Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගාල්ල මහමෝදර කෝවිලගොඩැල්ල ශ්‍රී බුද්ධසිංහ විජයාරාම මහා විහාරය

ගාලු නගරයේ ඓතිහාසික විහාරස්ථාන අතර මහමෝදර කෝවිල ගොඩැල්ල ශ්‍රී බුද්ධසිංහ විජයාරාමයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. වසර සිය ගණනක් පැරණි බෝධීන් වහන්සේලා දෙනමක් වැඩ සිටීම මෙම විහාරස්ථානයෙහි සුවිශේෂ ලක්‍ෂණ අතරින් එකකි. තවද විජයාරාමස්ථ ශ්‍රී ගුණෝදය මහ පිරිවෙණ ද තවත් සුවිශේෂී කරුණකි.


බුදු මැදුර තුළ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ගාල්ල මහමෝදර ආරෝග්‍යශාලාව වෙත පැමිණෙන ගැබිනී මව්වරුන්ට මෙම පුදබිම ක්‍ෂේම භූමියක් බඳු ය. ඔවුන් සඳහා පවත්වන සුවිශේෂ බෝධි පූජා සහ මෙහි පිහිටි ඉපැරණි හින්දු කෝවිලෙහි පවත්වන දේවපූජා තුළින් ද නිදුක් නීරෝගී සුවය ගැබිනී මව්වරුනට සහ ළදරුවනට ලැබෙන බවට තදබද විශ්වාසයක් පවතී. දහස් සංඛ්‍යාත ගැබිණි මව්වරු මෙම විහාරස්ථානයෙහි බෝධි පූජා තුළින් සැනසීම ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන නිබඳව බෝධි පූජා පවත්වති.

ඉපැරණි චෛත්‍ය රාජයාණන් වහන්සේ, දර්ශනීය බුද්ධ මන්දිරය දකින කාගේ වූවද නෙත් සිත් සනසාල යි. මෙම විහාරස්ථානයෙහි විහාරාධිපති ගාලු, මාතර, හම්බන්තොට තෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, හබරකඩ සෝරත, නාහිමිපාණන්ගේ අවවාද අනුශාසනා පරිදි, විහාරාධිකාරී ශාස්ත්‍රපති ධනවල පි‍්‍රයංකර හිමිපාණන්, ශ්‍රී බුද්ධ සිංහ විජයාරාමය දක්‍ෂිණ ලංකාවේම ප්‍රමුඛ පෙළේ බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් කිරීමට ගන්නා අවංක උත්සාහය වඩ වඩාත් අගය කළ යුතු ය.

ඒ සඳහා රජයේ වගකිව යුතු අංශවල මෙන්ම ප්‍රදේශවාසී බෞද්ධ අබෞද්ධ සෑම ජනකොටසකගේම නොමද සහාය ලැබිය යුතු වන්නේ ය. බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන් සැමටම සෙත සැනසීම ලබාදෙන කෝවිල ගොඩැල්ල ශ්‍රී බුද්ධසිංහ විජයාරාමය පුරාණ විහාරය තවත් ශතාධික කාලයක් දකුණු සිරිලක විහාරස්ථානයන් අතර බැබලේවා යනු සැමගේ ප්‍රාර්ථනය යි.


චෛත්‍යය


පැරැණි ධර්ම මන්දිරය


පැරැණි දේවාලය


වසර සිය ගණනක් පැරැණි බෝධීන් වහන්සේ

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.