මහා කරුණාව නොපෙනෙන බුද්ධ ප‍්‍රතිමාවකින් වැඩක් නැහැ
විහාර මුර්ති ශිල්පී චිත්රමුල්ලගේ රංගබුද්ධ පවසයි
විහාර මුර්ති ශිල්පී
චිත්රමුල්ලගේ රංගබුද්ධ
|
බුද්ධ ලක්ෂණ ආරෝපණය කොට තැනූ පිළිමය බුදු පිළිමයයි. දිව්‍යාවදානයට
අනුව බුදුරදුන් ජීවමානව සිටි අවධියේම බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය වී ඇත.
එදා සිට අද දක්වා විවිධ මාධ්‍යයන්ගෙන් විවිධාකාර ප‍්‍රමාණයන්ට බුද්ධ
ප‍්‍රතිමා නිර්මාණය වෙයි. නමුත් ඒ සියල්ලන්ගෙන්ම පාහේ විද්‍යමාන වන්නේ
අසීමිත වූ කරුණා ගුණය යි. රළු මාධ්‍යයකට එවැනි කරුණා ගුණය කවන දෑත් ද
ලොවක් වටින්නේය. එවැනි වටිනා දෑතක් වයස 27 ක තරුණයෙකුට හිමිවන්නේ නම්
ඔහු කොතරම් වාසනාවන්තද? ඔහු විසින් නිර්මිත බුද්ධ ප‍්‍රතිමාවකින්
කියාපානුයේ වයස 60 පසුවූ ප‍්‍රවීණ ශිල්පියෙකුගේ නිපුණතාවයයි. “ ඔබ ඔය
වයසේදී සැදූ බුදුපිළිමය මෙසේ නම්, වයස 60 දී පමණ ඔබ සාදන බුදු පිළිමය
ගැන මට සිතා ගන්නටවත් බෑ” යනුවෙන් ඔහුට ගංගොඩවිල සෝම හිමියන් වරක් පවසා
ඇත්තේ ඒ නිසාම විය යුතුය. ඒ තරුණ ශිල්පියා රංග බුද්ධය. ඔහු සමඟ කළ
සංවාද සටහනයි මේ.
ඔබ විහාර කර්මාන්තයට පිවිසියේ කෙසේ ද?
මගේ ගම එඬේරමුල්ල .එහේ ගමේ පන්සලේ බුද්ධ ප‍්‍රතිමාවක් පී.ජී. සිරිපාල
කියලා ශිල්පියෙක් නිර්මාණය කළා. ඉස්කෝලේ යනවා කියලා ගෙදරින් ඇවිල්ලා මම
ඔහුට අත්උදව් දුන්නා. පස්සේ මට ඔහු මඟ හැරුණා. මම සාමාන්‍ය පෙළ විතරයි
කළේ . ඊට පස්සේ ගෙවල් වල දිය ඇලි මියුරල් වගේ දේවල් කර කර හිටියා. මගේ
වයසේම සෝමාලෝක කියලා ස්වාමීන් වහන්සේ නමක් මට අහම්බෙන් වාගේ මුණ
ගැසුණා. උන් වහන්සේගේ විහාරය ප‍්‍රතිසංස්කරණය කරන්න ඇවිල්ලා හිටියා .
පී.ඒ සෝමසිරි කියලා මාස්ටර් කෙනෙක්.’ මෙන්න මාස්ටර් ගෝලයෙක්. හදලා
ගත්තොත් යමක් කරන්න පුළුවන් වෙයි’ කියලා හාමුදුරුවෝ මාස්ටර්ට මාව
භාරදුන්නා. මම ඔහු ලඟ ටික කාලයක් හිටියා. පස්සේ රංජිත් කියලා අයිය
කෙනෙක් මට කිව්වා එතන ඉන්න එපා එයාගේ මාස්ටර් ළඟට යන් කියලා. ඒ තමයි
පී.ඒ. දේශබන්ධු ගුරුතුමා . එතුමා ඉන්නේ පිළියන්දල. එතුමා තමයි මම මගේ
ගුරුතුමා වශයෙන් සලකන්නේ. එතුමා දන්න හැම දෙයක්ම මට දුන්නා. අනිත්
තැන්වල ගුරු මුෂ්ටිය ජයටම තිබුණා. දේශබන්ධු මහත්මයා ළඟ ඒක තිබුනේ නෑ.
එතුමා අද ලංකාවේ ඉන්න දක්ෂතම ශිල්පීන්ගෙන් කෙනෙක් . බුදුසරණ පුවත්පතේ
නිතරම පළවනවා වාද්දුවේ ධර්මසේන මහතා හදපු බුදුපිළිම. ඒ ධර්මසේන මහත්තයා
දේශබන්ධු මහත්තයාගේ පළවෙනි ගෝලයා මම අන්තිම ගෝලයා . මම මගේ දෙවෙනි
ගුරුවරයා විදිහට සළකන්නේ ධර්මසේන අයියවයි.
නේත්‍රා තැබීමෙන් පසු කිරි අත්ත කැපීම සහ වස් පහ කිරීම |
මම ගුරුවරුන් කිහිප දෙනකු ළඟ වැඩ කළා. නමුත් මට හිතුනා මම සොයන දේ
ඔවුන් ළඟ නෑ කියලා. නිසි කාලේදී මම අයින් වුණා. ඊට පස්සේ මට හිතුනා
තනියම දෙයක් කරන්න ඕනෑ කියලා. අද පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිමිනමක් වන
අලව්වේ නන්දාලෝක හාමුදුරුවෝ මට උන්වහන්සේගේ විහාරය භාර දුන්නා.
උන්වහන්සේට මාව හදුන්වා දුන්නේ පඩුවස් නුවර විමලරත්න හිමියන් .ඒත් මට
ඇත්තටම බයක් හිතුනා. උන්වහන්සේ කිව්වා කිසිම බයක් වෙන්න එපා. ඔයාට මේ
විහාරය කරන්න පුළුවන් කියලා මම දන්නවා. ඒ නිසා ඔයා මේ විහාරය කරන්න. මේ
විහාරයෙන් පස්සේ ඔයාට නොකඩවා වැඩ එයි කියලා, උන්වහන්සේ මහා දායක
පිරිසකගේ වගකීම අයින් කරලා මට එය භාරදුන්නා. මම ඒක කළා. ඉතාම සාර්ථක
වුණා. එතන තමයි ලංකාවේ මියුරල් ක‍්‍රමයට කරපු සූවිසි විවරණය තියෙන්නේ.
ඉතින් එතන ඉඳලා තුනුරුවන්ගේ සරණින් නොකඩවා විහාර වෘත්තිය කර ගෙන යනවා.
බුදු පිළිම නිර්මාණයේදී ඔබ ශාරිපුත්තය භාවිතා කරනවාද ?
ශාරිපුත්තයේ තියෙන කරුණු සියයට සීයක්ම මම පිළිම නිර්මාණයේ දී යොදා
ගන්නේ නෑ. ශාරීපුත්තයට අනුව හදපු පිළිම තියෙන්නේ මහනුවර යුගයේ. ඇත්තටම
මහනුවර යුගයේ හදපු ප‍්‍රතිමා එතරම් අලංකාර යැයි කියන්න බැහැ.
ශාරිපුත්තය ඔබ එතරම් භාවිතා නොකරනවානම් බුදුපිළිම නිර්මාණය සඳහා අවශ්‍ය
දැනුම ඔබ ලබාගන්නේ කුමන මූලාශ‍්‍රයකින් ද?
මම පිළිම නිර්මාණයේ දී ගුරු තැන්හි තබා ගන්නා පිළිම කිහිපයක් තියෙනවා.
අනුරාධපුරේ සමාධි පිළිමය, පොළොන්නරුවේ ගල් විහාරයේ තිබෙන පිළිම ඒ අතර
ප‍්‍රධාන වෙනවා. නමුත් අවුකන පිළිමයට මගේ එතරම්ම ප‍්‍රසාදයක් නෑ. මොකද,
ඒ පිළිමයේ ලස්සන තිබෙන්නේ ඉදිරි පසින් විතරයි. දෙපැත්තට ඒ ලස්සන නෑ.
නමුත් අනුරාධපුරේ සමාධි පිළිමය කියන්නේ අසමසම පිළිමයක්.
බුදු පිළිමයක තිබිය යුතු අනිවාර්ය ලක්ෂණ ලෙස ඔබ දකින්නේ මොනවාද?
ප‍්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව පේන්න ඕනෑ. මඳ සිනහවක්
තියෙන්න ඕනෑ. ඒ බුදු පිළිමය දුටුවිට බෞද්ධයින් වශයෙන් අපේ බුද්ධාලම්භන
පී‍්‍රතිය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනෑ. කළුගලින් සිමෙන්තියෙන් හදන
පිළිමයක් දැක්කහම අපිට බුද්ධාලම්භන ප‍්‍රීතියක් ඇතිවෙනවා නම් ඒක බුද්ධ
කියන ගුණයට අයත් වෙලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තුළ වූ ගුණ
සමුදායත් ඒ පිළිමයෙන් නිරූපණය වෙන්න ඕනෑ. මහාපුරුෂ ලක්ෂණ වලටත්
ප‍්‍රධාන තැනක් හිමි විය යුතුයි.
බුදු පිළිමයක් නිර්මාණය කිරීමේදී ඔබගේ පළමු පියවර කුමක්ද?
සාමාන්‍යයෙන් විහාරයක වාගේ පිළිමයක් නිර්මාණය කිරීමේදී මම
අනිවාර්යයෙන්ම විහාරාධිපති හිමියන් සමඟ කථා කරනවා. මොකද? විවිධ නිකාය
ප‍්‍රශ්න තියෙනවනේ. ඊට පස්සේ ඒ පිළිමය අදාළ තැන බිත්තියේ නියමිත
ප‍්‍රමාණයට එහි සැකැස්ම අඳිනවා. ඉන් අනතුරුව මුල් ගලක් තියලා විහාරයේ
එම කොටස බුදුරජාණන් වහන්සේට කැප කරනවා කියලා සිව්වරම් දෙවියන්ගෙන් හා
විශ්වකර්ම දෙවියන්ගෙන් ආශීර්වාද ලබාගෙන කෙම් පහන් කරලා තමයි වැඩ ආරම්භ
කරන්නේ.
ඔබ භාවිතා කරන අතීත මිනුම් ක‍්‍රම මොනවාද?
බුදු පිළිම වල රියන් ක‍්‍රමයට ගණන් ගන්නේ එක එක උස අනුව එය බෙදනවා.
දැන් සමාධි පිළිමය අඩි 7 යි අඟල් ගාණක් තියෙනවා. රියනක් කියන්නේ අඟල්
18 ක්. ඒ වගේම සමහරු ළාපත අනුව බෙදනවා. සමහරු තාල අනුව බෙදනවා. තාල 9
යි. තාල 10 යි . ඔය ආකාරයට නමුත් ඒ බෙදීම් ක‍්‍රම ගන්නේ පරණම
ශාරිපුත්තයේ ආපු ක‍්‍රමයට.
අපේ ගුරුවරුන් කියපු ආකාරයට, වරක් බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ
ප‍්‍රතිමාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා එක් පුද්ගලයෙක් උන්
වහන්සේගෙන් අහලා තියෙනවා. එහිදී උන්වහන්සේ වදාළේ ‘ඉදිකරන ප‍්‍රතිමාවේ
කිසිම වෙනසක් නෑ. එය හාල් ඇටයේ ප‍්‍රමාණයට ඉදි කරන්න පුළුවන්. හාල් ඇටය
දෙකට කැඩුවාම එන ප‍්‍රමාණයටත් එය ඉදිකරන්න පුළුවන්. අසූරියන්
ප‍්‍රමාණයටත් එය ඉදිකරන්න පුළුවන්. අවශ්‍යනම් ඊටත් වඩා වැඩි ප‍්‍රමාණයට
ඉදිකරන්න පුළුවන් නමුත් ඒ කුමන ප‍්‍රමාණයට ඉදිකළත් එහි ගුණයේ වෙනසක්
නෑ” කියලා. ඉතින් ඔය කරුණ නිසා අදටත් විවිධාකාර ප‍්‍රමාණයන්ට බුද්ධ
ප‍්‍රතිමා නිර්මාණය වෙනවා.
බුදු පිළිමයක් නිර්මාණය කිරීමේදී ඔබ එහි මිනුම් ක‍්‍රම සාදාගන්නේ
කොහොමද?
හිදි පිළිමයක් ගත්තහම බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ මුහුණ වගේ 4 1/2 ක උස
අපි ගන්නවා. මුහුණ රියනකට සම කර ගත්තොත් ඒ වගේ 4 1/2 ක් පිළිමය උසයි. ඒ
වගේම පිටුපස සිට ඉදිරියට මුහුණ වගේ 2 1/2 යි. එතකොට එක් හිටි පිළිමයක්
වුනොත් මුහුණ වගේ 9 ක් උස ගන්නවා. විශේෂයෙන් මුහුණ සකස් කිරීමේදී ළඹ
තට්ටුවක් භාවිතා කරනවා. නමුත් ඔය මිනුම් ක‍්‍රම අපි කිව්වහම නොදන්න
ශිල්පීන් ඔය විදිහට කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න පුළුවන්. මොකද ඔය
මිනුම් රටා බෙදිලා අඩුවෙලා එන තැන් තියෙනවා. ඒ වගේ තැනක් අපිට කියන්න
අමාරුයි. ඒක අපි ඒ වෙලාවෙදි කර ගන්න දෙයක්.
නේත‍්‍රා තැබීමේ මංගල්‍යය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
නෙත් තැබීම මංගල්‍ය බුද්ධ ප‍්‍රතිමාවක ඉතාම වැදගත් දෙයක්. නමුත් නෙත්
තැබීම පිළිබඳව බහුතරයක් ශිල්පීන් කියන්නෙම නෑ. බුද්ධ ප‍්‍රතිමාවක් හැදූ
විගසම එහි නේත‍්‍රා තියන්නේ නෑ. නේත‍්‍රා තියන්නේ නෑ කියලා කිව්වහම
සමහරුන් අහනවා ඇස් අඳින්නෙම නැද්ද කියලා නෑ. අපි නේත‍්‍රා කියලා අදහස්
කරන්නේ ඇසේ කළු ඉංගිරියාව
නේත‍්‍ර පූජාව බුද්ධ ප‍්‍රතිමාවේ මුහුණ බලාගෙන තබන්නේ නෑ නේද?
ඇත්ත. අපි අනිවාර්යයෙන්ම බුද්ධ ප‍්‍රතිමාවේ මුහුණ බලාගෙන එය සිදු
කරන්නේ නෑ.
එසේ නොකරන්නට හේතුව කුමක්ද?
බුදුන් වහන්සේ කියන්නේ කෙලෙස් නසපු උත්තමයෙක් . ඒත් මම කෙලෙස් තියෙන
පුද්ගලයෙක්. කෙලෙස් නසපු පුද්ගලයෙක් දිහා කෙලෙස් තියෙන පුද්ගලයකුට
බලන්න බෑ. නමුත් අපි එය කරන්නත් ඕන. ඒ සඳහා විකල්පයක් වශයෙන් තමයි
කණ්ණාඩියෙන් බලලා නේත‍්‍රා තියන්නේ. ඒ වගේම එම කන්නාඩිය විවිධ අතට
හරවලත් නේත‍්‍රා තබන්න පුළුවන්.
නේත‍්‍රා තැබීමට පෙර සිදුකෙරෙන වතාවත්
මොනවාද?
නේත‍්‍රා පින්කමේදී සඬංගම් පූජාව කියලා එකක් කරනවා. ඒ වගේම තුන් තිස්
පැයේ පිරිත කියනවා.
ඔබ ඔය කියන සඬංගම් පූජාව සිදු කරන්නේ කවර ආකාරයකටද?
ඇත්තටම අද සමහර ශිල්පීන් ඉන්නවා . ඔවුන් සඬංගම් පූජාව කියලා කියන්නේ
මොකක්ද කියලවත් දන්නේ නෑ. සඬංගම් පූජාවේදී සිදු කෙරෙන්නේ බුදුරජාණන්
වහන්සේගේ ගුණ වර්ණනා කරන එක තමයි. නමුත් එය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට
වෙනස් වෙනවා.
මම සඬංගම් පූජාව සිදු කරන්නේ, නෙළුම් මල්, නෙළුම් කොළ විවිධ ප‍්‍රමාණයට
අරගෙන. ඊළඟට අලුත් කළයක් අරගෙන පොල් මල් අරගෙන ඒකේ ගහලා ධාන්‍ය වී
අතුරලා එතන ඒක තියනවා. ඊළඟට එතනදී බුදුරදුන්ගේ ගුණ විස්තර කරනවා.
එම පූජාව කරන්නේ කොතැනදී ද?
ඒක කරන්නේ බුද්ධ ප‍්‍රතිමාව ඉදිවෙන විහාරයේ දොර වහලා එතන ඉදිරියේ.
නමුත් ප‍්‍රධාන ශිල්පියා එම ස¼ඩංගම් පූජාව කරනවානම් දොර වහලා බුදු
පිළිමය අබියස ඔහු එය සිදුකරනවා. සඬංගම් පූජාව පවත්වන්න පිටින් වෙනම
කට්ටියක් ඇවිල්ලා . ඒක කරනවා නම් අපි දොර වහලා තියෙන නිසා ඔවුන් එය කළ
යුත්තේ එම විහාරයේ දොරටුව අබියස
එයට හේතුව කුමක්ද?
ඒකට හේතුව නේත‍්‍රා තබන වේලාවට එතන ඉන්න ඕනෑ. එය ඉදි කරපු ශිල්පියා
විතරයි. ඔහුගේ ගෝලයෙක් වත් එතන ඉන්න බෑ.
ඔවුන් සියලු දෙනා සිටිය යුත්තේ එළියේ. මොකද ඒ වෙලාවේ ශිල්පියාට ඇති වෙන
දේ වචනයෙන් විස්තර කරන්නත් බෑ. ඇත්තටම මට ඒ දේ විස්තර කරන්න තේරෙන්නෙත්
නෑ.
සාමාන්‍යයෙන් කුමන වෙලාවකටද නේත‍්‍රා තැබීම සිදු කරන්නේ?
බොහෝ වෙලාවට පිළිමයක නේත‍්‍රා පූජාව කෙරෙන්නේ අලුයම 3 ත් 6 ත් අතර. ඒ
කියන්නේ 3.35 , 4.10, 4.55 ඔය වගේ කාල වල තමයි නේත‍්‍රා තබන්නේ ඊට පැය
කිහිපයකට පෙර සඬංගම් පූජාව පැවැත්වෙන්නේ. සමහර වෙලාවට බහිරව පූජාත්
කරනවා. සඬංගම් පූජාව අතර තුර දෙවිවරුන්ට කන්නලව් කරනවා. නේත‍්‍රා
තියලා මම එළියට ආවාට පස්සේ ගරායක් ශාන්තියෙන් වෙස් පානවා.
ඊට පස්සේ ප‍්‍රතිමාව සිවුරකින් වහලා විහාරාධිපති හිමියන් එතනට වැඩම
කරවලා, සිවුර අයින් කරලා උන්වහන්සේට එය පෙන්නනවා. උන්වහන්සේ එය බලලා
හොඳ නරක කිව්වට පස්සේ නැවත ප‍්‍රතිමාව වහනවා.
ඒ වෙනකොට පිළිමගේ හොඳටෝම හැඩි වෙලා තියන්නේ. ඊට පස්සේ එතන මුකුත්
නොවුනා සේ හොඳට අස් කරනවා. ඊට පස්සේ උදේ කිරි ආහාර පූජාවත් සමඟ හේවිසි,
ඝන්ටා සාධුකාර නාදය මාධ්‍යයේ ජනතාවට විහාරයේ වැඳ පුදා ගැනීමට විවෘත
කරනවා.
ඔබ නේත‍්‍රා තබන්නේ කුමන ආකාරයටද?
නේත‍්‍රා තියනවා කියන්නේ පිළිමයේ මුළු ඇසම අඳිනවා කියන එන නොවෙයි. අර
ඇසෙන් 1/3 ක් බෙදපු තැන රත්තරන් කෙන්දකින් කළුපාට බින්දුවක් තබන එක
විතරයි . ඊට පස්සේ තමයි පැන්සලෙන් අඬසඳ ඇඳලා තීන්තෙන් එය හරිගස්ස
ගන්නේ. මුළු පිළිමයේම ආකර්ෂණය තියෙන්නේ එතන. ඒක එහා මෙහා වුනා කියලා
කියන්නේ පිළිමය වපර වෙනවා. නේත‍්‍රා තබන විට පළමුව මම සුදු
වස්ත‍්‍රයෙන් සැරසිලා නෙත් තැබීමේ කට්ටලය හිසේ තබාගෙන නායක
හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන පිළිමය අසළට යනවා. එම නේත‍්‍රා කට්ටලයේ
නෙත් තබන තීන්ත තියෙනවා. එය අඳුන් ජීවන් කරලත් හදාගන්නවා. කස්තුරි,
ගොරෝචන, සුදු හඳුන්, වගේ දේවල් ඒකට එකතු කරලා බුද්ධ ස්ත්‍රෝත‍්‍ර වලින්
ජප කරලා තමයි එම අඳුන් සාදා ගන්නේ. ඒක රන් කෝප්පයක හා රන් තැටියක තියලා
හිස මතින් අරගෙන යන්නේ. එම නේත‍්‍රාව තියන්නේ රන් කෙන්දකින්. ඒ වගේම
පිළිමයේ උසට සරිලන ප‍්‍රමාණයට අට්ටාලයක් එතන හදලා තියෙනවා. පිළිමය
ආසන්නයේ අපි හැම දෙයක්ම තැන්පත් කරලා තියෙනවා.
ඔබ හැම දෙයක්ම කියලා කිව්වේ කුමක්ද?
බුද්ධ ප‍්‍රතිමාවේ නෙත් තියෙන කොට අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ
බුදුහාමුදුරුවෝ නෙත් විවර කළා කියලා. නෙත් විවර කිරීමෙන් සෞභාග්‍ය
සංකේතවත් වෙලා තියෙනවා. එතකොට අපි ඒ සඳහා හාල් වී, ඇටි ඇට වර්ග, ධාන්‍ය
වර්ග, කැවිලි, පලතුරු රෙදි වර්ග, මුදල් වැනි මේ හැම දෙයක්ම අතුරලා ඒ උඩ
ඉඳගෙන තමයි නෙත් තැබීම කරන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ නෙත් විවර කරන
කොට මේ හැම දෙයක්ම එතන තියෙනවා.
සමහරුන් කියනවා මේ දේවල් ශිල්පියාගේ වාසියට කරන දේවල් කියලා. නමුත් ඒවා
එදා ඉඳලා කරගෙන ආපු වත් පිළිවෙත්. එදා නේත‍්‍රාවක් කළහම රජ්ජුරුවෝ
ශිල්පියාට ගම්වර දුන්නා. රන්රිදී, මුතු මැණික් දුන්නා. මොකද බුද්ධ
ප‍්‍රතිමාවක් නිර්මාණය කරලා ශිල්පියා කරපු සේවය මිල කරන්න බෑ. ඒ නිසා
රජ්ජුරුවන් ඔහුට උපරිමයෙන් සංග‍්‍රහ කළා. නමුත් අද එහෙම දෙන්න බෑ. අද
කාලේ හැටියට පුළුවන් උපරිමයෙන් එම චාරිත‍්‍ර වාරිත‍්‍ර රකින එක තමයි
අපි කරන්නේ.
විහාරයක නෙත් තැබීමේ දී නෙත් තිබිය යුතු නිශ්චිත දිශාවක් තිබෙනවාද?
විහාරයක නෙත් තැබීමේ දී නෙත් තියෙන්න ඕනෑ මල් ආසනයේ නැත්නම්
බුදුහාමුදුරුවන්ගේ දෙඅත උඩ ඒ තැන් දෙකේ විතරයි නෙත් තිබිය යුතු වන්නේ.
විහාරයේ දොරටුවට නෙත් තැබූවයි කියලා කියන්නේ ඉතාම අසුබදෙයක්. විහාරයට
වගතුවක් නෑ. ස්වාමීන් වහන්සේලාට ඒක හරියට කරගෙන යන්න බෑ. ඔය වගේ ගැටලු
එනවා.
නේත‍්‍රා තැබීමත් සමඟ ශිල්පියාට වස් වදිනවා කටවහ වදිනවා කියලා මතයක්
පවතිනවා. එයින් මිදීමට ශිල්පීන් අනුගමනය කරනු ලබන්නේ කුමන ආකාරයේ වත්
පිළිවෙත් ද?
ඔව් ඇත්තටම පිළිමයක් විවෘත කිරීමත් සමඟ බොහෝ දෙනා ෂා නියමයි. හරි
ලස්සනයි කියලා කියනවා. ඕවා සේරම වස්. එදා ඉඳලා ශිල්පීන් ඒවායින් මිදීමට
යම් යම් දේ කළා. ඒ කියන්නේ නේත‍්‍රාව තියලා සුදු රෙද්දකින් මුහුණ වහගෙන
තමයි ඔහු එළියට එන්නේ. එලෙස සුදු රෙද්දෙන් වහගෙන එන්නේ මිනිස්සු ඔහු
දිහා බලනවා. ඒ ඇස්වහ වලින් වලකින්න තමයි එසේ සුදු රෙද්දක් පෙරවගෙන
එන්නේ. එහෙම එන කොට ඔහුගේ අතට කඩුවක් දෙනවා. ඒ කඩුව දුන්නට පස්සේ පළමුව
ඔහු කිරි අත්තකට ගහනවා. කිරි එන අත්තක් එතන කලින් හිටෝලා තියෙන්නේ. ඔහු
පළමුව බලන්නේ ඒ ගසෙන් එන කිරි දිහා. අපි හැමෝම පෝෂණය වෙලා තියෙන්නේ
කිරි වලින්. ඒ නිසා කිරි ගසකින් එන කිරි දිහා බැලුවහම බොහෝ වස් දොස්
දුරු වන බවට විශ්වාසයක් තියෙනවා. ඊළඟට සුදු වසු පැටියෙක් දිහා අතගාලා
බලනවා. මගෙන් කුමක් හෝ දොසක් වරදක් අවැඩක් සිදු වුනා නම් ඒවා නැති
වෙන්න කියලා හිතාගෙන තමයි වසු පැටියා දිහා බලන්නේ. ඊට පස්සේ මගේ ශරීරයේ
තියෙන සියලු වස් දොස් හේදිලා යන්න කියලා හිතාගෙන එතන භාජනයක තියෙන
කහදියරට දෙහි කපා දැමූ ජලයෙන් මූණ සෝදා ගන්නවා. ඊට පස්සේ ගරායක් ශාන්ති
කර්මය කරනවානම් ඒ සුදු රෙද්ද පිටින්ම ඉන්දවලා ගණයක් ශාන්තියෙන් සෙත්
පාලා ගරායකා තමයි ඒ සුදු රෙද්ද අයින් කරන්නේ. ඊට පස්සේ නායක හාමුදුරුවෝ
අර කලින් පිරිත් කියපු පිරිත් නූල් හා පිරිත් පැන් දීලා ඔහුට ආශිර්වාද
කරනවා.
අතීත මිනිස්සු තුළ බුද්ධ ප‍්‍රතිමාවක් කෙරෙහි බයයි. ගරුත්වයයි දෙකම
තිබුණා. අවාසනාවකට අද ඔය දෙකම නෑ. නමුත් මම කොහොම හරි මේ දෙකම අරගෙන
යනවා. මම අද මේ දේ නොකළොත් හෙට එන කෙනා ඒ දේ කරන්න දන්නේ නෑ. මම ඒ දේ
අද ඒ විදිහට කළොත් තමයි මගේ පරම්පරාවේ කවුරුහරි ඉදිරියට ඒ දේ කරන්නේ.
එදා රජ දවස සිට බුදු පිළිමයක් නිර්මාණය කිරීමෙන් පසු එහි සර්වඥධාතු
තැන්පත් කිරීමේ සම්ප‍්‍රදායයක් තිබුණා. ඔබ එය සිදුකරනවානම් එය කරන්නේ
කෙලෙසද?
සර්වඥධාතු එක පාරටම බුදු පිළිමයේ තැන්පත් කරන්න මම කැමැති නෑ. හේතුව
තමයි හුඟ දෙනෙක් දන්නේ නෑ. සර්වඥධාතු කියලා කියන්නේ මොනවද කියලවත් ඒ
නිසා ඔවුන් දැනුවත් කිරීම පිණිස පිළිමයේ තැන්පත් කරන සර්වඥ ධාතූන්
වහන්සේලා හෝ වෙනත් ධාතූන් වහන්සේ නමක් මම ප‍්‍රදර්ශනය කරනවා සතියක් හෝ
දවසක් හෝ තුන් වරුවක්. ඊට පසුව තමයි ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම
සිදු කරන්නේ. බුදු පිළිමයේ සිරසේ තමයි එම ධාතූන් වහන්සේලා තැන්පත්
කිරීම කරනු ලබන්නේ.
ඒ සඳහා යම් උත්සවයක් හෝ වෙනයම් වත් පිළිවෙත් කරනවාද?
නෑ නේත‍්‍ර පින්කමේ අවසානයත් එක්කමයි ධාතූන් වහන්සේලා තැන්පත් කරන්නේ.
නමුත් ගොඩාක් විහාර ශිල්පීන් නේත‍්‍රාව කරන්න කලින් ධාතූන් වහන්සේලා
තැන්පත් කරලා නේත‍්‍රාව කරනවා. එතකොට ඔවුන්ට ලොකු ප‍්‍රශ්නයකට මුහුණ
දෙන්න වෙනවා.
ඒ මොකක්ද?
ඒක ඇත්තටම ගුප්තමය පැත්තක්. ධාතූන් වහන්සේලා බුදු පිළිමයකට තැන්පත්
කළාට පස්සේ එම පිළිමයට තියෙන ආකර්ෂණය වැඩි වෙනවා. ඒ නිසා එම බුදු
පිළිමයේ තියෙන ගුප්ත ලක්‍ෂණ වැඩි වෙනවා.
ධාතූන් වහන්සේලා නේත‍්‍රාව තබන්න කලින් තැන්පත් කළහම එතකොට නේත‍්‍රාව
කළාට පස්සේ පොඩි අඩුපාඩුවක් තිබ්බත් බරපතල විදිහට විපාක හම්බු වෙනවා. ඒ
නිසා මට ගුරුවරුන් කියලා දීලා තියෙන විදිහට නේත‍්‍රාව කළාට පස්සේ තමයි
මම ධාතූන් වහන්සේලා තැන්පත් කරන්නේ.
මෑතක මම ති‍්‍රකුණාමලේ ජයසුමනාරාම මහ විහාරයේ ඉදි කරපු බුද්ධ
ප‍්‍රතිමාවේ නේත‍්‍රා තබලා අවසන් වෙලා තමයි රන් කරඬුවක ධාතූන් වහන්සේලා
තැන්පත් කරලා එය බුද්ධ ප‍්‍රතිමාවේ තැන්පත් කළේ. ඒ වගේම නේත‍්‍රාව
කරගෙන යන කොට ධර්ම ශාලාවේ පිරිත කියවෙනවා. ධාතු මන්දිරයේ ධාතූන්
වහන්සේලා ප‍්‍රදර්ශනය කරනවා. ඊළඟට සඬංගම් පූජාව නේත‍්‍රාව තබන්න පැය 4
– 5 කට උඩදී සිදු වෙනවා. ඔය සියල්ලම එකට සිදුවෙන දේවල්.
බුදු පිළිම නිර්මාණයේ දී ඔබ එහි සිවුර නිර්මාණය කරන්නේ කවර ආභාෂයක්
අනුවද?
ඇත්තටම සමහර සියම් නිකායේ පන්සල් වල ඒකාංශ කරලා සිවුර හදන්න කියලා මට
කියනවා. තව පන්සල් වලින් කියනවා දෙවුර වහලා සිවුර හදන්න කියලා. නමුත්
ලංකාවේ එදා ඉඳළම තිබුණේ එකාංශ සිවුරු. අවුකන පිළිමය ගත්තත්, සමාධි
පිළිමය ගත්තත්, තොලුවිල බුදුපිළිමය ගත්තත්, මහනුවර යුගයේ පිළිම ගත්තත්
ඒ සියල්ලේම තියෙන්නේ ඒකාංශ සිවුරු, දෙවුර වහපු සිවුරු ලංකාවට ආවනම් ආවේ
ඒ දැනට වසර 60 – 70 කට උඩ දී තමයි. ඒ ආවේ ගී‍්‍රසියේ, ප‍්‍රංශයේ,
ඉතාලියේ අපේ සාල්ලිස් මාස්ටර් ගිහිල්ලා එහි ආභාෂය අරන් මෙහේ පිළිම
නිර්මාණය කරන්නට යාමෙන්.
ඒ වගේම සිවුර ලංකාවට ආවේණික ආකාරයට පිළිම කිහිපයක නිර්මාණය වෙනවා.
පොළොන්නරු යුගයේ ගල් රැල්ල කියන ක‍්‍රමයට, අනුරාධපුර සමාධි පිළිමයේ
තියෙන්නේ නුවාවයි, ඝන්ටියයි විතරයි. එහි සිවුර ඇඟටම ඇලීලා, සිවුරේ
ප‍්‍රධාන පොටවල් පමණයි තියෙන්නේ. තොලුවිල පිළිමයෙත් සමාධි පිළිමයෙත්
තියෙන්නේ ඒ ආකාරයට තමයි.මමත් බොහෝ විට ඒ පිළිම දෙක විදිහට තමයි පිළිම
කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ හැඩය හරි ලස්සනට එයින් පේනවා.
ඌර්ණ රෝම ධාතුව නිර්මාණය කරන්නේ කෙසේද?
දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලට අයත් ඌර්ණ රෝම ධාතුවේ දකුණට කැරකුණා
කියලයි කියන්නේ. නමුත් දකුණට, කැරකුණට මේක කැරකිලා අවසානයේ කොයි අතට
නැවතුනාද කියලා දන්නේ නෑ. සමහරු එය උඩට දානවා. තවත් සමහරු එය පල්ලේහාට
දානවා. මම මගේ ගුරුන්නාන්සේගේ ආභාෂය අනුව එය උඩට තමයි තියන්නේ.
ඇතැම් වේලාවට බුදු පිළිමයක් නිර්මාණය කිරීමේ දී ශිල්පියා විසින්ම එහි
සුළු අඩුපාඩුවක් තියන්නේ ඇයි?
ඔව් මම යම් පිළිමයක් හැදුවට පස්සේ ඇතැම් අය අහනවා පොඩි අඩුපාඩුවක්
තියෙනවා නේද? කියලා. ඒක ඇත්තටම අපි හිතලා කරන්නේ, එහෙම කරන්නේ අසම සම
භාවය පොඩ්ඩක් වෙනස් කරන්න. එක්කෝ ඇහිබැම ටිකක් දික්කරනවා, එක්කෝ කට
පොඩ්ඩක් වෙනස් කරනවා, එක්කෝ නහය පුඩුවක් ටිකක් ලොකු කරනවා ඔය වගේ ඒක
කරන්නේ ඒ දේ අපිට හදන්න බැරිකම නිසා නොවෙයි. ඒදේ කළ යුතු නිසයි. ඒ දේ
නොකළොත් ඒ ශිල්පියාට හොඳත් නෑ. ඒ විහාරයට හොඳත් නෑ.
සුනාමි ව්‍යවසනයේ දී බුදු පිළිම නොකැඩෙන්න හේතුව ලෙස ඔබ දකින්නේ
කුමක්ද?
ඔව්, සමහර අය මගෙන් ඒ දවස්වල ඇහුවා ඔය ගොල්ලෝ සිමෙන්ති එකට එක දමන නිසා
නේද ඒ පිළිම බේරුනේ කියලා. ඒත් එකට එක සිමෙන්ති දාපු විශාල ගොඩනැඟිලි
කඩාගෙන ගියානම් බුද්ධ ප‍්‍රතිමාවක් කියන්නේ මොකක්ද? ඇත්තටම බුදු පිළිම
විනාශ නොවුනේ ගඩොල් වල, සිමෙන්ති වල, වැලි වල බලය නිසා නොවෙයි.
තායි බුදු පිළිම ලංකාවේ අද ඉතා ජනපි‍්‍රය වේගෙන යනවා. ඔබ සිතන ආකාරයට
මේ නිසා ලාංකීය බුදු පිළිමයේ අනාගතය කුමක් වේවිද?
ලාංකීය බුදුපිළිමයේ අනාගතය කුමක් ද කියලා හිතාගන්න පුළුවන් දළදා
මාලිගාවේ අලුත් විහාරයේ මැද කොටස දිහා බැලුවහම එතන තියෙන්නේ තායි පිළිම
ලංකාවේ ශිල්පීන්ට හෙණ ගහලද? ලංකාවේ ශිල්පීන්ට බැරිද පිළිමයක් කර ගන්න.
එතකොට කියනවා ඒක පිත්තලලු. ඉතින් ලංකාවේ පිත්තල පිළිමයක් ඔය පිළිමතලාවේ
ඉන්න මිනිසුන්ට හදාගන්න බැරිද?
දළදා මාලිගාවට බෝම්බ ගහපු වෙලාවේ ගත් කටටම කිව්වේ ඉන්දියාවෙන් ගෙන්නලා
කරමු කියලා. ඒත් නෙරංජන් විජයරත්න හිටපු දියවඩන නිලමේ තුමා කිව්වේ අපේ
ලංකාවේ ශිල්පීනට පුළුවන්, ඔවුන් ලවා මෙය කරමුයි කියලා. සම්මුඛ
පරීක්‍ෂණයක් තියලා ශිල්පීන් තෝරාගෙන තමයි ඒවා කළේ. ඉතින් අද ඒවා ලස්සනට
නැද්ද? ඒවගේ උපදෙස් අරගෙන අපිට බැරිද අපේ පිළිමයක් කරන්න. අද හැම තැනටම
ගේනවා තායිලන්තයෙන් පිළිම. මේ නිසා අපේ විහාර කර්මාන්තය වඳ වෙනවා. මම
ළඟදී විහාර දෙකක් කළා. මට කියලා රැස් වළල්ල ඇඳ ගත්තා. මල් ආසනයත් හදා
ගත්තා. පිළිමය ගැන ඇව්වහම, නායක හාමුදුරුවෝ පිළිමයක් තායිලන්තයෙන්
වැඩමවනවලු.
තායිලන්තයේ පිළිම කියන්නේ ඒ රටට ආවේනික වූ විදිහට හදපුවා. 90% ක් පිළිම
තියෙන්නේ නිරුවතින් වගේ ඉන්න ආකාරයට. තනපුඩුව, නාබිය ආදී සියලු දෑ
සිවුරෙන් පේනවා. එතකොට කෙනකුට කියන්න පුළුවන් ඇයි අවුකන පිළිමේ එහෙම
නොවෙයිද කියලා. අවුකන පිළිමයේ යන්තම් එය මතු කරලා තියෙන්නේ, මම ළඟදී
දැක්කා නවගමුව දේවාලයේ බුදු පිළිමයක් තායිලන්තයෙන් ගෙනත් තියෙනවා. මම
හරියට එය දැක්කේ බුදුහාමුදුරුවෝ නිරුවතින් ඉඳගෙන ඉන්නවා වගේ. ලංකාවට
තායිලන්ත පිළිම ගෙන එන එකේ වරදක් නෑ. නමුත් ඒක ඒ රටේ සම්ප‍්‍රදාය, ඒක
එහේ තිබුණාවේ. අපි අපේ රටේ අනන්‍යතාව ආරක්‍ෂා කර ගන්න ඕන.
අද වෙළෙඳ පොළේ විවිධාකාර බුදු පිළිම තියෙනවා. ඒවා අතුරින් හොඳ
බුදුපිළිමයක් තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුත්තේ කුමන දෑ පිළිබඳවද?
විකුණන්න තබන හැම පිළිමයක්ම බුදු පිළිමයක් නොවෙයි. මගෙන් සමහර අය අහනවා
ඔයා ළඟ ඔය අඩිය දෙකේ පොඩි පිළිම නැද්ද කියලා. මම එහෙම පිළිම හදන්නේ නෑ.
එහෙම නොහදන්නේ පොඩි පිළිමයක් මම හදලා ඒක කැඩුනොත් ඒ කැලී අරන් ඇවිල්ලා
තියෙන්නේ පන්සලේ. ඒක බුදුහාමුදුරුවන්ට කරන ලොකුම අගෞරවයක් මම හදන්නේ
අඩි දෙකකට වැඩි පිළිම. ඒක කැඩුනත් එතකොට ප‍්‍රතිසංස්කරණය කරනවා හැර එය
අයින් කරන්නේ නෑ. බයයි. පිළිමය ලොකු වැඩියිනේ.
බුදු පිළිමයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම බුදු පිළිමයක තිබිය යුතු ශාන්ත
ගුණය තියෙන්න ඕනෑ. උසට සරිලන මහතක් තියෙන්න ඕනෑ. දෙතිස් මහා පුරුෂ
ලක්‍ෂණ නැතත් එය දැක්කහම මේක වන්දනාමාන කරන්න සුදුසුයි කියා හිතෙන
පිළිම තියෙන්න ඕනෑ. නමුත් දැන් ඔය ගොඩාක් රබර් අච්චු වල දාලා ඇදවෙලා
විකෘති වෙලා තියෙන ඒවා තමයි හුඟ දෙනෙක් ගිහින් තියාගෙන වඳින්නේ.
ඒ වගේම බුදුපිළිමයක බුදුහාමුදුරුවන්ගේ මුහුණ පැහැදිලිවම තියන්න ඕනෑ.
ඇස් දෙක, කට, කන්, අතේ ඇඟිලි බොහෝම පැහැදිලිවම තියෙන්න ඕනෑ. පිළිමය
කුඩා වුනත් ශරීරාංග පැහැදිලිවම තියෙන්න ඕනෑ.එය බුදුහාමුදුරුවෝ අඩවන්ව
මඳ සිනහවෙන් බිම බලාගෙන ඉන්න පිළිමයක් වෙන්න ඕනෑ. එහෙම පිළිමයක් තමයි
මම බුදුපිළිමයක් හැටියට සලකන්නේ.
ඒ වගේම ගෙදරක වඳින්න සුදු බුදු පිළිමයක් තියෙනවානම් එය වඩාත් හොඳයි.
මොකද ඔය පොඩි පිළිමයක් පාට කළහම හරි කැතයි. බුදු පිළමයක් නම් ඔය ලක්‍ෂණ
තියෙන්න ඕනෑ. බුදුහාමුදුරුවන්ගේ හැඩය තිබ්බ පලියට ඒක බුදුපිළිමයක්
වෙන්නේ නෑ.
මේ වන විට ඔබ මොනවගේ පිළිමද නිර්මාණය කරනු ලබන්නේ ?
මේ දවස් වල මම කිරිබත්ගොඩ නාතුඩුව නන්දාගිරිය විහාරයේ විහාර මන්දිරය
ඉදි කරමින් සිටිනවා. ඒ වගේම වැලිකඩමුල්ල වාලුකාරාමයේ ලංකාවේ තියෙන
කුඩාම සුවිසි විවරණය හදලා තියෙනවා.
ඊළඟට මම යක්කල පල්ලිය ගොඩැල්ලේ අපේ පාර්ලිමේන්තු ස්වාමීන්වහන්සේගේ
විහාරස්ථානයේ මියුරල් ක‍්‍රමයට සුවිසි විවරණයක් කරලා තියෙනවා. ඒවගේම
යාගොඩ රත්නමාලි ආරාමයේ ලංකාවේ එකම භික්‍ෂුණී ආරාමයක ඉදිවෙන අසුමහා
ශ‍්‍රාවක විහාරයේ මම දැනට වැඩ කරගෙන යනවා. ඒ වගේම මම දේව ප‍්‍රතිමාවක්
කරනවා. නාතුඩුව නන්දාගිරිය විහාරයේ දේව ප‍්‍රතිමා කිහිපයක්ම මම කළා. තව
ඉදිරියේ දී විදේශ රටවල පවා වැඩ කිරීමට කාලය සකස් කර ගනිමින් සිටිනවා.
විහාර කර්මාන්ත ක්ෂේත‍්‍රය තුළ ඔබ කුමන ආකාරයේ නව නිර්මාණයන් ඉදිරියේ
දී කිරීමට අපේක්‍ෂා කරනවාද?
දැනට ලංකාවේ මිනිස්සුන්ගේ ඇහැගැටිලා තියෙන්නේ මුද්‍රා තුනයි. හිටි
පිළිම, සැතපෙන පිළිම හා හිඳි පිළිම විතරයි. හිඳි පිළිම ගත්තත් වීරාසන
පිළිම විතරයි දැකලා තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ මේ
ක‍්‍රම තුනට විතරක් නොවෙයිනේ. ඒනිසා මම විවිධ ක‍්‍රම වලට බුද්ධ
ප‍්‍රතිමා නිර්මාණය කරන්න අනාගතයේ බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ බුද්ධ
ප‍්‍රතිමාවටත් හානියක් නොවී, වෙනස් ක‍්‍රමයකට ලංකාවට ආවේණික වෙලා
තියෙන්නේ මුද්‍රා 4-5 යි බුදුහාමුදුරුවන්ගේ මුද්‍රා තිබෙනවා. 142 ක්
විතර, මිනිසා සහ අශ්ව හිස කැටයමේ ආකාරයට බුද්ධ ප‍්‍රතිමා විදෙස් රටවල
තියෙනවා. බුදුහාමුරුවෝ සිංහ සෙය්‍යාවෙන් ඉන්න අවස්ථා තියෙනවා.
නමුත් අපි එහෙම එකක් හැදුවොත් මෙහේ උපාසකම්මලා ආන්දෝලනයක් කරයි. නමුත්
ඒ ක‍්‍රමයට අපි යන්න ඕනෑ. හරියට මී වදයක් කඩනවා වගේ. වෙනස් දෙයක් කරන්න
ඕනෑ. නමුත් බොහෝම සීරුවෙන්, කාටවත් නොදැනෙන්න, කාටවත් වචනයක් නොකියන්න
විශේෂයෙන්ම මම මේ වෘත්තිය තාම ඉගෙන ගන්නවා. මම ස්වයං අධ්‍යාපනයක්
නිරන්තරයෙන් ලබනවා. අවුරුදු 50 ක් 60 ක් පරණ විහාර වල තියෙන පිළිම මගේ
අද ගුරුවරුන් වෙලා ඉන්නවා.
සංවාද සටහන
චසිත බුලත්සිංහල |