Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අක්මීමණ කපුහෙම්පල ශ්‍රී සුමංගලෝදයාරාම විහාරස්ථානය

අක්මීමණ , කපුහෙම්පල , පන්සල කන්දේ, පිහිටි ශ්‍රී සුමංගලෝදයාරාම විහාරස්ථානය පෞරාණික වැදගත්කමකින් යුත් සිද්ධස්ථානයකි. ඉතා රමණීය කඳු මුදුනක දර්ශනීය භූමි භාගයක මෙම සිද්ධස්ථානය පිහිටා ඇත.

පන්සල කන්ද අවට ගම්වාසීන්ගේ පමණක් නොව ගාලු දිස්ත්‍රික්කයේ නොයෙක් ගම්මානවලින් පැමිණෙන බොදුනුවන් ගේ ගරු බුහුමනට මෙම පින් බිම ලක්ව ඇත. මෙහි මුල්ම විහාරාධිපතීන් වහන්සේ මලිගස්පේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේයි.

1895 ක් වූ මාර්තු දොලොස් වන දින මෙම විහාරස්ථානය ආරම්භ වී ඇත. එකල මෙම පින්බිම හඳුන්වා ඇත්තේ “ ගලගාව කන්ද පන්සල “ යනුවෙනුයි. සුමංගල නාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය මලිගස්පේ සුඟුණ හිමිපාණෝ මෙහි විහාරාධිපති පදවියට පත්වූහ.

ශ්‍රී සුමංගලෝදයාරාමය යන නම තබන ලද්දේ සුඟුණ හිමියන් විසිනි. අද මෙම විහාරස්ථානයෙහි විහාරාධිපතීන් වහන්සේ පූජ්‍යපාද අක්මීමණ සුධම්ම හිමිපාණන් වහන්සේය. 91 වන වියෙහි පසුවන උන්වහන්සේ වර්ෂ 1940 දී පමණ මෙම පුද බිමට වැඩම කොට දානපතීන්ගේ හා ප්‍රදේශවාසී දායක කාරකාදීන්ගේ සහයෝගය ලබා ගෙන අද මෙම විහාරස්ථානයෙහි පවතින දෙමහල් සංඝාවාසය , ධර්මශාලාව , දාන ශාලාව ඇතුළු ගොඩනැගිලි රැසක් කරවීමට ක්‍රියාකොට ඇත.

විහාරාධිකාරි ශාස්ත්‍රපති කපුහෙම්පල නන්දිමිත්‍ර හිමි විදුහල්පති, හිනිදුම චන්දානන්ද හිමි සහ විහාරවාසී ඕපාත සද්ධානන්ද හිමිවරුන් අද ශ්‍රී සුමංගලෝදය විහාරස්ථානය බබලවමින් මෙහි වැඩ වසති.


හිනිදුම චන්දානන්ද හිමි

අද මෙම විහාරස්ථානය ඕපාත සද්ධානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන රණවිරු උපහාර අටවිසි බුද්ධ පූජා පින්කම නිසා තවත් ප්‍රචලිතව ඇත.

කුරිරු යුද්ධය අවසන් කොට රටට සාමය උදාවන තුරු සතියේ සෑම සෙනසුරුදාවකම රාත්‍රී කාලයේ සිදු කෙරෙන මෙම රණවිරු උපහාර අටවිසි බුද්ධ පූජා පිංකම් මාලාවට අවට ප්‍රදේශවල ජනතාව පමණක් නොව රණ විරුවෝ පවා එක්ව සිටිති.

සුමංගලෝදයාරාම විහාරස්ථානයෙහි අබලන්ව පවතින බුද්ධ මන්දිරය ඇතුළු විහාරාංග සංවර්ධන කටයුතු සඳහා සංවර්ධන අරමුදලක් පිහිටුවා එම සංවර්ධන කටයුතු ආරම්භ කීරිම 2008 නව වසර ආරම්භ යේ සිට සිදු කිරීමට විහාරාධිපති අක්මීමණ සුධම්ම නායක හිමිපාණන්ගේත්, විහාරාධිකාරී හිනිදුම චන්දානන්ද හිමියන්ගේත් අවසරය සහ ආශිර්වාදය ඇතිව ඕපාත සද්ධානන්ද හිමියන් ඇතුළු ප්‍රදේශවාසී තරුණ පිරිස පෙරමුණ ගෙන සිටීම සැබවින්ම භාග්‍යයකි.


චෛත්‍ය රාජයාණන් වහන්සේ


පැරැණි ධර්ම ශාලාව


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.