Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී විජය සෞගත විද්‍යාලයීය පිරිවෙන


චෛත්‍යය හා බුදු මැඳුර

වරක් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මාරයා මේ බුදුරදුන්ට පිරිනිවන් පෑමට සුදුසු කාලය යැයි අවධාරණය කළ සේක. එබැවින් බුදුන් වහන්සේ පවසා වදාළේ, “මාරය මාගේ ශාසනයේ සිව්වනක් පිරිස ව්‍යාක්ත, විශාරද, විනීත හා පරවාද මථනයෙහි දක්ෂයන් පිරිසක් වන තුරු මා පිරි නොපානා බව“යි. මින් සනාථ වන්නේ බුදුන් වහන්සේගෙන් පසුව උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය නිසි අයුරෙන් නිවැරදි ලෙස ලෝ පුරා ව්‍යාප්ත කර හැරීමෙන් එම උතුම් ධර්මය ඉගෙන තේරුම් ගෙන එය සාක්ෂාත් කර ගැනීමෙන් විමුක්ති සුවය උදා කර ගැනීමට තම ශ්‍රාවකයන්ට අවැසි ශක්තිය ලබාදීමේ මහත් වූ උතුම් ක්‍රියාවයි. පරමාදර්ශී උතුම් චරිතයක පරහිතකාමිත්වය මෙම කෙටි වදනින් පැහැදිලි කර ගැනීමට හැකිය. ධර්මාවබෝධය නිසි අධ්‍යයනයෙන් ලබා ගැනීමේ ඇති සුවිශේෂී බව ද මෙයින් මොනවට පසක් වෙයි.
මේ උතුම් සද්ධර්මය මුඛ පරම්පරාවෙන් පැමිණ තල්පත් ලේඛනයෙන් ද, ශිලා ලේඛනයෙන්ද ග්‍රන්ථාරූඪ කිරීමෙන් ද මහා දුෂ්කර ගමන් මගක ගලා විත් පිරිවෙන් අධ්‍යාපන ක්‍රමවේදය මගින් සභ්‍යත්වය, හැදියාව, ශික්ෂණය කොටින්ම මහා සංස්කෘතිමය දායාදයන් වැනි උත්තුංග ගුණ කෙඳකින් මේ දහම් කෙත පෝෂණය කරන ලදී.
මෙම පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අපගේ විධිමත් සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ මූලාරම්භය සටහන් කරයි. මෙය වඩාත් විමසීමේ දී ප්‍රත්‍යක්ෂ වන්නේ උගත් බහුශ්‍රැත විනයධර ධර්මධර සුපේශල සකලාංගයන්ගෙන් පර්පූර්ණ වූ භික්ෂූ සමාජයක් මේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයෙන් බිහි කළ බවයි. ඒ අරිහත් ධජයෙන් ශෝභාමාන වූ භික්ෂූ සමාජය අපේ රට, ජාතිය, ආගම, සමාජය ගොඩ නැංවීමේ පෙරටුගාමීන් වූ බවයි. එසේ නම් එවන් වූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධකයක් බිහි කළා වූ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ අති සුවිශේෂී ලකුණ කොතරම් නම් ප්‍රබල දැයි අපට හැඟී යනු ඇත. විටෙන් විට පරදේශක්කාරයින් අප මව් බිම ආක්‍රමණය කිරීමේ දී අපගේ බෞද්ධාරාම, පුද බිම් විනාශ කිරීමෙන් අපගේ සම්ප්‍රදායික පිිරිවෙන් අධ්‍යාපන ක්‍රමය ද, බෞද්ධ උරුමය ද වක්‍රව අපගෙ උදාර සංස්කෘතික ගමන් මගට ද වැදුනේ මරු පහරකි.
 


බෝධීන් වහන්සේ

නෙක වූ සන්ධිස්ථානයන් පසු කරමින් විත් නැවත මේ උසස් සම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමය පණ ගැන්වීමට ප්‍රබල ලෙස දායකත්වය සපයන්නේ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ උදාර යති ලකුණෙන් ශෝභමාන වන ඒ ඓතිහාසික යුගයයි. පසුකාලීනව 1872 - 1873 වසරයන්හි දී විද්‍යාලංකාර විද්‍යෝදය පිරිවෙන් ජනිතවීමෙන් ලද බෞද්ධ ප්‍රබෝධයේ උද්දාම සමයේ ප්‍රතිඵල මතින් 1923 වසරේ දී පාණදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය ඇරඹීම නූතන පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය පෝෂණය කිරීමට සමත් දම් කෙතක මහත් ඵල දරණ සරු අස්වැන්නක් සේමය. මෙය එවන් වූ සුවිශේෂ පිරිවෙනක් ලෙස මේ බිම දිදුලවන්නට සමත් වන්නේ මෙය ආරම්භ කළ පණ්ඩිතාචාර්ය වලානේ ශ්‍රී විජයනන්ද අධිකරණ නාහිමියන් සතු වූ සුපේශල බවත් බහුශ්‍රැත ගුණයත් කැටි වූ උතුම් සංඝ පීතෘවරයකු සතු සකල මහා ගුණ කදම්බයේ බල පරාක්‍රමය නිසාය. භෞතික සම්පත් වලින් හීන ඉතා කුඩා ගොඩනැගිල්ලකින් ඇරඹි ශ්‍රී විජය සෞගත විද්‍යාලයේ ව්‍යාප්තිය පසු කලෙක අතු ඉති විහිදුවමින් මල් ඵල දරමින් සුවඳ විහිදුවමින් දෙස් විදෙස්හි පවා කිත් යසස පතුරවයි.
ඉන් ඥානය ලද පැවිදි ගිහි පිරිස වියත් සභා මැද පෙළහර පෑමට සමත් මහා ප්‍රාඥයන් පිරිසක්ව මේ පිරිවෙනේ වටිනාකම පසක් කිරීමට සමත්ව සිටීම සුවිශේෂී වෙයි. 1957 වසරේ ශ්‍රී විජයනන්ද මහ සඟරුවනගේ අපවත් වීමෙන් පසුව එම සම්භාව්‍ය තනතුරට පත්වන්නේ උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ පණ්ඩිතාචාර්ය මාදුපිටියේ ශ්‍රී මේධානන්ද අනුනාහිමිපාණන්ය. තම ගුරු දේවයාණන් සේම මහ සඟ රුවන් මඟ ආලෝකවත් කළ මේධානන්ද මාහිමියන් ව්‍යක්ත ප්‍රතිභාවෙන් හෙබි ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස ප්‍රචලිත විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂාවන්හි පෘථුල දැනුමකින් සුපෝෂිත උන්වහන්සේගේ ධර්ම දේශනාවන් 60 - 70 දශකයේ ගුවන් විදුලියෙන් විකාශනය වෙමින් ගම් නියම්ගම් පුරා විහිදූ ඒ යශෝරාවය අදත් නොමැකී පවතී.
1989 වසරේ දී මේධානන්ද නා හිමියන්ගේ අභාවයෙන් පසුව වසර 10 ක පමණ කාලයක් අකර්මන්‍යව පැවති පිරිවෙණ නැවත පුනර්ජීවය ලබන්නේ 1993 වසරේ දී උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ වත්මන් පිරිවෙන් විහාරාධිපති පාණදුරේ විජිතනන්ද තරුණ භික්ෂූන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ කාර්යක්ෂම ඤාණයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
 



නව දෙමහල් පිරිවෙන් ගොඩනැඟිල්ල

අද මෙම පිරිවෙණහි පැවිදි සිසුහු 60 දෙනකුට වඩා අධ්‍යාපනය ලබති. ඒ අතර විදේශයන්ගෙන් පැමිණ අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා ද වීම විශේෂයකි.
විජිතනන්ද හිමියන්ගේ මේ කාලය තුළ විහාරස්ථානයට අඩුවක්ව පැවති චෛත්‍යරාජයාණන් ගොඩ නැගීම විශේෂිත වූ කාර්ය සාධනයකි. වත්මන වන විට ශ්‍රි විජය සෞගත විද්‍යාලයීය පිරිවෙන සකලාංගයන්ගෙන් පරිපූර්ණ වූ සිත් සතන් පහදවන, පහන් කරවන පුණ්‍ය භූ®මියක් බවට පත්ව තිබේ.

මෙම ශ්‍රී විජය සෞගත පිරිවෙන ආරම්භ කරමින් රට දැය සමය සුපෝෂිත කිරීමට සමත් ඤාණය ප්‍රදානය කිරීමට ඉමහත් මෙහෙයක් කළා වූ ශ්‍රී විජයානන්ද නාහිමි මෙන්ම ඒ මහඟු මෙහෙවර ඉදිරියට රැගෙන ආවා වූ ශ්‍රී මේධානන්ද නාහිමිපාණන් වහන්සේලාගේ උදාර මෙහෙවරට කෘතවේදිත්වය පුද කිරීමේ සැබෑ බොදුනුවා සතු උතුම් ගුණය පසක් කරමින් අද දින විවෘත වේ. ශ්‍රී විජයානන්ද නාහිමි අනුස්මරණ ශ්‍රවණාගාරය, ශ්‍රී මේධානන්ද නාහිමි අනුස්මරණ පුස්තකාලය තායි ශ්‍රී ලංකා මිත්‍රත්ව භික්ෂූ නේවාසිකාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල වත්මන් යුගයේ පවතින ආර්ථික අපහසුකම් හමුවේ මෙලෙස ශෝභාවත්ව ගොඩනැංවීම ද අභියෝගාත්මක විසල් ව්‍යායාමයකි.

විජිතනන්ද හිමියන්ට තනිව කළ නොහැකි වූ එම දුෂ්කර කාර්යය සාර්ථක ලෙස නිමකරලීම උදෙසා ජිනසේන සමූහ ව්‍යාපාරයේ තිස්ස ජිනසේන මහතා මෙන්ම ලංකාවේ හිටපු තායිලන්ත තානාපතිතුමා සමග තායි භික්ෂූන් වහන්සේලා ද, මංජුල සම්පත් සිල්වා මහතා වන් පරිත්‍යාගශීලීන් සමග පරිවෙනාරක්ෂක සභාවේ මෙහෙයවීම මගින් මේ දැවැන්ත අභියෝගය ජයගෙන ඇත.

මහා නාහිමිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ ආශිර්වාදය මධ්‍යයේ අද දින සඟ සතු කරමින් පූජා කෙරෙන මෙම ශිල්ප ශාලාවේ සෙවන යට දී ධර්මාවබෝධය ගෙන ප්‍රඥාවේ දොර කවුළු හැර පෙරමුණට එන භික්ෂූ පරපුරෙන් මේ බිම පමණක් නොව දෙස් විදෙස්හි පවා අවිද්‍යා අන්ධකාරය දුරලන ආලෝකයේ අරුනළු විහිදේවායි පතමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.