UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

අගය නො දැකීම

හැන්දට මාළුපිණිවල රසය නො දැනෙන්නාක් මෙන් අනුවණයා දිවි ඇතිතාක් පණ්ඩිතයකු ඇසුරු කළත් දහම නො දැනගනී. දිවට මාළුපිණි රස දැනෙන්නාක් මෙන් නුවණැත්තා මොහොතක් කල් පමණ වුවත් පඬිවරයකු ඇසුරු කැරෙන්නේ නම් වහා ධර්මය දැනගනී යැයි ධම්මපදයේ බාල වර්ගයේ සඳහන් ය. මේ මහඟු ධර්මෝපදේශය ශ්‍රී ලාංකිකයන්ට යළි කියා දීම ගැන පීටර් මුවර්ට අප ණයගැති ය. පීටර් මුවර් ගේ මේ දූත මෙහෙවර අප පාඨකයන්ට අවබෝධ කැර ගැනීම පිණිස ලන්ඩන් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාවක් මෙහි පහත උපුටා දක්වමු.

“ශ්‍රී ලංකා පිලට ඔවුන් ගේ ගෙදර දී ම ලජ්ජා සහගත පරාජයක් අත්කැර දීමට හැකි වූයේ ගාථා 423 ක් ඇති ධම්මපදය හොඳින් ප්‍රගුණ කළ නිසා යැයි අප ගේ නව පුහුණුකරු පීටර් මුවර් කිය යි. ප්‍රීතිය, කනගාටුව හා තරහ පාලනය කැරගන්නා අන්දම ගැන බුදුන් වහන්සේ දේශනා කැර ඇති ඔවදන් තමා ක්‍රීඩකයන්ට ඉගැන් වූ නිසා ඔවුන් විනයෙන් හා හික්මීමෙන් යුතු ව ක්‍රීඩා කැරෙමින් ශ්‍රී ලංකාව ලෙහෙසියෙන් පරාජය කළා යැයි පීටර් මුවර් පවසන්නේ ආඩම්බරයෙනි.”

“අවුරුදු විස්සක් තිස්සේ ආසියාවේ දී වල්මත් වී පිට පිට තරග පරාජය වෙමින් සිටි එංගලන්ත ක්‍රිකට් පිලට සාමූහිකව ක්‍රීඩා කැරීමේ ශක්තිය ලැබුණේ ධම්මපදයේ ඉගැන්වීම් වලින් බව අපට සැකයක් නැත. සම්පූර්ණයෙන් ප්‍රශංසා ලැබිය යුතු පුද්ගලයකුවත් මුළුමනින් ම නිවැරැදි නැතැයි යන ගාථාව මම අප ගේ ක්‍රීඩකයන්ට නිතර මතක් කර දුන්නා යැයි පීටර් මුවර් තව දුරටත් කිය යි. ඉතා ම කෙටි කාලයක දී එංගලන්ත පිලට ආත්මාභිමානය කැවූ නව පුහුණුකරු මුවර්, ඔහු ගේ සහායක ඇන්ඩි ෆ්ලවර් හා පන්දු යැවීමේ පුහුණුකරු ඔටිස් ගිබ්සන් යන තිදෙනා ම පළමු තරගයේ පරාජයෙන් පසු සැකැසූ සූක්ෂ්ම සැලැස්ම නිසා ශ්‍රී ලංකාව නො සිතූ අන්දමට පරාජය කැරීමට හැකි විය.”

මෙය, බ්‍රැඩ්ෆෝර්ඩ්  (BRADFORD) කුසලානය සඳහා පසුගිය දා ශ්‍රී ලංකාවේ දී පැවැති සීමිත පන්දු වාර එක් දින ක්‍රිකට් තරගාවලිය තරග තුනට දෙකක් වශයෙන් එංගලන්ත පිල ජයග්‍රහණය කැරීම පිළිබඳව එරට පුහුණුකරු දැක් වූ අදහස් මත සැකැසූ පුවත්පත් වර්තාවකි.

ධම්මපදයේ ඇතුළත් ඉගැන්වීම් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා උපයෝගී කැරගත හැකි යැයි අප රටේ ක්‍රීඩා බලධාරින් වටහාගෙන සිටි බවක් නො පෙනේ. එසේ තිබිය දී එංගලන්ත ක්‍රිකට් පුහුණුකරු ධම්මපදය ගැන කතා කැරෙන විට අප කෙතරම් ලජ්ජා විය යුතු ද? ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රීඩා පිටියට පිවිසෙන ක්‍රීඩකයන් ගේ දකුණතෙහි පිරිත් නූලක් ගැට ගැසීමට වැඩි ආගමික මඟ පෙන්වීමක් කළ නො හැකිද?

මෙහි දී ඕස්ටේ‍්‍රලියාව අපට ආදර්ශයක් වශයෙන් ගත හැකි ය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ශාරීරික පුහුණුවට අමතර ව මනෝචිකිත්සකයන් ගෙන් උපදෙස් ලබා දෙන බව ප්‍රකට කරුණකි. ඒ අන් කිසිවක් නිසා නො ව මානසික ශක්තිය පවත්වා ගැනීම ක්‍රීඩාවේ දී ඉතා වැදගත් වන බැවිනි. මේ සඳහා මනෝචිකිත්සාව වැනි නූතන භාවිතයන්ට වඩා බුදු දහමෙහි ඉගැන්වීම් ප්‍රායෝගික යථාර්ථයක් බව පීටර් මුවර් ගේ ප්‍රකාශයෙන් පැහැදිලි කැරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැකියාවන් හා ක්‍රීඩා විලාසය ඉතා ඉහළ ය. එහෙත්, ඇතැම් තරග වලදී ඔවුන් ක්‍රීඩා කැරෙනුයේ ඉතා ආධුනික කණ්ඩායමක් මෙනි. මෙ සේ පහතට ඇදවැටීමට හේතුව කුමක් ද? ඊට හේතුව අන් කිසිවක් නො ව ඔවුන් මානසික වශයෙන් දුර්වල වීම ය. මෙහි දී ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය වර්ධනය කැරීම පිණිස බුදු දහම යොදා ගැනීම ට හැකියාව තිබේ.

අප ගේ ක්‍රිකට් කණ්ඩායමට ලබා දෙන ක්‍රීඩා පුහුණුවට අමතර ව භාවනා වැඩ සටහන් මඟින් මානසික ශක්තිය ඇති කළ හැකි ය. එ මඟින් ජයග්‍රහණ පමණක් නො ව පරාජයන් හමුවේ නොසැ ලී සිටීමට ද ශක්තිය ලැබේ. බුදු දහම පිළිබඳ නිසි අවබෝධයක් නොමැති පීටර් මුවර් ගේ ප්‍රකාශයෙන් පසු ව හෝ ක්‍රීඩා බලධාරීන් එහි අගය වටහා ගන්නේ නම් මැනවි.

වප් අව අටවක

 

වප් අව අටවක පෝය නොවැම්බර් මස 01
වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]