Print this Article


නිවන පිළිබඳ ධර්මයේ විග්‍රහය

නිවන පිළිබඳ ධර්මයේ විග්‍රහය

නිවනෙහි ස්වභාවය භාෂාවක වචනවලින් විස්තර කිරීම දුෂ්කර ය.

භාෂාව සැකසී ඇත්තේ ඇස්,කන් ආදී ඉඳුරන් මඟින් අත්දකින දේ මෙන් ම, සිතෙහි පහළවන නොයෙකුත් සංකල්පනාවන් ප්‍රකාශ කිරීම සඳහා ය. එවැනි ලෞකික වුවමනාවන් සඳහා සකස් කොට තිබෙන භාෂාවකින් පරම සත්‍යය අවබෝධය වැනි අත්දැකීමක් විස්තර කිරීම දුෂ්කර ය.

අප නිවන ගැන කරන විවරණ සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීම් නොව නිර්වාණය සාක්ෂාත් කළ උතුමන් විසින් කරනු ලබන විග්‍රහයන් ය. නිවන හැඳීන්වීම සඳහා බෞද්ධ සාහිත්‍යය බොහෝ පර්යාය පද භාවිත කොට තිබේ. නිර්වාණය අර්ථවත් කිරීම සඳහා යොදන ලද පද තිස්තුනක් සංයුත්ත නිකායේ අසංඛත සංයුත්තයේ සඳහන් වේ. එවැනි පද කිහිපයක් පහත පරිදි වේ.

අසංඛතය, පාරං, නිප්පඤ්ච, අමත, සිව,ඛෙම, තණ්හක්ඛය, මුත්ති, අනාලය, මෙසේ කුමන නාමෙන් හැඳීන්වූවත් ජනප්‍රිය වචනය නිබ්බාන යන්නයි. නිබ්බාන යන්නෙහි සිංහල වචනය නිවන යන්නයි. නිවන කුමක්ද යන්න බෞද්ධ සාහිත්‍යයේ විවිධ අයුරින් දේශනා කර ඇත. එයට උදාහරණ කිහිපයක් විමසා බලමු.

වරක් ඡන්න නම් පිරිවැජියා සැරියුත් තෙරුන් වෙත පැමිණ ඇවැත්නී, සාරිපුත්‍රයෙනි,

කුමක් නම් නිවන වේ දැයි ඇසීය. ඒ අවස්ථාවේ දී සැරියුත් මහරහතන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ ක්ෂය කිරීම නිවන යන්නුවෙන් පිළිතුරු දුන්හ.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර රම්මක බමුණාගේ අසපුවේ දී භික්ෂූන් අමතා අරියපරියේෂණ සූත්‍රය දේශනා කරමින් උන්වහන්සේ අවබෝධ කර ගන්නා ලද්දේ ඉපදීමෙන්, වයසට යෑමෙන්, ලෙඩ වීමෙන්, මරණයෙන් මෙන් ම ශෝකාදියෙන් තොර වූ, නිරුත්තර වූ, යෝගාක්ෂම වූ නිර්වාණය බව වදාළ සේක.

ථෙර ගාථා පාලියෙහි නිවන යන්න මෙසේ අර්ථ ගන්වා ඇත. නිවන් සුවයට වඩා

සුවයක් නොමැත.

අග්ගික වජ්ජගොත්ත පිරිවැජියාට බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳ ව දේශනා කළේ මෙසේ ය. නිවනෙහි පඨවි ධාතුව නැත්තේ ය, ආපෝ ධාතුව නැත, තේජෝ ධාතුව නැත, වායෝ ධාතුව නැත, ආකාසානඤ්ඤායතනය, විඤ්ඤාණඤ්ඤායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසංඥානාසඤ්ඤායතනය නැත්තේ ය, මෙලොව, පරලොව නැත්තේ ය, සඳ හිරු නැත, මහණෙනි ඒ නිවනට පැමිණීමක් ද නැත, යාමක් ද නැත, පැවැත්මක් ද චුතියක්ද නැත්තේ ය, උපතක් ද නැත්තේ ය, නිවන නොපවත්නේ ය. අරමුණු රහිත ය. නිවන සියලු දුක්ඛයන්ගේ නිමාවයි. අංගුත්තර නිකායේ අග්ගප්පසාද සුත්‍රයේ නිවන පිළිබඳ මෙසේ සඳහන් ව ඇත. ආලය හා තෘෂ්ණාව නසන, නිරන්තරයෙන් පැමිණෙන දුක් සංසිඳුවන රාගය නැති තැන නිවනයි.

පංච උපාදානස්ඛන්ධයෙන් නිදහස් වීම නම් වූ, ප්‍රඥාවට පමණක් ගෝචර වන්නා වූ සදාතනික ව නුපන්නා වූ, ප්‍රත්‍යයෙන් හට නොගන්නා වූ, ශෝක නැත්තා වූ, සියලු දුක්ඛ ධර්මයන්ගේ සදාතනික සංසිඳීම නිවන් සැපය යි.