පුද්ගල පාරිශුද්ධියට අනුපූර්ව ප්‍රතිපදාව
අග්ගමහා පණ්ඩිත,
මහාචාර්ය
අත්තංගනේ රතනපාල නාහිමි
බුදුරදුන් විශාඛා උපාසිකාව විසින් කරවන ලද මිගාර මාතු ප්‍රාසාදයෙහි වැඩ වසන සමයෙහි
ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයා පැමිණ බුදුරදුන්ගෙන්, උන්වහන්සේ පුද්ගල
පාරිශුද්ධියට හේතුවන බුදුරදුන් පනවන අනුපූර්ව ප්‍රතිපදාව කවරේදැයි විමසීය.
එයට පිළිතුරු වශයෙන් බුදුරදුන් දෙසූ අනුපූර්ව ප්‍රතිපදාව තුළ පුද්ගල ආධ්‍යාත්ම
ශික්ෂණය පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන අයුරු ඉතා මැනවින් දක්වා ඇත. කිසියම්
පුද්ගලයෙක්, සමාජයක් ශික්‍ෂණයට පත් කිරීමේ දී අනුගමනය කළ යුතු ප්‍රතිපදාවේ
මූලිකාංගය හෙවත් පදනම සීලය යි. සෑම ක්‍රියාවක ම, සිද්ධියක ම ආරම්භය - මධ්‍යය -
අවසානය යනුවෙන් ක්‍රමික වැඩ පිළිවෙලක් ඇත. ශාසන ප්‍රතිපදාව ද එසේ ම ය. එහි ආරම්භය
සීලය යි. අශ්වයන් දමනය කරන, හික්මවන පුද්ගලයා විසින් පළමුකොට කරනු ලබන්නේ කට
කලියාව, මුඛාවරණය දැමීම යි. අනෙක් පියවර අනුගමනය කරන්නේ ඉන්පසුව යි. තමන් වහන්සේ
වෙතට පුද්ගලයකු දමනය කළ යුතු, ශික්ෂණයට පත්කළ යුතු අයකු පැමිණිවිට තමන් වහන්සේ ද
එබඳු අනුපූර්ව ප්‍රතිපදාවක් අනුගමනය කරන බව බුදුහු පවසති.
“එවමෙව ඛො බ්‍රාහ්මණ
තථාගතො පුරිසදමමං ලභිත්‍වා
පඨමං එවං විනෙති.
එහි ත්‍වං භික්‍ඛු සීලවා හොහි”
“මහණ ඔබ ශීලයෙහි පිහිටන්න. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුතු ව ආචාර ගෝචර සම්පන්න ව
අනුමාත්‍ර වරදෙහි පවා බිය දක්නා සුළුව වාසය කරන්න.” එය බුදුරදුන්ගේ ශික්‍ෂණ
ප්‍රතිපදාවේ පළමු පියවර යි. එසේ ශීලයෙහි පිහිටි තැනැත්තා, මූලික ශික්‍ෂණය ලද
තැනැත්තා, ඉන්පසු ඉදිරි ශික්‍ෂණ ප්‍රතිපදාවෙහි පිහිටුවයි. සමාදන් කරවයි.
“එහි ත්‍වං භික්‍ඛු,
ඉන්ද්‍රියේසු ගුත්තද්වාරො හොති”
මහණ, ඔබ ඉන්ද්‍රියන්හි වැසූ දොරටු ඇති ව වාසය කරන්න. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත
වන්න. ඇසින් රූප දැක සිහිය උපදවා කටයුතු කරන්න. මුළා නොවන්න. කනින් ශබ්ද අසා,
නාසයෙන් ආඝ්‍රාණය කොට, දිවින් රසවිඳ, කයින් ස්පර්ශ කොට, සිතින් අරමුණු ගෙන මුළා
නොවන්න. සිහිය පිහිටුවා කටයුතු කරන්න. යම් අරමුණක් ඔස්සේ මනින්ද්‍රිය, සිත මෙහෙයවන
කල්හි අරමුණෙහි මුළා වුවහොත් අභිධ්‍යා - දෝමනස්සාදි පාපක අකුසල ධර්‍මයන්ට ගොදුරු
විය හැකි ය. එහෙයින් සිතෙහි සංවර භාවය ඇති කර ගන්න. සිත ආරක්‍ෂා කර ගන්න. (රක්‍ඛාහි
මනින්ද්‍රියං, මනින්ද්‍රියෙ සංවරං ආපජජාහි) එසේ ඉන්ද්‍රිය සංවරයෙහි පිහිටි
ශ්‍රාවකයා “තමෙනං තථාගතො උත්තරිං විනති” බුදුරදුන් විසින් ඊළඟ පියවරෙහි පිහිටුවයි.
හික්මවයි. “එහි ත්‍වං භික්‍ඛු භොජනෙ මත්තඤ්ඤු හොති” මහණ ආහාරයෙහි පමණ දනුව, නුවණින්
ප්‍රත්‍යවේක්‍ෂා කොට ම ආහාර වැළඳීය යුතු ය. ක්‍රීඩා පිණිස නොව මදය පිණිස නොව,
ශරීරාලංකාරය පිණිස නොව, ශරීරය පුෂ්ටිමත් කර ගනු පිණිස නොව හුදෙක් මේ ශරීරයේ පැවැත්ම
පිණිස, පීඩාවට පත් නොවීම පිණිස, බ්‍රහ්ම චර්‍යයට අනුග්‍රහ පිණිස ම ආහාර වළඳමි. ආදී
වශයෙන් නිවැරැදි බව පිණිස ද ඵාසු විහරණය පිණිස ද, දන් වළඳන්නෙමැ'යි සතිමත් ව,
මුළාවකින් තොරව ආහාර වැළඳීය යුතු ය.
අනතුරුව “එහි ත්‍වංභික්‍ඛු ජාගරියං අනුයුතෙතා විහරාහි” ඊළඟ පියවර ලෙස බුදුරදුන්
භික්‍ෂුව සමාදන් කරවන්නේ, නිදි වැරීමෙහි ය. මහණ නිදිවැරීමෙහි අනුයුක්තව වාසය කරව.
දවල් කල සක්මනෙහි යෙදෙමින් සිත් වසා තිබෙන නීවරණයන්ගෙන් සිත පිරිසුදු කරව. රාත්‍රී
කාලයෙහි පෙරයම සක්මනෙහි යෙදෙමින් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරව. රෑ කල
මැදියමෙහි සිහි නුවණින් යුතු ව උට්ඨාන සඤ්ඤාවෙන්, සිංහ සෙය්‍යාවෙන් සැතපිය යුතු ය.
රෑ කල පශ්චාත් යාමයෙහි නැඟී සිට, සක්මනෙහි යෙදෙමින් සිත් අවුරන නීවරණයන්ගෙන් සිත
පිරිසුදු කිරීමෙහි යෙදෙව. නිදිවැරීමෙහි යෙදෙන විට තමන් විසින් සිදුකරන සියලු කටයුතු
සිහි නුවණින් කළයුතු බව ද දක්වයි.
“එහි ත්‍වං භික්‍ඛු සති සම්පජඤෙඤන සමන්නාගතො හොහි.” හැම කටයුත්තක් ම ‘උච්චාරපස්සාව
කමෙච’ වැසිකිළි, කැසිකිළි කාර්යයන් පවා එළඹ සිටි සිහියෙන් ම කළ යුතු බව දක්වයි. එසේ
සති සම්පජඤ්ඤයෙන් යුත් භික්‍ෂුවට බුදුහු ඉදිරි පියවර මෙසේ දක්වති.
“එහි ත්‍වං භික්‍ඛු විවිත්තං සෙනාසනං භජ” මහණ, ජන ශූන්‍ය සෙනසුන් භජනය කරව, අරණ්‍ය,
වෘක්‍ෂ මූල, පර්‍වත, කැලෑ රොදවල්, ගිරි ගුහා, සුසාන භූමි, ආදී නිදහස් ස්ථාන ඇසුරු
කොට බවුන් වඩව.
පිණ්ඩපාතයෙන් - දන් වැළඳීමෙන් පසු පළක් බැඳ, උඩුකය කෙළින් තබා කර්‍මස්ථාන අභිමුඛ
කොට සිහිය පිහිටුවා හිඳුනේ ය. හෙතෙම පඤ්චස්කන්ධ ලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට,
අභිධ්‍යා දුරු වූ සිතින් වාසය කරයි. අභිධ්‍යාවෙන් සිත පිරිසුදු කරයි. ව්‍යාපාදය
හැරපියා, අව්‍යාපාදී සිතින් සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි.
ද්වේෂයෙන් සිත පිරිසුදු කරයි. ථීන මිද්ධ සංඛ්‍යාත කුසීතාදීන් දුරු කොට, උට්ඨාන
වීර්යයෙන් යුක්ත ව ආලෝක සංඥා ඇති ව, සතිමත් ව නුවණින් දකිමින් වාසය කරයි. ථීන
මිද්ධයෙන් සිත පිරිසුදු කරයි. උද්ධච්චය හා කුක්කුච්චය හැරපියා, ආධ්‍යාත්මයෙහි
උපශාන්ත සිත් ඇති ව වාසය කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසුදු කෙරෙයි.
විචිකිච්ඡාව හැරපියා කුසල් දහම්හි සැක, සංකා රහිත ව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත
පිරිසුදු කරයි.
බුදුරදුන්ගෙන් අනුපූර්ව ප්‍රතිපදාව ගැන අනුශාසනා ලබන එම භික්ෂුව, සිත කිළිටි කරන,
ප්‍රඥාව දුර්වල කරන මේ පඤ්ච නීවරණයන් හැරපියා, කාමයෙන් වෙන්ව මැ, අකුසල
ධර්‍මයන්ගෙන් වෙන්ව මැ ප්‍රථම ධ්‍යාන, දුතිය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන
ආදියට පිළිවෙලින් පැමිණේ. ඒ
මහණ අර්හත්වය අපේක්‍ෂාවෙන් වාසය කරයි. ඔවුන් කෙරෙහි මාගේ මෙබඳු අනුශාසනා වෙයි.
අර්හත් වූ, ක්‍ෂීණාශ්‍රව වූ, බහා තැබූ කෙලෙස් බර ඇති, ලැබූ ස්වාර්ථ ඇති, කෙලෙසුන්
කෙරෙන් මිදුණු, සිඳ දැමූ භව සංයෝජන ඇති, යම් මහණෙක් වෙත් ද ඔවුනට මේ දහම් මඟ, මෙලොව
සැප විහරණය පිණිසත්, සති සම්පජඤ්ඤය පිණිසත් පවතී යනුවෙනි.
භාග්‍යවතුන් වහන්සේ දක්වන මේ අනුපූර්ව ශාසන ප්‍රතිපදාව අනුගමනය කරන සියල්ලෝ ම නිවන
කරා පැමිණෙත් ද? නැතහොත් කොටසක් පැමිණෙත් ද? කොටසක් නොපැමිණෙත් දැයි ගණක මොග්ගල්ලාන
බ්‍රාහ්මණයා විමසීය.
බමුණ මගේ අනුශාසනා ලබන ඇතැමෙක් නිවනට පැමිණෙති, ඇතැමෙක් නොපැමිණෙති.
ස්වාමිනී, එයට හේතු කාරණා කවරේද? බමුණා ඇසීය. බමුණ, ඔබගෙන් ම විමසමි.ඔබ, රජගහනුවරට
යාමට මඟ කියන්නට දන්නේ දැයි බුදුරදුන් විමසීය. දනිමි, ස්වාමිනි, යි බමුණ පිළිතුරු
දුනි.
පුරුෂයෙක් රජගහ නුවරට යනු කැමැති ව ඔබ කරා පැමිණ මඟ විමසන කල ඔබ දන්නා පරිදි මඟ තොට
පැහැදිලි ව මඟ සලකුණු සහිත ව කියා දුන්න ද, ඔහු පාර වරදවා ගෙන වෙනතක යයි. තවත් අයකු
පැමිණේ. ඔහුට ද ඒ මඟ ම කියයි, ඔහු පාර වරද්දා නොගෙන කී මඟ සලකුණු අනුව ම ගොස් සුව
සේ රජගහ නුවරට පැමිණේ.
එසේ එකම ලෙස කියන ලද මඟ දෙදෙනෙකු දෙපරිදි ගොස් එකෙකු සාර්ථක වන්නේත්, එකෙකු අසාර්ථක
වන්නේත් ඊට හේතු ප්‍රත්‍ය කවරේදැයි ඇසීය.
ගෞතමයන් වහන්ස, මම මඟ කියන්නෙමි. යාම හෝ නොයාම කරන්නේ ඔහු විසිනි'යි බමුණා කී ය.
බුදුහු ද එසේම පිළිතුරු දුන්හ. මඟෙහි හෝ මඟ කීම පිළිබඳ වරදක් නොවේ. නිවන පිළිබඳව ද
එසේ ම ය. කෙනෙක් නිසි පරිදි කියන මඟ පිළිපැද එතෙරට යති. කෙනෙක් මඟ වරදවා ගෙන පරතෙරට
නොයති. ඒ යන්නන්ගේ දෝෂය මිස මඟෙහි හෝ කීමෙහි හෝ දෝෂය නොවේ යැයි වදාළහ. ඒ අනුව බුද්ධ
දේශිත අනුපූර්ව ප්‍රතිපදාව නිවැරැදිව අනුගමනය කරන්නාට යහපත - සැනසීම උදා කරන බව
පැහැදිලි ය.
(ගණක මොග්ගල්ලාන සූත්‍රය ඇසුරෙනි) |