අනූ තුන්වැනි විය සපුරන
මණ්ඩාවල ධම්මාරාම නා හිමියෝ
කෑගල්ල දිසාවේ ප්‍රධාන සංඝනායක
දෙමළගිරියේ අනෝමදස්සි නා හිමි
කන්ද උඩරට රාජධානි සමයේ ඓතිහාසික පුරාවෘත්ත රාශියක පසුබිම සනිටුහන් කළ කෑගලු දිසාවේ
ගල්බඩ කෝරළේ කැප්පෙටිපොල ශ්‍රී අභයරාජ මහා විහාර වංශයේ අනුස්මරණීය ශාසනික මෙහෙවරක
පුරෝගාමී වූ මණ්ඩාවල ශ්‍රී ධම්මාරාම හිමියන්ට දිගාසිරි පතා වාර්ෂික ව සිදු කෙරෙන
මහා සාංඝික දානමය පින්කමෙන් අවසන් වන සත් දින සද්ධර්ම මංගල්‍යය මේ මස 03 වැනි දා
ආරම්භ කිරීමට තත් විහාරාධිකාරී වේඬරුවේ ධම්මික හිමියන්ගේ අනුශාසකත්වයෙන් කටයුතු කර
තිබුණි.
පොතුහැරට නුදුරු මණ්ඩාවල නම් ග්‍රාම වරයේ මුදියන්සේ නිලමේ සහ පුංචි මහත්තයා යන පිය
මව් දෙපළට දාව වර්ෂ 1933 අගෝස්තු හත්වැනි දින ජනිත තිලක සිරිල් කුමරු ළමා විය
ගෙවද්දී ම උඩුමහනේ සාරානන්ද හිමියන්ගේ සහ මේධංකර මාහිමියන්ගේ ආචාර්ය
උපාධ්‍යායත්වයෙන් මණ්ඩාවල ධම්මාරාම නමින් පැවිදි බිමට පත් විය.
හැරමිටිගල සාරානන්ද මහ පිරිවෙනෙහි සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනෙහි දම් සතර
හැදැරූ ධම්මාරාම පොඩි හාමුදුරුවෝ 1955 වසරේ අස්ගිරි මහා විහාර පරිශ්‍රයේ දී අධිශීල
උපසම්පදාවට පත් වූහ. මීපිටියේ මේධංකර මාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව උඩුමහනේ ශ්‍රී
අනුරුද්ධාරාමය හා කැප්පෙටිපොල ශ්‍රී අභයරාජ මහා විහාරයේ අධිපති ධූරය භාර ගත්
ධම්මාරාම හිමියෝ එතැන් පටන් ශාසනික මෙහෙවරට මුල පිරූහ.
කැප්පෙටිපොල පින් බිමේ ඓතිහාසික අගය තහවුරු කෙරෙන එහෙත් නටබුන් බවට පත් වෙමින්
තිබෙන ටැම්පිට විහාර මන්දිරය පුරාවිදු නීති රෙගුලාසිවලින් ආවරණය කර ඇති බැවින් ඒ මඟ
අතැර වලව්ව පැවති භූමියේ ම සියලු විහාරාංගයන්ගෙන් ම සමන්විත පුද බිමක් නිර්මාණය
කරන්නට අදිටන් කළ නා හිමියෝ පළමුව සිය පුදබිමට අයත් කෙත්වතු ආදායම් ලබන ගොවිබිම්
බවට පත්කොට එම ධනය වැය කරමින් ප්‍රදේශවාසී දානපතීන්ගේ ද සහයෝගයෙන් නව විහාර
මන්දිරය, සංඝාවාස ගොඩනැඟිල්ල, චෛත්‍ය රාජයාණන් වහන්සේ, ශ්‍රී මහා බෝධි රන්වැට, හිටි
පිළිම වහන්සේ, අටවිසි බෝධි රෝපිත සම්බුද්ධ ප්‍රතිමා මණ්ඩප, අසූ මහා ශ්‍රාවක
ප්‍රතිමා පෙරහර, මිහින්තල පර්වත අනුරුව, මකර තොරණ ප්‍රවේශය, දෙමහල් ධර්ම ශාලාව,
සිව් මහ දෙවොල් මැදුර ඇතුළු රමණීය පුද බිමක් ශාසනයට දායාද කර දී විවේකී ව සතිමත් ව
වැඩ වාසය කරති. මෙත් සිතින් අනුතුන්වැනි විය සපුරන මණ්ඩාවල ශ්‍රී ධම්මාරාම හිමිට
නිදුක් නිරෝගී දීඝායු සම්පත්තිය ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු. |