Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා විහාරය


කෑෑල්ලගම සිරි චන්ද්‍රා නන්ද ස්වාමීන් වහන්සේ

එක් සොඳුරු මිටියාවතක එක් උස් භූමි භාගයෙක සිත්නිස් කාන්සුවට පත් කෙරෙන තවත් එක් පින් බිමකි. නොයිඳුල් සිංහරාජ වනාන්තරයට යාබද ගොන්ගල් කන්දේ නැගෙනහිර බෑවුමේ සුරම්‍ය වූ පරිසරයකි. කෑල්ලගම නම් ගම එහි පිහිටියේ වෙයි. බටහිරින් ගොන්ගල් කන්ද ද දකුණින් කෝප්ප කන්ද ද උතුරින් බුත් කන්ද ද නැගෙනහිරින් වලල්ගොඩ නැමැති ඉපැරණි ගම්වරයද යන මේ මායිම් තුළ පිහිටි කෑල්ලගම ශ්‍රී දළදා වහන්සේට පූජා කළ විහාර ගමක් වශයෙන් ඓතිහාසික ලේඛන සනාථ කරයි. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්නා කෝරළයේ කොළොන්නා ගම්පත්තුවේ පිහිටි කෑල්ලගම ශ්‍රී සුදර්ශනාරාමය සිත් ආලෝලනය කරනා විහාරස්ථානයකි.

මෙම විහාරස්ථානය මහනුවර රාජධානි සමයේ අවසාන කාල පරිච්ඡේදයේ දී එනම් 1803 වෙසක් පුන් පෝදා ආරම්භ වූයේ වරිච්චි ගසා සෑදු බිත්තියෙන් ද ඉලුක් සෙවිලි කළ පියසකින් ද හෙබි කුඩා ආවාස ගෘහයක් ඉදිකිරීමෙනි. ඒ උල්ලිඳුවාවේ ධම්මදින්න හිමියන්ගේ පුරෝගාමීත්වයෙනි.

බොදුනුවන් වූ අප විහාරස්ථානයකට පැමිණෙන්නේ අනේක වූ දුක් කන්දරාව කඩුල්ලෙන් එපිට තබා සිත් සැහැල්ලු කර ගැනීමට ය. කඨෝර වියැවුල් දර්ශනයන්ගෙන් මිදී නෙත් පහන් කර ගැනීමට ය. සන්සුන් ඒ පරිසරය හා සුසන්ගත වෙමින් ගත සිත නිවා ගැනීමට ය.

මලක් දොවා ඒ සිසිල් පැන් දෝවනයේ සිසිලසත්, පහනක් පුදා ඒ ආලෝකයෙන් ප්‍රඥාලෝකයේ කවුළු හැර ගැනීමටත්, කොටින්ම සිත සමාධිගත සුවයෙන් සතපවන්නට හැකි පින් බිමක පරිසරයක්, පන්සලකදී ප්‍රතිනිර්මාණය විය යුතු යැයි සිතේ.


බුදු මැඳුරේ දසුනක්


විහාර මන්දිරය


දර්ශනීය ඝණ්ඨාර කුළුණ

එදා වරිච්චි ආවාස කුටියෙන් ඇරඹී, අද හාත්පස විහිදුණු විහාරාංගයන්ගෙන් සමන්විත, ඒ ඉදිකිරීම් සියල්ල දරා සිටින පරිසරයද රමණීය ලෙස සැකසී ඇති, කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා විහාරය එවන් නිර්මාණයකි. මෙහි ඇති විහාර මන්දිරය සිත් පැහැර ගැනීමට සමත් ලෙස පැරැණි විහාර නිර්මාණ ශිල්පයේ අපූරු ගුණ පසක් කරවමින් ඉදිවී තිබේ.

ඇතුළත ද ඇති බිතු සිතුවම් මූර්ති ප්‍රතිමාදියද ඉතා අලංකාරවත් ලෙස නිමවා ඇත. සබරගමු පළාතේ ඇති ඉතා දැකුම්කළු විහාර මන්දිරයක් ලෙස මෙය ප්‍රකට ය. විහාර මන්දිරය ඉදිකිරීම අරඹන ලද්දේ 1928 වසරේදී ය. එහි වැඩ නිමකර ඇත්තේ 1947 දී ය. එවකට මෙහි විහාරාධිපතීත්වය උසුලන ලද්දේ කෑල්ලේ සරණපාල ශ්‍රී සුනන්ද මාහිමිපාණන් වහන්සේ විසිනි.

මෙම විහාර මන්දිරයේ ගෘහනිර්මාණ ශිල්පියා වූයේ වැලිගම රයිනිස් සේරසිංහ මහතා ය. වසර 19 ක පමණ කාලයක් ගත වූ මෙම විසල් තෙමහල් විහාර මන්දිරය ගොඩනැංවීම වෙනුවෙන් ඔහුට වෙත ගෙවා ඇති වැඩ කුලිය රු 2205.30 ක් බව වැය ලේඛනයන්ගේ සටහන්ව ඇත. එදා සහ අද මුදලේ අගය සංසන්දනය කර බැලීමට මෙය කදිම සාධකයකි.

මෙහි නිර්මාණය වී ඇති බුද්ධ ප්‍රතිමා ම¼ගින් මහා සමය සූත්‍ර දේශනාව, දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව, සහ ප්‍රධාන ප්‍රතිමාව මඟින් මහා පරිනිර්වාණය පිළිබිඹු කරයි. මැද මහලේ වට බිත්ති මත සූවිසි විවරණය, ප්‍රතිමා මඟින් නිරූපිත වෙයි. මෙය නෙත සිත විච්ත්‍රවත් කරයි.

විහාර මන්දිරය තුළ උතුරු පැත්තේ දේවතාරාධනා පෙරහර දැකුම්කළු ලෙස නිර්මාණය කර තිබේ. මනස්කාන්ත මකර තොරණ මැදින් මන්දිරයට ඇතුළු වන තැන ඉතා අලංකාර ලෙස මෛත්‍රී බෝධි සත්ව පිළිමයක් ද දක්නට ලැබේ.

මෙවන් විශාල ප්‍රතිමා රාශියක් නිර්මාණය කිරීමට අද වන් දිනක නම් රුපියල් ලක්‍ෂ ගණනක් අභිබවන සුළු මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. මෙම සියලුම ප්‍රතිමා මනරම් ලෙස නිර්මාණය කරන ලද්දේ එදා විසූ සුප්‍රකට චිත්‍ර මූර්ති ශිල්පී ශ්‍රී ජයලත් ජෝති රත්න සන්දොරිස් නම් ශිල්පියාගේ ප්‍රතිභාවයෙනි.

සූවිසි විවරණ පිළිම 24 ඇරැඹීමට ඔහු ගෙන ඇති වැඩ කුළිය රු 360 කි. එනම් එක් පිළිමයකට රු.15 කි. අද වන් දිනක නම් එවන් දැවැන්ත පිළිමයක් නොව පිළිමයක නියපොත්තකින් අඩක්වත් එම මුදලට සැකසිය හැකිද?

මෙය ද කාලය හා මුදල අතර වූ ශීඝ්‍ර විපර්යාසය විග්‍රහ කර බැලීමට අවැසි කදිම සාධකයකි. නිදහස් සුව වින්දනය කළ හැකි පසුබිමෙන් දිස්වෙන කඳු පන්තීන් ද පෙරබිමෙන් රුක් ගොමුවෙන් ද සුසැදි සොඳුරු පරිසරයක් මධ්‍යයේ මෑතදී නිර්මාණය කළ චෛත්‍ය රාජයාණන් වහන්සේ බොදු සිත සනසනා අපූරු චිත්‍රයක් මවාල යි.

බුදු මැදුර පසෙකින් ඇති ඝන්ඨාර තොරනද මනා සැකැස්මකි සොඳුරු නිර්මාණයකි. පැරණි ධර්මශාලාවද එවන් වූ ම නිර්මාණයකි.

වසර දෙසීයක් තරම් පැරැණි සංඝාවාසය අල්පේච්ච දිවි සුව විඳිනා සඟ පරපුරක ඇවැතුම් පැවැතුම් වලට සිරිලන සරල මෙන්ම ඉපැරණි බවේ ගෘහ නිර්මාණ ලකුණු නොමකමින් අද ද දැක ගැනීමට පුළුවන. ලංකාවේ කීර්තිමත් ප්‍රභූ පැලැන්තියකින් පැවත ආ මඩුවන් වෙළදිසාවේ ගේ දායකත්වයද එකල මෙම විහාරාස්ථානයට ලැබී ඇත.

මෙහි වත්මන් විහාරාධිපතිත්වය උසුලන්නේ ශාස්ත්‍ර විශාරද, රජාකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී, අධ්‍යාපන ඩිප්ලෝමා, පශ්චාත් උපාධිධාරී, කොළොන්නා කෝරළයේ සමථබල සංඝනායක ශාසන කීර්ති ශ්‍රී ධම්මධරාභිධාන කෑල්ලගම සිරි චන්ද්‍රානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

උස්වහන්සේ මෙම විහාරස්ථානයේ පස්වන විහාරාධිපති වහන්සේ යි. සඝරුවනකට අවැසි සියලු ගුණයන්ගෙන් පෝෂණය වූ උන්වහන්සේගේ නාමය කොළොන්න කෝරලය පුරා ව්‍යාප්තව පවතී.

උන්වහන්සේ එම ප්‍රදේශය පුරා කර ඇති ශාසනික සමාජ සේවයද ගෞරවයට පාත්‍රව තිබේ. අද ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ රක්වාන දක්වා බස් රථ ගමනාගමනය සිදුවන්නේ ද උන්වහන්සේගේ වීර්යයේ ප්‍රතිඵලයෙනි.

ප්‍රදේශය පුරා දහම් පාසැල් ඇතිකිරීම, ශ්‍රී සුදර්ශන මහා විහාරයට අනුබද්ධිතව ගිහි පැවිදි සිසුන් සියයකින් පමණ සමන්විත පිරිවෙණක් ගොඩ නංවා පවත්වාගෙන යාම නව චෛත්‍ය ඉදි කිරීම ද විශේෂිත ය.

වයෝවෘද්ධ වූවද ශාසනික ආගමික, සමාජ සේවයට කැපවුන චන්ද්‍රනන්ද නා හිමියන් තාරුණ්‍යයෙන් පිරිපුන් හදින් අනේක දුෂ්කරතා මැද මේ උදාර මෙහෙවරෙහි අද ද නියැලී හිඳී. මෙම විහාරස්ථාන තවත් පරිපූර්ණත්වයට පත් කර ගැනීමට කළ යුතු වැඩ රාශියක් ඉතිරිව ඇති බව පෙනේ.

අපගේ සංස්කෘතික උරුමයන්ගේ අක් මුල් මත පරිසරයද විචිත්‍රවත් කරමින් සුදිලෙන ශ්‍රී සුදර්ශන මහා විහාරය වර්තමානය විසින් ඉතිහාසයට එකතු කරන විශේෂ පින් බිමක් ලෙස හෙටදින වොරැදෙනු ඇත.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.