Print this Article


අහිංසක - ප්‍රබල කලණ මිතුරා සතිය

අහිංසක - ප්‍රබල කලණ මිතුරා සතිය

ජාති, ආගම්, ස්ත්‍රී පුරුෂ වැනි වර්ග කිරීමකින් තොරව සති සංකල්පය සැමදා සැමට යහපත් ප්‍රතිඵල ලබා දෙන වැඩ පිළිවෙලක් ලෙස හැඳින්විය හැක. දන්දීම, සිල් රැකීම් ආදී කුසල් දහම් වැඩීමකින් පසුව සතිය වැඩිය යුතු යැයි නීතියක් ද නොමැත.

අතීතයේ කරන ලද පාපකර්මයන් බහුල ව තිබෙන අයකුටත්, දැනට අකුසල ධර්ම තුළ ජීවත්ව සිටින අයකුටත් සතිපට්ඨානය වැඩිය හැකි ය. එලෙස අහිංසක වූත්, ප්‍රබල වූත්, ශක්තිමත් වූත්, කල්‍යාණ මිත්‍රයකු ලෙස සතිය සැමට එක සේ පිහිට වීමට සැරසී සිටී.

සතිය පුරුදු පුහුණු කරමින් වැඩිය යුතු චෛතසිකයකි. මේ සඳහා විශේෂ ඉරියව්වක්, ඇඳුමක්, වේලාවක් හෝ මූලික පහසුකමක් අවශ්‍ය නො වන නිසා ඉතා සරල ව මෙම ප්‍රතිපදාවේ යෙදිය හැකි අතර, නො දැනුවත්වම ගැඹුරක් කරා යන බව කිව හැකි ය. ජීවිතයේ ඕනෑම අවස්ථාවක සතිපට්ඨානය වැඩිය හැකි ය. ආගමික පරිසරයක් තුළින් හෝ කිසියම් පේවීමක් හරහා හෝ මෙම ප්‍රතිපදාවේ යෙදිය යුතු යැයි අදහසක් ද නැත. අපි ලබා ඇති මනුස්ස පටිලාභය මේ සඳහා ප්‍රමාණවත් වේ.

අංගුලිමාල, සුනීත, සෝපාක, කිසාගෝතමී, පටාචාරා වැනි චරිත කතාවන් තුළින් අපට දක්නට ලැබෙන්නේ සතිය පිහිටීම නිසා සියල්ල අවබෝධය කරා යන බවයි.

නිවැරැදි ව සතිය පුරුදු පුහුණු කිරීම තුළින් සති සම්පජඤ්ඤය හෙවත් නුවණ වැඩෙන අතර, සත්තිස් බෝධිපාක්ෂික ධර්මය ඒ හරහා වැඩෙන බව එහි ස්වභාවය යි. ඒ සඳහා පින තමන් තුළ සකස් වී තිබුණත් එම පින මතුකර ගැනීමට තමන් උත්සාහ නො ගත හොත් පින වියැකී යාමට පුළුවන. ලෝනඵල සූත්‍රය එයට සාක්ෂි දරයි.

මහධන සිටුපුතු ගේ කතාව තුළින් ද පැහැදිලි වන්නේ වීර්ය, නුවණ, සිහිය නොයෙදීම නිසා මිල කළ නොහැකි මහා ලාභයක් අහිමි වී ගිය බවයි. එබැවින් අප කළ යුත්තේ ප්‍රතිපත්ති පුජාව තුළ සිය ජීවිතය අප්‍රමාදී ව හුරු පුරුදු කිරීමයි.

සතිය වැඩීම සඳහා ප්‍රායෝගික ව ක්‍රම කීපයක් අනුගමනය කළ හැක. අපගේ සිතේ ස්වභාවය වන්නේ සිත අතීතයටත්, අනාගතයටත් විසර යාමයි. අතීතයට යන සිත වැරැදුනු හා පැරැදුන ඒවා සිහිපත් කරමින් පශ්චත්තාපය සිතට එක්කරයි. අනාගතයට යන සිත විවිධ සැලැසුම්, ප්‍රාර්ථනා, බලාපොරොත්තු රැගෙන එයි. ඒ ආත්ම දෙක යථාර්ථය නො වන නිසා සිත තුළ ගොඩනැඟෙන්නේ සෘණාත්මක සංකල්පය යි. ඒ සියල්ල තුළින් සිත තුළ වර්ධනය වෙන්නේ සතුටක් නොවේ.

මේ නිසා ආතතිය, විශාදය වැනි චිත්තවේගවලට සිතේ ඉඩකඩ ඇති විය හැක. එයට සමගාමී ව බෝනොවන රෝගවලට ද හොඳ තෝතැන්නක් සිත තුළ ගොඩනැඟීමට පුළුවන.

බුදුපියාණන් වහන්සේ දේශනා කළේ අතීතය ගැන ශෝක නොකර, අනාගතය ගැන කල්පනා නොකර වර්තමානයේ ජීවත්වීම කළ යුතු බවයි. ඒ අනුව අත්විඳීමට නොහැකි බොරුවක බොහෝ දෙනා ජීවත්වීමට උත්සාහ දරන නිසා විවිධ ගැටලු මිනිසා තුළ පැන නැඟී ඇත. ඉහත අන්ත දෙක ම යථාර්ථය නො වන නිසා මිනිසා තුළ සතුට නූපදී.

සතුට සොයා බාහිර අතපත ගාන බොරුවෙන් මිදී තමා තුළ ඇති සතුට උපද්දවා ගන්නා ක්‍රමවේද රැසක් හඳුනාගෙන තිබේ. අප එදිනෙදා කරන, කියන, හිතන, දේ තුළ සතිමත්වීම තුළ සතුට ඉපදෙන බව ප්‍රායෝගික ව අත්හදා බැලිය හැක. අප ගමන් කරන විට පුරුදු වී සිටින්නේ වෙන තැනක්, දෙයක්, පුද්ගලයෙක්, එසේත් නොමැති නම් සිද්ධියක් ගැන කල්පනා කිරීමට ය. වර්තමානයේ කය තිබුණත් ඔහුගේ සිත තිබෙන්නේ වෙන තැනක ය. අපි දිනකට ඉරියව් හතරක් පවත්වන්නෙමු. එම ඉරියව් හතරේ සිත පැවත්වීමට පුරුදු පුහුණු කළ යුතු ව ඇත. එම ඉරියව් හතර තුළ ඉඳිමින් කරන කියන වැඩ තුළ සිහිය පැවැත්වීම සතිමත් වීම ලෙස හැඳින්විය හැක.

විශේෂයෙන් ම කනබොන, දත් මදින විට, අතුපතු ගාන විට, උයන පිහින විට ආදී වශයෙන් දවස පුරා කරන කියන වැඩකටයුතුවල දී එයට සිය අවධානය යොමු කරවීම තුළ සතිය නමැති කල්‍යාණ මිත්‍රයා තමන් සමග යහළුවීමට පටන් ගනී.

විධිමත් ව හිඳගෙන හුස්ම රැල්ලට හෝ කයට හෝ සිත යොමු කිරීමෙන් විසිරී යන සිත ඉතා පහසුවෙන් ඒකාග්‍රහ කර ගත හැක. විධිමත් සක්මන තුළ ද එය කළ හැක. මේ තුළින් ලබා ගන්නා පන්නරය තුළ එදිනෙදා වැඩ සතිමත් ව, ඉතා පහසුවෙන්, වෙහෙසක් නොමැති ව ඉතා ඉක්මනින් නිවැරැදි ව කළ හැකි ය. ඒ තුළ සතුට සහනය ඉපදෙන බව සොයා ගෙන තිබේ.

මෙලෙස සතිමත්වීම තුළින් ලැබෙන වාසි සුළු පටු නොවේ.

'ඉදනන්දති පෙච්චනන්දති' මෙලොවත් සතුටු විය හැකි අතර, එලොවත් සතුටු විය හැකි බව බුදුපියාණන් වහන්සේ ද දේශනා කළහ. සිත සතිමත් වීම තුළ රෝග තත්ත්වයන් අවම වීම නිසා කායික සෞඛ්‍යය ඉහළ යාමත් සිදුවන බව වෛද්‍යවරුන් පවා සිය පර්යේෂණවලින් සොයා ගෙන තිබේ.

මානසික සෞඛ්‍යය ද ඉහළ යාමක් සිදුවන බව ද සොයා ගෙන ඇත. චිත්තාවේගවලින් පෙළීම අවම වී සතුට ඉපදෙන බවත්, ඒ තුළින් වැළඳුන විවිධ රෝගාබාධයන් පවා සුවවන බවත් පැවැසේ. තරහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධය, මාන්නාදිකම් වැනි සිතිවිලි වියැකී යාමට පටන් ගනී. මේ සඳහා සතිය පුද්ගලයාට උදව්වන බව හෙළිකර ගෙන ඇත. මේ සඳහා ආමිස පූජාවන් වැනි පින්කම් උපනිශ්සරණය වන බව සත්‍යයකි.

‘සතිමත්වීම’ තුළින් සියලු අකුසල් නොකරන සිතක් සකස් වන අතර, කුසල් දහම් පිළිබඳ ව හොඳ වැටහීමක් ලැබෙන බව සොයාගෙන තිබේ. කයෙන් සහ වචනයෙන් කෙරෙන වැරැදි අවමවීම තුළ ඔහු ශීලවන්තයකු බවට පත්වේ. සිත, කය, වචනය යන තුන්දොරින් සිදුවන වැරැදි හඳුනාගෙන ඉන්මිදීමට ඔහු තුළ මනා සතියක් වර්ධනය වේ.

මෙම ක්‍රියාවන් බොහෝ කාලයක් පුරුදු පුහුණු කළ යුතු ව ඇත. මේ සඳහා වීර්යය, නුවණ, සිහිය තිබිය යුතු ය. ප්‍රාර්ථනා කිරීමෙන් ලබා ගත නොහැක. සතිමත්වීම තුළින් තමන්ට ලැබෙන ලාභය ගැන විශ්වාසය තබාගෙන කටයුතු කිරීම තුළ සතිය තමන් තුළ වර්ධනය වේ. මේ සඳහා විශේෂ පුද පූජා අවශ්‍ය නැත. තමන්ගේ සිත දෙස බලා සිටිමින්, ඉන් මතුවන සිතිවිල්ල ගැන නිරීක්ෂණය කරමින් එය හඳුනාගෙන වැඩ කටයුතු කිරීම තුළ ඔබ සතිමත් වේ. දැන්ම ආරම්භය ගන්න.