මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි ආදර්ශවත් දින චරියාව
රජවැල්ලේ සුභූති හිමි මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති ව වැඩ විසූ, පරමපූජනීය අග්ග මහා පණ්ඩිත මඩිහේ
පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණ සැමරුම නිමිත්තෙනි
අප ගුරුදේවෝත්තම මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සියලු දෙනාට ම පරමාදර්ශී
චරිතයකි. පැවිදි වූ දා පටන් වසර ගණනාවක් මහ නාසමිඳුන්ට උපස්ථාන කරන්නට තරම්
භාග්‍යවන්ත වූ මා, නාහිමියන් අපවත් වන තෙක් ම සමීප ඇසුරේ ගුරුහරුකම් ලබා ගනිමින් ගත
කළ කාලය රටට, ජාතියට සම්බුදු සසුනට යම් මෙහෙවරක් කරන්නට තරම් ශක්තිමත් භික්ෂුවක්
ලෙස සමාජගත වීමට හැකි වීම ගැන නිහතමානී ව සතුටු වෙමි.
දිනපතා අලුයම 4.30 ට අවදි වන මහා නා හිමියන් වහන්සේ පාන්දර 5.00 ට පෙර දත් මැද
මුහුණ සෝදා නා පිරිසුදු වීම සාමාන්‍ය සිරිත ය. කාමරයේ ජනේලය විවර කොට විනාඩි
කිහිපයක් පිරිසුදු වාතය ආශ්වාස ප්‍රාශ්වාස කිරීමෙන් අනතුරුව හරියට ම පාන්දර 5.00 ට
පුටුවට වැඩම කරයි. ගිලන්පස ලෙස කිරි තේ කෝප්පයක් පිළිගනී. අනතුරුව සකසා ගත් මල්
වට්ටිය මහා නාසමිඳුන්ට අත ගස්වා කාමරයේ ධාතූන් වහන්සේ සහිත කරඬුව හා බුදු පිළිමය
ඉදිරිපස තැන්පත් කොට හඳුන්කූරක් සහ පහනක් දල්වා කාමරයෙන් පිටතට ඒම උපස්ථායකයාගේ
වගකීම වේ.
ගිලන්පස වැළ¼දීමෙන් අනතුරුව බුද්ධ වන්දනාව කාමරයේ සිට කරන මහා නාහිමියෝ 5.20 ට පමණ
කාමරයෙන් එළියට වැඩම කොට අඩි 200ක් පමණ වූ කොරිඩෝවෙහි සක්මන් කිරීම ආරම්භ කරයි.
ධර්මායතනයෙහි දෛනික ව සිදුකෙරෙන බුද්ධ වන්දනාව හා වත පිරිත අවසන් වන තෙක් සක්මන්
භාවනාවේ යෙදේ.
බුද්ධ වන්දනාවෙන් පසු ආචාර්ය මණ්ඩලයත්, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේත් මහ නාසමිඳුන්ට
වන්දනා කිරීමට කාමරයට යෑම සිරිත ය. එහි දී දිනපතා ම ගුරුවරුන්ට වෙනමත්, ශිෂ්‍ය
ස්වාමීන් වහන්සේට වෙනමත්, අවවාද කිරීම සාමාන්‍ය සිරිත ය. සෑම සතියක ම සඳුදා දින
පාන්දර සාමණේර ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ දසසීලයෙහි පිහිටවනු ලබන්නේ මහ නාසමිඳුන්
විසිනි.
ඉන් අනතුරුව ලියන මේසය වෙත වැඩම කරවන නා හිමියන් වහන්සේ ලේඛන කටයුතුවල නිරත වේ.
එදිනට නියමිත යැවිය යුතු ලියුම් සැකසීම සිදු කරයි.
පෙරවරු 07.00 වන විට උදේ දානය සඳහා පහළ කාමරයට වැඩම කරවයි. බිම වාඩිවීමට හැකිතාක්
කල් දාන ශාලාවට වැඩම කරවීම මහ නාසමිඳුන්ගේ සිරිත ය. කාමරයේ දානය වැළඳීමට සිදුවූයේ
වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ය. පෙරවරු 7.30 වන විට පහළ කාමරයේ ඉදිරිපස පුටුවට හෝ
මේසයේ පුටුව වෙත වැඩම කරවන්නේ උදේ දානය ගෙන එන දායක පිරිස හමුවීමට ය.
දාන ශාලාවේ කටයුතු අවසන් වූ වහා ම සියලුම දායක පින්වතුන් මහ නාසමිඳුන් හමුවී සුහද
කතාබහක නිරත වෙයි. මහ නාසමිඳුන් විසින් ඒ පිරිස වෙත කාලෝචිත ව දහම් අනුශාසනාවකුත්,
ජාතික වශයෙන් වැදගත් කරුණු කිහිපයකුත් ප්‍රකාශ කිරීම නා සමිදුන්ගේ සිරිත ය. ඉන්
අනතුරුව පහළ කාමරයේ ඉදිරිපස පුටුවට වැඩම කොට දවසේ පත්තර කියැවීම සිදු කරයි. බොහෝ
දිනවල යමක් ඉල්ලාගෙන එන යාචකයන් පවා මහ නාසමිඳුන් වෙත සමීප වීම මෙම කාලය තුළ සිදු
වේ. එසේ පැමිණෙන අසරණයන් වෙනුවෙන් පාර්සල් කල් ඇතුව සකසා තැබීම උපස්ථායකයා සතු
වගකීම වේ.
පෙරවරු 09.00 පමණ වන විට නැවතත් උඩුමහලේ කාමරේට වැඩම කරවන්නේ ලිපි ලේඛන කටයුතු සඳහා
ය. පෙ.ව. 10.00 ට ගිලන්පස වශයෙන් තැඹිලි පිළිගනී. එහිදී යැවිය යුතු ලිපි යතුරුලියනය
කිරීම සඳහා උපස්ථායකයාට භාරදෙයි. ඉන් අනතුරුව දහවල් දානය තෙක් පුවත්පත්වලින්
තෝරාගත් විශේෂිත ලිපි කියවන අතර පෙ.ව. 11.00 ට දහවල් දානය සඳහා පහළ මහලේ කාමරයට
වැඩම කරවයි. 11.30 තෙක් හමුවීමට පැමිණෙන අය සමඟ කතා කිරීමට කාලය වෙන් කර ගනියි.
11.30 ට දහවල් දානය පිළිගන්නා වේලාවයි.
12.00 වන විට දන් වළඳා අවසන් වන නාහිමියන් වහන්සේ අඩ හෝරාවක පමණ කාලයක් දහවල් දානය
ගෙන එන දායක පින්වතුන් වෙනුවෙන් කාලය වෙන් කරයි. දහවල් 12.45 ට නැවතත් උඩ කාමරයට
වැඩම කරවන මහා නා හිමියන් කෙටි විවේකයක් සඳහා සයනය වෙත වැඩම කොට ශ්‍රී ලංකා ගුවන්
විදුලියේ දහවල් ප්‍රවෘත්තිවලට සවන් දෙයි. දහවල් 01.15 වන විට නැවතත් ලිපි ලේඛන
කටයුතු සඳහා මේසයේ පුටුව වෙත වැඩම කොට පුවත්පත් සඳහා ලිපි හෝ සමිති සමාගම්වල
කටයුතුවල හෝ ශාස්ත්‍රීය පොතපත ලිවීම් ආදී කටයුතුවල හෝ නිරත වේ.
ප.ව. 3.30 ගිලන්පස සඳහා තේ කහට, බෙලිමල්, ඉර මුසු සමඟ පැන් කෝප්පයක් පිළිගනියි.
යතුරු ලියනය කළ යුතු ලිපි ලේඛන ඇත්නම් උපස්ථායකයා වෙත භාරදීම මෙහිදී සිදු කරයි. කල්
ඇති ව දන්වා විවිධ රැස්වීම් හා සාකච්ඡා සඳහා පැමිණෙන අය හවස් කාලය තුළ පැමිණෙයි.
ධර්මායතනයෙහි දෛනික ව සිදුකෙරෙන හවස බුද්ධ වන්දනාව අවසන් වීමෙන් පසු 07.30 ට සියලු
ම ස්වාමීන් වහන්සේ මහ නාසමිඳුන්ට වන්දනා කිරීම සිරිතකි.
07.45 ට රාත්‍රී ගිලන්පස සඳහා බෙලි, දොඩම් හෝ දෙළුම් පිළිගන්වන අතර වෙහෙස මහන්සි වී
පැමිණෙන දිනවලට කෝපිවලට බටර් ටිකක් දමා පිළිගනියි. ඉන් අනතුරුව උදේ මෙන්ම මල්
වට්ටිය අතගස්වා තැන්පත් කොට පහන් හඳුන්කූරු දල්වා කාමරයෙන් පිටතට ඒම උපස්ථායකයාගේ
වගකීම වේ.
දිනපතා ම රාත්‍රී අට 08.00 ට විවේකය සඳහා ඇඳට වැඩම කරවන්නේ ගුවන් විදුලියෙන්
ප්‍රචාරය වන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ය. රාත්‍රී 9.00 ට ගුවන් විදුලියේ
ප්‍රවෘත්ති ශ්‍රවණය කිරීමෙන් අනතුරුව බුද්ධ වන්දනාව සඳහා කාලය වෙන්කර ගනී. ඉන්
අනතුරුව බොහෝ දිනවල රාත්‍රී 11.00 පමණ වනතෙක් ලිපි ලේඛන කටයුතුවල යෙදේ. දිනපතා ම
සැතපීම සඳහා වැඩම කරවන්නේ රාත්‍රී 11.00 ට පමණ ය. මාගේ උපස්ථාන කාලය තුළ දී දහවල්
සැතපී සිටින අවස්ථාවක් දැක නැති බව ද සටහන් කරනු කැමැත්තෙමි.
අති උතුම් පූජනීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපස්ථාන කටයුතුවල දී කිසිම
දවසක වචනයකින්වත් සිත රිදවූ දවසක් ඇත්තේ ම නැත. අවුරුදු හතරක කාලය තුළ දී කිසිම
දවසක දානයට හෝ ගිලන්පසට හෝ පිළිගන්වන දෙයක් බාරගන්නවා මිසක ගෙන යන කිසිම ගිලන් පසක්
ප්‍රතික්ෂේප කර නැත. අවශ්‍ය දෙයක් ඇසූ විටෙක කියන්නේ ද නැත. උපස්ථායකයාගේ වගකීම
වන්නේ පත්‍ය අපත්‍යදෑ දැනගෙන කැප සරුප් විදිහට කලට වේලාවට පිරිසුදු ව උපස්ථානය
කිරීමයි.
උපස්ථානය සිදු කළ කාලය තුළ කිසිම දවසක සබන් හෝ රෙදි සෝදන කුඩු පාවිච්චි කර සිවුරු
සෝදා නැත. දෙපට සිවුරත්, තනිපට සිවුරත් එකට තබා සිවුරු පොරවන බැවින් මල් පීස් සුදු
රෙදි ගෙන්වා සිවුරු මසා පඬු පොවා සිවුරු සකසා දීමට සියලුම දායක දායිකාවනුත් ශිෂ්‍ය
ස්වාමීන් වහන්සේත් පින් සිතින් දායක වේ. පාවිච්චි කළ යකඩ පාත්තරය වසරකට වතාවක් තල
තෙල් ගා කළු කර දීම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ විසින් සිදු කර දෙනු ලබයි. ඉතා
අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරන මහා නා සමිඳුන් කාමරය තුළ විදුලි බුබුළු දෙකක්
කිසිදා දල්වන්නේ නැත.
උපස්ථානයේ යෙදෙන විට මහා නා සමිඳුන් කාමරයේ වැඩ සිටින තැන හඳුනාගත හැකි වන්නේ දල්වා
තිබෙන විදුලි බුබුළු අනුව ය. සබන් පාවිච්චි කිරීමේ දී පවා අවසන් වන සබන් කෑල්ල
අලුත් සබන් කැටයේ අලවාගෙන පාවිච්චි කිරීම නා සමිඳුන්ගේ සිරිත ය.
2003 සැප්තැම්බර් අටවැනි දින අපවත් වන තෙක් ම කිසිම දවසක රූපවාහිනී යන්ත්‍රයක්
පාවිච්චි කර නොමැති බව ද සටහන් කරනු කැමැත්තෙමි. මෙම දින චර්යාව ලංකාවේ කොතැන
වැඩිහිටියත් විදෙස් රටක වැඩිහිටියත් රටක වෙනස් වන්නේ නැත.
නුවරඑළියේ අශෝකාරාමයේ වැඩ සිටි දවසක අලුයම 4.30ට අවදි වී සීතල වතුරින් ස්නානය කිරීම
විශ්මය දනවන කරුණකි. උනු පැන් ගෙන ගිය ද ඒවා ප්‍රතික්ෂේප කිරීම නාහිමියන්ගේ සිරිත
ය. එක් අවස්ථාවක මේ පිළිබඳ ව විමසූ විට ඉතා දුෂ්කර යුගයක ඉන්දියාවේ සහ නේපාලයේ ගිය
සංචාරයක් ගැන සිහිකොට සීතලට සහ උණුසුමට තරුණ කාලයේ සිට ම පුරුදු වූ විදිහ සිහිපත්
කළේ පැවිද්දා ස්වභාවික පරිසරයකට හුරු විය යුතු බව පෙන්වා දෙමිනි.
මෙම ලිපිය තුළින් මා අදහස් කළේ මහ නාසමිඳුන්ගේ දින චර්යාව ගැන පමණක් කාගේත් දැන
ගැනීම සඳහා සටහන් කර තැබීමට ය.
පරම පූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් බුදු බව ම ලැබේවා. |