Print this Article


පංචසතිකා විනය සංගීතිය

පංචසතිකා විනය සංගීතිය

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව සඳහා එකුන් පන්සිය නමක් (499) මහරහතන් වහන්සේ එක්රැස් කළහ. ඉක්බිති උන්වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් තොරව සංගායනාව නොකළ හැකි බව දැන මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේට මෙසේ කීහ.

“මහතෙරුන් වහන්ස, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වීතරාගී නොවුණත් ඡන්දයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, භයින් අගතියට නොයති. උන්වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බොහෝ ධර්මය ද, විනය ද උගන්නා ලදහ. එබැවින් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද මීට තෝරා ගන්නා සේක්වා!” ඉක්බිති මහා කාශ්‍යප තෙරණුවෝ භික්ෂුන් වහන්සේගේ අනුමැතියෙන් ආනන්ද තෙරණුවන් ද සංගායනාවට තෝරා ගත්හ.

මෙසේ ආනන්ද හිමි තෝරා ගැනීමත් සමඟ ධර්ම සංගායනාවට භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් වූහ. එබැවින් මෙය පංචසතිකා විනය සංගීතිය නම් විය.

පසුව භික්ෂූන් වහන්සේගේ සාකච්ඡාවට බඳුන් වූයේ අපි කොතැනක දී ධර්ම විනය සංගායනා කරන්නෙමු ද? යන කරුණයි. ඒ අනුව මේ සඳහා තෝරා ගත්තේ බොහෝ සෙනසුන් ඇති, මහා ගොදුරු ගම් ඇති රජගහනුවර යි. අජාසත් මහරජුගේ පාලනය යටතේ පැවති හෙයින් එහි රාජකීය බලය හා ආරක්ෂාව ද නොඅඩුව තහවුරුව පැවතිණි. රාජකීය ආරක්ෂාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ එකල සිටි විවිධ මතධාරීන් අතර කිසියම් විසභාග අරමුණූ ඇත්තකු සංගායනාව මැදට පැමිණ, යම් බාධාවක් ඇති කිරීමට ඉඩ ඇති හෙයිනි.

රජගහනුවර මේ සඳහා තෝරා ගැනීමෙන් පසුව මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ, භික්ෂූන්ට මෙසේ දැන්වූහ.

“ඇවැත්නි, සංඝයා මාගේ බස් අසත්වා. ඉඳින් රජගහනුවර වස් වසමින් ධර්මය ද, විනය ද සංගායනා කිරීමට සංඝයා මෙම පන්සියයක් භික්ෂූන් සම්මත කර ගන්නේ ය. අනෙක් භික්ෂූන් රජගහනුවර වස් නොවිසිය යුතු ය. මේ ප්‍රඥප්තිය”යි.

මෙසේ තෙවරක් දැනුම්දීමෙන් පසු මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ “මෙය සංඝයාට රුචි වෙයි. එබැවින් නිහඬ ය. මෙය මෙසේ ක්‍රියාත්මක කරමි”යි තීරණය කළහ.

පසුව පන්සියයක් භික්ෂූන් වහන්සේ ධර්මය ද විනය ද, සංගායනා කිරීමට රජගහනුවරට වැඩම කොට ඇසළ මස අව පෑළවිය දා වස් එළඹියහ. එ සමයෙහි රජගහනුවර අටළොස් විහාරයක් විය. රජගහනුවරට වැඩම කළ භික්ෂුන් වහන්සේ මෙබඳු කතාබහක නිරත වූහ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාර ප්‍රතිසංස්කරණය වර්ණනා කරන ලදහ. එබැවින් අපි පළමු මාසය බිඳුණු, පැළුණු තැන් පිළිසකර කරවමු. මධ්‍යම මාසයෙහි රැස්ව ධර්මය ද, විනය ද සංගායනා කරවමු.

එසේ කතිකා කර ගත් තෙරුන් වහන්සේ දෙවැනි දින රජගෙදර පෙනී සිටියහ. අජාසත් රජු පැමිණ නමස්කාර කොට “ස්වාමීනි, කුමක් සඳහා වැඩම කළ සේක්දැ”යි, අසා තමා කළ යුතු කාර්යය කුමක්දැයි විමසී ය. අටළොස් මහා විහාර ප්‍රතිසංස්කරණය කිරීමට අත්කම් ඇවැසි බව තෙරුන් වහන්සේ දැන්වූහ. රජු අත්කම් කරන මිනිසුන් සොයා දුන්නේ ය.

පළමු මාසය තුළ සියලු විහාර ප්‍රතිසංස්කරණය කරවූ තෙරුන් වහන්සේලා “මහරජ විහාර ප්‍රතිසංස්කරණය අවසන් වී ය. දැන් ධර්මය ද, විනය ද සංගායනා කරන්නෙමු”යි කීහ. එවිට රජු

“ස්වාමීනි, විශ්වාස කරනු මැනවි. මාගේ ආඥා චක්‍රයයි. ඔබ වහන්සේලාගේ ධර්ම චක්‍රය යි. ස්වාමීනි, තවදුරටත් කුමක් කළ යුතු දැයි, කියනු මැනවි”

එවිට තෙරුන් වහන්සේ වදාළේ ධර්ම සංගායනාව කරන භික්ෂූන් වහන්සේට සිවු ඉරියව්වෙන් පහසුවෙන් කල් ගෙවීම සඳහා ආවාස පහසුකම් සැලසිය යුතු බව යි. එයට ද ඉතා මැනවින් ප්‍රතිචාර දැක්වූ රජු, රජගහනුවර වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණි ගුහාද්වාරයෙහි විශ්වකර්මයා විසින් නිමවන ලද්දක් වැනි වූ මණ්ඩපයක් කරවීය. එය රාජභවනක ශ්‍රී විභූතිය යටපත් කරන්නා වූ දෙව් විමනකට අපහාස කරන්නාක් වැනි වූ සිරියෙන් යුත් ශ්‍රී නිකේතනයක් හා සමාන සියල්ල එක්රැස් කළ මණ්ඩපයක් විය.

එම මහා මණ්ඩපයෙහි පන්සියයක් මහරහතන් වහන්සේලාට කැප සරුප් අනගි ආසන පන්සියයක් කරවා උතුරු දෙසට මුහුණ ලා දකුණු දෙස ථෙරාසනය පැනවීය. මණ්ඩප මධ්‍යයෙහි පෙරදිගට මුහුණලා තිබෙන ලෙස, බුදුරජාණන් වහන්සේට ගැළපෙන අසුනක් ලෙස ධර්මාසනය පනවා ඇත්දළමුවා විජිනිපත ඒ මත තැබූ අජාසත් මහරජු “ස්වාමීනි, මාගේ කාර්යභාරය අවසන් ය” යි, තෙරුන් වහන්සේට සැළ කර සිටියේ ය.

මේ අතර ආනන්ද තෙරණුූවෝ මෙසේ කල්පනා කළහ. “හෙට සංගායනාව ය. මම රහත් නොවූයේ සංගායනාවට යන්නෙමි නම් එය මට නිසි නොවෙයි” මෙම කරුණ සලකා බැලූ ආනන්ද තෙරණුවෝ රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතිය හෙවත් කය පිළිබඳ වූ සිහියෙන් කාලය ගත කළහ. රාත්‍රිය පහන් වන වේලාවෙහි සැතපෙමි'යි, සිතා ශරීරය හැර වූහ. පාදයෝ පොළොවෙන් මිදුණ හ. හිස ද කොට්ටයට නොපැමිණියේ ය. මේ අතරෙහි සිත උපාදාන නොකොට ආශ්‍රවයන්ගෙන් මිදුණේ ය. ඉන් පසුව සතර ඉරියව්වෙන් තොරව ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වූවාහු ම සංගායනාවට වැඩම කළ සේක.

ඉක්බිති ආනන්ද තෙරුන් දුටු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙසේ කල්පනා කළහ. රහත් බවට පත් ආනන්ද තෙරණුවෝ බබළන්නාහ. ඉඳින්, ශාස්තෘන් වහන්සේ වැඩ සිටි සේක් නම් ඒකාන්තයෙන් අද ආනන්ද තෙරුන් ගැන ප්‍රසාදය පළ කරන සේක. එසේ සිතා දැන් මම ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් සාධු නාද දෙමි යි, තෙවරක් සාධු නාද දුන්හ.