Print this Article


 ගහකොළ නොසිඳිමු කෙලෙස් වනය සිඳලමු

ගහකොළ නොසිඳිමු කෙලෙස් වනය සිඳලමු

ස්වභාවික පරිසරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දැක්වූයේ අතිශය හිතකාමී ආකල්පයකි.

ගිහි ගෙයින් නික්ම, තාපස පැවිද්දෙන් පැවිදි ව, සත්‍ය සොයා ගිය ගමනේ වසර ගණනාවක් ම බෝසතාණන් වහන්සේ ගතකළේ පාරිසරික ජීවිතයකි. ආරණ්‍යයෙන් ආරණ්‍යයටත්, වනයෙන් වනයටත්, කඳුවැටියෙන් කඳුවැටි වලටත් වරින් වර ගමන් කරමින් නිදහස් ස්වභාවික පරිසරය ඇසුරු කරමින්, ධ්‍යාන භාවනා වඩමින් ගතකළ අති දුෂ්කර ජීවිත කාලය පිළිබඳ ව අරිය පරියේෂණ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට ඇත.

බුද්ධත්වයෙන් පසු ගතකළ වසර හතළිස් පහක කාලය තුළ වුව ද ආරාමයන්හි ගතකරන ලද්දේ කෙටි කාලයක් බව බුද්ධ චරිතයෙන් පැහැදිලි වේ. උන්වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කළේ, ධර්ම සාකච්ඡාවන් සිදු කළේ එළිමහන් පරිසරය තුළ ය. අතරමඟ දී හමුවන ශ්‍රාවකයකුට ගසක් යට, වන ගොමුවක, තුරු සෙවණක වැඩ හිඳ දහම් දෙසීම බුදු හිමියන්ගේ සිරිත විය. දම්සභා මණ්ඩපයේ දී භික්ෂූන් උදෙසා සිදුකළ දේශනා හැරෙන්නට බොහෝ ගිහි පැවිදි ශ්‍රාවකයන් උදෙසා ධර්ම දේශනා කළේ එළිමහන් තැනක නිදහස් ස්වභාවික පරිසරය ඇසුරු කර ගනිමිනි.

සය වසරක දුෂ්කර ක්‍රියා සමයකින් පසුව බුද්ධත්වය අවබෝධ කර ගැනීම සඳහා චිත්ත සමාධිය වඩා, ප්‍රඥාව කුළුගන්වා අවබෝධය ලබා ගත යුතු බව දැනගත් බෝසතුන් ඒ සඳහා තෝරා ගත්තේ අති රමණීය භූමි භාගයකි. එනම් උරුවෙල් දනව්වේ ගයා ප්‍රදේශයේ නේරංජන නදී තීරය යි. සේනානී නියම් ගම මැදින් ගලා බසින මේ නේරංජන නදී තීරයේ සුදු වැලිතලාවේ තුරුගොමුවෙන් සෙවණ ලද මෙම භූමි භාගය චිත්ත දමනයට අතිශයින් හිතකර නිදහස් පරිසරයක් විය.

විහාර ආරාම සිත්කළු පිරිසුදු ස්ථාන ලෙස පවත්වා ගෙන යා යුතු බව විනය දේශනාවේ දී බුදුරදුන් අවධාරණය කළහ. සාමණේර භික්ෂූන් උදෙසා දේශනා කළ දින චර්යාවේ දී අරුණට පළමු ව අවදි වී, මළු‍ පෙත්මං නැමද ආරාම පරිසරය පිරිසුදු කළ යුතු බව සඳහන් වේ.

මිළිඳු රජු සහ නාගසේන හිමියන්ගේ අතීත පුරාවෘත්තයට අනුව දිනපතා තම ආරාම පරිසරය පිරිසුදුව පවත්වා ගෙන ගිය ගුරුවරයා සහ ශිෂ්‍යයා පිළිබඳ ව සඳහන් වේ. දිනක් ගුරුවරයා ආරාම මිදුල අතුගා පිරිසුදු කර කොළ රොඩු මිදුල කෙළවරක එකතු කරයි. ගෝලයාට එම කොළ රොඩු ගෙනගොස් ඈතට දමන ලෙස පැවසුවත් ඔහු එය මඟහරි. ගෝලයාට ඉදල් දණ්ඩෙන් පහරක් ගසා බලෙන් කුණුරොඩු ඈතට ගෙනගොස් දමයි. කුණු ගොඩ ඉවත් කළ ගෝලයා ගඟට ගොස් අත් පා සෝදන අතර ප්‍රාර්ථනාවක් කරයි. තමන්ට, පහර දුන් ගුරුවරයා පැරදවීමට සමත් නුවණක් මේ කුණු ඉවත් කළ පිනෙන් තමාට ලැබේවා'යි ප්‍රාර්ථනා කරයි. මේ අසා සිටි ගුරුවරයා තමා බලෙන් කසළ ගෙනගොස් දැම්ම වූ පිනෙන් ශිෂ්‍යයාට එවන් හැකියාවක් ලැබේ නම්, තමා කැමැත්තෙන් කසළ අතුගෑ කුසලයෙන් ගෝලයා අසන ඕනෑම පැනයකට පිළිතුරු දීමේ නුවණක් ලැබේවා'යි ප්‍රාර්ථනා කරයි.

පසුව මේ දෙපළ අතරින් ශිෂ්‍ය භික්ෂුව මිළිඳු රජු ලෙස ද, ගුරු භික්ෂූන් වහන්සේ නාගසේන මහරහතන් වහන්සේ ලෙස ද, උපත ලබයි. රජතුමා අසන සෑම ප්‍රශ්නයක් ම නාගසේන තෙරණුවෝ විසඳති. පරිසරය පිරිසුදුව තබා ගැනීමේ ආනිසංස කෙ තරම් ප්‍රබල ද යන්න මේ කතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි වේ.

කෙලෙසුන් නසා රහත් මගඵල ලැබූ රහතන් වහන්සේ ද ඒ සඳහා උපයෝගී කර ගනු ලැබුවේ නිසංසල වනගත ප්‍රදේශයන් බව ථෙර ගාථාවල සඳහන් වේ. බුදුන් දවස පැවිදි වූ බොහෝ දෙනා වස් සමය තුළ කමටහන් ගෙන ඈත දුෂ්කර ප්‍රදේශවලට වැඩම කළහ. නිහඬ වනපෙත, සිසිල් සුවය දෙන තුරුගොමු, ගලා හැලෙන ගිරි කඳුරු උන්වහන්සේගේ ධ්‍යාන සුවයට මහත් සේ උපකාරී විය. වනාන්තරය, ගහකොළ සහ ජල සම්පත මනාව ආරක්ෂා කර ගනිමින් මේ නිසංසල පරිසරය තුළින් තම ආධ්‍යාත්මික විමුක්තිය ලබා ගැනීමට මේ භික්ෂූන් වහන්සේ සමත් වූහ. කෙලෙසුන් නසා රහත් මඟඵල ලැබූ උන්වහන්සේ තමන් වහන්සේ ලැබූ ඒ විමුක්ති සුවය ස්වභාවික පරිසරයේ සෞන්දර්යය තුළින් නිරාමිස සතුටක් ලෙස විඳගත් ආකාරය ථෙරගාථාවල සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ ගස් නො කපන ලෙසත්, කෙලෙස් වනය සිඳ දමන ලෙසත් ය. උපසපන් භික්‍ෂූන් වහන්සේට ගසක කොළයක්, අත්තක් කඩා දැමීම ඇවතක් ලෙස විනය දේශනාවේ දී සඳහන් කළහ. පරිසරයේ ආරක්ෂාවත් පිරිසිදුකමත් බුදු දහම තුළින් කෙ තරම් දුරට අපේක්ෂා කර ඇත්ද යන්න මින් පැහැදිලි වේ.

අවට පරිසරයේ පිරිසුදු බව පුද්ගලයාගේ ගත සිත දෙක ම සුවපත් කිරීමට උපකාරී වේ. තැන්පත් සුවපත් ගතත්, සන්සුන් මනසත් භාවනාවට අත්‍යවශ්‍ය ය. නිවනට ළංවිය හැක්කේ එවැනි සන්සුන් මනසක් ඇති පුද්ගලයකුට පමණි. එබැවින් පරිසරයේ නිර්මල පිරිසුදු බව පුද්ගලයා නිවනට සමීප කරයි.