Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ප්‍රතිමා කලාව

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඳීමට පිදීමට යෝග්‍ය වස්තු සේ බුදුරදුන් විසින් ම පෙන්වා දුන් වස්තු නම් ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය හා උද්දේසිික චෛත්‍යයයි. එනම් බුදුරදුන් වෙනුවට තැනූ ප්‍රතිමාවයි. නැතහොත් සිතුවමට නැගූ බුද්ධ චිත්‍රයයි. බුදුරදුන්ගේ රුව ඒ අයුරින් නෙළීමට නොහැකි යැයි බුදුන් වහන්සේ වදාළ පුවතක් උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණත් අසු අනු ව්‍යඤංජන මෛත්‍රීය, කරුණාව ආදී අපමණ අධ්‍යාත්ම ගුණත් රාග, ද්වේශ, මෝහ ආදී ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත බව ආදී අසහාය ගුණත් ගැබ්කොට බුද්ධ ප්‍රතිමාවක් නෙළීමේ දුෂ්කරතාවන් බුද්ධ ප්‍රතිමාවක් නෙළීමේ ගෞරව සම්ප්‍රයුක්ත බියක් ආදී හේතු නිසා අසහාය, අසමසම, තෛ‍්‍රලොක්‍යාචාර්ය බුදුරදුන්ගේ ප්‍රතිමාවක් මනඞකල්පිතයක් වශයෙන් නිර්මාණය කිරීමට ඉපැරැණි කලාකරුවා උත්සුක නොවීය. එදාමතු නොව අදත් අනාගතයෙත් කිසිවකුට ඒ කාර්යය සර්ව සම්පූර්ණ ලෙස කළ නොහැකි ය. එහෙත් එදා කලාකරුවා බුදුරදුන් ඇගැයීමට බෝ රුක, විද්‍රරසුන, සිරිපතුල, ස්වස්තිකය ආදී සංකේත යොදාගත්තේ ය.

මේ අතර ගී‍්‍රකයෝ ඔවුන්ගේ ඇපලෝ නම් (සූර්ය) දේවතාවගේ ප්‍රතිරූපය නෙළා වැදුම් පිදුම් කිරීමට පුරුදුව සිටියහ. ක්‍රි.පූ. 4 වන සියවසේ ගී‍්‍රක අධිරාජයා වූ ඇලෙක්සැන්ඩර් රජු පෙරදිග ආක්‍රමණය කරමින් ඉන්දියාවේ වයඹ දෙස ඉන්දු නදිය තෙක් විශාල පෙදෙසක් අත්කරගෙන එම පෙදෙස්වල “ශත්‍රප” පිහිටුවා පාලකයන් පත්කොට එනම් ගී‍්‍රක ජනපද ඇතිකොට ඔහු ආපසු ගියේ ය. මේ අය නිසා ගී‍්‍රක සංස්කෘතික ලක්‍ෂණත් සිරිත් විරිත් ආදියත් පළමුවෙන් වයඹ ඉන්දියාවේත් පැතිර ගිය බව ඓතිහාසික සංසිද්ධියකි. මෙම විපර්යාසයේ ප්‍රතිඵලයක් වශයෙන් ගී‍්‍රක කලා ශිල්පවල ද ආභාෂය වැටිණි. ඒ අනුව ඉන්දියාවේ දී ගී‍්‍රක බෞද්ධයන් අතින් හෝ සංක්‍රමණික ඉන්දියානුවන් අතින් හෝ බුද්ධ ප්‍රතිමාව නෙළීම අරම්භ විනැයි සලකති. කෙසේ හෝ බුද්ධ ප්‍රතිමාව නෙළීම භාරතයේ ඇරඹුණේ ක්‍රි.පූ. පළමු සියවසේ හෝ ක්‍රි.ව. පළමු සියවසේ හෝ යයි ඉතිහාසඥයන්ගේ අදහසයි. මුලදී ඇපලෝ දේව ප්‍රතිමාව ආදර්ශයට ගත් භාරතීය කලකරුවා මහා පුරුෂ ලක්‍ෂණ ගැබ්කොට ඇපලෝ දේව රූපය වැනි වූ සුන්දර බුද්ධ ප්‍රතිමාව නෙලූ අතර ක්‍රමයෙන් නැගෙනහිර ඉන්දියාවේ ද මෙය ව්‍යාප්තවත්ම වෙනස් වෙවී ගොස් අධ්‍යාත්මික ගුණවලට ප්‍රමුඛත්වය දෙන ප්‍රතිමා නෙළීමට පුරුදු වූයැයි සලකති. සුප්‍රසිද්ධ ගන්ධාර ප්‍රතිමාව ධර්මචක්‍ර මුද්‍රාවෙන් නෙළන ලද තත්කාලීන උසස්ම ප්‍රතිමාවක් ලෙස සලකති.

බොහෝ දෙනාගේ පිළිගැනීම අනුව ලංකාවට ඉන්දියාවෙන් ආ බුද්ධ ප්‍රතිමා නෙළීමේ කලාව භාරත ශිල්පියාටත් වඩා ඉදිරියට ගොස් සම්පූර්ණයෙන් බුදුරදුන්ගේ පතරාගී බව, මහාකරුණාව, ආදී උත්තරීතර ආධ්‍යාත්ම ගුණ ගැබ්කොට ලාංකීය කලාකරුවා බුද්ධ ප්‍රතිමා නෙළා ඇතැයි කලා විශේෂඥයන්ගේ පිළිගැනීමයි. තොලුවිල බුදු පිළිමය, මහමෙවුනාවේ සමාධි බුදු පිළිමය ආදිය මෙයට නිදසුන් සේ දක්වති. ඉතිහාසකරුවන්ගේ පිළිගැනීම අනුව මෙසේ වූවත් අපේ මහාවංසය කියන පරිදි බුද්ධ ප්‍රතිමාව පළමුවෙන් ම නෙළා ඇත්තේ ලාංකීක කලාකරුවා ය. දේවානම්පියතිස්ස රජු දවස නෙළා තිබුණ ශෛලමය ප්‍රතිමාවත් 1 වන දෙටුතිස් (ක්‍රි.ව. 266 – 276 ) රජතුමා ථුපාරාමයෙහි තිබී එතැනින් ගෙන ගොස් ප්‍රාචීනතිස්ස පර්වතයෙහි තමා විසින් කරවන ලද විහාරයෙහි තැන්පත් කළ බව මහාවංශය (36 වන පරි) කියයි. මේ මහාවංශ පුවත අනුව දෙවනපෑතිස් රජු විසින් ථූපාරාමයෙහි සුන්දර ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් තනවා තැන්පත් කර තිබේ. දෙටුතිස් ප්‍රාචීන පබ්බත විහාරයට ගෙන ගියේ යයි දෙවනපෑතිස් රජ එය කළේ ක්‍රි.ව. පෙර (307 – 267) සිවු වන සියවසේ ය. භාරතයේ බුද්ධ ප්‍රතිමාව පළමුවෙන්ම නෙළා ඇත්තේ ක්‍රි.පූ. පළමු සියවසේ නම් බුද්ධ ප්‍රතිමාවක් ලොව නෙලූ ප්‍රථම රට ලංකාව යයි නිගමනය කළ හැකි ය. අනුරාධපුර මහමෙවුනා උයනේ තිබෙන සමාධි බුදු පිළිමය ජවහර්ලාල්නේරුතුමා පවා නිහඬ කළ අධ්‍යාත්ම ගුණයෙන් යුත් ලොව තිබෙන ශ්‍රේෂ්ඨතම කලා නිර්මාණයකි.

අද අපට දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමාව ස්වරූපය අනුව ඒවා මුද්‍රා වලට බෙදති. මුද්‍රාවන්ගෙන් හෙළිවන්නේ ධර්මදේශනා අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ ක්‍රියා පිළිවෙළයි. මේවා වැඩි පිරිසක් වැඩසිටින ඉරියව්වෙන් තැනුන පිළිමයි. ධර්ම චක්‍ර මුද්‍රාව නම් බුදුරදුන් ඉසිපතනයේහිදී පස්වග මහණුන්ට ධම්මචක්ක සූත්‍රය පැහැදිලි කරමින් දේශනා කළ ආකාරයයි. දෑත එක්කොට අත්තල උඩට සිටින සේ තබාගෙන ධර්මය විස්තර කරන ආකාරයන් මෙයින් පිළිබිඹු කරති. අභය මුද්‍රාව තවත් එකකි. සච්චක, අංගුලිමාල, නාලාගිරි ආදී සැඪ පරුෂ පුද්ගලයන් දමනය කිරීමේ දී අනුගමනය කළ ස්වරූපය අභය මුද්‍රාව සේ සැලකේ. එහි දී බුදුන් වහන්සේ වම් අත පද්මාසනස්ථ දෙපාමත තබාගෙන දකුණු අතේ අත්ල ඉදිරියට හරවා උඩට නමාගෙන සිටින ආකාරය පිළිබිඹු කෙරෙයි. ධ්‍යාන මුද්‍රාවේ දී පද්මාසනය (පාදවල පතුල් දෙකම එකකට එකක් උඩින් තබා පතුල් දෙක මතුපිටට සිටින සේ ඉඳ ගැනීම) දෑත එක්කොට වම් අත්ල මත දකුණු අත්ල තබාගෙන ධ්‍යානයට සමවැදුනාක් මෙන් වැඩ සිටින සේ නිරූපණය කෙරෙන ඉරියව්වයි. විතර්ක මුද්‍රාවෙන් දැක්වෙන්නේ දෙවියන් බමුණන් මිසදුටුවන් වැනි අයගේ ප්‍රශ්න නිරාකරණය කරමින් කරුණු පහදා දෙන ආකාරයයි. මෙම ආකෘතිය බෙහෙවින් අභය මුද්‍රාව හා සමාන ය. වරද මුද්‍රාවෙන් දැක්වෙන්නේ වරදානයයි. තමා කිසිවක් ඉතිරි නොකොට දියයුතු සියල්ල දෙන ලද බව ප්‍රකට කරන වම් අත පද්මාසනය මත තබාගෙන දකුණු අතේ අත්ල ඉදිරිපසට හරවා පාදයේ කෙණ්ඩය මත පහළට වැටෙන සේ තබාගෙන සිටින ආකාරයෙන් දැක්වෙන බුදුපිළිම මේ මුද්‍රාවට අයත් වේ. භූමිස්පර්ෂ මුද්‍රාව දැක්වෙන්නේ බුදුවන අවස්ථාවේ එයට බාධා කරන්නට පැමිණි මාරය සහිත සේනාවට තමන් වහන්සේ බුදු බව පතා පාරමිතා පුරණය කොට ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගෙන සිටින බවට මහාපෘථිවිය සාක්‍ය දරන බව පෙන්වනු වස් වම්අත පද්මාසනය මත තබාගෙන දකුණු අත පහළට දිගුකොට එනම් පොළොව දෙසට දිගුකොට අත්ල තමන් දෙසට හරවා පිටි අත්ල පිටට හරවා ගෙන වැඩ සිටින සේ තැණුන මුද්‍රාවයි. මේ හැරකටන මුද්‍රාව, වජ්‍රහංකාර මුද්‍රාව, ප්‍රතිග්‍රහන මුද්‍රාව ආදී තවත් මුද්‍රා රාශියක් තිබේ. ඒ ඒ රටවල මුද්‍රා සමහරක් සමාන වන අතර සමහරක් එකිනෙකට වෙනස් වේ. මේ අතර හිටිපිළිම, සැතපෙන පිළිම ද (පොළොන්නරුව ) බොහෝ රටවල දක්නට තිබේ. අවුකන පිළිමය හා පොළොන්නරුවෙ ගල් විහාරයේ තිවංක බුදුපිළිමය පැරැණි විශාල හිටිපිළිම අතර විශේෂත්වයක් ගනී.

දිවලේගොඩ පුරාණ විහාරස්ථානයෙහි මෙවර ඉදිකර තිබෙන බුද්ධ ප්‍රතිමා හා දාගැබ් පිළිබඳව සලකන විට මුද්‍රා හා විවිධ ආකෘති වලින් යුත් නිර්මාණ එක්තැනකදී දැක්ක හැකිවන සේ නිර්මාණය කර තිබීම දකින කියන වඳින පුදන මහජනතාවට එකම තැනකදී ඒවා දකින්නට, වැඳීමට, පිදීමට සැලැස්වීමකි. එහෙයින් විහාරාධිපතීන් වහන්සේගේ මෙම උත්සාහය අතිශය පැසසිය යුත්තකි. මේ නිමිති කොට ජූලි 20 වන දින සිට 27 දින තෙක් පැවැත්වෙන පින්කම් මාලාව ප්‍රදේශයේ මහජනතාවට ඉමහත් ආශිර්වාදයක් වේවායි පතමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.