Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජඹුරෙගොඩ දූවේ පන්සල

වැලිගම් කෝරලයේ වැලිපිටිය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයට අයත් ජඹුරෙගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාමය පැරැණි අය හැඳින්වූයේ දූවේ පන්සල ලෙසිනි. එසේ හැඳින්වීමට හේතු වන්නට ඇත්තේ අලංකාර රමණීය කුඩා දූපතක් වැනි භූමිභාගයක මෙම විහාරය පිහිටා තිබීමය. මාතර දිසාවේ විශාලතම වෙල්යාය ලෙස හඳුන්වන ජඹුරේගොඩ සශ්‍රීක වෙල්යායකින් වටවූ මෙම විහාරයට පැමිණෙන ඕනෑම අයෙකුට ප්‍රථමයෙන් ම නෙත ගැටෙන්නේ ඓතිහාසික බෝධීන් වහන්සේ ය. එම බෝධීන් වහන්සේගේ ප්‍රමාණය , විශාලත්වය දකින ඕනෑම අයෙකුට එහි ඉතිහාසය ගැන තොරතුරු සොයා බැලීමට සිතෙනු ඇත.

එම තොරතුරු සෙවීමේදී දැනට ගමේ සිටින වයස්ගතම කාන්තාවන් දෙදෙනෙකුගෙන් මේ ගැන විමසූ විට ඔවුන් පවසනුයේ ඔවුන් කුඩා කල ද බෝධීන් වහන්සේ මේ ආකාරයටම තිබූ බවයි. ඔවුන් දැනට වයස අවුරුදු සියය ඉක්මවූ අය වෙති. එහි ඉතිහාසය සෙවීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ විජයබා රජ දවස එම රජතුමාගේ භටහමුදාවේ බටේමුල්ලේ (වර්තමානයේ ඉමදුව) සිට ඇත. එම සෙබළු අවට ප්‍රදේශ වල චාරිකා කිරිමේදී මෙම බෝධිය රෝපණය කරන්නට ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙවැනි මතයක් වුවද එය ලිඛිතව කිසිම ග්‍රන්ථයක සඳහන් වී නොමැත. මෙසේ බලන කල ඉතා දිගු ඉතිහාසයක් මෙම බෝධියට ඇත.

එසේ ම දූවේ පන්සලට ආවේණික වූ අනෙක් ලක්‍ෂණය නම් බෝධිය අසලම තිබෙන ලෝලු ගසයි. එම ලෝලු ගසේද ඉතිහාසය දන්නා කෙනෙකු නැත. විශාලත්වයෙන් බෝධිය මෙන් වර්ධනය වී නැති අතර ලෝලු ගසේ වයස් ප්‍රමාණය බෝධිය හා සමාන යැයි බලන කෙනෙකුට සිතේ. මෙසේ බෝධියත් සමග ලෝලු ගසක් තිබෙන්නේ දඹදෙණි යුගයට අයත් මහනුවර ගැටඹේ විහාරයේ පමණක් යැයි මේ ගැන තතු දන්නා අය පවසති. ලෝලු ගස හා බැඳුනු ඓතිහාසික ජනප්‍රවාදයක් ඇත. එනම් ලෝලු ගස විෂ්නු දෙවියන්ගේ යෂ්ටිය ලෙස භාවිතා කර ඇති බවයි. ගස දෙස බලන ඕනෑම අයෙකුට ලෝලු ගසෙහි සැරමිටි ආකාරයට අතු විශාල ප්‍රමාණයක් ගසෙහි තිබෙන බව පෙනේ. මේ සිද්ධිය නිසා බෝධියට මෙන්ම ජනතාව විශාල ගෞරවයක් ලෝලු ගසටද දක්වයි. මෙම නිසා දෙවියන්ගේ විශේෂ අඩවියක් ලෙස මෙම විහාරය ගම්මුන් හඳුන්වයි.

මෙවන් ආකාරයේ පිහිටීමක් තිබෙන දූවේ පන්සලේ සල්ගසක් ද ඇත. ගස සිටවූයේ කවුරුන්ද යන්න ගමේ කිසිවෙකු දන්නේ නැත. බෝධියට දකුණු පසට වන්නට අඩි 15 ක් පමණ දුරින් මෙම සල්ගස පිහිටා ඇත. මෙම සල්ගසේ මල් හටගත් කාලයට විහාරය සහ අවට මුළු ප්‍රදේශයම සල්මල් සුවඳින් පිරීයයි. එම සුවඳ ගත සිත ප්‍රබෝධමත් කරයි.

ඉතා දුර්ලභ ලක්ෂණයක් පෙන්නුම් කෙරෙන මෙම විහාරයේ බෝධියත්, සල්ගසත් ලෝලු ගසත් පිහිටා තිබීම නිසා මෙහි ගුප්ත බලයක් තිබේය යන්න අපගේ පැරැණි මුතුන්මිත්තන්ගේ මෙන්ම වර්තමානයේ ගම්මුන් අතරද ප්‍රචලිත කරුණකි. එම දැඩි විශ්වාසය නිසා මෙම විහාරයේ දිනපතා උදේ සවස නොයෙක් ආකාරයේ පුද පූජා පවත්වයි. බොහෝ දෙනෙක් පැමිණ ඔවුනට ඇතිවී තිබෙන ලෙඩදුක් වලට සහ කරදර වලට සෙත ඉල්ලා පූජා පවත්වයි. තවත් අය පැමිණ ඔහුට කරදර කරන අයට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා පොල්ගසයි. මෙය දෙවියන්ගේ බලපෑමක් තිබෙන ස්ථානයක් මෙන්ම දෙවියන්ගේ අඩවියක් බව සියලු ගමේ ජනතාව මෙන්ම අවට ප්‍රදේශවල ජනතාව ද තදින් විශ්වාස කරන්නේ තමන් කරන පුදපූජා වලින් ඔවුන් සිතන දේ ඒ ආකාරයෙන් ඉටු වී ඇති නිසාවෙනි. ඒ බව ගමේ ජනතාව නිතර පවසති.

මෙතරම් පැරණි විහාරයක භික්ෂූන් වහන්සේ නමක් වැඩසිටි බවට සාධක ලැබෙන්නේ 1940 දශකයේ සිටය. ඒ බව සඳහන් වන්නේ බෝධිය වටා ඉදිකර ඇති ප්‍රාකාරයේ එය ඉදිකළ වර්ෂය මෙන්ම එය ඉදිකරන අවස්ථාවෙ වැඩසිටි භික්ෂූන් වහන්සේගේ නම සඳහන් ව ඇති නිසාය.

90 දශකයේ වැඩ සිටි හිමි නමක් විහාරයට සහ ගමට විශාල අඩුපාඩුවක් ව තිබූ විදුලි බලය ලබාගැනීමට විශාල වෙහෙසක් දරා එය එවක රජය විසින් ලබාදෙන ලදී. විහාරයේ දක්නට ලැබෙනුයේ ගොඩනැගිල්ලක් ලෙස ධර්මශාලා මන්දිරය පමණි. මීට පෙර ආවාස ගෙයක් තිබුණ ද එය දිරාගොස් කඩා වැටී ඇත. අනතුරුව වර්තමානයේ සිටින විහාරාධිපති හිමියන් කරනු ලැබුවේ ධර්මශාලාවෙන් කොටසක් එම හිමියන් විසින්ම වෙන්කරගෙන එහි ලැගුම්ගැනීමයි. එම ආවාසගෙය කඩාවැටීමෙන් අනතුරුව බොහෝ වෙහෙස දරණ ලද්දේ අලුතින් ගොඩනැගිල්ලක් සාදා ගැනීමටය. එය මේ වනතුරු සාර්ථක වූයේ නැත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ විහාරයේ දායක පිරිස සීමිත වීම නිසාවෙනි. එම සීමිත පිරිස ද කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගෙන ජීවත් වීම නිසා මිල මුදල් අතින් ඔවුන් ඉතා පහත් තත්ත්වයක සිටී. මෙසේ ආවාස ගෙයක් නොමැති කම විහාරයේ වැඩ වෙසෙන හිමියන්ට දැඩි අපහසුතාවයකට පත්කිරීමට හේතුවක් වී ඇත. ආවාස ගෙයක් නොමැති විහාරයට ස්වභාව ධර්මයාද ඉඳහිට අභියෝග එල්ල කරයි. විහාරය පිහිටි බිමේ සිට පොල්අතුමෝදර ගගට තිබෙන දුර ප්‍රමාණය මීටර 200 ක් පමණි. එම නිසා වර්ෂාව අධික සමයේ පොල්අතු මෝදර ග¼ග පිටාර ගලා යයි. එසේ පිටාර ගලන අවස්ථාවලදී මෙම විහාර භූමිය ජලයෙන් පිරී යයි. ඇතැම් අවස්ථාවලදී එම ජල ප්‍රමාණය අඩි 6 - 7 දක්වා ඉහළ නගී. එම අවස්ථාවලදී විහාරයේ වැඩ වෙසෙන හිමියන්ට සිදුවන්නේ ජලකද අඩුවනතුරු වෙනත් විහාරයකට ගොස් සිටීමටය.

පෞරාණික විහාරයක් වන ජඹුරේගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයට පිවිසීමට සුදුසු මාර්ගයක් හෝ පිළිසකර කර දීමට නොහැකි වී ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.