Print this Article


බොදු කුලකතුනට සසුන් දොර විවර වූ බිනර පෙහොය

බොදු කුලකතුනට සසුන් දොර විවර වූ බිනර පෙහොය

ති‍්‍රපිටකාගත කරුණු අනුව භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ ය. මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින්ගෙන් ආරම්භ වූ මෙහෙණි සසුන සඳහා බුදුරජාණන් වහන්සේ එකවරම අනුමැතිය නොදුන් සේක. ඒ බව චුල්ලවග්ග පාලියේ භික්ඛුනී ඛන්ධකයත්, අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගෝතමී සූත්‍රයත් නිදසුන් කොට දැක්විය හැකියි.

එනම් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිල වත්ථු සමීපයේ නිග්‍රෝධාරාමයේ වැඩ සිටින මහා ප්‍රජාපතී ගෝතමී මහෝපාසිකාවෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ

“සාධු භන්තෙ ලභෙය්‍ය මාතුගාමෝ
තථාගතප්ප වේදිතෙ ධම්මවිනයේ
අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති”

“තථාගතයන් වහන්සේ දැන වදාළ දහම් විනය ඇති සස්නෙහි මාගම (ස්ත්‍රියක්) ද ගිහිගෙයින් නික්ම පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි”

බුදුරජාණන් වහන්සේට පැවසූහ. බුදුරජාණන් වහන්සේ වදාළේ

‘අලං ගෝතමී මා තෙර රුච්චි මාතුගාමස්ස තථාගතප්පවේදිතෙ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති”

“ගෝතමියනි, කම් නැත. තථාගතයන් දැන හෙළි කළ සස්නෙහි ගිහිගෙන් නික්ම මාගමක් (ස්ත්‍රියක්) පැවිදි වන ඔබට රිසි නොවේවා’යි” බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ සේක. මහා ප්‍රජාපතී ගෝතමී මහෝපාසිකාව මෙසේ දෙවන වරක්, තුන්වන වරක් පැවිදි කරවන ලෙස ආයාචනා කළත් ගිහිගෙයින් නික්ම පැවිදි වීමට කැමැති නොවේවා යි එතුමියට බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ ටික දිනක් කපිල වත්ථුවෙහි වැඩ සිට වේසාලිය නැතහොත් විසාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසන සේක. එකල්හි මහා ප්‍රජාපතී ගෝතමී උපාසිකාව කෙස් බහවා කසාවත් හැඳ බොහෝ ශාඛ්‍ය වනිතාවන් සමඟ බුදුරජාණන් වහන්සේ වෙත එළැඹියාය.

“අථ ඛො මහා ප්‍රජාපතී ගොතමී කෙසෙ ජෙද්‍රා පෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා සම්බහුල හි සාකියානි හි සිද්ධිං යෙන වෙසාලී තෙන පක්කාමි”

මේ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ මැදිහත්ව කාන්තාවන් සඳහා පැවිද්ද ඉල්ලා සිටියත් බුදුරජාණන් වහන්සේ එය ද අනුමත නොකළ සේක.

මෙසේ අනුමත නොකළේ ශාසනයේ චිර පැවැත්ම සඳහා හානි වන බැවින් ය. මේ සඳහා හේතූන් වූ කාරණා රාශියක් තුන් පිටකයෙන් ඉදිරිපත් කළ හැකි ය. කෙසේ වුවත් කාන්තාවක් වශයෙන් යම් තැනැත්තියකට මාර්ගඵල ලබා ගැනීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැත. භික්ෂුණී ශාසනය ආරම්භ වීමෙන් බුද්ධ ශාසනයේ චිර පැවැත්මට එය හානිදායක වන බැවින් ප්‍රතික්ෂේප කළ සේක. කෙසේ වුවත් මහා ප්‍රජාපතී ගෝතමීට අෂ්ට ගරුධර්ම පදනම් කොට මහණ උපසම්පදාව මේ අවස්ථාවේ දී ලැබුණ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

අෂ්ට ගරු ධර්ම නම්,

උපසම්පදාවෙන් වර්ෂ සියයක් ගත වුවද භික්ෂුණිය එදින උපසපන් වූ භික්ෂුවට අභිවාදනීය ගරු සැලකිලි කළ යුතු ය.

භික්ෂුණිය භික්ෂූන් නැති ආවාසයක වස් නොවැසිය යුතු ය.

අඩ මසක් පාසා භික්ෂුණිය භික්ෂුන්ගෙන් පෙහෙවස් විචාරීම කළ යුතු ය. අවවාද ඇසීමටත් එළඹිය යුතු ය.

වස් විසූ භික්ෂුණිය උභය සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතු ය.

ගරු ධර්මයකට එළැඹි භික්ෂුණිය උභය සංඝයා ඉදිරියෙහි පක්ෂයක් මානත පිරිය යුතු ය.

දෙවර්ෂයක් මනාව හික්මුණා වූ ශික්ෂමානවක විසින් උභය සංඝයා ඉදිරියෙහි උපසම්පදාව සෙවිය යුතු ය.

කිසිම අයුරකින් භික්ෂුණියක විසින් භික්ෂුවකට ආක්‍රොශ පරිභව නොකළ යුතු ය.

භික්ෂුණීන් භික්ෂුන්ට අවවාද නොකළ යුතු ය. භික්ෂුන් භික්ෂුණීන්ට අවවාද කළ යුතු ය.

අෂ්ට ගරු ධර්ම පදනම්කොට මහණ උපසම්පදාව ප්‍රජාපතී මහෝපාසිකාවට පමණක් සීමා විය. අනෙකුත් කාන්තාවන් සඳහා මහණ උපසම්පදාව ලැබුණේ ඤත්ති, චතුත්ථ කම්ම උපසම්පදා වෙනි. අෂ්ටවිධ උපසම්පදාවෙන් දූතේන උපසම්පදාව ලැබුවේ අඩ්ඩකාසී භික්ෂුණිය පමණි.

හුදෙක් ගිහි ව සිටිමින් නිවන් අවබෝධ කරගත හැකි වුවත් පැවිදි වීමේ මූලික පරමාර්ථය නම්, බුද්ධ ශාසනයේ පැවැත්මයි. එම නිසා භික්ෂුණී ශාසනයේ මූලික අරමුණ වශයෙන් ස්වාර්ථ සිද්ධිය සලස්වා ගැනීම බවට බොහෝ කරුණු තිබේ.

රජගහනුවර සුක්කා නම් මෙහෙණිය විශාල පිරිසක් සඳහා දේශනා කරන ලද ධර්මය ශ්‍රවණයකොට ප්‍රසාදයට පත් එක්තරා යක්ෂයකු එම තෙරණියගේ ධර්ම දේශනාවේ වැදගත්කම ජනයාට ප්‍රකාශ කළ අවස්ථාවක් පිළිබඳ යක්ඛ සංයුත්තයේ ඇතුළත්ය. සත් හැවිරිදි වියේ සෝවාන් ඵලයට පත්ව දහසය වියේ විවාහයට පත්වූ විශාඛා කුමාරිකාවගේ විශිෂ්ට ජීවන රටාව බෞද්ධ ලෝකයේ ප්‍රකටය. එතුමිය සෝවාන් වුවත් සැමියා සෝවාන් නොවී විවාහ ජීවිත ගතකරමින් ගිිහි ජීවිතය සාර්ථක කරගත් අයුරු විශාඛා චරිතය පුරාම දක්නට ලැබේ. ශාසනයේ දියුණුව සඳහාත් විවිධ කටයුතු සිදුකළ අතර භික්ෂු ප්‍රාතිමෝක්ෂයේ ඇති අනියත ශික්ෂා දෙක පැනවීමට හේතු වූයේත් එතුමියගේ ඉල්ලීම ය.

නගරසෝබනියක් ලෙස ජීවත් වූ සිරිමා නම් රූප සුන්දරිය බෞද්ධ උපාසිකාවක් බවට පත්කරන ලද්දේ උත්තරා නම් සිටු දේවියයි. මිසදිටු පවුල් බෞද්ධ කිරීම අනේපිඬු සිටුතුමාගේ දියණිය වූ චුල්ල සුභද්‍රා චරිතයෙන් ප්‍රකට වන කරුණක්.

අග තනතුරු දැරූ භික්ෂුණීන් වහන්සේ සිටි බව ප්‍රකටයි. මෙවැනි කරුණුවලින් සාමාජික පරිසරය සාර්ථක කරගැනීම සඳහා බුදු දහම උපයෝගී කරගත් ආකාරය පැහැදිලි කරුණකි. මෙහිදී අවධාරණයට ලක් කරන්නේ භික්ෂුණී ශාසනය ඇතිකිරීමට ප්‍රමාදය හුදෙක් ශාසනයේ බොහෝ කාලයක් පැවැත්මට එයින් සිදුවන හානිය පිළිබඳව කරුණු කිහිපයක් සඳහන් කිරීමටය. ප්‍රථම සංගායනාව පැවැත්වීමේ දී පවා භික්ෂුණීන් වහන්සේගේ සහභාගිත්වයක් සිදු නොවීය. ඊට හේතුවූ කාරණා ත්‍රිපිටකයේ සහ අටුවා ආදිය තුළ සඳහන් කරුණුූ ඉදිරිපත් කළ හැකි ය. කෙසේ වුවත් ලෝක ශාසන ව්‍යාප්තිය උදෙසා භික්ෂුණීන් වහන්සේ මඟින් සිදුවූ සේවාව අපරිමිතයි.