Print this Article


නොබිඳෙන නොසැලෙන උත්තම පූජාව

නොබිඳෙන නොසැලෙන උත්තම පූජාව

කඨින දායකයන්හට ලැබෙන ඉහළම ආනිසංසය වන්නේ බෞද්ධයන් අතර චිර ප්‍රසිද්ධ අටමහ කුසල් අතරට වැටෙන පළමු කුසලය අත්පත් වීම ය. උසස්, දුර්ලභ හා වටිනා කඨින පින්කම් හරහා ශාසන උද්දීප්තියත්, දායක පක්ෂයෙහි ගුණධර්ම දියුණුවත් සාකල්‍යයෙන් ම සිදුවන බව නිර්දේශිත ය

අප මහ කාරුණිකයාණෝ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙක්හි, භික්ෂු ශාසනයෙහි මතු වූ යම් යම් අවිනයවාදී සිදුවීම් අරභයා, භික්ෂු සමාජය බලවන්තකරණය කිරීමේ අභිලාසයෙන් යුතු ව යම් යම් විනය නීති පනවන්නට සිදුව තිබෙන බවට ශාසන ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. වස්සානය මුල් කරගත් වස් විසීමට අදාළ කතා පුවත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ බුදුන් වහන්සේ විසින් මහජන උද්ඝෝෂණයකට ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදී පිළිතුරක් වශයෙන් “වස් විසීම” සැලකිල්ලට ලක් වන බවකි.

බුද්ධ කාලීන පූර්ව සමයෙහි භික්ෂූහු සෑම දිනක දී ම ධර්ම චාරිකාවේ යෙදෙමින් බුද්ධ දේශනාව ප්‍රකාර ව මහජන සේවාවෙහි නිරත වූහ. වැසි කාලයෙහි දී මෙලෙස ජනපද චාරිකාවේ නිරතවීමට උත්සාහ දරන විටදි තණ නිල්ල මත සිටින ‘රතිඳු ගොවි’ ආදී කෘමීන්ට ද, කුරුලු බිජුවලට ද ඉන් හානි සිදුවන බවට දෝෂාරෝපණය කරමින් මහජනයා විසින් බුදුන් වහන්සේ හමුවට පැමිණ පැමිණිලි ඉදිරිපත් කළහ.

මෙහිදී වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව මහජන මතයට කන් දුන් අප මහා කාරුණිකයාණෝ වැසි කාලය (වස් වස්සාන) ආරණ්‍ය හෝ පන්සල් ගතව විවේකී ව භාවනානුයෝගී ව ගත කරන ලෙස භික්ෂූන් වහන්සේ අමතමින් විනය නීතියක් පනවන්නට වූ සේක.

“අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං”

මෙම ශික්ෂාපදය පනවමින් ඇති කරන ලද විනය නීතිය ඔස්සේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ගිහි පැවිදි දෙපක්ෂයෙන් ම ඇති වන්නට විය. වසර පුරාවට ධර්ම චාරිකාවෙහි යෙදෙන භික්ෂූන් වහන්සේ වැසි සාර මාසය එක් ස්ථානයකට වී ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නට මේ නිසා ඉඩකඩ විවර විය. ගිහි පාර්ශ්වයෙහි අයට ඉන් සිදු වූ වාසිය වූයේ එකී ආධ්‍යාත්මික දියුණුව පිණිස කැපවෙන්නා වූ භික්ෂූන් වහන්සේහට සිව්පසය ලබාදෙමින් පින් පූරණය කර ගන්නටත්, ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන්, තම දහම් දැනුම වර්ධනය කර ගැනීමටත් එය ක්‍රියාවේ යෙදවීමෙන් ලෞකික හා ලෝකෝත්තර ජීවිතය සුඛිත මුදිත කර ගැනීමටත් ඉඩකඩ විවර වීමත් ය.

කඨින පින්කමකින් ලැබෙන ආනිසංස කුළුගෙඩියකින් වුව බිඳලිය නොහැකි හෙයින් “කඨින” යැයි කියනු ලැබේ. කඨිනය සම්බන්ධ වස් විසීම ආරම්භය පිණිස අනුදැන වදාරන ලද දිනය වන්නේ ඇසළපුර පසළොස්වක පොහොය දිනයයි.

එදින පොහොය කොට වස් විසීම ආරම්භ කළ යුතු වන බවටත්, නිකිණි මස පුර පසළොස්වක දිනයෙහි දී පෝය කොට අව පෑළවිය දිනයෙහි දී පසු වස් එළඹිය යුතු වන බවටත් උන්වහන්සේ විසින් අනුදැන වදාරා තිබේ.

මෙම දින දෙකින් අවම වශයෙන් එක් දිනක දී හෝ වස් නොවිසූ භික්ෂුවකට “දුක්කට පත්ති” නම් ඇවත සිදුවන බව ද විශේෂයෙන් ම වස් විසූ භික්ෂූන් වහන්සේ සිහියෙන් යුතු ව කටයුතු කොට වස්සාන සෘතුවෙහි සවැනි පොහොය දිනයෙහි දී “පවාරණය” නම් වූ විනය කර්මය සිදුකර ගැනීමෙන් ඉක්බිති ව කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් උදා කර ගනියි. පසු වස් විසූ භික්ෂුවක් “කඨින” නමින් යුත් චීවරය ලැබීමට සුදුසුකම් නොලබන්නේ ය.

වස් වසා නිමකොට පැවරූ භික්ෂුවකට කඨින චීවරයක් ලැබීමට සුදුසු වන බව අනුදැන වදාළහ.

කඨින පූජාව ලෙහෙසි පහසු පින්කමක් නොවන්නා සේ ම, ඉන් ලැබෙන ආනිසංසය ද, සුළුපටු නොවේ. මෙම ආනිසංසයන් අප බුදුරජාණන් වහන්සේ විසින් ඉතා ඉහළින් ම වර්ණනාවට ලක් කර ඇත. කඨින පූජාවෙහි වැදගත්කම වන්නේ කඨින පූජා කරන දායක පාර්ශ්වයට හා ලබන්නා වූ භික්ෂු පාර්ශ්වයට ද විනය ශික්ෂාපද පහකින් ආරක්ෂා විය හැකි ආනිසංස ලබා ගැනීමට හැකි වීමයි.

කඨින දායකයන්හට ලැබෙන ඉහළම ආනිසංසය වන්නේ බෞද්ධයන් අතර චිර ප්‍රසිද්ධ අටමහ කුසල් අතරට වැටෙන පළමු කුසලය අත්පත්වීම ය. උසස්, දුර්ලභ හා වටිනා කඨින පින්කම් හරහා ශාසන උද්දීප්තියත්, දායක පක්ෂයෙහි ගුණධර්ම දියුණුවත් සාකල්‍යයෙන් ම සිදුවන බව නිර්දේශිත ය.

අනෙකුත් පින්කම්වලට වඩා කඨින පින්කමෙන් ලැබෙන පින ඉතාමත් අනර්ඝයි. සතර අපායාදි දුක්වලින් මිදී සුගතිගාමි ආත්ම බවයක් ලබා ගන්නටත්, සසර ගමන නවතා නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටත් කඨින පින්කම හේතු වේ.

බුද්ධ ශාසනයේ උසස් ම ආනිසංස ගෙන දෙන්නා වූ අට මහ කුසල් ලෙසට දක්වා ඇත්තේ, කඨින දානය, අටපිරිකර පූජාව, ආවාස කුටි තනවා පූජා කිරීම, බුදු පාමොක් මහ සඟනට දන්දීම, ධර්මය ග්‍රන්ථ බවට පත් කිරීම, කෙත්වත් බුදුසසුනට පිදීම, බුද්ධ ප්‍රතිමා කරවීම හා වැසිකිළි, කැසිකිළි සෑදීම යනාදිය යි.

බුද්ධ භාෂිතය වන්නේ මේ පින්කම් අතර අග්‍රස්ථානය හිමි වන්නේ කඨින පින්කමට වන බව ය.

පංචානන්තරීය පාප කර්මයක් සිදුව නොමැති අයෙක් හට ඊළඟ භවය ඒකාන්ත වශයෙන් ම සුගතිගාමි වීමට මෙම කඨින දාන මහා පින්කම හේතුපාදක වන බවට පිළිගැනේ.

වසරකට එක් ස්ථානයක දී එක් වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස සඳහන් කඨිනය නිසා නාගිත ථේරාපදානයෙහි සඳහන් ආකාරයට නිවන් අවබෝධය ලබා ගැනීමටත්, මෙය ඉවහල් වේ. උන්වහන්සේ දේශනා කරන්නේ කඨින දානයක් පූජා කිරීම මඟින් කල්ප තිහක් යනතුරු කිසිදු දුක්බට විපතක් නොවී දුගතියක නූපන් බව ය. තවද, කල්ප දහ අටක් දිව්‍යලෝකයේ උපන් බව ද, තිස් හතර වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර ව උපත ලද බවත් ය. මනුෂ්‍ය ලෝකයෙහි උප්පත්තිය ලැබුවේ නම් මහා බ්‍රහ්මයා විසින් මවන ලද ඉහළම කුලයන් වන බ්‍රාහ්මණ හා ක්ෂත්‍රීය කුලවල පමණක් ම උපත ලබන බව ය. ඒ අනුව අසූ හතර වතාවක් ම ගිහි ජීවිතයෙහි දී ලද හැකි උසස් ම සැපත වන සක්විති රාජ සම්පත්තිය ලැබීමට ද කඨින පූජාව පැවැත්වීම හේතුවක් වී තිබේ.

කෙටියෙන් ම පවසතොත් මහාමේරූ පර්වතය තරම් උසට සිවුරු ගොඩගසා පූජා කළත් කඨින පින්කමකින් ලැබෙන ආනිසංසයන් ඒ සියල්ල පරාජය කරන බවකි.

පෙර රජ දරුවන් විසින් ද සැදැහැතියෙන් යුක්ත ව උත්කර්ෂවත් ලෙසින් කඨින පූජාව සිදු කළ ආකාරය සිංහල බෞද්ධ ඉතිහාසය තුළින් පෙනී යයි. කඨින පූජාව වෙනුවෙන් ඉදිකටුවක තරම් දෙයක් වුව පූජා කළ අයහට මෙකී සැදැහැ හිමි වේ.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුයේ ගිහි බෞද්ධයනට ද පැවිද්දාට ද එක සේ ම “කඨින චීවර මාසය” වැදගත් බවකි.

කඨින පූජාවක් අන්‍යයන්ගේ සිත් පැහැර ගන්නා සේ ද, සැදැහැ භක්තිය වැඩෙන සේ ද, අලංකාර කිරීමට බාහිර කාරණාවල පිහිට පැතීම වර්තමානයෙහි දක්නට ලැබෙන සුලභ ලක්ෂණයකි. අලි, ඇතුන් සහිත පෙරහර මඟින් මෙම පූජා කර්මයට විචිත්‍ර හා ගාම්භීර බවක් එකතු කිරීමට උත්සහ දරා තිබේ.

එය බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති බවක් මුල් බුදුසමයෙහි කොතැනක හෝ දක්නට ලැබෙන්නේ නැත.

මෙම කඨින පූජාව සිදුකරන පන්සලට අවැසි දේ පූජා කරන” “කප්රුක් පූජාව”, අලි ඇතුන් ප්‍රමුඛ කරගත් සැරසිලි, පෙරහර, මහා සාංඝිකදාන ආදිය පවත්වන්නේ, මින් කවර අවස්ථාවකට වුව ද පුණ්‍යසම්භාර රාශියක් අත්පත් කරගත හැකිවීම නිසා විය යුතු ය.

සංඝ ශාසනයෙහි භික්ෂූන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨත්වය මනිනු ලබන්නේ වස් කාලය පදනම් කර ගනිමිනි. ඒ අනුව එක් එක් භික්ෂූන් වහන්සේ විසූ වස් කාලය ගණනය කරනු ලැබේ. “ස්ථවිර” වහන්සේ යන පදය ලැබෙන්නේ වසර දහයක වස් කාලයක් හිමි භික්ෂූන් වහන්සේට ය. වසර දහකට වඩා වැඩි කාලයක් හිමි භික්ෂූන් වහන්සේ හට “මහා ස්ථවීර” යන නාමය වහරනු ලැබේ. අනෙක් ස්වාමීන් වහන්සේ ‘හිමි නමක්’ ලෙසට වහරනු ලැබේ.

මේ අනුව කඨින පින්කමක් ගිහි පැවිදි උභය පාර්ශ්වයට ම කොතරම් නම් වටින්නේ දැයි විමසා බැලිය හැකි ය. ඒ නයින් සලකන කල්හි කඨින පින්කම් වැනි දුලබ අවස්ථාවකින් බෞද්ධයන් හට විපුල පල නෙළා ගත හැකි ය.

“අද අද එයි මරු පින්කර ගන්නේ..” යන ලෝවැඩ සඟරා පාඨයට අනුව ජීවිතය “ක්ෂණයක්” වන හෙයින් කෙටි ජීවිත කාලය තුළ කඨින පින්කම්වලට දායක වී කුසල් අත්පත් කර ගැනීම අප විසින් නොවළහා ම සිදුකර ගත යුතු වූවකි.

මෙම සිතුවිලි මාත්‍රය අපේ දෙලොව දියුණුවට අදාළ කර ගෙන අට මහ කුසල් සිදුකර ගනිමින් උතුම් නිර්වාණගාමි මාර්ගයට සැවොම පෙළ සැදෙත්වා.