UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගම්පහ වේරහැර ශ්‍රී සුවිශුද්ධාරාමය

විහාරාධිපති මල්වත්තේ ධම්මාලංකාර හිමි

ගම්පහ දිසාවේ දොම්පේ වේරහැර ග්‍රාමයේ පිහිටි ශ්‍රී සුවිශුද්ධාරාමය වළගම්බා රජ සමය දක්වා ඈත අතීතයකට සබඳකම් පවතින විහාරස්ථානයක් ලෙස ජනප්‍රවාදයෙහි පවතී. වළගම්බා රජතුමන් විසින් මැද්දේගම රජමහා විහාරස්ථානය කරවන කාලයේ දී, අදටත් ප්‍රචළිත වේරහැර ‘පැලිච්ච ගල’ ස්ථානයෙහි ගලෙහි ශෛලමය කුහරයක් තුළ රත්රන් පුටුවක් නිදන් කර එම ස්ථානයෙහි ඇසටු බෝධියක් සහ නා බෝධියක් රෝපණය කර ඇතැයි මුඛ පරම්පරාගතව පවතී. පසුකාලීනව එම රත්‍රන් පුටුව ගලමතදී සිදුවුන මල්වරවීමක් (දැරියක් වැඩිවිය පත්වීමක් ) නිසා අතුරුදන් වීමත් සමගම මෙම ස්ථානයෙහි රෝපණය කරන ලද නා බෝධිය සහ ඇසටු බෝධියද විනාශ වී ඇතැයි ජන වහරේ පවතී.

එම ස්ථානයෙහි විහාරස්ථානයක් නොතිබුණත්, සියවස් ගණනාවක් තිස්සේ බොදුනුවන් තම ආගමික වතාවත් ඉටුකර ගැනීම, බාරහාරවීම සිදුකරගෙන ඇති බවට අදටත් විහාර බිමේ පවතින ශෛලමය මල් අසුන සාක්‍ෂි දරයි.

හංවැල්ල, කිරිඳිවැල මාර්ගයේ පල්ලේගම මංසන්ධියේ සිට වෙදගම මාර්ගයේ කිලෝමීටර් 1 1/2 ක දුරක් ගමන් ගනිද්දී හමුවන වේරහැර මංසන්දියෙන් වම් පසට මීටර් 500 ක පමණ දුරක් ගමන් ගැනීමෙන්ද, කිරිඳිවැල, හිස්වැල්ල මාර්ගයේ කිරිවාන කඳුවැටිය ආරම්භයෙන් දකුණු පසට විහිදෙන වේරහැර මාර්ගයේ මීටර් 600 ක පමණ දුරක් ගමන් ගැනීමෙන් ද වේරහැර ශ්‍රී සුවිශුද්ධාරාම මහා විහාරස්ථානයට ළඟාවිය හැකි ය. නැගෙනහිර දෙසට සුන්දර වෙල්යායකින් ද බටහිර දෙසට ග්‍රෙගරි බ්රේක් කන්ද නමැති ඉංගී‍්‍රසි පාලන සමයේ පැවති රබර් වගාවකින්ද, දකුණු පසට වෙල්යායකින්ද උතුරු දෙසට කිරිවාන කඳුවැටියටද සීමාවන් වූ රමණීය පොල් රුප්පාවකට මැදි වූ උස් භූමි භාගයක වේරහැර ශ්‍රී සුවිශුද්ධාරාම මහා විහාරස්ථානය පිහිටා තිබේ.

එහි වත්මන් විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරන සියණෑ ගෞරව කීර්ති ශ්‍රී මල්වත්තේ ධම්මාලංකාර හිමිපාණන් වහන්සේ එදා මෙදාතුර මෙම විහාරස්ථානයෙහි තොරතුරු මෙසේ පැවැසූහ. මෙම විහාරස්ථානය පිළිබඳව සෙල් ලිපි හෝ ඓතිහාසික තොරතුරු නොතිබුණත් වසර දහස් ගණනක් පුරා බෞද්ධයන්ගේ ආගමික වතාවත් ඉටුකර ගැනීමට උපකාරී වූ ස්ථානයක් හැටියට ජනප්‍රවාදයෙහි පවතී. ක්‍රි.ව. 1925 දී පත්බේරියගේ ජනිසා උපාසක මහතා සංඝාවාසයක් ඉදිකොට සඟ සතු කොට පූජා කරඇත. මෙහි ප්‍රථම විහාරාධිපතීන් වහන්සේ ලෙස තඹදියේ අත්ථදස්සී හිමියන් කටයුතු කර තිබෙනවා. උන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව විහාරාධිපති ලෙස පත් වූ තඹදියේ ධම්මරංසි හිමියන් ද මෙම ස්ථානයේ දියුණුවට කටයුතු කර තිබෙනවා.

විශාරද පාණ්ඩිත්‍යය, බහුශ්‍රැත භාවය, පරාර්ථකාමීත්වය හා විනය ගරුක බවින්ද පිරිපුන් විනයාචාර්ය නීල මහර ධම්මපාල හිමිපාණන් වහන්සේ 1940 සිට 1980 දක්වා වසර 40 ක කාලයක් මෙම ස්ථානයෙහි විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරමින් බෝධි වෘක්‍ෂය රෝපණය කිරීම, දැකුම්කළු විහාර මන්දිරයක් ඉදිකිරීම, තෙමහල් ඝණ්ඨාර කුළුණක් ඉදි කිරීම, ධර්ම ශාලා ගොඩනැඟිල්ල ඉදිකිරීම, වැනි ඉමහත් ශාසනික සේවාවන් රාශියක් ඉටුකර තිබෙනවා. සමාජමය කටයුතු වශයෙන් වේරහැර බණ්ඩාරනායක මහා විද්‍යාලය ආරම්භ කිරීමට කටයුතු කිරීම, වේරහැර පොදු සුසාන භූමියක් ඉදිකිරීමට කටයුතු කිරීම, ගම පුරා දිවෙන සියලු මංමාවත් සැකසීමට කටයුතු කිරීම වැනි සමාජමය කටයුතු වලදී මූලිකව කටයුතු කරමින් ගමත්, පන්සලත් විශාල දියුණුවක් කරාගෙන ඒමට පුරෝගාමීව කටයුතු කළ බව කව්රුත් දන්නවා.

උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව මෙහි විහාරාධිපතීන් වහන්සේ ලෙස පත් වූ (1989) මල්වත්තේ ධම්මාලංකාර හිමිපාණන් වහන්සේ විසින් එතෙක් විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවති චෛත්‍යරාජයා ඉදිකිරීමට මූලිකව කටයුතු කර තිබේ.

මීට අමතරව චෛත්‍ය ප්‍රාකාරය, විහාරස්ථාන භූමිය ආවරණය වන පරිදි ආරක්‍ෂක බැම්මක් ඉදිකිරීමට කටයුතු කර ඇත.

සියණෑ කෝරළයේ පිහිටි විහාරස්ථාන අතර වේරහැර ශ්‍රී සුවිශුද්ධාරාම මහා විහාරස්ථානයට අද්විතීය ස්ථානයක් නිතැතින්ම හිමිවේ. එයට ප්‍රධානම හේතුවක් ලෙස ඉපැරැණි විහාරස්ථානවල බුදු මැදුරු වල දැකගත හැකි චිත්‍ර හා මූර්ති මෙම විහාරස්ථානයෙහි නිමවා තිබීමයි. මෙම විහාර මන්දිරයෙහි 15 රියන් ඔත් පිළිම වහන්සේ දෙපස කකුසඳ කෝනාගම කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලාගේ, ප්‍රතිමාද, සැරියුත් මුගලන් අගසව් දෙනමද, මූර්තිමත් කර ඇත. විහාර මන්දිරයේ දකුණුපස පිටත මාලයේ සත්සතිය, නන්දෝ පනන්ද දමනය, සච්චක දමනය, නාලාගිරි දමනය, ආලවක දමනය, අංගුලිමාල දමනය, මාර පරාජය, මූර්තිමත් කිරීමෙන් විහාරස්ථානයේ දර්ශනීයත්වය වඩාත් තීව්‍ර කැරේ.


විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ


පිරිනිවන් මංචකය


චෛත්‍ය රාජයාණන් වහන්සේ

දුරුතු
පුර පසළොස්වක 

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
22 වන දා අඟහරුවාදා.

මීළඟ පෝය
ජනවාරි 30 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]