Print this Article


සසුන් පිළිවෙත් පුරා නිවනට ළං වෙන්න

සසුන් පිළිවෙත් පුරා නිවනට ළං වෙන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

යදේව සෝ හෝති ඉත්ථි වා පුරිසෝ වා බුද්ධං සරණං ගතෝ, ධම්මං සරණං ගතෝ, සංඝං සරණං ගතෝ පාණාතිපාතා පටිවිරතෝ, අදින්නාදානා පටිවිරතෝ, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ මුසාවාදා පටිවිරතෝයි සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ සෝ කායස්ස භේදා පරම මරණං සුගතිං ඒව උප පජ්ජති නෝ දුග්ගතිංති.

අද පින්වතුන්ට පහදා දීමට මාතෘකා කොට ගත්තේ සසරේ කිසිම දිනෙක දුගතියකට පත් නොවී එනම් සතර අපායට නොයා සුගතිගාමීත්වයට ළඟා වීමට අවශ්‍ය කරන, එසේත් නොමැති නම් සෝතාපන්න ඵලයට පත්වීමට හේතුවන කාරණා කිහිපයක් ධර්මානුකූල ව පහදා දීමට යි.

සතර අපායෙන් මිදීමට නම් කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතු බව දහම තුළ සඳහන් වේ. ඒ අනුව ශ්‍රද්ධාව, කල්‍යාණ මිත්‍රතාව, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව යන කාරණාවලට අනුකූල ව යමකුට ක්‍රියා කළ හැකි නම් සසරේ දුගතියකට පත්නොවී සුගතිගාමීත්වය කරා ළඟාවීමට හැකියාවක් පවතී.

ශ්‍රද්ධාව වූ කලි දහම තුළ හඳුන්වනු ලබන නොසෙල්වෙන ශ්‍රද්ධාවක් විය යුතුයි. මෙය දහමේ ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙන් හඳුන්වනු ලබයි. වර්තමානයේ ඇතැම් දෙනා තුළ පවතින්නේ අමූලිකා ශ්‍රද්ධාවයි. අප තුළ තිබිය යුතු ශ්‍රද්ධාව අවබෝධයකින් යුක්ත ව බුද්ධ රත්නය, ධර්ම රත්නය , සංඝ රත්නය යන තුනුරුවන් කෙරෙහි ම නොසෙල්වෙන විශ්වාසයක්, ශ්‍රද්ධාවක් සිත් තුළ ඇති කර ගත යුතු වේ.

ඉන් අනතුරුව අපිට මේ සසරේ යහපත් ව ජය ගැනීමට නම් උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් අවශ්‍ය වේ . ලොව්තුරා බුද්ධත්වයට පත්වීමේ සිට සුගතිගාමීත්වය දක්වා කල්‍යාණ මිත්‍ර සේවනයක් අවශ්‍ය වන්නේ ය. කල්‍යාණ මිත්‍රයා තමන්ගේ අම්මා, තාත්තා එසේත් නොමැති නම් දරුවන්, බිරිඳ, සැමියා ආදි ඕනෑම කෙනෙක් විය හැකියි. එහිදී කල්‍යාණ මිත්‍රයා යනුවෙන් අදහස් කරනු ලබන්නේ අපගේ නරක දේට උදව් කරමින් අපායගාමීත්වය අපේක්ෂා කරන කෙනකු නොවෙයි. හොඳ මඟ යන්නත්, නොයා යුතු මඟ පෙන්වා එය වැළැක්වීමටත් කටයුතු කරන උතුම් පුද්ගලයා කල්‍යාණ මිත්‍රයා යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ තරමට ම කල්‍යාණ මිත්‍ර සේවනය සාංසාරික සුගතිය කරා යාමට ඉතාමත් වැදගත් කරුණක් බවට පත්වේ.

ඉන් අනතුරුව ධර්ම ශ්‍රවණය යනු ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව මේ සියලුම තන්හි නිසියාකාර ව ගත කිරීමට අවශ්‍ය කරන වටපිටාව කරුණු කාරණා සඳහන් දේශනාවන් ශ්‍රවණය කිරීමයි. අපේ මෙලොව ජීවිතය හැඩගස්වා ගෙන, පරලොව ජීවිතයේ සුඛිත මුදිතත්වය ඇති කර ගැනීමට නම් ඒ උතුම් දහම හොඳීන් ශ්‍රවණය කළ යුතුයි. ශ්‍රවණය කරන දහම තමන්ට ම ආවේණික ව තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේ වැඩපිළිවෙළ සකස් කර ගන්න සිතනවා නම් එය යෝනිසෝමනසිකාරයත්, ඒ අනුව ජීවිතය හදා ගන්නවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් යනුවෙන් අදහස් වේ.

දිනක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින අවධියේ බිම්බිසාර රජතුමාගේ දියණිය වූ චුන්දි කුමාරිකාව පන්සියයක් කරත්ත පිරිවරාගෙන මිනිසුන් සමඟ බුදුරජාණන් වහන්සේ අභියසට පැමිණ මෙසේ කියා සිටියා.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට චුන්ද යනුවෙන් සහෝදරයෙක් සිටී.ඔහු නිතර ම ප්‍රකාශ කරන්නේ යම්කිසි පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ බුද්ධ, ධම්ම, සංඝ සරණ ගොස් ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, බොරුකීමෙන්, රහමෙරපානයෙන් වැළකී කටයුතු කරන්නේ නම්, ඔහු මරණින් පසුව ඒකාන්තයෙන් ම සුගතිය කරා යන බවත්, කිසිම කලෙක දුගතියකට නො වැටෙන බවත් ය. ස්වාමීනි, සුගතිගාමීත්වය අපේක්ෂා කරන්නේ නම් සෝවාන් ආදී මාර්ගඵලවලට පත්වන්නේ නම්, අපිට ශාස්තෘවරයන් වහන්සේ නමක් අනුගමනය කළ යුතු ද? කුමන ධර්මයක් ඇසිය යුතු ද? කුමන පිරිසක් ආශ්‍රය කළ යුතු ද? කුමන සීලයක් රැකිය යුතුද?

එහිදී ලොව්තුරා බුදු හාමුදුරුවෝ දේශනා කළේ

‘මේ ලෝකයේ දෙපා නැති සතුන් අතර, දෙපා දෙකේ සතුන් අතර, දෙපා බොහෝ ප්‍රමාණයක් තිබෙන සතුන් අතර රූපී, අරූපී සංඥා මේ ඕනෑම කෙනෙක් අතරන් අග්‍රස්ථානයට පත්වෙන එකම ශාස්තෘන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බවයි. එසේ අග්‍ර වූ බුදුරදුන් කෙරෙහි පැහැදීම ඉතාමත් අගනේ බවත්, එම ප්‍රතිඵල සසරට ම හේතුවන බවත් ප්‍රකාශ කරන ලදී.

එක අවස්ථාවක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමඟ මහමඟ වඩින විට එක් තරුණයෙක් බුදුරජාණන් වහන්සේ දැක ශ්‍රද්ධාවෙන් නමස්කාර කොට ගෞරවයෙන් පිටත්ව ගිය පසු ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිනහවක් පහළ විය.

ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් විමසා සිටියේ

ස්වාමීනි, කුමන කරුණක් නිසා, කුමන විශේෂත්වයක් නිසා ඔබ වහන්සේ සිනහව පහළ කළේ ද යන්නයි.

"පින්වත් ආනන්ද මේ වැඳලා ගිය තරුණ දරුවා ඉතාමත් ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙනුයි බුදුරජාණන් වහන්සේ උදෙසා නමස්කාරය කළේ, ඒ පිනෙන් කල්ප අසූ හතරක් යන තුරාවට සසරේ කිසිම භවයක දුගතිගාමී නොවී සුගතිය කරාම යනවා. ඉන් අනතුරුව පසේබුදුරජාණන් වහන්සේ නමක් විලස සසර ජය ගන්නවා.

මේ ආකාරයන් අපි සිතන්නෙවත් නැති තරම් සුළු සුළු පින්කම්වල දී පවා බොහෝ ආනිශංස පවතී. බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් එක මලක් පුදා දිව්‍ය ලෝකයේ ඉපදුන අය ගැන පවා දහම තුළ සිටි බව බණ පොතේ සඳහන් වෙනවා.

දෙවැනි කරුණ තමා කුමන ධර්මයකට පැහැදිය යුතු ද යන්න යි. එවිට බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ යම් සංස්කාර රහිත සහිත ධර්මයක් තිබේ ද? එය ලොව්තුරා ධර්මය ම පමණක් බවත්, ඒ දෙලොව ජීවිතයේ වැඩ පිණිස උතුම් ධර්මය ඇසුරු කළ යුතු බවත් ය. එය

තණ්හක්ඛයෝ - තණ්හාව නැති කරන

විරාගෝ - රාගය නැති කරන

නිරෝධෝ - නිරෝධය සහිත

ඒ උතුම් දහම පමණක් ම නිවන කරා යන්න අවශ්‍ය කරන මඟ විවර කර යථාර්ථය අවබෝධ කොටගෙන එය පමණක් ශ්‍රවණය කළ යුතු බව දේශනාවේ සඳහන් වේ.

ඉන් අනතුරුව ඇයගේ තුන්වෙනි ප්‍රශ්නය බවට පත්වුණේ මේ ලෝකයේ අපි ඇසුරු කළ යුතු උතුම් පිරිස බවට පත්වන්නේ කවුද යන්න යි. බුදුහාමුදුරුවෝ මතක් කළේ මේ ලෝකේ යම්කිසි කෙනෙක් පිරිසකට පහදිනවා නම් ඒ උතුම් ශ්‍රාවක සංඝයා ම පමණක් ම ඇසුරු කළ යුතු බවයි. මීට හේතුව වන්නේ ලොව්තුරා බුදුහාමුදුරුවෝ දෙපස වැඩ හිටපු සැරියුත්, මුගලන්, නන්ද, රාහුල යන නික්ලේෂි උතුමන් වහන්සේ තුළ තිබෙන ගුණාංගය උතුම් බව කිව නොහැකි තරම් ය. ඒ උතුම් මහ සඟරුවන සුපටිපන්න යි.

රාග, ද්වේශ, මෝහ දුරු කරන, ඍජුපටිපන්න, සෘජු මාර්ගයක එසේ නොමැති නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන, ඤායපටිපන්න චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සිටින, සාමීචිපටිපන්න අවබෝධ කර ගත්තේ අනුන්ට කියලා දෙන ගුණාංගයන්වලින් යුක්ත මහා සඟරුවන දායක ඇත්තන්ට පින් කරලා මෙලොව පරලොව දෙලොව ජීවිතයේ ජයගන්න අවශ්‍ය කරන පුණ්‍ය ක්‍ෂේත්‍රයක් විදියට තමා බුදුහාමුදුරුවෝ දේශනා කළේ

එක අවස්ථාවක කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේ හමු වී මහා සංඝරත්නය කෙරෙහි පැහැදීමට හේතුවන කාරණා ප්‍රකාශ කළ ආකාරය ධම්මචේතිය සූත්‍ර දේශනාවේ දී හරි අපූරුවට සඳහන් කොට ඇත. ඒ අවස්ථාවේ කොසොල් මහ රජතුමා ප්‍රකාශ කරන්නේ මහ සඟරුවන සම්මෝදමානා ඉතාමත් සමඟි බවත්, අවිවාදමානෝ විවාද රහිත බවත් , කීරෝද කීරා කිරි සහ වතුර එකට මිශ්‍ර වූ වැනි සමගි ව කටයුතු කරන බවත්, අඤ්ඤ මඤ්ඤං පිය චක්ඛු එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසෙන් බලන ඒ උතුම් මහා සඟරුවන ම විශ්වාස කර ගෙන ඇසුරු කරන්න, කල්‍යාණ මිත්‍ර සේවනයෙන් කටයුතු කරන්න ඉතාමත් සුදුසු බවයි.

ඒ ආකාරයේ උතුම් මහ සඟරුවනක් වැඩ හිටපු ශාසනයක් නිසා එවැනි කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම සසර ම ජය ගන්න හේතුවක් වන බව බුදුරදුන් දේශනා කොට වදාළ සේක.

සතර වන කාරණාව ලෙස ඇය බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ කුමන ආකාරයේ සීලයක් රැකිය යුතුද? යන්න යි. එහිදී තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළේ යම් හෙයකින් සිල් ඇති කෙනකුට පහදිනවා නම් ඒ ආර්යකාන්ත සීලයකට ම පමණක් ම පැහැදිය යුතු බවයි. ඒ සීලය අඛණ්ඩානි (කැඩුණු නැති) එකක් විය යුතුයි. අච්චින්දානි (සිදුණු නැති එකක්) විය යුතුයි. අසබලානි (පුල්ලි නැති එකක්) විය යුතුයි. අකම්මසානි (කැලැල් නැති එකක්) විය යුතුයි. සත්පුරුෂයන් වර්ණනා කරන අපරාමට්ඨානි අන්තගාමී නොවන සමාධි සංවත්ථනිකානි සීලය ගැන සිතද්දී පවා සිත තැන්පත් වෙන උතුම් සීලයක් පමණක් ම සමාදන් විය යුතු බවයි.

සමාදන් වූ සීලය රැකිය යුත්තේ කිරළ දේනුව තම බිත්තරය රැක ගන්නේ යම් සේ ද, සෙමර මුවා තමන්ගේ වළිගය රැක ගන්නේ යම් සේ ද, එක ඇසක් අන්ධ පුද්ගලයෙක් තම පෙනෙන තනි ඇස රැක ගන්නේ යම් සේ ද එසේම ගෞරවයෙන් සහ ඉතාමත් භක්ති ආදරයෙන් වටිනාකම තේරුම්ගෙන සීලය රැකිය යුතු බවයි.

මෙකී ඉහත කරුණු කාරණා කෙටියෙන් වුව ද විමසා බලන කල්හි මෙලොව ජීවිතය ධර්මානුකූල ව හැඩගස්වා ගැනීමට හැකි නම් එවැනි ධර්මානුකූල පුද්ගලයා නිතැතින් ම සුගතිගාමීත්වයට පත්වන බවත්, කිසිම කලෙක සතර අපායගාමී නො වන බවත් ලොව්තුරා බුදුහාමුදුරුවන්ගේ දහම තුළ පැහැදිලි ව කරුණු කාරණා ප්‍රකාශ කර ඇත. මේ සඳහා අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ප්‍රථම පන්නාසකයේ සුමනා වර්ගයේ චුන්දී සූත්‍රය ඉතාමත් කදිම නිදසුනක් ලෙස ඉදිරිපත් කළ හැක .