ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
නිවස විශේෂාංගසම්බුදු සසුන්කෙත ඒකාලෝක කරන මහකන්දේ ශ්‍රී රතනපාල මහ නාහිමියෝ

සම්බුදු සසුන්කෙත ඒකාලෝක කරන මහකන්දේ ශ්‍රී රතනපාල මහ නාහිමියෝ

by Thanushika
September 26, 2026 12:30 am 0 comment

 

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශ්වයේ අභිනව මහානායක ධුරන්දර වතුරුවිල වනවාස සංඝ මූලස්ථානාධිපති, ශ්‍රී ඤාණානන්ද මහා පිරිවෙනේ අධ්‍යක්ෂ, මහෝපාධ්‍යාය, විනය කීර්ති ශ්‍රී, මහකන්දේ ශ්‍රී රතනපාල මහානායක මාහිමියන් වහන්සේ වෙත අභිනව මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය පසුගියදා ප්‍රදානය කෙරිණි.

1953 ජනවාරි 23 වැනි දින උපත ලැබූ ගම්ලත් රාළලාගේ ජයවීර නම් පුංචි කුමාරයා මවුපිය සෙනෙහසින් හැදී වැඩෙමින් නිසි වයසේ දී මහකන්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. 1966 ජූලි 19 වැනි දින මදුනාගල ආරණ්‍ය සේනාසනයේ දී අතිපූජ්‍ය වතුරුවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාස පාර්ශ්වයේ පළමු මහානායක ස්වාමීන් වහන්සේගේත්, මහකන්ද පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති දඩගමුවේ ශ්‍රී ඤාණරතන නාහිමියන්ගේත්, බැලුම්මහර සෝමානන්ද නාහිමියන්ගේත් ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට ඇතුළත් වන්නේ පෙර පින්බලයේ මහිමයෙනි.

1973 ඔක්තෝබර් 27 වැනි දින වතුරුවිල වනවාස මංගල උපෝසථාගාරයේ දී අතිපූජ්‍ය වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මහානායක ස්වාමීන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබූහ.

කුඩා කල සිටම ශාසනය කෙරෙහි දැක්වූ ගෞරවය, ශ්‍රද්ධාව සහ කැපවීම හේතුවෙන් උන්වහන්සේ වනවාස පාර්ශ්වයේ කාරක සංඝ සභික ධුරයකට ද, අතිපූජ්‍ය ශ්‍රී ඥානානන්ද මහානායක ස්වාමීන් වහන්සේ විසින් පත් කරන ලදි.

1977 නොවැම්බර් 11 වැනි දින සිට කර්මවාගාචාර්ය ධුරය ස්ව නිකාය මඟින් උන්වහන්සේට පිරිනමන ලදී.

1978 වසරේදී නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරයට පත් කරන ලද උන්වහන්සේ. 1976 සිට වසර දොළහක කාලයක් වනවාස සංඝ මූලස්ථානයේ කෘත්‍යාධිකාරි ධුරය ද හෙබවූහ.

ස්‍යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශ්වයේ අනුනායක ධුරයට 2009 දෙසැම්බර් 6 වැනි දින ඒකමතික ව පත් කරන ලද මහකන්දේ රතනපාල නාහිමියෝ, 2026 පෙබරවාරි 26 වැනි දින දක්වා එම ධුරයේ කටයුතු ඉතා සාර්ථකව ඉටු කළහ.

උන්වහන්සේගේ සමස්ත පැවිදි දිවිය ම ශාසනික පිළිවෙත් මත ගොඩනැඟුණු ආදර්ශවත් ජීවිතයකි. අරුණෝදයට පෙර අවදි වී දෛනික බුද්ධ වන්දනාවේ යෙදීම, තුන් සිවුර දැරීම, දිනපතා පිණ්ඩපාත චාරිකාවේ යෙදීම සහ විනයානුකූල භික්ෂු ජීවිතයක් ගත කිරීම සියලු භික්ෂූන්ට ආදර්ශයක් වී ඇත.

උන්වහන්සේගේ ආචාර්යත්වයෙන් භික්ෂු ශාසනයට ඇතුළත් වූ සිසු භික්ෂූන් වහන්සේගේ සංඛ්‍යාව තුන්සියයකට අධික ය. කොතරම් අවිවේකී ශාසනික කටයුතුවල නිරත වුව ද, සියලු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේටත්, අනෙකුත් ස්වාමීන් වහන්සේටත් කාරුණික මඟපෙන්වීම හා අනුශාසනා ලබා දෙමින් ආදර්ශවත් ගුරු භූමිකාවක් ඉටු කරති.

උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා විශාල මෙහෙවරක නිරත ව සිටිති.

වතුරුවිල ශ්‍රී ඤාණානන්ද වනවාස පාර්ශ්වයේ පළමු මහානායක ස්වාමීන් වහන්සේගේ පා සෙවණෙහි සිය පැවිදි දිවිය ආරම්භ කළ මහකන්දේ රතනපාල නාහිමියෝ, අතිපූජ්‍ය වතුරුවිල මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වන තෙක් ම උන්වහන්සේගේ ශාසනික මෙහෙවරට අමිල දායකත්වයක් ලබා දුන්හ.

උන්වහන්සේගේ මහඟු මෙහෙවර අතර වතුරුවිල වනවාස මහා නාහිමි චරිතාපදානය සහ වතුරුවිල වනවාස සංඝ මූලස්ථාන අඩ සියවසක් සමරු කලාපය, වනවාස නිකායේ 25 වසරක සටහන්, ගුවන්විදුලි ධම්මචින්තා, පූජා විධි හා තෙරුවන් වන්දනා වතුරුවිල මහානාහිමි චරිතාපදානය ඉංගී‍්‍රසියට පරිවර්තනය කරවීම, වතුරුවිල වත උපසම්පදා අඩ සියවස් සැමරුම, වතුරුවිල සෙල් පිළිම පුද උවසර, වතුරුවිල සිලාවත්ථු මංජරී, අතීත පුනරාවර්තනය ආදි ලියා පළ කරන ලද ග්‍රන්ථ කිහිපයක් ද වේ.

දහම් ග්‍රන්ථ දහසයකට අධික සංඛ්‍යාවක් රචනා කරන ඇති උන්වහන්සේ, ධර්ම සාහිත්‍යය පෝෂණය කිරීම සඳහා ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කර තිබේ.

අතිපූජ්‍ය වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපේක්ෂාව මල්ඵල ගැන්වීමත්, ඇෆ්ගනිස්තානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමෙන් බෞද්ධ ලෝකයට ඇති වූ සංවේගය සිහිපත් කරමින් ශ්‍රී ලාංකේය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාත් වතුරුවිල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරිමේ උදාර අදිටන පහළ වූයේ ද අතිපූජ්‍ය මහකන්දේ ශ්‍රී රතනපාල මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත ය.

එමෙන්ම දිවයිනේ සෑම පළාතකින් ම වතුරුවිල වනවාස සංඝ මූලස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන්ගේ ආගමික හා නේවාසික පහසුකම් දියුණු කිරීම සඳහා ද උන්වහන්සේ සුවිශේෂී කැපවීමකින් කටයුතු කරමින් සිටිති.

ශාසනික, ආගමික, අධ්‍යාපනික හා සමාජීය ක්ෂේත්‍රයන්හි අමිල සේවාවක් ඉටු කරමින්, ස්‍යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශ්වයේ අභිනව මහානායක ධුරයට පත් වූ අතිපූජ්‍ය මහකන්දේ ශ්‍රී රතනපාල මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත තෙරුවන් සරණින් නිදුක් නීරෝගි, චිරජීවනය පතන අතර, ශාසනික මෙහෙවර තවදුරටත් සාර්ථක ව ඉටු කිරීමට ශක්තිය හා දිරිය ප්‍රාර්ථනා කරමු.

බෞද්ධ පත්‍රකලා විශාරද සීසර් සුදුසිංහ

You may also like

Leave a Comment