UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සහ ආනන්ද බෝධීන් වහන්සේගේ

බෝධි අංකුර 77 ක් බලගල්ලේ සරස්වතී මහ පිරිවෙන වෙත වැඩමවීමේ පුණ්‍ය මහෝත්සවය

2007 වසර මුලදී දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් සහ ආනන්ද බෝධීන් වහන්සේගෙන් අපට ලැබුණ බෝ ඇට කිහිපයකින් එකක්වත් පැළකර ගැනීමට අවශ්‍ය වූයෙන්, ඒ ගැන අන්තිමේ දී කෘෂිකර්ම අමාත්‍ය හේම කුමාර නානායක්කාර මහතාගේ ආධාරය පතන්න සිදු විය. එතුමාගේ කාරුණික අනුග්‍රහය මත අප ඒවා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගේ විද්වත් අවධානය සඳහා යැව්වෙමු.

පේරාදෙණියෙන් ලැබුණු මහඟු උනන්දුව කොපමණද කිවහොත් මාස 07 කට පසු බීජ 77 ක්ම සාරවත්ව පැළ වී තිබුණි. ඒ අනුව අපට ගම්පහ, හෙනරත්ගොඩ උද්‍යානයෙන් දන්වනු ලැබුයේ එසේ පැළවීමට පසු ඒවා එම උද්‍යානයේ සුරක්‍ෂිතව පෝෂණය කෙරෙන බවත්, ඒ පිළිබඳව අප ක්‍රියාකරන ආකාරය ගැන තීන්දු කළ යුතු බවත් ය.

ඒ ගැන බලගල්ල සරස්වති මහ පිරිවෙනේ අධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත ආචාර්ය යටගම ධම්මපාල අනුනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අදහස වූයේ, හෙනරත්ගොඩ තිබෙන බෝධි අංකුර බලගල්ල සරස්වතී පිරිවෙනට, බෝධීන් වහන්සේලාට ගැළපෙන, ගෞරවාන්විත පෙරහරකින් වැඩම කොට, ඉන් පසු ඒවා අවශ්‍ය වන සියලුම විහාරස්ථාන වලට ගෞරවාන්විතවම ලබා ගැනීමට සැලැස්වීමයි. හැකිනම් ඉන් සමහරක් ආසියානු රටවල් කීපයකටවත්, ඒ වාගේම යුරෝපීය රටවල් කීපයකටවත් ඒ ඒ රටවල් වලට කෙරෙන නූතන මහින්ද සංඝමිත්තා ගමනයක් සේ යැවීමට පුළුවන් වූවොත් අප කුඩා ශ්‍රී ලංකාවෙන් කෙරෙන යහපත් ආගමික, මානුසික සේවයක් විය හැකි යැයි ද අප කල්පනා කළෙමු.

මේ අනුව මේ මස 22 වනදාට යෙදෙන දුරුතු පුන් පොහෝ දිනයේ දී එදින ශ්‍රී ලංකාවේ ප්‍රථම බුද්ධාගමන දිනයද බැව් සලකා බුදුරජාණන් වහන්සේ වෙනුවට ආනන්ද බෝධීන් වහන්සේට පුද පූජා කිරීම මැනවැයි ප්‍රකාශිත බැව්ද සලකා හෙනරත්ගොඩ තිබෙන බෝධි අංකුර, එහි සිට බලගල්ල සරස්වතී මහ පිරිවෙනට ගෞරව සම්ප්‍රයුක්ත මහා පෙරහරකින් වැඩම වීමට ය.

එක බීජයක්වත් පැළකර ගැනීමට පුළුවන් වේදෝයි සැකයෙන් සිටියදී බෝධි අංකුර 77 ක්ම ඇතිවීමේ භාග්‍යය මහා සංඝරත්නයේ අභිවෘද්ධියත්, බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙනුත් සිදුවුණ උත්තරීතර දායාදයක්ම ලෙස අපි කල්පනා කළෙමු.

ඒ අනුව ඊට සැසඳෙන පරිදි අපේ සියලු ආගමික, සංස්කෘතික, මානුසික වටිනාකම් නැවතත් සිහිපත් කෙරෙන්නාවූද, ඒ පදනම මත පිහිටා පෙරහරේ සියලු විස්තර ප්‍රකාශ කෙරෙන ලෙසද සකස්වන උතුම් පෙරහරකින් මේ අංකුර වැඩම වීමට අපි තීරණය කළෙමු. ඒ තීන්දුව වඩාත් ඔපවත් වන්නේ ඊට රජයේ ද කාරුණික අනුග්‍රහය ලැබීමෙන් පමණක් නොව, ඒ සඳහා අතිගරු ජනාධිපති තුමාගෙන් ලැබෙන භක්තිමත් සහභාගීත්වයත් නිසාම බව අප තව දුරටත් අවධාරණය කළ යුතු ය. ඒ සුපින්වත් දායකත්වය මුළු මහා සංඝරත්නයම සියලු බෞද්ධ ජනතාවම අතිශයින් අගය කරනු ඇත.

තෛ‍්‍රලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්ම පිරූ දස පාරමී ධර්මයක් පරිපූර්ණ කිරීමෙන් පසුවද, තවත් සා අවුරුද්දක් තමන්ගේම ශරීරය විද්‍යාත්මක පර්යේෂණාගාරයකට පත් කරමින් අතිශයින්ම කටුක වූ, දුෂ්කර ක්‍රියා සමුදායක්ම තරණය කොට, ඒ අත්දැකීමෙන් පසු, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සිසිල් සෙවණේ ආශ්‍රයෙන් අවතීර්ණ වූ බෝධි මාර්ගය තුළින් අවබෝධ කර ගත් ඒ නවලෝක, ලෝකෝත්තර ඥාණය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙසින්, සීල, සමාධි, ප්‍රඥා මාර්ගය ලෙසින් ලෝකයා වෙත බෙදා දීම සඳහා උන්වහන්සේ ගත් මහා ආයාසය අප අගය කරන විට නිරායාසයෙන්ම සිහිපත් වන්නේ ඒ බෝධීන් වහන්සේගේම සිසිලෙන් ලැබුණ ඉමහත් සැනසුම වන්නේ ය.

පුරා හතළිස් පස් වසරක්ම, උන්වහන්සේ මහා භාරතයේ ගමින් ගමට, මඟින් මඟට, ගිරිදුර්ග, වනදුර්ග, නොබලා කුසගිනි නොබලා සියලු අපහසුකම් නොබලා අක්‍රෝෂ පරිබවද නොබලා උපශාන්තව වැඩම කළේ, සියලු ලෝක සත්වයාම දුකින් මුදා, යහ මඟට, නිවන් මඟට, යොමු කරන සේමය. එය අවබෝධ මාර්ගයකි. බෝධි මාර්ගයකි.

සිහි නුවණින් යුත් ආලෝක මාර්ගයකි. බෝධීන් වහන්සේ නිරූපණය කරන්නේ ද, මූර්තිමත් කරන්නේ ද එයමය. ඒ අනුව ශ්‍රී මා බෝධීන් වහන්සේට, ආනන්ද බෝධීන් වහන්සේට, වඳින වැඳුම, පුදන පිඳුම, අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේටත්, ශ්‍රී සද්ධර්මයටත් කරන වැඳුමක්ම, පිදුමක්ද වන්නේ ය.

ඒ ගෞරවය මේ බෝධීන් වහන්සේලාට පුද කරමින් මහා සංඝරත්නය විසින් පිරිත් කියමින් බෝධීන් වහන්සේලා වැඩම කරන මහ මඟ, ධජ පථාක වලින් සරසන්න, සුදුවැලි ටිකක්, විළඳ ටිකක් ඉසින්න, මඟ දෙපස සිට බෝධීන් වහන්සේලාට නමස්කාර කරන්න. මල් පූජා කරන්න.

සමන්පිච්ච මලක්, නෙළුම් මලක්, මානෙල් මලක්, සල් මලක් බෝධීන් වහන්සේලාට පූජා කරන්න. වනපස මලින් වූවද පිරිසුදු චේතනාවෙන් බුදුන් පුදන්න. “සාදු” නදින් මුළු මහ මඟම රැව් දෙවන්න හැකිනම් පිරිවෙන් භූමියට ද පැමිණෙන්න.

තෙල්, මල්, පහන්, සුවඳ දුමින් බෝධීන් වහන්සේලාට ගරු කරන්න. ආලෝක පූජා පවත්වන්න.

මුළු පිරිවෙන් භූමියම සෑම ආකාරයකින්ම ශෝභාමත් කරන්න. සුවඳවත් කරන්න. ඔබටත්, මුළු ශ්‍රී ලංකාවටත්, සකල ලෝකවාසී ජනතාවටත් තෙරුවන් සරණයි. මේ මහා පින ඔබ හැමෝමත්, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් අනුමෝදන් වෙත්වා.

ඒ වාගේම මේ මහා පුණ්‍යෝත්සවයට ඉතා වාසනාවන්ත ලැදිකමකින් ආශිර්වාද කරන ශ්‍රී ලංකා ජනරජයටත්, අතිගරු ජනාධිපතිතුමාටත්, ශ්‍රී ලංකාදීපය තුළ නිවහල්, අකලංක සාමයක් ඇති කිරීමට වෙර දරන සියලු අංශයන්ටත් අනේක වාරයක් පින් සිදුවේවා.

දුරුතු
පුර පසළොස්වක 

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
22 වන දා අඟහරුවාදා.

මීළඟ පෝය
ජනවාරි 30 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]