Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නොදුන් දෙය’ කුමක්ද?

 

පංචශීල ප්‍රතිපදාවේ දෙවන අංකය අදින්නාදානා හෙවත් නොදුන් දෙය ගැනීමෙන් වැළකීමේ පිළිවෙතයි. භික්‍ෂු, භික්‍ෂූණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසටම මෙය විවිධාකාරයෙන් තහනම් කොට ඇත. නොදුන් දෙය ගැනීම යටතේ ගැනීම තහනම් කොට ඇත්තේ කවර දෙයක් සම්බන්ධයෙන් ද යන්න ම.නි. සාල්‍යෙයක සූත්‍රයේ දී පැහැදිලි කොට ඇත.

“ පරස්ස පරවිත්තූපකරණං - ගාම ගතංවා අරඤ්ඤගතංවා...” යනුවෙනි.

“ගමෙහි හෝ වනයෙහි හෝ අන්සතු සම්පත්, උපකරණ නුදුන් දෙය සොර සිතින් නොගත්තේ වෙයි. මේ අනුව කිනම් භාණ්ඩද නොගත යුත්තේ යනුවෙන් පැහැදිලි වනු ඇත. මෙහිදී වඩාත් වැදගත් වන්නේ පරවිත්තූපකරණ යන්නයි. පරවිත්තූපකරණ යන පදයට අර්ථ දෙකක් ඇත. ඉන් එකක් නම් අනුන්ට අයත් වටිනා බඩු ය. අනික නම් අනුන්ට අයත් ධනයත්, උපකරණත් ය. ශික්‍ෂා පදවලින් පැහැදිලි කොට ඇති අකරණීය කරුණු හෙවත් නොකළ යුතු දේ සමාජ සංස්ථා කෙරෙහි බලපෑමට පටන් ගන්නේ කෘෂියුගයේ දී ය. මෙම යුග වලදී සාකච්ඡාවට ගැනුණු ප්‍රධාන සාධක දෙක නම් ශ්‍රමය හා උපකරණයි. මෙහිදී භාවිතයට ගැනුණු උපකරණ ඉතා ප්‍රාථමික ස්වරූපයේ තිබුණත් ඉන් ඉටු වූ සේවය ඉතා විශිෂ්ටය. ගොඩ මඩ දෙකම මිනිසාට ගොවිතැන් බත් කිරීමට මේ උපකරණ වලින් විශාල සේවයක් ඉටු විය. ඒ නිසා එකල ජනයාට ඒවායෙහි වටිනාකම අතිශයින්ම වැඩි විය. මෙම “වින්තූපරකරණ” යන පදයෙහි මූලික වශයෙන් අදහස් කරන්නට ඇත්තේ ගොඩ මඩ ගොවිතැනට උපයෝගී කරගත් අඬු බඩු විය හැකි ය. ඒවා විශේෂණ කිරීමට “ගාම ගතංවා අරඤ්ඤ ගතං වා” යන පද භාවිතා වී ඇත. මේ උපකරණ භාවිතයෙන් පසු හේනෙහි ගොවිපළෙහි තබා යෑමට හෝ ගේ දොර කරා ගෙන යෑමට මිනිස්සු පුරුදුව සිටියහ.

කිසියම් කෙනෙක් ලියද්දේ ගොවිපළේ තිබී ඒවා ගැනීම හෝ ගේ දොර තිබියදී ඒවා ගැනීම හෝ වැරැදි බව ප්‍රකාශ කිරීම් වස් ඉහත පද භාවිතා කළා විය හැකි ය. සමාජගත සත්වයා පියවරෙන් පියවර ඉදිරියට යෑමේ දී මෙම මූලික අර්ථකථන ප්‍රමාණවත් නොවන ආකාරයක් ඉස්මතු වන්නට විය. මේ නිසා නුදුන් විට නොගත යුත්තේ කුමක්ද යන්නම ඇතැම් තැනක පිළිතුරු දී ඇත්තේ කිංචි ක්වඩී” යනුවෙනි. ‘ක්වඩී’ කිසි තැනකදී ‘කිංචි’ කිසිවක් නොගැනීම අදහස් කොට ඇත. මේ අදහස පැහැදිලි ලෙස ඒත්තු ගැන්වීමට පහත සඳහන් කතාව උපයෝගී වේ. කුමක් හෝ යමක් සොයා ගැනීමට කැළයට ඇතුළුවන පුද්ගලයෙක් කැළයෙහි අතරමං වෙයි. මොහුට යන එන මං සොයාගැනීමට නොහැකිව කැළයේ ඒ මේ අත ගොස් මං මුලා වෙයි. මෙසේ මං මුලා වී සැරිසරමින් සිටින විට ඔහුට කිසියම් වටිනා (කාසියක් හේ මුද්දක් වැනි) උපකරණයක් ලැබෙයි.මේ කැළේ මෙයට අයිති කිසිවකු නැති බව ඔහු හොඳින්ම දනියි. එහෙත් එය ඔහුට අයිති දෙයක් නොවන බවද ඔහු හොඳින් දනියි. මෙසේ තිබියදී වුවද එම උපකරණය ඔහු සතු කර ගන්නේ ද එය අදින්නාදානයට අයත් වේ. මේ නිසා තමාට අයිති නොවූ පවරා නොදුන් ඉඳිකටුවක යමක් හෝ නොගත යුතු බව මේ කථාවෙන් ඒත්තු ගන්වයි. මේ අනුව දෙවන ශික්‍ෂා පදයෙන් වැළකීමට නම් නොදුන් සියලු දේ වර්ජනය කළ යුතු වෙයි. “සබ්බං අදින්නං පරිවජ්ජෙහි...” යනුවෙන් ඒ බව සනාථ කොට ඇත.

අදින්නාදානා විරමනයේ තුන් පැත්තක් ඇත. එහි සමස්තය සම්පූර්ණ වීමට, මෙම තුන් පැත්තම ක්‍රියාත්මක විය යුතු ය. එනම්,

1. නුදුන් දෙය තමා විසින් නොගැනීම (අදින්නං පරිවජ්ජෙයෙය්‍ය)

2. අන් අය ලවා නොගැන්වීම ( න ආරයෙ)

3. අන් අය කරන සොරකම් ඉවසා නොසිටීම (හරතං නානු ජඤ්ඤ)

මේ කරුණු දෙස බැලීමේ දී අදින්නාදානා විරමනය පහසුවෙන් කළ හැකි දෙයක් සේ කල්පනා කළ නොහැකි ය. එය අතපය උපයෝගී කරගෙන සිදු කරනු ලබන සාමාන්‍ය ක්‍රියාවක් සේ අර්ථ නිරූපණය කළ හැකි දෙයක් නොවේ. කායික හා මානසික වශයෙන් ප්‍රගුණ කළ හැකි වැදගත් ප්‍රතිපදාවකි, අදින්නාදානා විරමනය ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා ඇත්තේ.

“දින්නදායී දින්න පාටිකංඛී අථෙනෙත සුඛී භූතෙන අත්තනා විහරති...”

යන පද වලින් අර්ථවත් වන්නේ දුන් දෙයක් පමණක් ගත යුතු බවයි. සතුටු විය යුත්තේ දුන් දෙයින්, පමණකි. සිතිය යුත්තේ ඒ තමාට ලැබුණු ප්‍රමාණය ලැබෙන්න තිබෙන ප්‍රමාණය එපමණයි යන්නයි. බොහෝ දේ ලැබෙන්නට ප්‍රාර්ථනා කළත් ලැබෙන්නේ ඉතාම අල්ප දෙයක් නම් ඒ තමාට හිමි ප්‍රමාණයයි. එයින් සතුටු විය යුතු ය. ජීවත් විය යුත්තේ සොර සිතින් නොව මනා පැවැත්මෙනි. මේ ආදී ක්‍රමයට සිතන කෙනෙකුට පමණකි, අදින්නාදානා සිල්පදය ආරක්‍ෂා කිරීමට හැකි වන වටපිටාවක් ගොඩනඟා ගත හැකි වන්නේ. මෙම සිල්පදයෙන් බලාපොරොත්තු වන පරමාර්ථය නම් අල්පේච්ඡතාවයෙන් කල් ගෙවීමට පුරුදු කිරීමයි. කරණීය මෙත්ත සූත්‍රයේ දී ‘සල්ලහුකවුත්තී’ යනුවෙන් සැහැල්ලු දිවි පැවැත්ම ලෙස ද ප්‍රකාශ වන්නේ, මේ හා සමාන අදහසකි. හොර සිතින් තොරව මනා සිහි පැවැත්මෙන් ක්‍රියා කිරීමට උත්සාහ ගනිති. ඒ සඳහා මිනිසුන් යොදා ගන්නා වංචනික ක්‍රම තුනක් බුදුහිමියෝ පැහැදිලි කළහ. එනම්,

තුලා කුඨ මාන කූඨ කංස කූඨ වශයෙනි.

තුලා කූඨ නම් කිරීමෙන් වංචා කිරීමයි. යම් කිරා විකුණන උපකරණ බඩු භාණ්ඩාදියෙන් යමෙක් වංචා කරයිද, එය ‘තුලා කූඨ’ නම් වේ.

‘මාන කූඨ’ ලෙස විග්‍රහ කරන්නේ මැනීමෙන් වංචා කිරීමයි. ධාන්‍ය වර්ග වේවා, වෙනත් ද්‍රව්‍ය වේවා හොරට මැන විකිණීම මගින් යමෙක් වංචා කරයිද, එය ‘මාන කූඨ’ නම් වේ.

‘කංස කූඨ’ නම් රං රිදී මුතු මැණික් ආදියෙන් කරනු ලබන වංචාවයි.

මේ කවර ආකාරයකින් හෝ කරනු ලබන වංචනික ක්‍රියා අදින්නාදානයෙහිලා සැළකිය යුතු ය. දී.නි. එක්කවත්ති සීහනාද සූත්‍රයට අනුව සමාජ විරෝධී ක්‍රියාවලින් අදින්නාදානය දෙවැනි වන්නේ ප්‍රණාතිපාතා සිල් පදයට පමණකි. පාණාතිපාතයට හා අදින්නාදානයට යොමු වීමේ ප්‍රතිඵල හැටියට මානව සංහතිය අපරාධවලට යොමු වූ බව, මෙම සූත්‍රයේ මනාව පැහැදිලි කරයි. යෙමෙක් මේ අපරාධ දෙකටම යොමු වූයේ ද ඔහුට කළ නොහැකි අපරාධයක් නැත. එතරම් භයානක අපරාධ දෙකකි. පාණාතිපාතයත් අදින්නාදානයත්, මිනිසාට තමා වසන සමාජය ගුණාත්මක ලෙස දියුණු කර ගැනීමට නම් අවශ්‍යයෙන්ම මේවායින් වැළකී සිටීමේ ප්‍රතිපදා දෙක ආරක්‍ෂා කළ යුතු වෙයි. මේ වැරැදි හේතු කොටගෙන ස්වභාවිකව මිනිසා පරිහානියට පත් වන බව පැහැදිලි ය. එහිදී මිනිසාගේ අංශ දෙකක් පිරිහීමට පත්වන බව චක්කන්ති සීහනාද සූත්‍රය හඳුනාගෙන ඇත. එනම්,

1. ශරීරය දුර්වර්ණ වීම.

2. ආයුෂය කෙටි වීම

ප්‍රසන්න පෙනුමෙන් හා දීර්ඝායුෂ ඇති මිනිසුන් පිරිසක් නිර්මාණය කළ හැකි වන්නේ මේ ඉහත කී සමාජ විරෝධී ක්‍රියා නතර කිරීමෙන් පමණකි. අදින්නාදානයේ දී සැලකිලිමත් විය යුත්තේ, ගැනීමට අදහස් කරන දෙයෙහි අයිතිය තමාට ඇත්ද යන්න ගැනයි. ඒ බව වසල සූත්‍රයේ දී ගාමාවා යදිනවාරඤේඤ යං පරෙසං මමායිතං ථෙය්‍ය අදින්නං ආදියති....

“ ගමෙහි හෝ වනයෙහි හෝ අනුන්ගේ අයිතිය ඇති නොදෙන ලද යම් වස්තුවක් සොර සිතින් ගනීද, ඔහු වසලයෙකැයි දත යුතු ය. ස්වභාව ධර්මයෙන් මිනිසාට උරුම කරදී ඇති වන වගාව වර්තමානයේ සූරා කන ආකාරය මෙම ශික්‍ෂාපදයට නොවැටෙන්නේ ද? යුරෝපය වැනි දියුණු රටවල ස්කැන්ඩිනේවියානු රටවල බොහෝ නිවාස මෙන්ම ගෘහ උපකරණ දැවයෙන් නිර්මාණය වූවත් ගසක් ඉවත් කරන්නේ නම් එයට ගසක් සිටුවිය යුතුම ය. නැතිනම් දඩ කෑමට සිදු වෙයි. තම ගෙවත්තේ වූවද නීතිය කාටත් සාධාරණ ය. සියලු දෙනාටම ඉහළින් ඉන්නේ නීතියයි. තුන්වන ලෝකයේ වෙසෙන නීති ගවේෂකයින්ට මේවා කදිම පාඩම් කියා දෙයි. වනය අපට පරිසරය ලබාදී ඇත්තේ අද ජීවත්වන මිනිසාට පමණක් නොවේ. අනාගතයේ පහළ වන කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනයාට භුක්ති විඳීම සඳහායි. මේ වනාන්තර බිහිව ඇත්තේ අද ජීවත්වන අය පමණක් ඒ සියල්ල භුක්ති විඳ අවසන් කරන්නේ නම්, ඔවුන් අදින්නාදානයට වැටීම, වැළැක්විය නොහැකි ය.

අලුත් කළ නොහැකි ස්වභාවික සම්පත් ගැන කල්පනා කිරීමේ දී උදාහරණ ලෙස ඉන්ධන මිනිරන්, මැණික් ආදිය කෙරෙහි අප දක්වන ක්‍රියා මාර්ග කෙරෙහිද අවධානය යොමු කළ යුතු ය. ස්වභාව ධර්මයෙන් මේ සියල්ල නිර්මාණය කර ඇත්තේ පොළොවෙහි වෙසෙන් සියලු ජනයා හා මතුවට ඇතිවන මානව වර්ගයා ද සඳහායි.

අද ජීවත්වන්නේ මතුවට ඇතිවන්නෝන් ගැන කිසිදු වග විභාගයකින් තොරව සම්පත් භුක්ති විඳිති. දිනක් අප වාහනයෙන් මහනුවරට එහා පේරාදෙණිය යනවිට එක් රියැදුරු මහතෙකු ඉන්ධන හිඟයක් ගැන සඳහන් කළේ ය. අප වාහනයේ ද ඉන්ධන අඩුව තිබූ හෙයින් පෙට්‍රල් ෂෙඩ් ගණනාවකට ගියත්, ඔවුහු තෙල් දීම ප්‍රතික්‍ෂේප කළහ. මන්ද තෙල් මිල පසුව දාම ඉහළ යන බැවිනි. එහෙත් එක ෂෙඩ් එකක ඩීසල් ප්‍රෙට්රල් බෙදාහරිනු ලැබිණි. එතැනට ගිය සියලු දෙනා තරම ඉක්මවා තෙල් ලබා ගන්නට පුදුම විදියේ වෙහෙසක් මහන්සියක් දැරූහ. එය අවසන් කොට අප නැවත ගමන් කරන විට තෙල් නැතැයි වසා තිබූ ෂෙඩ් විවෘත කර තිබිණි. මිල ගණන් පිළිබඳ සාකච්ඡා අවසන් වූ නිසා ය.

මෙහිදී මේ තෙල් ලබාගත් කිසිවෙක් අනාගත පරපුර වෙනුවෙන් මේ තෙල් ඉතිරි කළ යුතු යැයි කල්පනා නොකළහ. එමෙන්ම දිනෙන් දින වේගයෙන් නිෂ්පාදනය වන වාහන කන්දරාවට තෙල් අවශ්‍යමය.

මේ ආදී කරුණු කාරණා කල්පනා කර බැලීමේ දී මේ ලබාදී ඇති ස්වභාවික සම්පත් සියල්ලම වර්තමාන මිනිසා විසින් භුක්ති විඳ අවසන් වනු ඇත. මේ අනුව සමස්ත ප්‍රජාවම මහා පරිමාණ වශයෙන් නොදුන් දෙය ගැනීමකට හසු වී ඇත. පාලක පාලිත ආදී සියලු දෙනාම මෙම අලුත් නොකළ හැකි සම්පත් භුක්ති විඳීමෙන් කරනු ලබන මහා පරිමාන ජාවාරම් හේතු කොටගෙන අදින්නාදානා විරමනය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? රටක පාලකයිනුත් ජනතාවත් එක හා සමානව මෙවැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් යහපත් සුචරිතවාදී සමාජයක් නිර්මාණය කර ගත හැකි වනු ඇත.

මතු සම්බන්ධයි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.