක් වෙයි. එහි අන්තරගතය බුදුදහමයි. අද තෙක් අපට උරුම වී ඇති සිංහල සාහිත්‍ය විකාශනය වූයේ බුදුදහමේ අන්තර්ගතය හෙවත් බුද්ධ දේශනාව වස්තු කරගෙන ය. මිහිඳු මා හිමියන් මෙරට හඳුන්වා දුන් බුදුදහම තිබුණේ පාලි භාෂාවෙනි. එහෙත් එයට පෙර ශ්‍රී ලංකාවත්, භාරතයත් අතර ඉතා කිට්ටු පදනමින් සබඳකම් පැවති හෙයින්, ඒ වන විටත් මෙරට දැන උගත් ජනතාව අතර පාලි භාෂාව ගැන වැටහිමක් තිබුණු බවට සැකයක් නැත. එබැවින් එදා හෙළ පාලි ද්විභාෂික උගතුන් සිටි බව නිසැක ය. මෙවන් වටපිටාවක් තුළ, පාලි භාෂාවට පාලි භාෂාවෙන් අටුවා කිරිම, 2. පාලි භාෂාවට හෙළ බසින් අටුවා කිරීම, 3. හෙළ බසින් පාලියෙන් අටුවා කිරීම, 4. හෙළ බසින් හෙළ බසට අටුවා කිරිම, 5. හෙළ බසින් පාලියට පෙරළීම, 6. පාලියෙන් හෙළ බසට පෙරළීම වැනි චක්‍රාකාර කාර්යාවලියක් පැවති බවට උපකල්පනය කළ හැකි ය. මේ කාර්යාවලිය තුළ, පාලි භාෂාව පදනම් කර ගෙන සාහිත්‍ය නිර්මාණයට සුදුසු භාෂාවක් සැකසුණු බව පෙනේ. නොයෙක් හෙළ හා පාලි අටුවා ගැන විමසිලිමත් වීමෙන් මේ කාර්යාවලිය තේරුම් ගත හැකි ය. පසු කල්හි සතු බසෙහි බලපෑමෙන් මෙය තවත් සංකීර්ණ වූ බවට සැක නැත. ඉදිරියට මේ කාර්යාවලිය තව තවත් සංකීර්ණ වෙමින් පෙරගමන් කරුවකු බවට පත්ව ඇත්තා සේ පෙනේ.

මෙතෙක් කියවුණු දැයින් පැහැදිලි වන්නේ අපේ සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයක් වන බවයි. එහි අන්තර්ගතය බෞද්ධ දර්ශනයයි. බුද්ධ දේශනාවයි. අපේ බස විකාශනය වී ඇත්තේ බුද්ධ භාෂිතය ඔස්සේ ය.

බුද්ධ භාෂිතයෙන් යථාර්ථය විවරණය කැරේ. ලෞකිකත්වය තුළ විමුක්ති මාර්ගය හෙළි කරනු ලැබේ. විමුක්ති මාර්ගය යනු සදාචාරයයි. එය ත්‍රිශික්ෂා පදනම කොට පවතී. මෙකී සංකල්ප නිරවුල් සන්නිවේදනය කළ හැකි බසක් අප සතුව ඇත. භාෂා ඉතිහාසයේ නොයෙකුත් කඩඉම් පසු කොට අද තත්ත්වයට පත්ව ඇති අපේ බස පිළිබඳ ව්‍යක්ත වැටහීමෙන් තොරව නිර්මාණ කරණයෙහි යෙදීමෙන් පලවත් කෘතියක් බිහි කර ගත හැකි වෙති යි සිතීම මුළාවකි. අඳුරෙහි අතපතගෑමකි. මේ සියලු තතු මෙසේව තිබියදී හැම අතින් ම ඇසෙන හඬක් ඇත. එනම්, බස පිරිහී ඇත. මෙය දැඩි ලෙස පාසල් දරුවන් කෙරෙහි ද බලපා තිබේ. ඔවුන්ගේ සාහිත්‍ය දැනුම හා රසඥතාව පිරිහී ගොසිනි.

අවශ්‍ය භාෂා දැනුමින් සන්නද්ධ ගුරුවරයා භාෂාව යනු කුමක් හඳුන්වා දීම භාෂා ගුරුවරයාගේ වගකීමකි. වෘත්තීය සදාචාරයකි.

එසේ ම භාෂාව විද්‍යාත්මක හා තර්කානුකූල චින්තනයේ ප්‍රකාශන මාධ්‍යයයි. සත්‍ය ගවේෂණයේ සන්නිවේදන මාර්ගයයි. සාහිත්‍යය යනු භාෂාත්මක කාර්යාවලියේ කලාත්මක අග්‍රඵලය යි. “වාක්‍යං රසාත්මකං කාව්‍යං” යන ආප්තයෙහි ඉහත දැක්වුණු අදහස ගැබ්වී ඇතැයි හැඟේ. “රසාත්මක වූ වාක්‍යය කාව්‍යයි” යන්නෙහි වාක්‍යය යනු භාෂාවයි. රසාත්මක වූ වාක්‍යය යනු සියලු අලංකාරයන්ගෙන් පරිපූර්ණ භාෂාවයි. කාව්‍යය යනු එයින් උපන් සාහිත්‍ය යි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.