සුවහස් බොදු දන සුවහස් බොදු දන සැදැහෙන් නමදින සෙංකඩගලපුර දළදා පෙරහර
ශ්‍රී දළදා මාළිගාවේ
දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම්
කේ. මීගහකුඹුර
ව්‍යවහාර වර්ෂ 1592 දී පළමු වන විමලධර්මසුරිය (1592-1604) රජතුමා ශ්‍රී දළදා වහන්සේ
සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්ලය සෙංකඩගල පුරයෙහි ද
පවත්වාගෙන ආ බව සලකා ගත හැකි ය.
පෘතුගීසීන් උඩරටින් පන්නා දමා උඩරට සිංහල රාජධානිය ආරම්භ කළ පළමුවන විමලධර්මසූරිය
රජතුමා තම රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීම සඳහා එතෙක් දෙල්ගමුව රජමහ වෙහෙරෙහි කුරහන්
ගල් කරඬුවෙහි සඟවා තිබූ දළදා වහන්සේ මහ පෙරහරින් මහනුවරට වැඩම වූ බව
මූලාශ්‍රයන්ගෙන් හෙළි වේ. සවණ දා වහන්සේලා කොහි වැඩ සිටින්නාහු වේදැයි විචාරන ලදුව
ලබුජගාම විහාර (දෙල්ගමු වෙහෙර) යයි අසා අතිශය ප්‍රමුදීත වූයේ සපරගමු රට දෙල්ගමු
විහාරයෙන් දන්ත ධාතූන් වහන්සේ වැඩමවා ගෙනැවුත් දිනපතා වන්දනාමාන කිරීමට ද
(වත්පිළිවෙත් කිරීමට ද) හේසප්‍රාඥ වූ රජතෙමේ රාජ ගෘහාසන්නයෙහි මනා වූ ප්‍රවර
භූමිභාගයෙක්හි චිත්තාකර්ෂණය කරන සුළු ද්විභූමික ධාතු මන්දිරයක් කරවා එහි දාඨා ධාතු
ස්ථාපනය කොට අනවරතයෙන් ම සාදරව පූජා කළේ ය......” මහාවංශයේ සඳහන් මෙම කරුණු මගින්
පැහිදිලි වන්නේ පළමුවන විමලධර්මසූරිය රජතුමා දළදා වහන්සේ විෂයයෙහි සෙසු පුද සිරිත්
සමග දළදා පෙරහර දළදා වහන්සේට පූජෝපහාරය පිණිස පැවැත් වූ බවයි.
දෙවන රාජසිංහ (1635-1687) රජු දවස රොබට් නොක්ස් දුටු පෙරහරේ ඉදිරියෙන් කපුරාල කෙනකු
පටපිළියෙන් ඔතා සරසන ලද ලීයක් කර තබා ගෙන, මුඛවාඩම් බැඳ හස්තියකු පිට නැඟි වීදි
සංචාරය කොට ඇති බවත්, ජනතාව එයට පුද සත්කාර කළ බවත්, විස්තර වේ. ඇත්තු 40 ක් පමණ ද,
බෙර දවුල් තම්මැට්ටම් වයන්නවුන් ද, නැට්ටුවෝ ද, මේ පෙරහරේ ගමන් කළහ. ඔහුගේ විස්තරයට
අනුව එම පෙරහර දෙවියන්ට කැප වූවක් බව පෙනේ. නොක්ස් පවසන්නේ ඇසළ පෙරහර දේව
පූජෝත්සවයක් බවයි.
දෙපස එල්ලෙන මිණි ගෙඩි සහිත අලි ඇතුන් හතළිස් ගණනක් පෙරහරේ ගමන් කරන බවත් පෙර රජ
දවස සිටි යෝධයන් හා සමාන ව සැරසුනු නළුවන් ද ගමන් කරන බවත්, බෙර දවුල් තම්මැට්ටම්
සමුද්‍ර ඝෝෂාවට සමාන අයුරින් වාදනය කරන බවත්, නැට්ටුවන්ට අමතරව කළගෙඩි සෙල්ලම් කරන
ස්ත්‍රීන් ද දුටු බවත් නොක්ස් සිය විස්තරයේ සඳහන් කරයි.
මුල් කාලයේ දී රජතුමා ද තම සෙන්පතිවරු පිරිවරා පෙරහර පසුපසින් අසු පිට ගමන් කළ
බවත්, පසුකාලීනව එම සිරිත අනුගමනය නොකළ බවත් නොක්ස් දක්වයි. පෙරහර දිවා කාලයේ එක්
වරක් ද, රාත්‍රී කාලයේ තවත් වාරයක් ද යනුවෙන් දෙවරක් නගරය ප්‍රදක්‍ෂිණා කළ බව
විස්තර කරයි. මෙම ඇසළ උළෙල සකල උත්සවශ්‍රී විභූතියෙන් පැවැත්වූ බව නොක්ස්
වැඩිදුරටත් විස්තර කරයි. එහෙත් මෙම විස්තරය තුළින් දළදා වහන්සේ විෂයයෙහි පැවැත් වූ
වාර්ෂික චිරාගත සම්ප්‍රදායානුගත දළදා පෙරහර පිළිබඳ විස්තර හෙළිනොවන නමුත් එවකට දළදා
වහන්සේ විෂයයෙහි එතෙක් සිදුකර ගෙන ආ වාර්ෂික දළදා පෙරහර නොපැවැත්වූවා යැයි එක්වරම
නිගමනය කළ නොහැකි ය. එය විචිත්‍රවත් ලෙස පැවැත්වීමට නොහැකි වුව ද දළදා මාළිගා
අභ්‍යන්තරයෙහි හෝ දළදා සමිඳු විෂයයෙහි පූජෝපහාරය පිණිස දළදා පෙරහර නොකඩකොට
පැවැත්වූවා යයි සලකා ගැනීම උචිත ය.
සෙංකඩගලපුර දළදා පෙරහර වර්තමානයෙහි දක්නා පරිදි සංවිධානය වූයේ කීර්ති ශ්‍රී
රාජසිංහ(ක්‍රි.ව 1747 - 1781) රජු දවස ය. ඒ රාජ්‍ය වර්ෂ 1753 වැන්නේ
ස්‍යාමොපසම්පදාව සඳහා සියම් දේශයේ සිට වැඩම කළ ප්‍රවර උපාලි මහතෙරුන් වහන්සේ හා
බෝධිසත්ව ගුණෝපේත අසරණ සරණ වැලිවිට සරණංකර සඟරජ හිමියන් විසින් කීර්ති ශ්‍රී
රාජසිංහ රජුට දෙන ලද උපදෙසට අනුව දළදා පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි
සිවුමහා දේවාල පෙරහර ගමන් කරනා පෙරහර ඇරඹීම සිදුවීමයි. එතැන් සිට අද දක්වා ම මෙම
පෙරහර මංගල්ලය චිරාගත සම්ප්‍රදායානුකුල ව ශ්‍රී දළදා මාළිගාව පෙරටුකොට පැවැත්වීම
සිරිතයි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් සිදුකරනු ලැබූ දළදා පෙරහර පිළිබඳ ව අසිරිමත්
විස්තරයක් මහාවංශයෙන් හමුවේ. සස“කීර්ති ශ්‍රී රාජසිංහ නරේශ්වර තෙමේ වර්ෂයක් පාසා
පවත්වන්නා වූ ඒ ඇසළ මහා පූජා පෙළහර බුද්ධ පූජා පෙරටු කොට පවත්වන්නට සිතා මංගල
හස්තියා පිට ස්වර්ණ කර්මයෙන් සුනිර්මිත සිවිගෙය මොනවට බැඳ යහපත් වූ බින්දු හා දෙදළ
ඇති ඇතු අභරණින් භූෂණය කොට රජත ඡත්‍රයන් හා චාමරයන් ද මල් ගත්තවුන් විසින් නැඟෙන ලද
හස්තීන්ගෙන් ද අනේකාකාරයෙන් පූජා භාණ්ඩයන් ගත්තවුන් විසින් ද.....” ලෙස ඉතා
විචිත්‍රවත් සහ අංග සම්පූර්ණ ගාම්භීර දළදා පෙරහරක් පැවැත් වූ අයුරු දැක්වේ. අදටත්
වාර්ෂික ඇසළ පෙරහර මංගල්ලය හා සෙසු පෙරහර මංගල්ලයන් හි මංගල හස්ති රාජයා පිට
වැඩමවනු ලබන ස්වර්ණමය පෙරහර කරඬුව, ස්වකීය අගමෙහෙසියගේ මාල පළඳනාවන්ගෙන් විසිතුරු
කොට පූජා කළේ මේ රජතුමා ය. මෑත ඉතිහාසය දක්වා ම පෙරහර කරඬුව වැඩමවීම සඳහා ඇතුපිට
තැන්පත් කෙරෙන රන්හිලි ගෙය හෙවත් රන්සිවි ගෙය පූජා කළේ ද මෙතුමා විසිනි. මෙම
රන්හිලි ගෙය දැනට සිරි දළදා කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. අදටත් දළදා වහන්සේ
විෂයයෙහි පැවැත්වෙන සෙසු පුද චාරිත්‍ර වඩාත් සංවිධිත ලෙසත්, මහාර්ඝ ලෙසත්
පැවැත්වීමට කටයුතු සම්පාදනය කළේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ය.
මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු මහනුවර අවසන් රජු වූ ශ්‍රී වික්‍රම
රාජසිංහ රජු දක්වා ලක්දිව රජ පැමිණි සෙසු නරපතියන් විසින් ද වාර්ෂික දළදා පෙරහර
හෙවත් ඇසළ පෙරහර මංගල්ලය අඛණ්ඩ ව පැවැත්වූහ. මෙකී සියලු රජ දරුවන් විසින් දළදා
වහන්සේ විෂයයෙහි පූජෝපහාරය පිණිස දළදා පෙරහර පෙරටු කොට සිවුමහා දේවාලයන්හි දෙවියන්
විෂයයෙහි පවත්වන භක්ති ප්‍රණාම පෙරහර පූජෝත්සවය අඛණ්ඩ ව පැවැත්වීම සිරිතක් කොට
ගන්නා ලදී.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස පෙරහර පැවති අයුරු ජෝන් ඩේවි ගේ වාර්තාවේ සඳහන් ව ඇත.
වෙල්ලස්සේ දිසාව හා ජෝන් ඩේව් දුටු පෙරහරේ අනුපිළිවෙල මෙසේ වු බව මුලාශ්‍රයන්හි
දැක්වේ.
ලේකම් මිටිය පන්හිඳ සමඟ ලේකම්, හස්තියා මහ කොඩිය සමඟ ගජනායක නිලමේ,කොඩි තුවක්කු
ලේකම් හා ඔහු පිරිවරාගත් කොඩිතුවක්කු පිරිස හා කොඩිතුවක්කු මහ කොඩිය, අත් තුවක්කු
හා හතර කෝරළේ දිසාවට අයත් කොඩි සහිත නිලධාරින් හා පිරිස- ඉරහඳ මහ කොඩිය ,හත් කෝරළේ
වැසියෝ- සිංහයා මහ කොඩිය, ඌවේ වැසියෝ -හංසයා මහ කොඩිය, මාතලේ වැසියෝ-සුදු මහ කොඩිය,
සබරගමුවේ වැසියෝ-කහපාට පටරෙදි මහ කොඩිය, වලපනේ වැසියෝ-මයුර මහ කොඩිය, උඩපළාතේ
වැසියෝ-නෙළුම් මල් මහ කොඩිය, නුවර කලාවිය-ගජසිංහ මහ කොඩිය, වෙල්ලස්සේ කොටියා මහ
කොඩිය, බිම්තැන්නේ ගිරවා මහ කොඩිය, තමන්කඩුව වලහා මහ කොඩිය, උඩුනුවර යටිනුවර
තුම්පනේ. හාරිස්පත්තුව දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, පාත බුලත්ගම යන රටේ
මහත්වරු ඇතුළු කොඩි, රෙදිවලින් ආවරණය කරන ලද උණ ලී කැබලි වලින් තැනු රූප, කරඬුව
රැගත් මාළිගාවේ ඇතා. ඊට පිටුපසින් සෙසු ඇතුන් පිරවැරු ජනයා, නායක්කර් ලේකම් නිල්පාට
කොඩිය, අතපත්තු ලේකම් කොඩිය, වඩන තුවක්කු භාර ලේකම් සුදු පාට කොඩිය, වෙඩික්කාර
ලේකම් රතුපාට කොඩිය, ධජ පතාක ගෙනයන්නවුන්, පංචතුර්ය නාදය, නැට්ටුවන්, දියවඩන නිලමේ,
සෙසු නිලකරුවෝ, නාථ දේවාලයේ ඇතා, බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ, විෂ්ණු
දේවාලයේ ඇතා, බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ, කතරගම දේවාලයේ ඇතා,
බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ, පත්තිනි දේවාලයේ ඇතා, බෙරකරුවෝ. පිරිවර
ජනයා සමග බස්නායක නිලමේ පෙරහර කොඩිතුවක්කු පත්තු කිරීමෙන් ඇරඹිණ. ඉන් අනතුරුව උස්
හඩින් බෙර නලා වාදන ඇසින.
මහනුවර අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පසු ව්‍යවහාර වර්ෂ 1815 මාර්තු 2
වැනි දින උඩරට ගිවිසුමෙන් සිංහලයේ පාලනය භාරගත් ඉංග්‍රීසීහු ගිවිසුමේ සඳහන්
පොරොන්දු කඩ කරමින්, වර්ෂ 1818 ඌව වෙල්ලස්සේ පැවති කැරැල්ල මුල් කොට පෙරහර
පැවැත්වීම වසර දහයක් ම තහනම් කළහ. එසේ වුව ද මහ සඟරුවන හා දියවඩන නිලමේවරු දළදා
මාළිගාව අභ්‍යන්තරයේ හෝ පෙරහර පුද සිරිත් පැවැත්වූහ.
මෙම තහනමෙන් පසු යළි පෙරහර වීදි සංචාරය කිරීම ඇරඹුණේ, මුලු රටම මහා නියඟයකින් පීඩා
විඳීමට පටන් ගත් විට, ව්‍යවහාර වර්ෂ 1828 දී සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ
ඉල්ලීමක් මත ය. මෙසේ වරින් වර රටේ ආපදාපන්න අවස්ථාවල දී අද පවත්නා ආකාරයෙන් පෙරහර
වීදි සංචාරය නොකෙරුනත් චාරිත්‍ර සම්ප්‍රදායන් වශයෙන් අපේ අතිගරු මහානායක
මාහිමිපාණන් වහන්සේ හා දියවඩන නිලමේවරුන් එක්ව අඛණ්ඩ ව පෙරහර සම්ප්‍රදායයන් ශ්‍රී
දළදා මාළිගාව අභ්‍යන්තරයෙහි හෝ පවත්වාගෙන යෑමට දිවි හිමියෙන් ඇපකැප වූ බව මෑත භාගයේ
සිදුවීම්වලින් ද සනාථ වේ.
මෙසේ රාජධානියෙන් රාජධානියට, පරපුරෙන් පරපුරට පවත්වා ගෙන එනු ලබන මෙම විශිෂ්ට
සංස්කෘතික දායාදය වර්තමානයෙහි සුරක්ෂිත කොට අභිවර්ධනය කර ගැනීමට බොහෝ සෙයින් දායක
වූයේ ශ්‍රී දළදා මාළිගාව හා මල්වතු - අස්ගිරි උභය මහා විහාරය යි. වාර්ෂික ව
පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය, මෙම විශිෂ්ට කලා සංස්කෘතියේ අභිමානය දෙස්
විදෙස් නරඹන්නන් ඉදිරියේ දිගහැරෙන විචිත්‍රවත් වේදිකාවක් බඳු ය. ඒ තුළින්
බෞද්ධ ආගමික වතාවත් හා රාජ්‍යත්වය සමඟ බැඳී වර්ධනය වූ වතාවත්, පිළිවෙත් සමඟ එක්ව
ලෞකික වින්දනය පමණක් නොව ආධ්‍යාත්මික සුවය ද ලබා දෙයි. ඇසළ පෙරහර මංගල්ලය යනු හුදු
විනෝදය පිණිස පවත්වන්නක් නොවේ. මෙම පූජෝත්සවය උත්තම දළදා වහන්සේ විෂයයෙහි කෙරෙන
පූජෝපහාරයක් වශයෙන් ද, සිවුමහාදේවාලයන්හි වැඩ සිටින්නා වූ නාථ, විෂ්ණු, කතරගම,
පත්තිනි යන දෙවිවරුන් විෂයයෙහි සිදුකරනු ලබන්නා වූ භක්ති ප්‍රණාම පූජාවක් වශයෙන් ද,
කලට වැසි ලැබ රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇති කර ගනු පිණිස ද, පැවැත්වෙන ආගමික
පූජෝත්සව මංගල්ලයක් මෙන් ම හෙළ කලාවේ උදාරත්වය කියාපාන උඩරට නැටුම්, වැයුම්, ගැයුම්
කලා ශිල්පීන්ගේ අදීන කලා කුසලතාවය ද ලොවට ප්‍රදර්ශනය කරනු ලබන්නක් වේ.
වර්තමාන ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය කෙරෙනුයේ මල්වතු - අස්ගිරි උභය මහා විහාරයේ
අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, දියවඩන නිලමේතුන්ගේ
උපදෙසින් ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල ලවා සකසනු ලබන සුභ නැකැත් පත්‍රයකට
අනුව ය. ඉන් අනතුරුව පළමුව සිරිත් පරිදි සුභ නැකතින් පේකොට තබන ලද පණස වෘක්ෂයේ
ශාඛාවක් ගෙන මහනුවර සිවු මහා දේවාලයන් ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්
පූර්වාභිමත් ව ඇසළ කප් සිටුවීමෙන් පෙරහර ආරම්භ කෙරේ. |