Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පයාගල – මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය

සටහන හා ඡායාරූප සරත් සිරිවර්ධන කළුතර දිස්ත්‍රික් සංචාරක

කළුතර දිස්ත්‍රික්කයේ සුප්‍රකට විහාරස්ථානයක් වන පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය වසර 200 කට වඩා ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශවාසී ගිහි පැවිදි සියලු දෙනාගේ ප්‍රසාදයට පත් ආගමික සිද්ධස්ථානයකි. වන්දනීය ශ්‍රේෂ්ඨ සඟ පරපුරක් වැඩසිටි ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානය මේ වන විට පරිවේණස්ථානයක් බවට පත්ව ඇත. පුෂ්පාරාම විහාරස්ථ සිරි නන්ද ත්‍රිපිටක ධර්මායතන මහා පිරිවෙනේ 75 නමකට අධික පැවිදි සිසු පිරිසක් අධ්‍යාපන කටයුතු වල නිරත වෙති. ප්‍රදේශය පුරා සිදුවන කුදු මහත් ආගමික කටයුතුවලට නිරතුරුව මහා සංඝරත්නය සැපයෙනුයේ මෙම පරිවේණස්ථානයෙනි.



විහාරාධිපති මලේගොඩ නන්ද නා හිමි

වත්මන් විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක, සිරි නන්ද ත්‍රිපිටක ධර්මායතන මහා පිරිවනේ කෘත්‍යාධිකාරී ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී පුෂ්ප පාද මලේගොඩ නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම මත විහාරස්ථානය මේ වන විට සකල විධ විහාරාංගන්යන්ගෙන් සමන්විතව, සමස්ත පළාතටම ආලෝකයක්ව පවතී. මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානය කේන්ද්‍රස්ථානය කරගෙන, පූජ්‍යපාද මලේගොඩ නන්ද හිමියෝ සමස්ත රටපුරාම සිය ආගමික සාමාජික සේවාව පුළුල් කොට ඇත. දිවයිනේ නන්දෙසින් කුල දරුවන් සොයාගෙන ප්‍රවෘජ්‍යා භූමියට පත්කොට එමැ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේට අවශ්‍ය නිසි අධ්‍යාපනය ලබාදීමට ගනු ලබන ප්‍රයත්නයට ගිහි පැවිදි සැමගේ ආශිර්වාදය නොමඳව ලැබී ඇත.

එමැ භික්‍ෂූන් වහන්සේ දෛනිකව පිඬු සිඟා වැඩීම සෑම සෙනසුරාදා දිනකම නාගොඩ මහා රෝහලේ නේවාසික රෝගීන් උදෙසා සෙත් පිරිත් දේශනා කිරීම ආදී වැඩසටහන් වලට යොමු කිරීම සැමදෙනාගේම ප්‍රසාදයට හේතු වී ඇත.

මීට අමතරව ශ්‍රී ඉන්දජෝති සාමණේර ආයතනය, ශ්‍රීමත් අනගාරික ධර්මපාල දහම් පාසල වැනි ආයතන ක්‍රියාත්මක වනුයේ ද මේ පූජනීය ස්ථානය පෙරටු කොට ය.

මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයෙන් සිදුවන සුවිශේෂී සේවා අතර සෑම වසරකම දිළිඳු පවුලක් උදෙසා නිවෙසක් ඉදිකරදීම සෑම පුරපසළොස්වක පොහොය දිනකම ප්‍රදේශයේ දිළිඳුතම 250 දෙනෙකුට අධික පිරිසකට රු 200/= ක බැගින් වූ මුදල් පරිත්‍යාග කිරීම, නිදහස් දිනය සමරන පෙබරවාරි 04 වන දින වාර්ෂිකව සේවාසික රෝගීන් උදෙසා ආහාරපාන හා අත්‍යවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ආදී වූ සේවාව න් කැපී පෙනේ.

එමෙන්ම ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන ප්‍රදේශයේ දහම්පාසල් ඇතුළු බෞද්ධ සංවිධානවල අභිවෘද්ධිය වෙනුවෙන් ද පුළුල් මෙහෙවරක් සිදුකරනු ලැබේ.

මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයට අනුබද්ධ තවත් විහාරස්ථාන කිහිපයක් පවතින අතර ඒ ආයතනවලට නිසි පුහුණුව ලත් දැන උගත් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා යොදවා එමැ ආයතනවල සංවර්ධන කටයුතු ද සිදු කිරීමේ වගකීම නන්ද නාහිමියන් භාරගෙන ඇත. විශේෂයෙන් මැ කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානය, බේගමුව ශ්‍රී නාගරුක්ඛාරාමය, කිරි ඇල්ල හිඳුරංගල ආරණ්‍ය සේනාසනය යන ස්ථානවල සංවර්ධන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

පිවිසුම් වාහල්කඩ දෙමහල් පිරිවෙන් ශාලාව  

ධර්ම මන්දිරය

 පිරිවෙනෙහි භික්‍ෂූන් වහන්සේ

 විහාර මැඳුරේ මූර්ති

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.