Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහවැලි මහ සෑය බඳිමු

හෙළ මහ රජ දරුවන් දවස අහස උසට මහ දාගැබ් ඉදි වූහ. ඒ ඉතා ඈතට නෑකම් කියන අතීතයකි. යළිත් ඒ අතීතය සිහිගන්වන එවන් විස්මිත ඉදිකිරීම් හා නිර්මාණ ශක්තිය ලොවට හඬ නගා කියන්නට තවත් මහ සෑයක් ඉදිවෙමින් පවතී. ඒ කොත්මලේ මහවැලි මහා සෑරදුන් වේ.

1983 මාර්තු 20 වැනි දා මහවැලි සංවර්ධන හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයක් අනුව පෙර කන්ද උඩරට රාජධානියට මහත් අඩුපාඩුවක්ව පැවැති මහා සෑයක් සාදා නිම කිරීමට කොත්මලේ මහවැලි මහා සෑ ව්‍යාපෘතිය නමින් ආරම්භ කරන ලදී.එම මහාසෑය උසින් අඩි 289 කි.

එහිදී ඇල්ලේ ගුණවංශ හිමියන් ගාමිණී දිසානායක අමාත්‍යතුමන් වෙත ලබා දුන් සහාය අමතක කළ නොහැකි ය. මහවැලි සංස්කෘතික පදනම් භාරයේ හිටපු සභාපති දිවංගත විද්‍යාජෝති ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා විසින් රුවන්වැලි මහාසෑයට උසින් අඩි 2 ක් අඩුවෙන් එම මහවැලි මහ සෑය නිර්මාණය කරන ලදී.

මහවැලි මහ සෑයේ හතරැස් කොටුව දක්වා වැඩ කරමින් සිටියදී 1992 ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවිය. 2000 වසරේ දී එවකට මහවැලි සංවර්ධන අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් එහි ඉතිරි වැඩ කටයුතු නැවත ඇරැඹීමෙන් පසු 2003 මැද භාගයේ දී හිටපු වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් මහවැලි මහා සෑයේ හතරැස් කොටුවේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

කොත්මලේ මහවැලි මහාසෑය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා එවකට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය යටතේ 2003 ඔක්තෝම්බර් 14 වන දා පිහිටු වන ලද මහවැලි සංස්කෘතික පදනම් භාරයට පවරන ලදී. ආදායම් බද්දෙන් නිදහස් රජයේ පුණ්‍ය ආයතනයක් ලෙස 2004 ජූලි 30 වැනිදා නිකුත් වූ රජයේ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශ විය. ඉදිරියේ දී පාර්ලිමේන්තු පනතක් මගින් මහවැලි සංස්කෘතික පදනම් භාරය නීතිගත ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට සියලු කටයුතු සකසා ඇත.

ඉතිරි වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් පසු කුඩා පරිමානයෙන් ආධාර මුදල් ලැබුණ අතර 2004 අගභාගයේ දී එවකට අගමැතිව සිටි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ආධාර මුදල් රැස් කිරීමට දායකවීමෙන් 2006 වසර අවසාන වන විට රුපියල් මිලියන 16.5 ක පමණ ආධාර මුදල් ලැබිණි. එම මුදලට මිලියන පහක මුදලක් ජනාධිපති අරමුදලෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, මිලිනා සුමතිපාල මහත්මිය රුපියල් මිලියන 1 ක් සහ රෝහන් දිසානායක මහතාගේ මිතුරන් විසින් රුපියල් මිලියන 5 ක් ලබා දී තිබේ. ඒ හේතුවෙන් මහවැලි මහසෑයේ හතරැස් කොටුවේ සිට කොත් වහන්සේ තැන්පත් කරන මට්ටමට ඉදිකිරීමේ කටයුතු සියයට හැටපහක පමණ වැඩ අවසන් කිරීමට හැකිවී ඇත.

විවිධ තරාතිරම්වල බොහෝ පිරිස් එම කාර්යයට ආධාර කළහ. කම්කරුවෝ ද තම වැටුප පවා මහවැලි සෑ ව්‍යාපෘතියට පිරිනැමූහ. මෙහි විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත සියලුම නිලතල දරන පින්වතුන්ගේ මාසික වැටුපෙන් මුදලක් වෙන්කර එය සෑම මසකම මහවැලි සංස්කෘතික පදනම් භාරයට ලැබෙන අතර දැනට රුපියල් 1, 810, 000 . 00 මුදලක් ලැබී ඇත.

වැඩ නිම වී ඇති අඩි 13 ක් උසැති විෂ්කම්භය අඩි 6 ක් ඇති කොත්වහන්සේ සෑදීම සඳහා රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා පිත්තල අනුරාධපුර රන්වැට අරමුදලෙන් ද ලංකා ඉතිහාසයේ කොත්වහන්සේ නමකට පළඳවන අඟල් 21 ක් උසැති විශාලතම චූඩා මාණික්‍යය, පැල්මඩුල්ලේ ආනන්ද ජේම්ස් අධිපති තිස්ස ආනන්ද මහතා විසින් පිරිනමා ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පළවෙනි අදියර ලෙස සැලකෙන චෛත්‍යයේ හතරැස් කොටුවේ සිට චූඩාමාණික්‍යය දක්වා උඩකොටස නිමකර කොත්වහන්සේ නිරාවරණය කිරීම සඳහා රුපියල් මිලියන දහයක් ලබාදීමට ද එකඟ වී ඇත.

එතුමා විසින් එම ආධාර මුදලෙන් රුපියල් මිලියන පහක් ඩී.ඒ. රාජපක්‍ෂ පදනමෙන් 2006 මැයි 8 වැනි දින මහවැලි සංස්කෘතික පදනම් භාරයට පරිත්‍යාග කරන ලදී. තවද ඉතිරි රුපියල් මිලියන පහක් ජනාධිපති අරමුදලින් ලබා දීමට කටයුතු සලසා ඇත.

පළවෙනි අදියර ලෙස සැලකෙන චෛත්‍යයේ හතරැස් කොටුවේ සිට කොත්කැරැල්ල දක්වා උඩ කොටස නිම කර කොත්වහන්සේ නිරාවරණය කර සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳ පුදා නමස්කාර කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත.

දෙවන අදියර ලෙස සැලකෙන චෛත්‍යයේ පහළ වාහල්කඩ දෙක, සලපතල මළුව, වැලි මළුව සහ ගොඩනැඟිලි සංකීර්ණය ඇතුළු අංගෝපාංගයන්ගෙන් සැදුම් ලත් වැඩ කොටසට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපුරා ගැනීමට හැකි වුවහොත් වසර (2008 – 2009) වසර 2 ක් ඇතුළත හෝ ඊට පෙරාතුව නිම කර ගැනීමට අපේක්‍ෂා කැරේ.

කොත්මලේ මහවැලි මහා සෑයේ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ, කිරීමේ ජාතික කර්තව්‍යය අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතර දැනටමත් එහි වැඩ කටයුතු සාර්ථකව නිමවෙමින් පවතී.

කිසිදු දේශපාලන මතිමතාන්තර වලින් තොරව කොත්මලේ මහවැලි මහා සෑයේ ඉතිරි වැඩ කොටස් නිම කිරීමට විෂයභාර අමාත්‍යතුමාගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක වන මහවැලි සංස්කෘතික පදනම් භාරයේ කාරුණික ඉල්ලීම පරිදි ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය එම ජාතික කර්තව්‍යය සාර්ථකව නිම කිරීමට අදිටන් කර ඇත.

පෞද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් මහවැලි සංස්කෘතික පදනම් භාරයට ඔබටත් දායක විය හැකි ය. දේශීය විදේශීය දායකත්වය පහසු කරනු පිණිස වෙබ් අඩවියක් ක්‍රියාත්මක කර ඇත. (www.mahaweli.gov.lk)

චෙක්පත් ලිවිය යුත්තේ මහවැලි සංස්කෘතික පදනම් භාරය හා කොළඹ 10 හයිඩ්පාක්හි පිහිටි ලංකා බැංකුවේ අංක 0002327570 දරන ගිණුමටයි. මහවැලි මහා සෑය ව්‍යාපෘති සංකීර්ණ පිළිබඳ සියලු විමසීම් මහවැලි සංස්කෘතික පදනම් භාරය, මහවැලි මහා සෑ ව්‍යාපෘති කාර්යාලය, මහවැලි කේන්ද්‍ර පරිශ්‍රය, 96, ආනන්ද කුමාරස්වාමි මාවත කොළඹ, 07 දුරකථනය 2665650.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.