Print this Article


ශ්‍රාවකයා සමාදන් වූ සීලය අමා මහ නිවනට ඔසවා තබනවා

ශ්‍රාවකයා සමාදන් වූ සීලය අමා මහ නිවනට ඔසවා තබනවා

- පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවාසී සෙවනගල උදිතානන්ද හිමි

පින්වත් ස්වාමීන් වහන්ස, අප දිනපතා පන්සිල් සහ පෝ දින අටසිල් සමාදන් වෙනවා. තථාගත බුද්ධ ශාසනයේ සීලය යනුවෙන් හඳුන්වා දී ඇත්තේ කුමක් ද?

බුද්ධ ශාසනය තුළ සීලය හඳුන්වා දී ඇත්තේ සිත පිරිසුදු කර ගැනීම පිණිස යි. කය, වචනය අසංවර වීම තුළින් කෙනකුගේ මනස, සිත තුළ ආශ්‍රව (කෙලෙස්) පෝෂණය වෙනවා. ඒ ආශ්‍රව ඇතැම්විට සතර අපායට ගෙනයන ආශ්‍රව විය හැකියි. කෙනෙක් සතුන් මරද්දී සතුන් මැරීම තුළ ආශ්‍රවයන් ගොඩනැඟෙනවා. සොරකම් කිරීම වැරැදිකාම සේවනය කිරීම බොරුකීම , කේලාම්කීම , හිස්වචන, පරුෂවචන කීම තුළ ගොඩනැඟෙන ආශ්‍රව අප ව සතර අපායට ඇදගෙන යනවා. සිල්පද ආරක්ෂා කරද්දී ඒ ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. කාලයක් සිල් පුරන විට ඒ දුස්සීල ආශ්‍රව බැහැරව සිතේ යම් පිරිසුදු බවක් ගොඩනැඟෙනවා. ඒ පිරිසුදු පවිත්‍ර සිතට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසෙද්දී ඒ ධර්මය කෙරෙහි ඔහුට ඍජුබවක් දිට්ඨි විශුද්ධියක් උපදවා ගැනීමට සීලය උපකාරී වෙනවා.

දැන හෝ නො දැන හෝ සිල්පද කඩවීම තුළින් සිදුවන අයහපත කුමක් ද?

භාග්‍යවතුන් වහන්සේ වදාළා සතුන් මරන කෙනා භය, වෛරය, දුක ලෝකයට දන් දෙනවා කියා. භය, වෛරය, දුක දන් දෙන කෙනා සසරේ දී භය, වෛරය සහ දුකේ හිමිකරුවෙක් බවට පත්වෙනවා. මේ ජීවිතයේ දී පංච දුෂ්චරිතයේ යෙදෙන පුද්ගලයා සසරේ දී භය කියන විපාකයෙන් ඔහුගේ සිත වෙළා ගන්නවා. වෛරය කියන දේ ඔහුට මුණ ගැසෙනවා. කෙනෙක් සිල්පද පහ රකිනවා නම් ඒ සිතේ භය, වෛරය, දුක සංසිඳීමට එය උපකාරි වෙනවා. මෙසේ ඇතිවන චිත්ත පාරිශුද්ධිය මත කෙනකුගේ සිල් ආරක්ෂා වෙනවා.

බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවල සීලයේ ආනිශංස ශ්‍රාවකයාට වදාළා. සිල් රකින කෙනාගේ මරණාසන්න මොහොත පවා යහපත්. ඔහුගේ සිහිය විකල්භාවයට පත්වන්නේ නැහැ. සිහිය දුර්වල නොවීම පිණිස සීලය උපකාරි වෙනවා. දුස්සීල බව සිහිය දුර්වල කරනවා. සිහිය දුර්වල වෙන ආකාරයේ යම් ආශ්‍රවයක් දුස්සීල සිතක ඇතිවෙලා තිබෙනවා නම්, නැවත සීලයේ පිහිටන විට ඒ අසිහිය පිණිස හේතුවන ආශ්‍රව සිතින් බැහැර වෙනවා. සීලය දිගින් දිගට ආරක්ෂා කරද්දී සිහිය බලවත් වෙනවා. සිහිය බලවත්වීම තුළ ධර්මාවබෝධය පිණිස ඉඩකඩ සැකසෙනවා. එනිසයි තථාගතයන් වහන්සේ අනුදැන වදාළේ පසළොස්වක පෝ දිනට පූර්ණ උපෝසථය සමාදන්වීමට.

ස්වාමීන් වහන්ස, පූර්ණ උපෝසථය කියන්නේ කුමක් ද?

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයේ වැඩ සිටිද්දී විශාඛා උපාසිකාව තථාගතයන් වහන්සේ මුණ ගැසෙන්නට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ විශාඛාවට වදාළා.

“විශාඛාවෙනි, අංග අටකින් යුතු උපෝසථ සීලය සමාදන්වීම මහත්ඵල යි. මහානිශංස යි. සීලය තුළින් මහත් බැබළීමක්, මහා පැතිරීමක් ගෙන දෙනවා.

විශාඛාවනි, පුන් පෝ දිනට උපෝසථ සීලය ආරක්ෂා කරන ආර්ය ශ්‍රාවකයා රහතන් වහන්සේ අනුගමනය කරනවා. රහතන් වහන්සේ දිවි හිමියෙන් සතුන් මැරීම අතහැරියා. දිවිහිමියෙන් සොරකම, මෛථුන සේවනය, අතහැරියා. බ්‍රහ්මචාරි යි. ඒ වගේම රහතන් වහන්සේ දිවිහිමියෙන් බොරුකීමෙන්, මත්වතුර, මත්ද්‍රව්‍ය පරිහරණයෙන් ඈත් වුණා. ඊළඟට රහතන් වහන්සේ දිවිහිමියෙන් විකාල භෝජනය අතහැරියා.” විකාල භෝජනය කියන්නේ සම්මුතියෙන් දවල් 12ට පසුව යි. විනය පිඨකයේ විකාලය තුළ වළඳන්නට පුළුවන් පානයන් ලෙස තේ,කෝපි, කෂාය, කොත්තමල්ලි හෝ පලතුරු යුෂ ගැන සඳහන් වෙනවා.

එලෙස ම රහතන් වහන්සේ දිවිහිමියෙන් නැටුම්, ගැයුම්, විසූක දර්ශන, මල් ගඳසුවඳ, විලවුන් පරිහරණයෙන් වැළකුණා. අද මේ ලෝකයේ බෙහෝ දෙනා රාත්‍රි නින්දට යන තෙක් විශේෂ කටයුත්තක් නැතිනම් ඒ වටිනා කාලය යොමු කරන්නේ සමාජ මාධ්‍යයේ හෝ රූපවාහිනියේ යන නැටුම්, ගැයුම්, වැයුම්, විසූක දර්ශන නැරඹීමට යි. එසේ විසූක හෝ දර්ශන නැරඹීමට නොහැකි වුවොත් කෙ තරම් මානසික වෙහෙසක් ඇතිවෙනවා ද?

ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා රහතන් වහන්සේ දිවිහිමියෙන් දිවි ඇතිතෙක් සුඛෝපභෝගී ආසන අතහැරි බව. උපෝසථය සමාදන් වූ ශ්‍රාවකයා සාමාන්‍ය පැදුරක, ඇතිරිල්ලක හෝ ඇඳක එදා දවස ගත කරනවා. උදාර සිල්පද ආරක්ෂා කරද්දී බන්ධනවලින් අප නිදහස් වෙනවා. ඒ නිසා එදින රහතන් වහන්සේ සිහිකරමින් ප්‍රතිපත්ති පූජාවෙන් පූජා දක්වන සුන්දර දවසක් ශ්‍රාවකයාට උදාකර ගන්නට පුළුවනි.

ආරක්ෂා කරන සීලයෙන් අපගේ ජීවිතයට ලැබෙන අනුසස් මොනවා ද?

තථාගතයන් වහන්සේ අවබෝධ කර ගත් උදාර දහම යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් අවබෝධ කර ගන්නවා නම්, ඒ තුළින් උදාර වීර්යයක් දියුණු වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය තුළ ප්‍රතිපත්තියෙන් ජීවත්වෙන්න මහන්සි ගැනීම ම වීර්ය යි. ඒ වීර්යය තුළ දිගට ම වාසය කිරීමට යම් සිහියක් අවශ්‍ය යි. එවිට ඒ ශ්‍රාවකයා සිහිය දියුණුූ කරන කෙනෙක් ද වෙනවා. එවිට ඔහුට යම් සංසිඳීමක් ඇතිවෙනවා. එදා දවස පුරාවට ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන ශ්‍රාවකයාට ප්‍රඥා ලෝකය දල්වා ගන්න පුළුවන්. එදිනට ඉන්ද්‍රිය ධර්ම සුව සේ වඩන්නට පරිසරය හැදෙනවා. ශ්‍රාවකයා කෙලෙස් බන්ධන අටක් දුරුකරන දවසක්.

තථාගතයන් වහන්සේ වදාළා විශාඛාවෙනි, මේ ආකාරයට කෙනෙක් උදාර උපෝසථය ආරක්ෂා කළොත් එය මහත්ඵල යි . මහානිශංස යි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා.

විශාඛාවනි, මේ දඹදිව ජනපද 16කට වෙන්වෙලා තිබෙන්නේ. එයට කියන්නේ සොළොස් මහා ජනපද කියල යි. මේ ජනපද දහසයට ම අධිපති එක් රජෙක් සිටිනවා. ඒ ජනපදවල තිබෙන සියලු ජීවි, අජීවි සෑම සම්පතක් ම රජුට අයිතියි. ඒ රජුට ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ද අයිති වෙනවා. ඒ රජු සියල්ලෙන් ම බොහෝ සැපයක් විඳිනවා.

විශාඛා, යම් කෙනෙක් උපෝසථ සීලය සමාදන් වෙලා එහි යම් විපාකයක් රැස්වෙනවා ද? ඒ විපාක කොටස් දහසයකට බෙදුවොත් දහසයෙන් එක කොටසක් තරම්වත් රජතුමා විඳින සැපය තරම් වටින්නේ නැහැ.

ඒ වගේ ම විශාඛා, මිනිස් ආයුෂයෙන් පනස් වසරක් චාතුම්මහාරාජික දෙව්ලොව දෙවියන්ගේ රාත්‍රි දවල් එක් දිනයක්. ඒ වගේ දින 30ක් මාසය යි. ඒ මාස 12ක් චාතුම්මහාරාජික දෙව්ලොව එක වසර යි. ඒ වගේ වසර 500ක් ඒ දෙව්ලොව දෙවියන්ගේ ආයුෂ විශාඛාවනි, යම් කරුණකින් යම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා අෂ්ඨාංගික උපෝසථ සීලය සමාදන් වෙනවා නම් ඒ සා දීර්ඝ ආයුෂ, සැප තිබෙන දෙව්ලොවට යනවා කියන දේ සිදුවන දෙයක්. ඒ උපෝසථ සීලයේ ආනිශංස යි.

එනිසා ඔබ සසරේ හොඳින් සිල් පුරවා තිබෙනවා නම්, මේ ජීවිතයේ ඉතා පහසුවෙන් ගුණධර්ම දියුණුූ කර ගන්න පුළුවන්. සසරේ දී හොඳට සිල් පුරපු කෙනාගේ සිත තුළ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා හරි පහසුවෙන් උපදිනවා. ඒ කාලයේ ඉක්මණින් මාර්ගඵල අවබෝධ කළේ සසරේ පින් පුරපු උදවිය යි. සිල් පුරන කෙනාගේ සිත හරි බලවත්. සිත බලවත් පුද්ගලයා කරන සෑම කටයුත්තක් ම සාර්ථක කර ගන්නට තරම් මනස ශක්තිමත්. අභියෝග ජය ගන්නේ සසරේ හොඳට සිල් පුරපු අය යි.