Print this Article


අකුසල් පිරුණු සිතට ධර්ම මනසිකාරය අසීරු දෙයක් - වැලිමඩ චාපා මෑණියන් වහන්සේ

අකුසල් පිරුණු සිතට ධර්ම මනසිකාරය අසීරු දෙයක් - වැලිමඩ චාපා මෑණියන් වහන්සේ

පින්වත් මෑණියන් වහන්ස, මේ ලෝකයේ ජීවත්වන සෑම කාන්තාවකට ම පැවරෙන වගකීම් රාශියක් තිබෙනවා. බිරිඳක්, මවක් ලෙස පටන් ගෙන පැතිරී යන මේ දුක් කන්දරාවෙන් නිදහසක් නැද්ද කියා ඇතැම් විට ඇයට සිතෙන්නට පුළුවන් නේද?

ඕනෑම කාන්තාවකට මවක්, බිරිඳක් ලෙස විශාල වගකීම් රාශියක් පැවරෙනවා. නිවසක ස්වාමියාට වඩා බිරිඳ සෑම අතින් ම කාර්ය බහුල යි. වගකීම් වැඩියි. නිවසක පියාට වඩා මවයි අවිවේකී ජීවිතයක් ගත කරන්නේ.

වර්තමානය වන විට බොහෝ කාන්තාවන් රැකියාවක නියැළෙනවා. රැකියාවක් නො කළත් මුලින් බිරිඳක් ලෙසත්, පසුව මවක් ලෙසත් ඇයට සිදුවෙනවා හිමිදිරියේ අවදි වූ වේලාවේ පටන් රාත්‍රී නින්දට යනතුරු ම තමාගේ නිවසේ සාමාජිකයන් වෙනුවෙන් යුතුකම්, වගකීම් කරන්න. මේ නිසා ඇය කාර්යබහුල, වෙහෙසකර ජීවිතයක් ගත කරන්නේ. නිවසේ සියලු ම කටයුතුවලට අමතරව දරුවන් හදා වඩා ගැනීම, පෝෂණය කිරීම, දරුවන් යහමඟ යැවීම, අධ්‍යාපනය ලබාදීම, ආදී දේ පැවරෙනවා. ඒ වගේම ස්වාමියාගේ මවට, පියාට, ඥාතීන්ට යුතුකම් කිරීමට පැවරෙනවා. වැඩිහිටි, අසල්වාසී ආදීන් සමඟ කටයුතු කිරීමේදීත් ඇයගේ සිතට බරක් දැනෙන්නට පුළුවනි.

බොහෝ කාන්තාවන් නිවසේ ආර්ථිකයට සවියක් වීමට උත්සාහ කරනවා. ඒ අනුව ඇය කිසිදු විවේකයක් නැති කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. එසේ අවිවේකී ජීවිතයක් ගත කරන ඇයට සිතෙන්නට පුළුවන්. “අනේ මට කිසිම විවේකයක් නැහැනේ. කිසිම නිදහසක් නැති ජීවිතයක් නේ. කවදා මට නිදහසක් ලැබේවි ද?” කියලා.

තරුණියක් විවාහ වූ දා පටන් ම ඇයට මේ දේ උරුමයි. වගකීම් වැඩිවීම, අවිවේකීකම, යුතුකම් වැඩිවීම ආදිය නිසා බොහෝ කාන්තාවන්ට සිදුවන දේ තමා සිතේ තරහ, ගැටීම්, අමනාපය ඇතිවීම. බොහෝ විට ඇය නිවසේ උදවිය සමඟත් තමා අවට සිටින අය සමඟත් අමනාපකම් ඇතිකර ගන්නවා. ගැටුණු අමනාප සිතින් නිවසේ කටයුතු කරනවා. එනිසා ම සිතේ කිසිදු සතුටක්, සැනසීමක් නැතිව පීඩාවෙන්, අසහනයෙන් ගේ දොර කටයුතු කරන්නට සිදුවෙනවා. ඇතැම් මව්වරු දොස් කියමින්, දෙස් තබමින් කටයුතු කරන අවස්ථා අපි දැක තිබෙනවා.

මෑණියන් වහන්ස, ඒ පරිසරය තුළ ඇයට ධර්මානුකූල ජීවිතයකට ළං වීමට තිබෙන හැකියාව අවමයි නේද?

ඔව්. ඒ තුළින් ධර්මානුකූල ජීවිතයකට ළං වීමට තිබෙන හැකියාව දුරට යනවා. බොහෝ කාන්තාවන් සිතනවා පවුලේ වැඩකටයුතු ඉවර වූ පසුව මම සැනසිල්ලේ පිනක් දහමක් කර ගන්නවා. ධර්මයේ හැසිරෙනවා කියලා සිහිනයක සිත පටලවා ගන්නවා. ඇතැම්විට ඒක සිහිනයක් පමණක් ම වේවි. නො ලැබෙන පැතුමක් සිතින් පතනවා. එවිට සිදුවන්නේ තව තවත් පීඩාවට අසහනයට පත්වීමයි. අපි දන්නවා තරුණියක්, බිරිඳක් ලෙස පටන්ගෙන මවක් වූ පසුව දරුවන් වෙනුවෙන් ඇගේ මුළු ජීවිතය ම කැප කරන්න වෙනවා. නිවසේ අනේක දුක් පීඩාවලට ඇයට මුහුණ දෙන්නට සිදු වෙනවා.

ඒ වගේම බොහෝ මවුවරුන්ට ආත්තම්මා වූ පසු දරුවාගේ දරුවා බලාගැනීම ආදී වගකීම් පැවරෙනවා. ඒ නිසා තමන්ගේ නිදහස කවදා ලැබේ දැයි සිහිනයක පැටෙලනවාට වඩා තමන්ට ලැබෙන්නේ නැති පැතුමක් පතනවාට වඩා, තමා සිටින තැන, ලැබුණු විවේකයෙන් සිතේ ගුණදහම් වඩාගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න මහන්සි ගැනීම තමයි වටින්නේ.

ඒ උත්සාහය කුමන ආකාරයෙන් ද සැලසුම් කරගත යුතු වන්නේ?

යම් කාන්තාවකට පුළුවන් නම් කරුණාව, මෛත්‍රීය සිතේ බලවත් කර ගන්න ඒක ලොකු ජයග්‍රහණයක්. ‘ස්වාමියාට දරුවන්ට ප්‍රනීත ආහාර වේලක් ලබා දුන්නොත් ඔවුන් ඒක ප්‍රනීත ව රස විඳලා සතුටින් ඉන්නවනේ. මම නිසා මේ අය සතුටින් ඉන්නවා. මම කෙ තරම් අවිවේකී වුණත් නිවසේ අය පහසුවෙන් ඉන්නවනේ.” කියා සිතුවොත් එතැන ම ඇගේ සිතේ කරුණාව, මෛත්‍රිය වැඩිලා. තමන් නිසා තමා අවට සිටින අය පහසුවෙන් සිටිනවා දුටු විට සිත සතුටු කර ගන්නට ඕනෑ. එවිටයි මෛත්‍රීය, කරුණාව, මුදිතාව වැඩෙන්නේ. නිවසේ කෙනෙක් අසනීප වූ විට උපස්ථාන කිරීමත්, ස්වාමියාගේ මවුපියන්ට සැලකීමත්, අසල්වාසි, නෑදෑ හිතමිතුරන්ට අවශ්‍ය වේලාවේ දී උදව් කිරීමත් පින් වැඩෙන පින්කම්. ඒ වැඩ කටයුතු කරද්දී පින සිහිපත් කරමින් ඒ දේ කිරීමට කාන්තාව දක්ෂ වෙන්න ඕනෑ. එවිට ඇයට ධර්මානුකූල ජීවිතයකට ළං වෙන්න පුළුවන්කම තිබෙනවා. වර්තමාන කාන්තාව මේ දේට කො තරම් දක්ෂ වේවි ද දන්නේ නැහැ. එහෙත් යම් කාන්තාවන් මේ දේ කර ගන්නට දක්ෂ වුණොත් ඇයට දෙලොව ම ජය ගන්නට අවස්ථාව තිබෙනවා.

සිතේ කැමැත්තෙන් කෙනකුට උදව් උපකාර කරද්දී ඇගේ සිතේ සතර බ්‍රහ්ම විහරණ වැඩෙනවා. සිත ගුණවත්කමින් පුරවා ගන්න එවිට හැකිවේවි. කාන්තාවට හොඳ ඉවසීමකුත් තිබෙන්න ඕනෑ. ඉවසීම කියන ගුණය මත පිහිටලා තමා මේ සියල්ල ම අපට ඇති කර ගන්න පුළුවන් වෙන්නේ.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ වදාළා යම් ස්ත්‍රියක් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි සැදැහැසිත උපදවා ගත්තා නම්, හොඳින් සිල්පද රකිනවා නම් ශ්‍රද්ධාවත්, සීලයත්, ගුණයක් ලෙස වැඩෙනවා. එලෙස ම ඔබට තිබෙන ආකාරයට දන් දෙන්න. ත්‍යාගවන්තකම සුන්දර ගුණයක්. මසුරු නැති කාන්තාව නිවසට ආලෝකයක්. ශ්‍රද්ධාව මත පිහිටලා සියලු ගුණයන්ගෙන් පෝෂණය වෙමින් සුදුසුකම් හදා ගත්තොත් ඒ කාන්තාව අනිවාර්යයෙන් ම සුගති උපතකට මාවත සකසා ගන්නවා. යම් කාන්තාවකට දෙලොව දියුණුවට මේ කරුණු උපකාරීයි.

ධර්මානුකූල ජීවියත් සමඟ ඉදිරියට යන ඇය භාවනාවටත් සිත යොමුකළ යුතුයි නේ ද?

බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවිකාවකට සතර ඉරියව්වෙන් ම සිත දියුණු කිරීමට අවස්ථාව තිබෙනවා. බුදුගුණ, දහම්ගුණ, සඟගුණ වැඩීමක් ඇද්ද, මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වැඩීමක් ඇද්ද, අනිත්‍ය මෙනෙහි කිරීමක් ඇද්ද, ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගන්නට සිතේ යම් මෙහෙයවීමක් ඇද්ද එය ධර්මානුකූල ජීවිතයකට අයිතියි. කෙනෙකුට සිතෙන්න පුළුවන් ආරණ්‍ය සේනාසනයකට ගොස් වාඩිවෙලා භාවනා කළ යුතුයි කියලා. විවේකය තිබෙන කාන්තාවකට එසේ කළ හැකි වුවත් එදිනෙදා කටයුතු කරමින් ධර්මයේ හැසිරෙන්නට ආශා කරන කාන්තාවකට පුළුවන් ගේ, දොර කටයුතු කරමින් ධර්මය පුරුදු පුහුණු කිරීමක් කරන්නට.

එනිසා ඔබ දක්ෂ වෙන්න තමන්ට ලැබුණ තැන සිට ධර්මය මනසිකාර කරන්න. නො ලැබෙන විවේකයක්, නිදහසක් ගැන සිතමින් ගැටුණු අමනාප සිතින් සිටිනවාට වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ ලැබුණු වගකීම් ඉටුකරමින් කරුණා, මෛත්‍රිය ආදී ගුණදහමින් සිත ශක්තිමත් කරගෙන සිත ධර්ම මනසිකාරය තුළ යොදවන විටයි.

තමන් ගැන සැහැල්ලුවෙන් දකිමින් තුනුරුවන් ගැන සිත පහදවා ගෙන සීලය, මෛත්‍රිය, දානය ආදී ගුණ පෝෂණය කරමින් ජීවිතය ගත කළොත් මෙලොව ජීවිතය සාර්ථක වෙනවා වගේම පරලොව සුගති රැකවරණය වෙත යන්නත් වාසනාව ලැබෙනවා.