Print this Article


සප්ත බොජ්ඣංග ධර්ම වැඩෙන පිළිවෙළ

සප්ත බොජ්ඣංග ධර්ම වැඩෙන පිළිවෙළ

“මහණෙනි, යම් කලෙක භික්ෂුවක් කාය විවේකයෙන් හා චිත්ත විවේකයෙන් වසමින් ඒ ධර්මය සිහි කරයි ද? අනුවිතර්ක කරයි ද, එකල ඒ භික්ෂුව විසින් සති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව සති සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුවගේ සති සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි.

බොජ්ඣංග යනු කුමක්දැයි අපගේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් විමසූ කල්හි මෙසේ වදාළ සේක.

“භික්ෂුව, අවබෝධය පිණිස පවතින්නේ යන කරුණින් බොජ්ඣංග යැයි කියනු ලැබේ. ඉන්පසු එම භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සප්ත බොජ්ඣංගයන් වඩන භික්ෂුවගේ සිත මනාකොට කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජා ආශ්‍රවයන්ගෙන් නිදහස් වන බවයි.

කුණ්ඩලීය නම් වූ තාපසයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ විමසීය.

“භවත් ගෞතමයන් වහන්ස, මම වනාහී ආරාමවල වාද විවාද කරමින් සිටින ශ්‍රමණ කණ්ඩායමකට අයත් කෙනෙක් වෙමි. ඉතින් මා හීල දානය ගත් පසු ශ්‍රමණයන් බහුල ව හැසිරෙන ආරාමයෙන් ආරාමයටත්, උද්‍යානයෙන් උද්‍යානයටත් ඇවිදගෙන යමි. ඔවුන් සමඟ කතා කරමි. එවිට වාද විවාද කිරීමේ ආනිශංස ගැන කතා කරමින් වාසය කරන ශ්‍රමණවරුන් මට දැක ගන්නට පුළුවනි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වාසය කරන්නේ කවර දෙයක ආනිශංස දකිමින් ද?

“කුණ්ඩලිය, තථාගතයන් වහන්සේ විද්‍යා (අවබෝධ ඤාණයත්) විමුක්ති (දුකින් නිදහස් වීමත්) ඵල ආනිශංස කොටගෙන වාසය කරයි.”

එවිට කුණ්ඩලිය තවුසා මෙසේ ඇසීය.

“භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද බහුල කිරීමෙන් ද විද්‍යා විමුක්ති සම්පූර්ණ වන්නේ?”

“කුණ්ඩලිය, සප්ත බොජ්ඣංග භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් විද්‍යා විමුක්ති සම්පූර්ණ වන්නේ ය.”

“භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද, බහුල කිරීමෙන් ද සතර සතිපට්ඨානය සම්පූර්ණ වන්නේ?”

“කුණ්ඩලිය, ත්‍රිවිධ සුචරිතය භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් සතර සතිපට්ඨානය සම්පූර්ණ වන්නේ ය.”

“භවත් ගෞතමයන් වහන්ස, කවර ධර්මයන් භාවිත කිරීමෙන් ද, බහුල කිරීමෙන් ද ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නේ?”

“කුණ්ඩලිය, ඉන්ද්‍රිය සංවරය භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නේ ය.”

අනතුරුව අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා විස්මිත අයුරින් ඉන්ද්‍රිය සංවරය විස්තර කළ සේක. සාමාන්‍යයෙන් අනෙක් බුද්ධ දේශනාවල ඉන්ද්‍රිය සංවරය විස්තර කරන පිළිවෙළට වඩා විශේෂ අයුරකින් මෙම දෙසුමේ දී ඉන්ද්‍රිය සංවරය ගැන පවසන ලදී. එය මෙසේ ය.

“කුණ්ඩලිය, මෙහිලා භික්ෂුවක් ඇසින් රූපයක් දැක මනාප අරමුණට ආශා නො කරයි. එයින් ලැබෙන සතුටින් නො පෙළයි. රාගය නූපදවයි.

කය වෙනස් නොවී සිටියේ වෙයි. සිත (ඒ වෙනුවෙන් සසල නොවී) සිටියේ වෙයි. ආධ්‍යාත්මයේ මැනවින් පිහිටියේ වෙයි. ඒ රාග අරමුණින් මනාව මිදුණේ වෙයි.

එමෙන්ම ඇසින් අමනාප රූපයක් දැක නො හැකිළෙයි. නො සන්සුන් සිත් නැත්තේ වෙයි. බැගෑපත් සිත් නැත්තේ වෙයි. දුෂ්ට සිත නැත්තේ වෙයි. ඔහුගේ කය සිටියේ වෙයි (සසල නොවෙයි) සිතත් සිටියේ වෙයි. ආධ්‍යාත්මයේ මැනවින් පිහිටියේ වෙයි. මැනවින් මිදුනේ වෙයි. මේ අයුරින් කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන්ගේ සංවරයත් වදාරන ලද්දේ ය. මේ ආකාරයෙන් බහුල වශයෙන් වඩන ලද ඉන්ද්‍රිය සංවරය ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරයි. බහුල වශයෙන් වඩන ලද ත්‍රිවිධ සුචරිතය සතර සතිපට්ඨානය සම්පූර්ණ කරයි. ත්‍රිවිධ සුචරිතයේ පිහිටා වඩන ලද සතර සතිපට්ඨානයෝ සප්ත බොජ්ඣංග සම්පූර්ණ කරති.

මෙහිදී අපට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සප්ත බොජ්ඣංග වැඩීමට කැමැති ශ්‍රාවකයා විසින් පූර්වාංග ලෙස ඇති කර ගතයුතු කරුණු ගැනයි. මෙම දේශනාවට අනුව විමසා බලන විටදී ඉන්ද්‍රිය සංවරයත්, ත්‍රිවිධ සුචරිතයත් සම්පූර්ණ නොවී සතිපට්ඨානය මනාකොට සම්පූර්ණ වීමක් නැති බව අපට මැනවින් පැහැදිලි වේ. සතර සතිපට්ඨානය මැනවින් භාවිත කිරීමෙන්, බහුල වශයෙන් වැඩීමෙන් ශ්‍රාවකයා හට සති සම්බොජ්ඣංගය පිණිස උත්සාහ කළ හැකිය. එය බොජ්ඣංග සංයුත්තයේ ආහාර සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

“මහණෙනි, නූපන් සති සම්බොජ්ඣංග ඉපදීම පිණිසත්, උපන් සති සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාරය වන්නේ කුමක්ද? මහණෙනි, සති සම්බොජ්ඣංගයට හිත වූ කරුණුූ (සතර සතිපට්ඨානය) ඇත්තේ ය. ඒ පිළිබඳ ව නුවණින් යුක්ත ව බහුල ව මෙනෙහි කිරීමක් ඇද්ද නූපන් සති සම්බොජ්ඣංගය ඉපදීම පිණිසත් උපන් සති සම්බොජ්ඣංගය භාවනා වශයෙන් සම්පූර්ණ වීම පිණිසත් මෙය ආහාරය වෙයි.”

මෙම සූත්‍රයේ දි නීවරණයන්ට ආහාර වන කරුණූු ගැනත්, සප්ත සම්බොජ්ඣංගයන්ට ආහාර වන කරුණු ගැනත් විස්තර වශයෙන් දේශනා කොට ඇත. බුදුරජාණන් වහන්සේ පංච නීවරණයන් අකුසල රාශිය (අකුසල් රැස) යනුවෙන් ද හඳුන්වා ඇත. නීවරණ පෝෂණය වීමට ඍජුව ම (සීලයේ) ත්‍රිවිධ සුචරිතයේ ඇති දුර්වලතාත්, ඉන්ද්‍රිය සංවරයේ ඇති දුර්වලතාත් බලපායි. සතර සතිපට්ඨානය කුසල රාශිය (කුසල් රැස) යනුවෙන් හඳුන්වා ඇත.

සිතක් තුළ බොජ්ඣංගයන් වැඩෙන පිළිවෙළ සීල සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

“මහණෙනි, යම් කලෙක භික්ෂුවක් කාය විවේකයෙන් හා චිත්ත විවේකයෙන් වසමින් ඒ ධර්මය සිහි කරයි ද? අනුවිතර්ක කරයි ද, එකල ඒ භික්ෂුව විසින් සති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව සති සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුවගේ සති සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. ඔහු එසේ සිහියෙන් වාසය කරන්නේ ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසයි. ප්‍රඥාව හසුරුවයි. මැනැවින් විමසීමට පැමිණෙයි. එකල ඒ භික්ෂුව විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි.

යම් කලෙක භික්ෂුව වීරිය සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ වීරිය සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. පටන්ගත් වීරිය ඇත්තහුට නිරාමිස පී‍්‍රතිය උපදියි. එකල භික්ෂුව විසින් පී‍්‍රති සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ පී‍්‍රති සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. පී‍්‍රති මනස ඇත්තහුගේ කයත් සැහැල්ලු වෙයි. සිතත් සැහැල්ලු වෙයි. එකල භික්ෂුව විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි.

යම් කලෙක භික්ෂුව පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. සැහැල්ලු කය ඇත්තහුට සැපයක් ඇත්තේ ය. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. එකල භික්ෂුව විසින් සමාධී සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව සමාධි සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ සමාධි සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව සමාධි සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ සමාධි සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණත්වයට යයි.

ඔහු එසේ සමාධිමත් වූ සිත දෙස මනාකොට මැදහත් ව බලන්නේ වෙයි. එකල භික්ෂුව විසින් උපේක්ෂා සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ උපේක්ෂා සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට පත්වෙයි.

සප්ත බොජ්ඣංගයන් මෙසේ වැඩූ කල්හි, මෙසේ බහුල කල කල්හි මෙලොව දී ම අනාගාමී වීම හෝ අරහත්වයට පත්වීම හෝ කැමැති විය යුතු යැයි අපගේ අති උත්තම ශාස්තෘන් වහන්සේ වදාළ සේක.

බොජ්ඣංගයන් පුරුදු කර ගැනීමට නම් තමා තුළ (යෝනිසෝ මනසිකාරය) නුවණින් විමසීමේ හැකියාව ඒකාන්ත වශයෙන් ම තිබිය යුතු ය.

“මහණෙනි, බොජ්ඣංග ධර්මයන්හි හටගැනීම පිණිස තමා තුළ පවතින නුවණින් සැලකීමේ හැකියාව තරම් වටිනා වෙන කිසිදු අභ්‍යන්තරික අංගයක් මම නො දකිමි” යනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

අපේ ජීවිත තුළ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී අප හිතන පතන වේගයෙන් මෙම බොජ්ඣංග ධර්මයන් අප තුළ නො වැඩීමට ප්‍රධානතම හේතුව බවට පත් වී ඇත්තේ අපේම (යෝනිසෝ මනසිකාරයේ) නුවණින් විමසීමේ ඇති දුර්වලතායි.

ඒ නිසා අප මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ඉවසීමෙන් යුක්තව, අඛණ්ඩව ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය, සතිපට්ඨානය පුරුදු පුහුණු වීම ආදි මූලික කාරණාවන් පුරුදු කිරීමෙන් කෙමෙන් කෙමෙන් බොජ්ඣංග ධර්මයන් පුරුදු පුහුණු කර ගැනීමට සුදුස්සන් බවට පත්විය හැකි ය.

මෙබදු වූ ගම්භීර ධර්මයන් ගැන අසන්නට ලැබීම පවා අපගේ භාග්‍යයක් නොවේද? ඒ සියල්ල අපට ලැබුණේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා ම ය. අවබෝධයට උපකාරී වන මේ සප්ත බොජ්ඣංග ධර්මයන් ගැන තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළ වීමෙන් ම මිස අබුද්ධෝත්පාද කාලවල දී අසන්නටවත් නො ලැබේ.

යම් කෙනකුගේ සිත බොජ්ඣංග ධර්මයන්හි මැනවින් වඩන ලද්දේ ද, අල්ලාගත් දේ දුරු කිරීමෙන් උපාදාන රහිත වූ නිවනෙහි ඇළුණු යම් කෙනෙක් වෙත් ද? ඒ ලොව බබුළුවන ක්ෂිණාශ්‍රව රහත්හු ලෝකයෙහි පිරිනිවී ගියාහු ය.