ලෝ දහම ඉදිරියේ
නොසැලෙන සිතක්
මේ ජීවිතයේ දී අපට අයිති, කැමැති හැමදේම මරණයේ දී අපට දමා යන්න වෙනවා. හොඳ හෝ නරක
හෝ ලෙස රැගෙන යන දේ අනුව ඊළඟ උපත සැකසෙනවා.
සමහර විට ඇතැම් කෙනෙක් කියනවා හොඳට කාලා - බීලා සැප විඳලා ජීවත් වෙන්න ඕනෑ. ජීවිතය
විඳින්න ඕනෑ කියලා. ඒක දුෂ්ප්‍රාඥ සිතිවිල්ලක්. ප්‍රඥාවන්තයා සිතන්නේ එසේ නොවේ.
මරණින් මතු උපත ඔහු විශ්වාස කරනවා. ඒ උපතට රැගෙන යා යුතු දේ රැස්කර ගන්නවා.
මෙලොවින් පරලොවට යන ගමනට පින, කුසලය තුළින් ආරක්ෂාවක් හදා ගන්නවා.
අප කාටත් මේ මනුස්ස ජීවිතය ලැබුණේ ඉතා දුර්ලභව යි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මනුස්ස
ලෝකයේ උපත කණකැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ උපතක් ලෙසයි.
මනුස්ස ලෝකයේ ඉපදීමට විශාල කුසල සම්පත්තියක් අවශ්‍ය යි. ඒක හැමෝට ම පිරෙන්නේ නැහැ.
අපේ සිතිවිලිවල තිබෙන අකුසල් නිසාත්, කෙලෙස් බර බව නිසාත් මිනිස් ජීවිතය අතහැරෙද්දී
සතර අපායේ උපතකට අප ඇදී යනවා. මිනිසෙක් වූ කෙනෙක් මරණින් මතු නැවත මිනිස් ජීවිතයක්
ලබන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ ජීවිතයට ශ්‍රී සද්ධර්මය ඇසීම ඊටත් වඩා දුර්ලභ දෙයක්.
බුදුරජාණන් වහන්සේ නමක් හැම කාලයේ දී ම පහළ වන්නේ නැහැ. එනිසා බුද්ධ ශාසනයක් හමු වූ
මේ වෙලාවේ දී එයින් ප්‍රයෝජන ගැනීම ඇත්තෙන් ම දුර්ලභ දෙයක්.
මේ මිනිස් ලෝකයේ ඉපදුණ අප කාටත් දුක් පීඩා පැමිණෙනවා. එහෙම කරදර පැමිණෙද්දී නො
පෙනෙන ලෝකයෙන් පිහිටක් පතනවා. ඒ වගේම අප භෞතික වශයෙන් මනුස්ස ලෝකය තුළත් පිහිටක්
සොයනවා. ලෙඩදුක්වලට රෝහල්, වෛද්‍යවරු බිහි වෙනවා. රණ්ඩුසරුවල් ඇතිවෙනවා. ඒවාට
පිහිටට පොලීසිය, උසාවිය බිහි වෙනවා. මේ ලෝකයේ සෑම තැන ම තිබෙන්නේ ප්‍රශ්නවලට උත්තර
සොයන්න නිර්මාණය වූ දේ යි.
අප ජීවත් වෙද්දි ආහාර අවශ්‍ය වෙනවා. එවිට කුඹුරු වතුපිටි බිහිවෙනවා. හැමෝට ම කුඹුරු
කරන්න බැහැ. ඒ නිසා ව්‍යාපාර ස්ථාන, කඩසාප්පු ඇතිවුණා. මේ සියල්ල ම ලෝක ස්වභාවයට
අයිති දේයි.
මේ ලෝකයේ ඉපදෙන සියලු ම දෙනා අත්දැකීම් අටකට මුහුණ දෙනවා. ඒ කරුණු අටෙන් කිසිවකුට
ගැලවී යාමක්, මඟහැර යාමක් කරන්න බැහැ. ඒ කරුණුූ අප කරා එද්දී ඒවාට මුහුණ දෙන්නට
බැරිව තමයි අප බොහෝ කරදර ජීවිතයට එක්කර ගන්නේ. ඇතැම් කෙනෙක් ඒ කරදරවලට මුහුණ දෙන්නට
නොහැකි ව පැරදෙනවා. ඇතැම් කෙනෙක් ඒ අත්දැකීම් අට අවබෝධ කරගෙන ජීවිතය සතුටින්
ගෙවනවා.
අපගේ ශාස්තෘන් වහන්සේත් මහ රහතන් වහන්සේත් පිරිනිවන් පාන මොහොත දක්වා මේ අත්දැකීම්
අටට මුහුණ දුන්නා. හිරු නැඟෙන විට හිරුඑළිය කාටත් ලැබෙනවා වගේ මේ කරුණුූ අටට යටත් ව
අප කාටත් මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ කරුණුූ අට තමා අටලෝ දහම කියන්නේ.
මේ ලෝකය අට ලෝ දහමට අනුව කැරකෙන අතර, අට ලෝ දහම අනුව ලෝකය කැරකෙනවා. මේ දෙක එකිනෙකට
බැඳී පවතිනවා. ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රශංසා, දුක - සැප මේ අට අප කරා
එද්දී ඇතැම් විට දරාගන්න බැරි, ඔරොත්තු දෙන්නේ නැති වෙනවා, ජීවිත පවා අහිමි වන්නේ
එනිස යි. අප හැමෝගේ ම ජීවිත කොටස් කර බැලුවොත් මේ අටට පමණයි වැටෙන්නේ.
මනුස්ස ලෝකයේ අපි ඉපදෙන කොට අඩු වැඩි වශයෙන් නොයෙක් ලාභ රැගෙන එනවා. මවුපියන්,
රැකියා, දූ දරුවන්, ස්වාමි - භාර්යා ගේ දොර අපට ලැබුණ ලාභ. එලෙස ම අලාභ නැත්නම්
අහිමිවීම් ද මේ ජීවිතයේ දී ලැබුණා. බලාපොරොත්තු වන දේ නො ලැබීම අලාභය යි.
යස කියන්නේ සමාජයෙන් අපට වටිනාකමක් දීමයි. යසස ළඟ ම තිබෙන්නේ අයස යි. තමන් නො සිතූ
පරිදි තනිවීම අයසට අයත්. එතකොට අපට සිතෙනවා ඔබ කොහොම සිටිය කෙනෙක් ද? ඇයි මම තනි
වුණේ කියා ඒ ගැන සිතමින් පසුතැවෙනවා. අප කෙ තරම් පිරිස් පිරිවරා සිටියද දිනෙක අප
තනිවෙනවා ම යි කියන ලෝ දහමට අනුව උපන් සැම දෙනාට ම තනිවෙන්න වෙනවා.
ඒ වගේම නින්දා - ප්‍රශංසා මේ ජීවිතයට පොදුයි. නින්දා නො ඇසූ කෙනෙක් නැහැ. සියල්ල
අවබෝධ කළ අප ශාස්තෘන් වහන්සේත් නොයෙක් ආකාරයේ නින්දා, අවමන් ලැබුවා. නින්දාව අප කරා
එද්දී බොහෝ වෙහෙසට, කම්පාවට පත්වෙනවා. ඇයි මට ම මෙහෙම වෙන්නේ කියා සිතනවා. නො කරපු
දෙයකට මම නින්දා විඳිනවා කියා තැවෙනවා. සාධාරණත්වය සොයනවා. එහෙම කළොත් ජීවිතයේ ම
විඳවීම් පමණයි අපට උරුම වෙන්නේ. නින්දා ලැබීම නිත්‍ය දෙයක් නොවේ. අප කෙ තරම් හොඳ
දෙයක් කළත් ප්‍රශංසාව බලාපොරොත්තු විය යුතු නැහැ. කළ දේ කෙ තරම් හොඳ වුවත් තව
කෙනකුගේ නින්දාවට පත්වෙන්න වේවි. ඒ ලෝ දහමයි. ප්‍රශංසාත් මේ ජීවිතයට අරුමයක් නොවේ.
ළමා කාලයේ දී නිවෙසේ අයගෙන්, පාසල් අවධියේ ගුරුවරුන්ගෙන් වගේම වැඩිහිටි වූ පසු
සමාජයෙන් ද ප්‍රශංසා ලබනවා. ජීවිතයේ එක වරක් හෝ ප්‍රශංසා නො ලැබු කෙනෙක් මේ ලෝකයේ
නැහැ.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඉපදුණු අප කාටත් සැප වගේ ම දුකත් උරුමයි කියලා. දරුවෝ
නිසාම හිනාවෙන මවුපියන් දරුවෝ නිසා ම දුකට පත්වෙනවා. දරුවාට ආදරෙයි කියූ ඔවුන් ම ඒ
දරුවා නිසා විලාප දෙමින් හඬා වැටෙන අවස්ථා කෙ තරම් ද? දරුවෝ ද මවුපියන් නිසා ම හිනා
වුණා. මවුපියන් නිසාම ඇඬුවා. ගේ දොර නිසා ම සැපක් වින්දා. ඒවා අහිමි වූ නිසා ම දුක්
වින්ඳා. විටෙක කෙනෙක් මේ ශරීරය නිසාම සැපක් විඳිනවා. ඒ ශරීරය නිසාම දුක් විඳිනවා.
මේ ලෝකය කැරකැවෙන්නේ ලෝ දහම අනුවයි. මෙයින් ගැළවීමට කිසිම කෙනකුට බැහැ.
සියල්ල දක්නා, සියල්ල දන්නා අපගේ ශාස්තෘන් වහන්සේගේ සිතේ රාගය නැහැ. විරාගියි.
ද්වේශය නැහැ. වීතදෝෂියි. මෝහය නැහැ. වීතමෝහයි. මහා කාරුණික යි. දෙතිස් මහා පුරුෂ
ලකුණින් බබළනවා. මෙ තරම් ගුණ සමුදායකින් හෙබි බුදුරජාණන් වහන්සේටත් ඇතැම් දෙනා දොස්
කීවා. නින්දා කළා. දානය වැළැක්වූවා. ගල් පෙරලුවා. එනිසා අපගේ ජීවිතයට එන කරදර
ඉදිරියේ අප හඬා වැටෙන්නේ, දෙස් දෙවොල් තියා ගන්නේ ඇයි? දරාගැනීම, ඉවසීම ගුණයක් ලෙස
පුරුදු කරමින් ජීවිත ගතකරන්න ඕන ප්‍රශ්නයකට ඔරොත්තු දීම සඳහා යි. නැත්නම් නිතර ම
අපගේ සිත අපෙන් අසනවා ඇයි මට මෙහෙම වෙන්නේ. ඇයි මට සතුටක් නැත්තේ? ඇයි මට මිනිසුන්
නින්දා කරන්නේ? කියමින් අපි පසුතැවෙනවා. එයට හේතුව ලෝ දහම නොදන්නාකමයි.
එනිසා මේ ලෝ දහම අවබෝධ කරගෙන ඒවාට නොසැලී, ශෝක නැති ඇලෙන්නේ නැති, නිවනට යන මාවතක්
ගැනයි අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළේ. අපේ සිත නිතර ම කම්පා වෙවී තිබෙන්නේ
ලෝ දහම අනුව යි.
නාග ලෝකයේ පටන් බ්‍රහ්ම ලෝකය දක්වා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. ඒ වගේම
නින්දාත් ආවා. මේ මිනිස් ලෝකයේ ජීවත්වන ඇතැම් දෙනා අණවිණ, කොඩිවිණ කරන්නේ මෙ තරම්
පොලීසිය, උසාවිය තිබෙන්නේ, මෙ තරම් ආරවුල් තිබෙන්නේ ලෝ දහමට මුහුණ දෙන්නට බැරි වූ
නිසයි. එවිට අපි අවුලෙන් අවුලට පත්වෙනවා. අපට බලාපොරොත්තු වැඩියි. බැඳීම් වැඩියි.
කළ යුතු කටයුතු වැඩියි. එනිසා බොහෝ දෙනා බොහෝ දුක සේ ම ජීවත් වෙනවා.
දුකක්, කරදරයක්, පීඩාවක් එද්දී මේක මගේ කරුමය කියනවාට වඩා අපට සිතන්නට පුලුවන් නම්
මම දැන් අටලෝ දහමට මුහුණ දී තිබෙන්නේ කියා එවිට සිත ශක්තිමත් වේවි.
නිරෝගි ජීවිතය සුළු මොහොතකින් රෝගි වෙනවා. යස වගේම ජීවිතයට අයසත් එනවා. කාලයක දී
තමාට තනිවෙන්න වෙනවා ආදි දේ අප පිළිගන්නට කැමැති වෙන්න ඕනෑ. අප කැමැති, සිතන දේ ඒ
අයුරින් ම වෙනවා කියන බොළඳ සිතිවිල්ල බැහැර කළොත් අපගේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු
ලැබේවි.
නයනා නිල්මිණි |