අනුන්ගේ වැරැදි මතවලට තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා
නිවන් අවබෝධය යනු, තම සිතෙහි ඇති, පෙනෙන සහ සැඟව පවතින සියලු ම ආකාරයේ තණ්හා මූල
සිතිවිලි, නැවත හට නොගන්නා පරිදි ක්ෂය කර දැමීම යි.
සසර පුරා අකුසල සිතිවිලිවලට වහල්වීමට හුරු වී ඇති මිනිස් සිත, කුසල සිතිවිලි කෙරෙහි
නැඹුරු කර ගැනීම, වසරකින් දෙකකින් මතු නොව එක් ආත්මභාවයකින් වුව ද සිදුකළ නොහැකි
අන්දමේ අසීරු කාර්යයකි.
නිවන් අවබෝධ කර ගැනීමට තීරණය කළ තැනැත්තා, තණ්හාව ක්ෂය කිරීම සඳහා සිත පුහුණු කළ
යුත්තේ ක්‍රම ක්‍රමයෙනි. එනම් වඩාත් සරල වූ පිළිවෙත්වලින් අරඹා වඩාත් සංකීර්ණ
පිළිවෙත් වෙත යොමුවිය යුතු ය.
ආර්ය අෂ්ටාංගික පිළිවෙතෙහි ම කරුණු ඇසුරු කර සකස් වූ පඤ්චශීල ප්‍රතිපදාවෙන්
සත්ත්වයාගේ සිතෙහි ඇති ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූල ත්‍රිත්වය හා බැඳුණු සිතිවිලි
බොහෝ සෙයින් දුරු කරන බව දන්නේ ද ස්වල්ප දෙනෙකි. මෙකල සිටින සෑම කෙනකු ම පාහේ “අප
නම් පන්සිල් රකින අය ය” යි කියතත්, එය හුදෙක් නීතියකට සමාන කොට අකුසලයක් කිරීමට
අවස්ථාවක් එළඹි කල්හි එය නුවණින් මෙනෙහි කර වළක්වා ගනු වෙනුවට, තමා යටත් වී ඇති
පන්සිල් මතක් කර
“මම පන්සිල් ගන්න හින්දා නිකං ඉන්නේ. නැත්තං මම දන්නවා කරන්න ඕන දේ” යනුවෙන් කෝපය
මැඬගෙන අකුසලය නො කර හරිති.
“එහෙම හරි නරක වැඩවලින් ඉවත් වෙලා ඉන්න එක හොඳ නැත්ද?” යි ඇතැම්හු අසති. නැත.
බුද්ධෝත්පාද කාලයක කල් ගෙවමින් සිටින අප කටයුතු කළ යුත්තේ එසේ නොවේ. කරුණු තේරුම්
නො ගෙන ධර්මානුකූල ප්‍රතිපත්ති අන්ධානුකරණය කිරීමෙන් සිදු වන්නේ එකිනෙකාගේ වැරැදි
මත හමුවේ තම ප්‍රතිපත්ති වෙනස් කිරීම යි. එසේ ස්ථිර ප්‍රතිපත්තියක් නැති තැනැත්තා
නිවනෙහි ප්‍රමාද වූවකු වේ.
එබැවින්, නිර්වාණාවබෝධය පිණිස, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දක්වා ඇති ප්‍රතිපත්තීන්
හි සරල යැයි පෙනෙන්නා වූ ප්‍රතිපත්ති වුව ද අත්නොහැර, එම සෑම පිළිවෙතක් මඟින් ම තම
ආධ්‍යාත්මික ගුණය දියුණු වන්නේ කෙසේද යන අවබෝධය සහිත ව කටයුතු කළ යුතු ය.
තණ්හාව දුරලීමේ අපහසුතාව
පටන් ගැන්මක් නොපෙනෙන දීර්ඝ සංසාරය පුරාවට ම පුද්ගලයාට පවතිනුයේ තෘෂ්ණාව ප්‍රගුණ
කිරීමට පුහුණු වු සිතකි. සසර පුරාවට ම අප තණ්හාව වඩා වර්ධනය වන අයුරින් ක්‍රියා කර
ඇතිවාක් මිස, එය අඩු වන ආකාරයෙන් ක්‍රියා කර ඇත්තේ අවම වශයෙනි.
සත්ත්වයාගේ සිත ස්වභාවයෙන් ම හුරු ව ඇත්තේ කෙලෙස් සහිත අරමුණු වෙත වැඩි
පි‍්‍රයතාවයක් දක්වන පරිදිත්, කෙලෙස්වලින් තොර වූ අරමුණු වෙත අපි‍්‍රයතාවයක් දක්වන
පරිදිත් ය. එක් අත්භවයක පමණක් නොව, සසර පුරා සත්ත්වයා ප්‍රගුණ කරන ආකාරය මෙය යි.
එසේ තිබිය දී යමකු ස්වකීය සිත කෙලෙස් සහිත අරමුණු ඇතුළු කර ගැනීමෙන් වළක්වා ගැනීමට
වෑයම් ගැනීම ප්‍රායෝගික බව ඉක්මවා යන්නක් වේ. එබැවින් ම, එම ක්‍රියාපිළිවෙත් ඉතා
අසීරු කාර්යයක් ම වේ. සෝවාන් ඵලයට පත්වන තුරු යමකුගේ සිත ස්වභාවයෙන් ම අකුසලයට නැමී
පවතින්නේ ය.
නිදසුනක් ලෙස, සොරකම් කිරීමට අපගේ සිත පුහුණු කළ යුතු නැත. උපතින් ම අප සොරා ගැනීමට
මාන බලන්නෝ වෙමු. සුදුසු අවස්ථාවත්, සොරකම් කිරීම පිණිස භාණ්ඩයක් තිබීමත් යන කරුණු
දෙක සපිරේ නම්, ඇතැම් අය නොකරන්නා වූ සොරකමක් නැත. එසේ වුව ද, දඬුවමට ඇති බිය
නිසාත්, “සොරා” යි සමාජයෙන් නින්දා විඳීමට ඇති ලජ්ජාව නිසාත්, බුද්ධිමත් තැනැත්තා
බලවත් අපහසුවෙන් හෝ සොරා ගැනීමේ ආශාව ක්‍රියාත්මක නොකර සිටියි. ඔහුට එමඟින් හෝ පාප
කර්මයන්ගෙන් ඈත් ව සිටීමට අවස්ථාවක් ලැබෙයි.
එහෙත්, දඬුවම හෝ සමාජයෙන් එල්ලවන චෝදනාවන් හෝ නො සලකාහරින අනුවණ තැනැත්තා, තම
සොරකම් කිරීමේ ආශාව එලෙසින් ම ක්‍රියාත්මක කර බොහෝ අකුසල් ද රැස්කර ගනියි.
පුරුෂපි‍්‍රය සූත්‍රයෙහි දී (ඉතිවුත්තක පාළිය) බුදුරජාණන් වහන්සේ විසින්, සැඩ දිය
පහරක ස්වභාවයට සමාන කරමින්, සත්ත්වයා තුළ පවතින තෘෂ්ණාවෙහි ස්වභාවයන් සතරක් දේශනා
කර ඇත.
එනම්, අනුපිළිවෙළින් විශාල වීමේ ස්වභාවය, නො කැඩී පැවතීමේ ස්වභාවය, ප්‍රඥාව නමැති
හිස ඔසවන්නට නොදී කෙලෙස් හි ගිලා බැස්සීමේ ස්වභාවය සහ එතෙර වීමට අපහසුවීමේ ස්වභාවය
වශයෙනි.
කරුණු මෙසේ හෙයින්, උත්සාහයේ ප්‍රමාණයට හෝ ධර්මාවබෝධයේ ප්‍රමාණයට අනුව ප්‍රතිඵල
නොලැබී යාමට හේතුව වූ කලි මෙම තණ්හාව දුරු කිරීමේ අපහසුතාව හෙවත් ආර්ය අෂ්ටාංගික
පිළිවෙත අනුගමනය කිරීමෙහි අසීරුතාව මිස ධර්මයෙහි ගැටලුවක් නොවන බව අප තරයේ සිහි තබා
ගත යුතු ය. එබැවින්, තණ්හාව දුරු කිරීම නම් වූ ක්‍රියාවලිය බොහෝ කල්පනාකාරී ව,
ඉවසිලිවත් ව, ඉක්මන් නොවී කළ යුතු කටයුත්තක් බව වැටහෙනු ඇත.
ආර්ය අෂ්ටාංගික ප්‍රතිපදාව ක්‍රියාවට නැංවීමේ දී එම ක්‍රියාකලාපය සමාන කළ හැක්කේ
යකඩයක බැඳි මළ ඉවත් කිරීමක් සඳහා ය. යකඩයෙහි මළ ඉවත් කර එහි දිස්නය නැවත පිහිටුවීමට
වුවමනාවක් ඇති අයකුට, දැනුමැත්තකුගෙන් යකඩයෙහි මළ හැරීමේ ක්‍රියාපිළිවෙළ අසාගෙන ආ
හැකි ය. එම ක්‍රියාපිළිවෙළ මඟින් නියත වශයෙන් ම මළ ඉවත්වනු ඇත’ යි අසන්නාට ද යම්
වැටහීමක් වන්නේ ය. නමුත්, මළ හැරීමේ පිළිවෙතෙහි වෙහෙසකාරී බව යමකුට වැටහෙනුයේ එම
පිළිවෙත් ක්‍රියාවට නංවන්නට වන් කල්හි ය. බොහෝ කලක් තිස්සේ මළ බැඳීමට ඉඩහැර දැන් එම
මළ ඉවත් කිරීමට ඔබ සූදානම් වන්නේ ය. එම මළ සියල්ල එකවර ඉවත් කර දැමිය හැකි ද? නැත.
ඒ සඳහා කළ යුතු දෑ පියවරින් පියවර නමුත්, නොකඩවා සිදු කළ යුතු ය. බොහෝ වෙහෙසක්
යොදවා ද ඉවත් කළ හැකි වන මළ ප්‍රමාණය බෙහෙවින් සුළු යැයි දැන ඉක්මන් ක්‍රම අනුගමනය
කරන්නට වන් කල යකඩය තිබුණාටත් වඩා විනාශ වනු ඇත.
මෙලෙස ම, “සිත” නමැති යකඩයෙහි බැඳුණු “කෙලෙස්” නමැති මළ ඉවත් කර “කෙලෙස්වලින්
තොරවීම” නමැති දිස්නය පිහිටුවා ගැනීමට වුවමනාවක් ඇති අයකුට “ආර්ය අෂ්ටාංගික
ප්‍රතිපදාව“ නම් වූ මළ හැරීමේ ක්‍රියාපිළිවෙළ කෙසේ හෝ දැන ගතහැකි ය. එය තේරුම්
ගැනීම ද පහසු ය. කළ යුත්තේ කුමක්දැ’යි වටහා ගැනීම ද පහසු ය. වෙනත් අයකුට එම පිළිවෙත
විස්තර කර දීම ද පහසු ය.
නමුත්, පිළිවෙතහි ඇති සරල බව, ක්‍රියාවට නැංවීමේ දී නොමැති බව පිළිවෙත් පුරන්නා
දනියි. අප සසර පුරා සිතෙහි කෙලෙස් එක් රැස්වීමට ඉඩහැර බලා සිට දැන් එම කෙලෙස් ඉවත්
කිරීමට සූදානම් වෙමු. ඇලීම, ගැටීම ප්‍රගුණ කර ඇති සිතට දැන් ඇලීමත්, ගැටීමත්
නවත්වන්නැ’යි අණ කරමු. එවිට, පිළිවෙත සරල වුව ද එය ක්‍රියාවට නැංවීම බෙහෙවින් අපහසු
ය. වෙහෙසකාරී ය.
තණ්හාව ක්ෂය කිරීම
තණ්හාව ක්ෂය කිරීම පිණිස සිත ඒ වෙනුවෙන් ම දීර්ඝ කාලයක් පුරාවට පුහුණු කළ යුතු ය.
මෙතෙක් නිවන් අවබෝධ කළ සියලු උතුමන් වහන්සේ ද, එසේ බොහෝ කලක් පුරා තම සිත පුහුණු
කළෝ වෙති. අප ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදුපියාණන් වහන්සේ ද, නියත විවරණ ලබන පළමු
ආත්ම භාවයෙ හි දී ම රහත් ඵලයට එළඹීමට තරම් වූ උපනිශ්‍රය සම්පතක් පැවතිණි.
එනම්, උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් වඩා වැඩි කාලයක් පුරා ධර්මය ප්‍රගුණ කර
ඇත. කෙලෙස්වලින් තොර ව ලෝකය දෙස බැලීමට පුහුණු වී ඇත.
බුදුරජාණන් වහන්සේ ජිවමාන කල උන්වහන්සේ විසින් ම දෙසන දහම් ශ්‍රවණය කර නිවන
සාක්ෂාත් කළ උත්තමයෝ වනාහි පෙර අත්භවයන්හි දී ධර්මය දැන ගැනීමෙන් පමණක් නො නැවතී
ධර්මය බොහෝ සේ ප්‍රගුණ කළෝ ද වෙති. එනම් “පාරමී” නම් වූ එක්තරා මට්ටමකට ළඟාවන තෙක්
ධර්මය පුහුණු කළෝ වෙති. එහෙයින්, චතුරාර්ය සත්‍යාදි ධර්මයන් පිළිබඳ සිහිනයක බඳු
මතකයක් ඔවුන්ගේ සිතෙහි ශේෂ ව පවතින බැවින්, බුදුරජාණන් වහන්සේ වෙතින් දහම් අසා නොබෝ
කලෙකින් ම සියලු ආකාර කෙලෙස් මුලිනුපුටා හැර නිවී සැනසෙති.
බුද්ධ පරිනිර්වාණයෙන් කල් ඉකුත් ව යත් ම, මිනිස් ලොව පහළ වෙන්නෝ, පෙර පිරූ පාරමී
ශක්තිය අඩුවන අනුක්‍රමණය ඇති අය වෙති. එනම්, පෙර අත්භවයන්හි දී ධර්මය දැන ගැනීමට
උත්සාහවත් නොවූ හෝ දැනගත් ධර්මය ප්‍රගුණ කිරීමට මැළි වූවෝ වෙති. මෙකල සිටින අප ද
අතීත සසරෙහි නිර්වාණාවබෝධය සඳහා යම් හෝ උත්සාහයක් යොදවා ඇති නමුත්, සියලු ක්ලේශයන්
නැසීමට තරම් එම උත්සාහය තවමත් ප්‍රබල නැත. එබැවින්, භෞතික වූත්, මානසික වූත්
බැඳීම්හි නිසරු බව වැටහුණ ද, ඒවා අත්හැර දැමීමට නම් කැමැත්ත නැතිවාක් සේ ය.
පාරමිතා පූරණය
තණ්හාව සර්වාකාරයෙන් දුරලීම පිණිස භෞතික වස්තූන් ද, කෙලෙස් චෛතසික ද අත්හැරීමේ
පහසුතාවය එක්තරා මට්ටමක් දක්වා දියුණුූ කරන තෙක් නිවන සාක්ෂාත් කළ නොහැකි ය.
බුද්ධෝත්පාද කාලයක දී බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයකු ලෙස නිවන් අවබෝධ කර ගැනීම
සඳහා පිරිය යුතු, එම කුසලතා මට්ටම “පාරමී” නම් වේ. පාරමී මට්ටම තෙක් අත්හැරීම
කෙරෙහි තම සිත නැඹුරු කර ගත් පසු, තමා පරිහරණය කරන, තමාගේ නමට පවරාගෙන ඇති භෞතික
වස්තූන් ද, තමාගේ පී‍්‍රතිය පිණිස පවතින, තම ජීවිතයෙහි දියුණුවට උපකාර කරන තම අඹු
දරුවන්, හිතෛෂීන් ආදී පුද්ගලයන් හට ද අනෙකාගෙන් හානියක්, අහිතක් වන කල්හි ඒ පිළිබඳ
ව ධර්මානුකූල සංවේගයට පැමිණ මා හට අයත් වූ වස්තූනට හානියක් කරන්නේ වුව ද, මාගේ
බෝධිසත්ත්ව චර්යාව හැර නොදමමි” යි සිතා තම උතුම් පිළිවෙත එලෙසින් ම පවත්වා ගත යුතු
ය.
මෙය ඉතා අසීරු තීරණයක් වන අතර ම ඉතා අවබෝධයෙන් යුතු ව ද සිදු කළ යුතු ය. එසේ
නොවුණහොත් “පාරමිතා පුරමි” යි කියමින් අනුවණකම් කොට මෙලොවත් පරිහානියට පත්වී, පරලොව
දියුණුව ද අහිමි කර ගන්නේ ය. මෙකල ඇතැම් භික්ෂූන් වහන්සේ තම ධර්ම දේශනාවන් හි දී
වුව ද ඇතැම් පිළිවෙත් විස්තර කිරීමෙන් වැළකී සිටිනුයේ අවිචාරවත් ලෙස ක්‍රියා කරන
මිනිසුන් බහුල බැවින් ඔවුන් මුළාවීම වැළැක්වීම පිණිස ය.
උඩුගං බලා යාම
ඉහත කරුණු අනුව පසක්වනුයේ තණ්හාව ක්ෂය කිරීම ක්‍රියාවට නැංවීම වචනයෙන් දක්වන තරම්
පහසු නොමැති බවයි. සසර පුරාවට අවිද්‍යාවෙන් යුතු ව ලොව විමසීමට හුරු ව ඇති අපගේ සිත
දැන් අවිද්‍යාවෙන් තොර ව ලොව දැකීමට හුරු කර විය යුතු ය. බුද්ධ දේශනාවෙහි මෙම
අසීරුතාව උපමා කර ඇත්තේ “උඩු ගං බලා යාම” සඳහා ය.
ගඟට බට යමෙක්, එහි ප්‍රවාහය විසින් ඇදගෙන යන ලද කල්හි, එහි ඇති වින්දනීය බව නිසා ම
ගඟෙහි පහළට යන ගමනින් බොහෝ කුල්මත් වෙයි. කොතරම් සුන්දර දැයි සිතයි. එසේ ම, ගඟෙහි
පහළට යාම පිණිස තම ශරීර ශක්තිය යොදවා කළ යුතු කිසිත් කාර්යයක් නැත. කළ යුතු එක ම
දෙය නම්, දිය පහරට තමා ගෙන යන්නට ඉඩහැර සිටීම යි. එබැවින් ම පහසු ය. නමුත්, ගඟෙහි
ප්‍රවාහය විසින් තමා ඇදගෙන යන්නට ඉඩහැර සිටීමේ විපත වැටහෙන්නේ ගල්පරවල හැපෙමින්,
දියසුලිවලට හසුවෙමින් අනතුරු සිදුවන්නට පටන්ගත් කල ය.
මෙලෙස ම, යම් සත්ත්වයකු, පෘථග්ජන ලෝකයෙහි කෙලෙස් සහිත අරමුණුවලට නතු වන කල්හි, එම
ක්ලේශයන් මඟින් ලබන තාවකාලික ආස්වාදයෙන් බොහෝ සේ කුල්මත් වෙයි. පී‍්‍රති වෙයි. කාම
ලෝකය කොතරම් සුභදායක ද’ යි සිතයි. නමුත්, තම සිත කෙලෙස් අරමුණු කෙරෙහි යොමු
කිරීමෙහි විපත ඔහුට වැටහෙනුයේ, ඒවායෙහි ආදීනව අත්විඳීමට සිදුවන කල්හි ය.
එසේ නොව, ගඟෙහි ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධ ව ගමන් ගැනීම බොහෝ වෙහෙසකාරී ය. “කුමට මේ
පීඩාවන් විඳින්නේදැ”යි සිතෙයි. නමුත්, ගඟෙහි පහළට ඇදගෙන යන්නා වූ අයකු පත්වන විපත
දකින කල ඔහුට තමා ප්‍රවාහයට නතු නො වීමේ වටිනාකම වැටහෙයි.
මෙලෙස ම , පෘථග්ජන ලෝකයෙහි සාමාන්‍ය නැඹුරුතාව හැර ලා, තම සිත කෙලෙස් සහිත අරමුණු
කෙරෙහි යොමුවීමෙන් ආරක්ෂා කර ගැනීමෙහි ක්‍රියාවලිය බොහෝ වෙහෙසකාරී ය. අකුසල් කිරීම
පිණිස කිසිවෙකුත් උත්සාහ ගත යුතු නැත. අපි උපතින් ම අකුසලයට යොමුවන ආකාරයේ සිතක්
සහිත අය වෙමු. එය ආර්ය මාර්ගයට පිළිනොපන් පෘථග්ජනයාගේ ස්වභාවය යි. උත්සාහ කළ යුතු
වන්නේ අකුසලයෙන් මිදී කුසලය කෙරෙහි සිත නැඹුරු කිරීම සඳහා ය.
එසේ ම, ගඟක ප්‍රවාහය මඟින් පහළට ගෙන යනු ලබන්නාහට තම ගමන අවසානයේ හමුවනුයේ මඩ සහිත
වූ, අපිරිසුදු වූ ජල කඳකි. මෙලෙස ම, අරි අටඟි මඟෙහි නො හැසිරෙන්නා වෙත අවසානයේ
ඉතිරි වනුයේ දුර්විපාක පමණි.
එසේ නොව, ගඟෙහි ප්‍රවාහයට එරෙහි ව ගමනෙහි යෙදෙන්නා හට තම ගමන අවසානයෙහි දී, එනම්,
ගඟෙහි ඉහළ පෙදෙස් හි දී බොහෝ පිරිසුදු වූ ජලය ලැබේ. මෙලෙස ම, අරි අටඟි මගෙහි
හැසිරෙමින්, නිර්වාණාවබෝධ පිණිස වෙහෙසෙන්නා අවසානයෙහි දී සියලු දුර්විපාකයෙන් මිදී
සැනසීම ලබයි.
නිවී සැනසීමට
නිවන පිණිස පිළිවෙත් පුරන අයකුට ඉක්මනින් හෝ පහසුවෙන් නිවන් අවබෝධ කර ගැනීමට අපහසු
වන්නේ ප්‍රතිපදාව නොදන්නා නිසා නොවේ. කළ යුතු දෙය කුමක් දැ’යි නො දන්නා නිසාත්
නොවේ. එම අපහසුතාව ඇතිවන්නේ සිතක පවතින ස්වභාවික නැඹුරුතාවයට ප්‍රතිවිරුද්ධ ව
ක්‍රියා කළයුතු නිසා ය.
එබැවින්, ශාන්ත වූ, සුන්දර වූ “නිර්වාණය” නම් වූ ස්වභාවය කරා සිත මෙහෙයවන ආර්ය
ශ්‍රාවකයා විසින් තමා අනුගමනය කරන්නා වූ පිළිවෙතෙහි පවතින දුෂ්කරභාවය හැඳිනගෙන
සිටිය යුතු ය.
එසේ ම, අප අනුගමනය කරන භාවනාදී පිළිවෙත් මඟින් බලාපොරොත්තු වන පරිදි ප්‍රතිපල
නොලැබීම පිළිබඳ ව පසුතැවිය යුතු නොවේ. කළ යුත්තේ “තණ්හාව දුරු කිරීම ක්‍රමයෙන් කළ
යුත්තකි” යන්න සිතෙහි තබාගෙන, තමා අනුගමනය කරන සරල වූ ද පිළිවෙත් මඟින් ලැබෙන්නා වූ
යහපත් ප්‍රතිඵල පිළිබඳ ව සෑහීමකට පත් ව, නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි තවත් ඉදිරියට
යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීම යි.
පාලි පාඨ සජ්ඣායනය කිරීමේ සිට, තිරිසන් සතකුට බත් හැන්දක් දීමේ සිට, විදර්ශනා භාවනා
කර්මස්ථානයක් ප්‍රගුණ කිරීම තෙක් වූ ඕනෑ ම ආකාරයක ධර්මානුකූල පිළිවෙතක්
නිර්වාණාගාමි ප්‍රතිපදාව සඳහා නන් අයුරින් උපකාර වේ. කඹයක් සදන එකිනෙක හා බැඳුණු
රැහැන් සමූහය මෙන්, අප අවබෝධයෙන් යුතු ව සිදු කරන කුදු මහත් ඕනෑ ම කුසල ක්‍රියාවක්
එකක් අනෙකට උපකාර වෙමින් නිර්වාණගාමී ප්‍රතිපදාවෙන් අප නොගිලිහී පවත්වා ගනියි.
එබැවින්, තමා අනුගමනය කරන ඕනෑ ම ධර්මානුකූල ප්‍රතිපත්තියක් සම්බන්ධ ව බලාපොරොත්තු
වූ කලට හෝ බලාපොරොත්තු වූ අයුරින් ප්‍රතිඵල නොලැබෙන විට මන්දෝත්සාහී නොවී “තමා
තවමත් පුහුණුව ලබමින් සිටින අයකු” බව මෙනෙහි කරමින් ප්‍රතිපත්තියෙහි නිරත වීමට ඇති
උනන්දුව නැවත ගොඩනඟාගත යුතු ය. |