Print this Article


නිවැරැදිව පිහිටු වූ චිත්තය

නිවැරැදිව පිහිටු වූ චිත්තය

සිත පිහිටුවීම “සිදුවන්නක්” නොව “සිදුකරන්නක්” වේ. “මට සිතුණා” “මා සිතුවා” යන දෙකම එක නොවේ. කර්මයක මුල වන්නේ “මා සිතුවා” යන්න ය. එය නිවැරැදි නම් චිත්තය සම්මාපණීහිත වේ. වැරැදි නම් මිච්ඡාපණීහිත වේ. නිවැරැදිව පිහිටු වූ චිත්තය හේතුඵල වශයෙන් හා උපාය වශයෙන් මෙනෙහි කිරීම “යෝනිසෝමනසිකාරය”යි. යෝනිය යනු උප්පත්තියයි. මනසිකාර යනු මෙනෙහි කිරීමයි. හේතුඵල වශයෙන්, උපාය වශයෙන්, නියම ක්‍රම වශයෙන් සලකා බැලීම යෝනිසෝ මනසිකාර නම් වේ. මෙය බුදු දහමේ වැදගත් ම න්‍යායකි. උදාහරණයෙන් මෙය පැහැදිලි කර ඇත.

“ගිනි නිපදවනු කැමැත්තෙන් වියළි දර ගෙන දැඩි ලෙස එකට ඇතිල්ලීමෙන් ගිනි නිපදවා ගැනීමට සමත් වේ. අමු තෙත් දරවලින් නොහැකි වේ. එලෙසින් යෝනිසෝ මනසිකාරයෙන් යහපත් කාර්යය සිද්ධිය වන්නේ ය. නොවරදින මඟ එයයි.

අයෝනිසෝ මනසිකාරයෙන් වැරැදීම මෙසේ සඳහන් කළ හැකි ය.

පෙර එක් බමුණකුට බිරින්දෑවරු දෙදෙනෙක් වූහ. එකියකගේ දරුවා දස දොළොස් වස් වන විට, අනෙක් බිරිය ප්‍රසූත කිරීමට ළං වූ දරුවකු ඇති ගැබිනියක් වූවා ය. මෙවිට බමුණා කලුරිය කළේ ය. මේ දරුවා ගැබිනි මව අමතා මෙහි තිබෙන පියා සන්තක රන්රුවන් ආදී සියලු ධනය මට අයත් ය. ඔබට මෙහි කිසිවක් අයත් නැත. මගේ පිය උරුමය මට පාවා දෙවයි කීවේ ය. එවිට ගැබිනි බැමිණිය “දරුව, මගේ කුසෙහි සිටින දරුවා බිහිවන තුරු සිටුව, ඔහු පුතකු වුවොත් ඔහුට ද කොටසක් අයත් වන්නේ ය. දුවක වුවොත් ඔබට ම භාර දෙන්නෙම්” යි කීවා ය. බමුණු ළමයා නැවත නැවත උරුමය පාවා දෙන්ට යැයි කරදර කරමින් කියත්ම ගැබිනි මව තම කුසෙහි ඉන්නේ පුතෙක් ද? දුවක් දැයි? දැනගනු කැමැති ව කාමරයට ගොස් ගැබ හෙළා ලූ ය. මෙයින් ඇය වරදවා උරුමය සොයන්නී තමාත්, දරුවාත්, ධනයත් නැති වී විනාශයට පත්වූවා ය. අයොනිසෝදයජ්ජගවේසී (වරදවා උරුමය සෙවීම) වූ හැටි මෙයින් කියවිණි. (දීඝ නිකාය)

මධ්‍යම ප්‍රතිපදාව -

මැටි හෝ වීදුරු හෝ බඳුනක් අතින් ගන්නා විට තදින් අල්ලා ගතහොත් බිඳෙන්නේ ය. තුවාල ද වන්නේ ය. බුරුලෙන් අල්ලා ගතහොත් බිම වැටෙන්නේ ය. මේ දෙයාකාරයෙන්ම නොව මධ්‍යම ප්‍රමාණයෙන් අල්ලා ගත්විට අභිමතාර්ථය හොඳින් සිද්ධ කරගත හැකි වන්නේ ය. එමෙන් ම කයට දුක්දීම හෙවත් අත්තකිලමථානුයෝගයෙන් හෝ කාමයෙහි ඇලී ගැලී සිටීමේ හෙවත් කාමසුඛල්ලිකානුයෝගයෙන් හෝ විමුක්තිය නොලද හැකි ය. එහෙයින් මධ්‍යම ප්‍රතිපදාව වනාහි විමුක්තිය ලැබීමේ නොවරදින මඟ බව වදාළහ.