Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිරිඋල්ල ඓතිහාසික බෝධිරාජ විහාරය


බුද්ධ ප‍්‍රතිමාව

මහනුවර රජ කළ රාජසිංහ රජු අවසන්වරට සුදු ජාතිකයන්ට හමුවීමෙන් පසු කොළොම් පුරයට කැඳවාගෙන යාම සඳහා මා ඔයෙන් එගොඩ වූයේ ගිරිඋල්ල බුදුමුත්තා තොට නම් වූ, මෙම විහාරය ඉදිිකොට ඇති ස්ථානයෙන් යැයි සිංහල වංශ කතා අනුව පැහැදිලි වේ. ඓතිහාසික බෝධිරාජ විහාරය පිහිටා ඇත්තේ ගිරිඋල්ල මා ගඟ අසබඩ සුන්දර වට පිටාවක් සහිත ස්ථානයක ය. මෙම විහාරය ආශි‍්‍රත මා ගං තීරයෙහි වැලිමංකඩ නොහොත් ‘බුදුමුත්තා තොට’ නම් ස්ථානයෙහි ඉදිකරවන්නට යෙදුනු අම්බලමක් නිසා මෙම විහාරස්ථානය බිහි වූ බව ඉතිහාසය සඳහන් කර යි.

එනම් මෙම අම්බලම යයි හැඳින් වූ බිමෙහි කඩපලක ජීවත් වූ අයගේ ආගමික කටයුතු සඳහා කුඩාවිහාර ගෙයක් ඉඳිවී තිබූ බවද එය ක‍්‍රමයෙන් වැඩි දියුණු වී වත්මන් තත්ත්වය කරා පැමිණි බවද එහිලා සඳහන් වෙ යි. මෙම කුඩා විහාර මන්දිරය අදටත් දැකගත හැකිවීම භාග්‍යයකි. මෙ තුළ පැරණි බුදු පිළිමයක්, විෂ්ණු දේව රූපයක් හා ගම්භාර දේව රූපයක් ද ඇත. මෙම පැරණි මන්දිරය එවකට ගිරිඋල්ල කඩපලෙහි ඉඩම් හිමි කරුවකු වූ මැල්ලවගෙදර බේලින් සිල්වා නැමැති අයගේ පියා විසින් ප‍්‍රදේශවාසීන්ගේ ප‍්‍රයෝජනය සඳහා ඉදිකරවන ලද්දක් බැව් සඳහන් වෙයි. මෙහි ප‍්‍රධාන ගොඩනැගිල්ල සෑදීම 1908 දී පමණ අරඹා ඇති අතර 1909 දී ගොඩනැංවීම් නිම කරනු ලැබ ඇත.

මෙම වකවානුවේ දී පැරණි විහාරයේ පිළිම වහන්සේට ඊසාන දෙසින් විහාරයට පිටතින් බෝ අංකුරයක් මතු වී ඇත. එයින් සතුටට පත් හාල්පනේ විසූ ඩිංගිරි අප්පුහාමි නැමැත්තකු හා ඔහුගේ පිරිස විසින් මේ බෝ අංකුරය ගලවා පාත‍්‍රයක තැන්පත්කොට චාරිත‍්‍රානුකූලව කිරි උතුරවා විහාරගෙයත් අම්බලමටත් නැගෙනහිරින් රෝපණය කරන ලදැයි පැරැන්නන්ගේ ප‍්‍රවාද වලින් පැහැදිලි වෙයි. මෙම බෝ අංකුර රෝපණය 1909 වසරේ දී සිදුවූවක් බවද එහිලා සඳහන් ය.


විහාරයේ දසුනක්


ධර්ම ශාලාව

ඉක්බිති 1958 ඔක්තෝම්බර් මස දී මෙම ශ්‍රී දේවානන්ද හිමිගේ අනුග‍්‍රහයෙන් බෝධි සංවර්ධන සමිතියක් ඇරඹිණ.

මෙම සමිතියේ දායකත්වයෙන් හා නගර වාසීන්ගේ සහයෝගයෙන් බෝ සමිඳු වටා අලංකාර ප‍්‍රාකාරයක් බැඳ රමණීය මල් ආසනයක් ද ඉදිකරවන ලදහ.

තවද බෝධිරාජ විහාරයට අංග සම්පූර්ණ විහාර මන්දිරයක අවශ්‍යතාවය වටහාගත් ගිරිඋල්ල මැද්දේපොල විහාරවාසී ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේ 1983 වසරේ දී අභිනව විහාර මන්දිරයක් මෙම භූමිය තුළ ඉදිකරවන ලදහ.

එහි සමාධි පිළිම වහන්සේ ඉදිකරවනු ලැබ ඇත්තේ මාතර කඹුරුගමුවේ චිත‍්‍ර ශිල්පි ගුණදාස මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ය. විහාර මන්දිරය ඇතුළත සරසා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානයන් ගෙනි.

එම චිත‍්‍ර නිර්මාණය කර ඇත්තේ ද ගුණදාස මහතා විසිනි. බිම් ගඩොල් සැකැස්ම, බුදු පිළිම මලසුන මහනුවර යුගයේ කැටයම් සහිතව නිර්මාණය කර ඇති පිවිසුම් දොරටුව උළුවහු ආදිය ද ප‍්‍රදේශයේ ධන පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් නිර්මාණය වී විහාරස්ථානයට සුන්දර පෙනුමක් එක්කර තිබේ.

එතැන් පසු මෙම විහාරස්ථානය ශ්‍රී සංඝරක්‍ෂිත පිරිවෙණ අනුබද්ධිත විහාරය සේ දිනපතා උදේ සවස් හී පරිවේණාධිපති වහන්සේ පෙරටුකොට ගත් සාමනේරයන් වහන්සේලා බුද්ධ වන්දනාව පිණිස වඩින අයුරු කාගේත්, සිත් ගන්නා දර්ශණයක් බවට පත් විය.


බිතු සිතුවම් කීපයක්

වත්මනෙහි ගිරිඋල්ල නගරයට පැමිණෙන කෙනෙකුට ප‍්‍රථමයෙන් දිස්වනුයේ මෙම විහාරස්ථානයෙහි බෝධි වෘක්ෂරාජයා ය. ගිරිඋල්ල නගරයේ ඇති ඓතිහාසික පුරා විද්‍යා ස්ථානයක් ලෙස මෙම විහාර භූමිය ප‍්‍රසිද්ධියක් උසුලයි.

මෙම විහාරස්ථානය වයඹ පළාතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයට අයත් ගිරිඋල්ල ප‍්‍රධාන නගරයෙහි සතිපොළ ආසන්නයෙහි පිහිටා ඇත. සිසු දරු දැරියන් විශාල ප‍්‍රමාණයක් අධ්‍යාපනය ලබන මෙම විහාරස්ථානයෙහි ඉරු දින දහම් පාසලද ප‍්‍රදේශයේ ඉමහත් ප‍්‍රසාදයට පත් වූවක් බව මෙහිලා සඳහන් කිරීම සුදුසුය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.