Print this Article


පුර පෑළවිය සඳ - 22 කොටස

පුර පෑළවිය සඳ - 22 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

සතර පෝයට බණ මඩුව පුරා මෛත්‍රිය, කරුණාව, අසරණ සරණ ගුණය පිළිබඳව හැම මුවක ම කතා ය. සෑම මසකම දායක සභාවේ දී දායක දායිකාවන්ගේ කට පුරා බෞද්ධකම පිළිබඳ ව පුරසාරම් ය. ඒවා එසේ වුව ද බෞද්ධකමෙහි අර්ථය, මෛත්‍රියෙහි, කරුණාවෙහි, අසරණ සරණ ගුණයෙහි අර්ථය ප්‍රායෝගික කොට දක්වන්නට බොහෝ දෙනකු අසමත් ය.

සිරිමල් උපාසකගේ ඉනෙහි අස්ථියක් වැටීමෙන් පිපිරී හෝ බිඳී තිබේ. රෝහලෙන් පැවසූයේ ඒ සඳහා මුදල් වියදම් කොට ශල්‍යකර්මයක් කළ යුතු බව ය. මෙම බිඳීම නිසා සිරිමල් උපාසකට තනිව ම නැඟිට ගන්නට හෝ ඇවිද යන්නට හැකියාවක් තවමත් නොමැත. බොහෝ විට වැතිර සිටින තැන ම මළ පහවීමත්, මුත්‍රා වැගිරීමත් දැක ගත හැකි ය. අපි ‘බණ්ඩාරලා ය’ ‘නිලමෙලා ය’ කියමින් එක්ව අකුසල් රැස් කළ අය, කුමන්ත්‍රණ කළ අය සිරිමල් බලන්නටවත් පැමිණියේ නම් නැත.

බොහෝ විට මළපහ ඉවත් කෙරුණේත්, මුත්‍රා වැගිරි සරම් කඩමාලු සෝදා දැමුණේත් දමිත සාමණේරයන් අතිනි. උන්වහන්සේ ඒ කිසිවක් කෙරෙහි පිළිකුල් සහගත බවක් දක්වනු නොපෙනිණි. නන්ද හාමුදුරුවෝත්, ලොකු හාමුදුරුවෝත් දමිත සාමණේරයන් දෙස බලා බොහෝ විට ඒවාට ටිකෙන් ටික හුරුපුරුදු වන්නට වූහ. යහපත් හුරුපුරුදු ඉගෙනීමට සමහර විටෙක කුඩා අයගෙන් ද අපට හැකියාව අවස්ථාව තිබේ.

ලොකු හාමුදුරුවන්ගේ පළමු ගෝලයා වූ ධම්මාලංකාර හිමියන් , ලොකු හාමුදුරුවන්ටත් වඩා වයසින් වැඩිහිටි වුවත් වයසට සැසඳෙන ගතිගුණවලින් සමන්විත නොවිණි.

මිනිසකු වයසින් වැඩෙද්දී ජීවිතය පිළිබඳ ව, ලෝක යථාර්ථය පිළිබඳ ව වැටහීමක් ලබා ගුණ නුවණින් වැඩිය යුතු වුවත්, සෑම වැඩිහිටියකු තුළ ම එවන් ගුණයක් දැක ගත නොහැකි ය.

“ මෝඩයෝත් වයසට යනවා” යැයි පැරැන්නන් පවසා ඇත්තේ ඒ නිසා වන්නට ඇත.

සිරිමල් උපාසක ව දූ දරුවන්ට භාර නොදෙන්නේ යැයි විටින් විට ධම්මාලංකාර හිමියනුත්, දායකයනුත් මැසිවිලි නඟන්නට පටන්ගෙන තිබේ.

“ ඔහෙලවත් කියනවාලකො.., අපේ ලොකු හාමුදුරුවොත් අහක යන ඕන කුණු ගොඩක් බාර ගන්නවා. ඊට එහා අර නන්ද උන්නාන්සේ ...

නහයක් ඇරන් දානෙ ටිකක් ගන්න ඇහැක් ද මේ වහන්තරාවක් එක්ක.”

ධම්මාලංකාර හිමියන් දායකයින් සමඟ පැවසූයේ එසේ ය. කවුරු මොනවා කීවත් නන්ද හිමියන් ලොකු හාමුදුරුවන් සමඟ සිටින්නේ එකම ස්ථාවරයක ය.

“ දමිතටත් පුළුවන් නම් තමන්ට හතුරුකම් කරපු මිනිහට තමන්ගෙ කෙනෙක්ට වගේ සලකන්න, අපිට බැරිද අපිට උපස්ථාන කරපු මනුස්සයට රෝගියෙක් ය කියල හිතලවත් උපස්ථාන කරන්න. හාමුදුරුවනේ අපි අනුන්ට බණ කියලා විතරක් බෑ. ඒ බුදුබණ අපිත් ප්‍රායෝගික කරන්න ඕනේ...” නන්ද හිමියන් නිතර ම කීවේ එලෙස ය.

සමරපාල වෙද මහතා පන්සලට පැමිණියේ උදෑසන දානය වළඳා අවසන් වන විටම ය. ආවාසය ඉදිරියේ ම සිටියේ ධම්මාලංකාර හිමියන් ය. විටක් හපාගෙන, කොණ්ඩයත් වවාගෙන පැමිණි අමුතු මනුස්සයා දෙස ධම්මාලංකාර හිමියන් බැලුවේ නොසැලකිල්ලෙනි.

වෙද මහත්තයා ධම්මාලංකාර හිමියන් ඉදිරියේ පසඟ පිහිටුවා වැන්දේ ය. අවම වශයෙන් ‘සුවපත් වේවා !’ යැයි ආශිර්වාදයක් හෝ නොකළ ධම්මාලංකාර හිමියන් කතා කළේ ඕනෑවට එපාවට මෙනි.

“ හ්ම්...කවුද තමුන්... මොකක්ද උවමනාව..? “

“ අවසර අපේ හාමුදුරුවනේ, වෙදකම් කරන්න ලෙඩෙක් ඉන්නවා ය කියලා යසෝහාමි උන්දා පණිවිඩයක් ඇවිත් කීවා. ඒකයි මේ මං තකහනියක් ම ආවේ...

කෝ අපේ හාමුදුරුවනේ ලෙඩා...? “

ධම්මාලංකාර හිමියන් කට ඇරියේ ‘ඇයි ලෙඩා හොයන්නෙ, තමුසෙ දොස්තරද ? ‘ කියා අසන්නට ය.

වචන ටික පිට කරන්නට බැරි වූයේ නන්ද හිමියන් එතැනට පැමිණ වෙද මහතා පිළිගත් නිසා ය.

සිරිමල් පරීක්ෂා කර බැලූ වෙද මහතා පැවසූයේ තුනටියේ පිපිරී ම තමන්ට හොඳකර දිය හැකි බව ය. ලෙඩාගේ වයසේ හැටියට ඒ සඳහා සතියකට වඩා ගතවිය හැකි බව වෙද මහතාගේ අදහසයි.

“ අවසර අපේ හාමුදුරුවනේ, කළමනා දෙකක් මෙහෙන් හොයලා තියන්ට පුළුවන් නම් ඉතිරි කළමනාත් අරගෙන මං ගොහින් ඉක්මනින් එන්නම්.”

නන්ද හිමියන් ඊට එකඟ විය. වෙද මහත්තයා නික්ම ගියේ අනෙකුත් අඩුම කුඩුම රැගෙන පැමිණීමට ය.