චීවරයේ හා භික්ෂූන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධයෙන් දකිමු
දර්ශනපති
කනංකේ විජිතනන්ද හිමි
“සම්බෝධායං ඝරාවාසො රජස්සායතනං ඉති - අබ්භෝකාසෝව පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බජි”
පැවිදි ජීවිතය සම්බාධක, කරදර, බාධකවලින් තොර වූ හිස් ආකාශය වැනි නිදහස් දිවියකි.
එලෙස බෞද්ධ සාහිත්‍ය තුළ විග්‍රහ කොට ඇති අයුරු, විශේෂයෙන් ගිහියාට වඩා නිවන් මඟට
ළං වූ තැනැත්තා වන්නේ ද භික්ෂූන් වහන්සේ ය. එවැනි උතුම් ජීවිතයක් ලෙස අර්ථ ගන්වන
පැවිදි දිවියට පත්වන බොහෝ දෙනා කුඩා අවධියේ පටන් තම මවුපිය, සහෝදර, ඥාති සමූහයා හැර
දමා පූරණය කරනුයේ සැබැවින් ම “නෙක්ඛම්ම” පාරමිතාවයි. මෙකී කැප කිරීම හැම දෙනාට ම
සිදු කළ නොහැක්කකි. එලෙස පැවිදි දිවියට එළැඹීමෙන් පසුව ද අනේක දුක් වේදනා විඳිමින්,
ලෙඩක්, දුකක් යම් වේදනාවක් ඇතිවූ පසුව ද ඒ සියල්ල ම තනිව ම විඳ දරා ගැනීමට පැවිදි
ජීවිතය තුළ භික්ෂුව හුරුවීම විටෙක පුදුමසහගත ය.
නිවෙසක කුඩා දරුවකු අසනීප වූ විට මවුපියන් ළඟින් ම සිට සැනසුව ද සාමණේර පුංචි
හාමුදුරුවන් වහන්සේ නමකට එසේ ළඟින් සිටින්නේ කවුරුන්ද? මෙලෙස නොයෙක් දුක් ගැහැටවලට
හුරු වන පැවිදි දිවිමඟ අතිශයින් ම දුෂ්කර වූවකි. මන්දයත් පාන්දර 4ට පමණ අවදිව
සිදුකරන වතාවත් වැනි බොහෝ දේ මෙන් ම රාත්‍රී සැතපෙන්නට යනතුරු ම සිදු කරනුයේ
අන්‍යයන්ගේ යහපත සඳහා වූ ක්‍රියා සමුදායකි.
ඒ සියල්ල මතින් තම අධ්‍යාපනය ද ගොඩනඟා ගැනීමට උත්සාහ දරන භික්ෂුව බණ, පිරිත, දානය,
පාංශුකූලය, බෝධිපූජාව ආදි බොහෝ සත්ක්‍රියාවන්ට තම කාලය, ශ්‍රමය කැප කරන්නේ ස්වකීය
දායක ප්‍රජාවගේ දෙලොව දියුණුව උදෙසා ම ය. මෙලෙස අනේක දුක් වේදනා විඳිමින් තම ළමා,
තරුණ දිවිය ගිහි දරුවෙක් කැප කරන්නේ නම් එය තම දියුණුව ම හැර අන් කවරකුගේ යහපත සඳහා
නොවනු ඇත.
විහාරස්ථානය උදේ, සවස අමදිමින් සියලු කුදු මහත් වතාවත් නොපිරිහෙළා සපුරමින් පරාර්ථය
උදෙසා කැප කරන භික්ෂුවට සමහර විට විඳීමට සිදු වන්නේ නොයෙක් නින්දා අපහාස ආදියයි. එක
දිගට වසර ගණනාවක් මිනිසුන්ට සේවාවන් සිදු කළ ද එක් දිනක් යම් කටයුත්තක් අතපසු
වුවහොත් සියල්ල විනාශ ය. එදාට නින්දා අපහාසවලින් අඩුවක් නොමැත.
මෙවැනි සමාජ වටපිටාවක තරුණ භික්ෂුව මුහුණ දෙන අභියෝග බොහෝ ය. දායකයාගේ පමණක් නොව
ඇතැම් විට ස්වකීය විහාරස්ථානයෙහි වැඩවසන ගුරුවරයාගේ මෙන්ම සද්ධි විහාරිකයන්ගේ ද
බොහෝ පීඩනයන්ට පත්වීමට සිදුවී ඇති අතර, එවැනි අවස්ථා අතර විශේෂයෙන් අධ්‍යාපනයේ පටන්
විවිධ හැකියා දැන උගත්කම් හේතුවී ඇත.
පෘථග්ජන මානසික මට්ටම නිසා කුහක පළිගැනීම්වලට ගොදුරුවීමට ඇතැම් තරුණ හිමිවරුන්ට
සිදුවීම අතිශය කනගාටුවට කරුණකි. මෙවැනි ක්‍රියාදාමයන් හමුවේ බොහෝ භික්ෂූන් වහන්සේ
කලකිරීමට පත් වෙනවා පමණක් නොව, ජීවිතය පවා එපා වන මානසික මට්ටමට පත් වේ. එහි අවසාන
ප්‍රතිඵලය වන්නේ සියල්ල දමා සිවුරු හැර යෑම හෙවත් උපැවිදි වීමයි. එයින් පසුව ද ගිහි
සමාජයෙන් ඔවුන්ට සැනසීමක් නැත. තායිලන්තය, ජපානය වැනි රටවල පැවිදි ව සිට උපැවිදි වූ
තැනැත්තන්ට සෑම සමාජ ස්තරයක් තුළ ම ලබා දෙන්නේ ඉතා ඉහළ පිළිගැනීමකි.
එහෙත් අවාසනාවකට මෙන් අපේ රටේ මිනිසුන් බුද්ධියෙන් බැහැර ව ක්‍රියා කරන අයුරු දකින
විට හදවතට දැනෙන්නේ මහත් දුකක් මෙන් ම වේදනාවකි. උපැවිදිවීම පවක් හෝ වරදක් ද යන්න
විමසා බැලීම අතිශය වැදගත් වූවකි. එය බොහෝ පරාස ඔස්සේ සාකච්ඡා කළ හැකි කරුණකි.
භික්ෂුවට නිදහස් තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඉතා මැනවින් බුදුසමය ඉඩ අවකාශ සලසා ඇත.
කාලාම, වීමංසක වැනි සූත්‍ර දේශනා තුළ සිතීමේ, විමසීමේ හා තීන්දු තීරණ ගැනීමේ නිදහස
බුදුරදුන් ඉතා කදිමට පෙන්වා දෙනු ලබති. “නා චින්ත යන්තෝ පුරිසො විසේස මධි ගච්ඡති”
යනුවෙන් ඒ බව කදිමට තහවුරු කොට ඇත.
ඒ අනුව තමන්ට සුදුසු නොමැති නම් සිවුරු හැර යෑම වරදක් ලෙස නොපෙනෙන අතර, එය පවක් ද
යන්න විනය පිටකයට අනුව විමසා බැලීම ඉතා වැදගත් ය. චීවරයේ රැඳී සිට වැරැදි සහගත
ක්‍රියා සිදු කරනවාට වඩා උපැවිදිවීම පවක් වන්නේ කෙසේද? මෙය ද ගැඹුරින් විග්‍රහ කළ
යුතු කරුණකි.
කෙසේ වුව ද හදවතට එකඟව නූතන සමාජයේ ඇතැම් භික්ෂූන් සිදු කරන යම් ක්‍රියාවන් නිසා
පහර ගසනු ලබන්නේ මුළු මහත් සංඝ සමාජයට ම ය. මිනිසුන් තුළ බොහෝ විට නිසි අවබෝධයක්
නොමැති වීම මෙම අවාසනාවන්ත තත්ත්වය සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. බුද්ධිමත් තැනැත්තා
පැවිදි දිවියේ කටුක හා එහි ශ්‍රේෂ්ඨත්වය හොඳින් අවබෝධ කර ගනියි. එහෙත් බොහෝ දෙනා
සිව්පසය ලැබෙන නිසා මහණවෙලා ඉන්න එක මොකක්ද? මොන බරක් ද? යනුවෙන් සැහැල්ලුව සිතති.
මෙවැනි අනවබෝධය නිසා ම නූතන බොහෝ දෙනා භික්ෂු සමාජයෙන් වෙන් ව උපැවිදි වීම කෙසේවත්
වැළැක්විය නොහැක්කකි.
දායකයා පමණක් නොව ඇතැම් විට සංඝ සමාජය තුළ තිබෙන්නා වූ විවිධ වැරැදි ආකල්ප ද මේ
සඳහා බෙහෙවින් හේතු සම්පන්න වී ඇත. විවිධ වෙනස්කම්, කුහකකම් පමණක් නොව සංඝ සමාජය
තුළ යම් ගැටලුවක් ඇති වුවහොත් ඒවා විසඳීමට කිසිදු භික්ෂුවක් ඇතැම් විට ඉදිරිපත්
නොවීම අතිශය කනගාටුවට කරුණකි. “සමග්ගා හෝථ මා විවදථ - සමගි වව් විවාද නොකරව්”
යනුවෙන් ද, “සුඛා සංඝස්ස සාමග්ගී - සංඝයාගේ සමගිය සැපයක් බව “ද බුද්ධ දේශනාව තුළ
මැනවින් පෙන්වා දෙනු ලැබුව ද සමහර අවස්ථා තුළ තරුණ හදවත් ඇති භික්ෂුවට සිවුර එපා
වීම සාධාරණ ය. මෙවැනි සමාජ අසාධාරණවලට ගොදුරුවීම හරහා බෞද්ධ සමාජය තුළ ඇති වන
ආකල්පය ද යහපත් ඒවා නොවෙති.
වත්මන් සමාජයෙහි භික්ෂුව පිළිබඳ විවිධ මතවාද ගොඩනැඟී ඇති යුගයක චීවරය හා භික්ෂුවගේ
ශ්‍රේෂ්ඨත්වය අප මනාව හදවතින් අවබෝධ කර ගැනීම අතිශය වැදගත් වන්නේ අප බෞද්ධයන් වන
නිසා ම ය. එය ගිහි පැවිදි දෙපක්ෂය ම හිතට ගත යුත්තක් වන අතර, තරුණ භික්ෂූන් වහන්සේ
තවදුරටත් සසුන තුළ රඳවා ගැනීමට සියලු දෙනා වග බලා ගත යුතු ය.
“සබ්බ දුක්ඛ නිස්සරණ........” යනුවෙන් චීවරය පොරවා ගත් අප මීට වඩා අවබෝධයෙන්
ක්‍රියා කළ යුතු අතර, නොමැති නම් සිදු වන්නේ බුද්ධ ශාසනය විනාශවීම පමණි. එය රැක
ගැනීම ගිහියන්ගේ ද ප්‍රබල වගකීමකි.
සංඝ සමාජයට විවිධ අයුරින් පහරගසන මෙවැනි කාලයක බෞද්ධ අප සැවොම නිසි අවබෝධයෙන් යුතු
ව ක්‍රියා කිරීම අතිශය වැදගත් වනු ඇත. නොමැති නම් සිදු වන්නේ දිනෙන් දින සසුන් කෙත
පාළුවීම පමණි. උපැවිදි වීමට හේතු විමසා බලා ක්‍රියා කිරීම අතිශය වැදගත් සාධකයකි.
බුදුදහමට නොයෙක් අභියෝග එල්ලවී ඇති කාලයක බෞද්ධ අපේ වගකීම “චීවරය” සමඟ කෙසේ ඉටු කළ
යුතු ද? යන්න මනාව නුවණින් අවබෝධ කොට ගෙන ක්‍රියා කිරීමේ කාලය එළැඹ ඇති බව නම්
සැබෑවකි.
නොමැති නම් හෙට දවසෙහි ශාසනයෙහි ඇතිවන පිරිහීම සුළුපටු නොවන්නකි. සසුන් කෙත පාළු
වීමට ඉඩ නොදී තරුණ යතිවරුන් රැක ගැනීම හා නිසි ලෙස ඍජු තීන්දු තීරණ ගැනීමේ වගකීම
භික්ෂු සමාජයට ඇති අතර, එය යුගයේ ද ප්‍රබල අවශ්‍යතාවක් වනු ඇත. |