Print this Article


මියයන බව දැන ජීවත් වන්න

මියයන බව දැන ජීවත් වන්න

යුතුකම් සහ වගකීම්වලින් ගහන වන බැවින් ගිහි ජීවිතයක අවශ්‍යතාවන් සහ වුවමනාවන් ද සංකීර්ණය. නමුත්, රණ්ඩු සරුවල් කොට හෝ නඩු හබ කියා හෝ තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට යොමුවීම නම් මනුෂ්‍ය අත්භවයක උපන්නකු විසින් කළ යුතු පුරුද්දක් මිස ප්‍රගුණ කළ යුත්තක් නොවේ.

ලොවෙහි උපන්නා වූ සියලු ප්‍රාණීන්ට ස්වකීය ආත්මභාවය පවත්වාගෙන යා හැකි උපරිම කාල සීමාවක් ස්වභාව ධර්මය මඟින් පනවා තිබේ. එය “පරම ආයු කාලය” ලෙස අපි හඳුන්වමු. මනුෂ්‍යයින් හට පමණක් නොව, මහත් කුසල ශක්තියකින් උපන් දෙව් බඹුන්ට ද සැප වින්දනය කළ හැකි කාලයේ සීමාවක් පවතී. දේව ආත්මභාවයන්හි පරම ආයු කාලය, මනුෂ්‍යයකුගේ පරම ආයු කාලයට වඩා වැඩි වන්නේ නමුදු දෙවියන්ට ද, කවර හෝ කලෙක තමා සතු වූ සියලු සැපත සතුට හැර දමා යා යුතු දිනයක් එළඹේ. එදිනට කිසිවකුටත් “එපා” කීමට නොහැකි ය.

එදිනට, අප බොහෝ සෙයින් ඇලුම් කර, අනෙකා සමඟ සසඳමින් මාන්නය උපදවාගත් අපගේ ඇස්, සම, දත් පෙළ, කෙස් කළඹ ආදී කයේ කිසිදු කොටසක් ඊළඟ ආත්මයේ ශරීරයට ඈඳා ගැනීමේ හැකියාවක් නැත. කපටිකමින්, වංචාවෙන් ලබාගත් ඉඩම්, දේපළ ආදිය ද ඊළඟ ආත්මයට පවරා ගැනීමේ හැකියාවක් නැත. පවුලේ උදවිය හෝ අසල්වැසියන් හෝ සමඟ රණ්ඩු සරුවල් කර අත්පත් කරගත් දේපළ ඊළඟ ආත්මයට පවරා ගැනීමෙ හැකියාවක් නැත. තම ප්‍රතිවාදීන් පරදවා ලබාගත් තනතුරු, ගරු නම්බුනාම ආදිය ද ඊළඟ ආත්මයට ලබා ගැනීමේ හැකියාවක් නැත. ඒ සියල්ල ම තමන්ගේ මෙම ආත්මය ගෙවෙන තෙක් ම පමණි.

යුතුකම් සහ වගකීම්වලින් ගහනවන බැවින් ගිහි ජීවිතයක අවශ්‍යතාවන් සහ වුවමනාවන් ද සංකීර්ණ ය. නමුත්, රණ්ඩු සරුවල් කොට හෝ නඩු හබ කියා හෝ තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට යොමුවීම නම් මනුෂ්‍ය අත්භවයක උපන්නකු විසින් කළයුතු පුරුද්දක් මිස ප්‍රගුණ කළ යුත්තක් නොවේ.

තමා සතු දෙයක් වෙත්නම්, එය ආරක්ෂා කර ගැනීම සඳහාත්, තමාට අවශ්‍ය යමක් ලබා ගැනීම සඳහාත් සොරකම් කිරීම, උදුරාගැනීම, රැවටීම, හා කොටා ගැනීම වූ කලි තිරිසනාගේ පිළිවෙත යි. යමක් නොලැබෙන විට කරුණු තේරුම්ගෙන ඒ සඳහා ඇති ආශාව අතහැරදැමීමේ මානසිකත්වයක් තිරිසනුන්ට නැත. නමුත් මනුෂ්‍යයකුට තම හැඟීම්වලට වහල් නොවී නුවණ මෙහෙයවා ක්‍රියාකිරීමේ හැකියාව පවතී. මනුෂ්‍ය උප්පත්තියක ඇති වටිනා ම ප්‍රයෝජනය නම් “අත්හැරීම” පුරුදු කළ හැකි වීමයි.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව “අතහැරීම” යනු “නොසලකාහැරීම, කළ යුතු දෑ නොකිරීම” ආදී නිශේධනාත්මක අර්ථයෙන් යෙදෙන්නකි. එසේම, මෙවැනි පිළිවෙතක් මිනිසාගේ දුකට හේතුවන්නකි.

නමුත්, ධර්ම ව්‍යවහාරය අනුව “අතහැරීම” යනු “සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව අවබෝධ කර ගැනීම” ලෙස ධනාත්මක අර්ථයෙන් යෙදෙන්නකි. මෙය මිනිසාගේ සැනසීමට, මානසික සුවයට හේතුවන්නකි.

අතහැරීමේ ගුණය පුහුණුවීමට ප්‍රගුණ කළ හැකි ඉතා වටිනා භාවනාවක් නම් “මරණානුස්සතිය” යි. මෙකල බොහෝ දෙනා “මරණානුස්සතිය” යන වචන මාත්‍රය පවා ඇසීමට බියවන්නේ එහි සැබෑ අරමුණ සහ විධික්‍රමය නොදැන ඇති කර ගන්නා පුහු බිය හේතුවෙනි. නියමාකාරයෙන් මරණසතිය වඩන තැනැත්තාගේ චිත්ත සන්තානයෙහි පැවතිය යුත්තේ මරණයට ඇති බිය නොව, අතහැරීම නිසා ඇතිවන මානසික සුවය යි. ඔහුගේ සිතෙහි රාග, ද්වේශ, මෝහ යන අකුසල් සිතිවිල බලවත් ව හටනොගන්නා හෙයින් සිතෙහි මහත් පී‍්‍රතියක් මෙන් ම නිදහසක් ද, අටලෝ දහමේ සෑම අංගයක් කෙරෙහි ම මධ්‍යස්ත සිතක් පවත්වා ගැනීමේ හැකියාව ද ලැබෙයි.

මරණසතිය වැඩීමෙන් අත්වන යහපත පිළිබඳ ව විසුද්ධි මාර්ගයෙහි සටහන් කොට ඇත්තේ මෙසේ ය. “මේ මරණානුස්මෘතියෙහි යෙදුණු භික්ෂු තෙමේ නිරතුරු ව අප්‍රමාද වූයේ වේ, සියලු භවවිෂයයෙහි අනහිරත සංඥාව (නො - ඇලීම පිළිබඳ හැඟීම) ලබයි, ජීවිතාශාව හරියි, පාපයට නිග්‍රහ කරනුයේ, බොහෝ රැස් කිරීම් රහිත වූයේ, පිරිකර විෂයයෙහි පහවූ මසුරුමල ඇත්තේ වේ. ඔහුට අනිත්‍ය සංඥාව ද පුරුදු බවට යෙයි, ඒ අනුසාරයෙන් ම දුඞඛ සංඥාව ද අනාත්ම සංඥාව ද වැටහේ,’” මරණානුස්සති භාවනාවෙහි අර්ථාන්විත බව සහ නිවන් මඟට ලැබෙන පිටිවහල මින් පැහැදිලි වේ.

අප දැනට ගතකරමින් සිටින මනුෂ්‍ය ආත්මභාවය අනාගතයේ යම් දිනෙක දී හැරදැමීමට සිදුවේ. ඒ සමඟ ම අප සතු සියල්ල ම සහ සියල්ලන් ම අපට නැවත හිමි නොවේ. එබැවින්, තම අහිමිවීම්, අලාභ, පාඩු හමුවේ උතුම් බුදුවදන හැරදමා තිරිසනුන් සේ සිතැඟි පරිදි ක්‍රියාකර අකුසල කර්මයන් ද රැස් කරගෙන දෙලොව ම පිරිහෙනු වෙනුවට, ජීවිතයක යථා ස්වභාවය නිතර මෙනෙහි කරමින්, තම තම සන්තකයෙන් කොටසක් තවත් කෙනකුගේ ග්‍රහනයට නතුවන කල, සතුටින් ම ඒවා අතහැර දැමීමට තරම් දියුණු මානසිකත්වයක් ගොඩනඟා ගැනීමට අප සැවොම උත්සාහවත් විය යුතු ය.