Print this Article


සිල් පිරෙන්න වත් පුරන්න

සිල් පිරෙන්න වත් පුරන්න

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සිව්වනක් පිරිස ලෙස හැඳීන්වේ. එනම් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යනුවෙනි. මෙම සිව් පිරිස අපේක්ෂා කරන ප්‍රධාන පරමාර්ථ තුනකි.

මෙලොව සැපවත් ජීවිතයක් ගත කිරීම, පරලොව ජීවිතය සුවපත් කර ගැනීම, නිවන් අවබෝධය යන තෙවැදෑරම් පරමාර්ථ ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම ශ්‍රාවක පිරිසගේ අභිලාෂයන් හෙවත් ප්‍රාර්ථනාවන් බවට පත්ව තිබේ.

මෙම ප්‍රාර්ථනා ඉටු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අදියර තුනකින් යුක්ත ගමන් මාර්ගයක් දේශනා කර ඇත. ඒ සීල, සමාධි, ප්‍රඥා යන අනුපිළිවෙළ ප්‍රතිපදාවන් ය.

මෙම ගමන ක්‍රමානුකූල ව පියවරෙන් පියවර සම්පූර්ණ කර ගත යුතු ය. එකක් අතහැර අනෙක් අදියරට පිවිසිය නොහැකි ය. සිල් සම්පූර්ණ කර නොමැති ව සමාධිය ලබන්නටත්, සමාධියෙන් තොර ව ප්‍රඥාව වඩන්නටත් නොහැකි බව පැහැදිලි ය. ඒ අනුව බෞද්ධයන්ගේ අවසන් අපේක්ෂාව වූ නිවනින් සැනසීම සඳහා පළමුව සීලය සම්පූර්ණ කර ගනිමින් සීලයෙන් එහාට ස්ථාවර විය යුතු අතර, ඊළඟට සමාධිය සපුරා සිත එකඟ කර ගත් පසු දියුණු වූ සමාධිගත සිත ප්‍රඥාව වෙත යොමු කළ හැකි ය. එසේ වර්ධනය කර ගත් ප්‍රඥාව තුළින් නාමරූප ධර්මයන්ගේ යථා ස්වරූපය අවබෝධ කර ගෙන නිවන සාක්ෂාත් කර ගත හැකි බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි.

ඉහත දක්වන ලද මාර්ගාංග තුනේ දී සීලය නම් පදනම හෙවත් පළමු මාර්ගාංගය ලෙස දක්වා තිබුණ ද සීලය සම්පූර්ණ කර ගැනීම සඳහා තවත් එක් කරුණක් සපුරා ගත යුතු බව ද දහමේ දැක්වේ. එනම් වත් පිළිවෙත් පිරීමයි. වත්පිළිවෙත් නොපුරා සීලය සම්පූර්ණ නොවන බව “වත්තං න පරිපූරෙන්තෝ න සිලං පරිපූරති” යන විනය විනිශ්චය පාඨයෙන් ඒ බව පැහැදිලි වේ. මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ සීලය ස්ථාවර කර ගැනීම පිණිස උත්සාහ දරන කවුරුත් ඊට පසුබිම සකස් කර ගනුවස් වත් පිළිවෙත් මනාව සපුරාගත යුතු බව ය. නොඑසේ නම් සීලය සම්පූර්ණ නොවේ.

සීලය අසම්පූර්ණ වූ විට ඔහු දුස්සීලයකු වෙයි. එපමණක් නොව අඥානයෙක් ද වෙයි. එම දුස්සීල මෝඩ පුද්ගලයා “චිත්තේකග්ගං න වින්දති”, සිත එකඟ කර ගැනීමට අසමත් වෙයි. විශේෂයෙන් ම ඉන් එහාට නිවන් මගේ ගමන් කළ නොහැකි වෙයි. එකඟ නොවූ සිතින් ප්‍රඥාව ලැබිය නොහැකි ය. ප්‍රඥාව නොවූ විට නිවන බැහැර වේ.

මේ ප්‍රඥාව නිවන් අවබෝධය සඳහා පෙරුම් පුරන ගිහි පැවිදි පින්වතුන් අනිවාර්යයෙන් ම වත පිළිවෙත මනාව සම්පූර්ණ කර ගත යුතු බව අවධාරණය වේ.

ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම අදාළ වත් පිළිවෙත් රාශියක් දහමේ උගන්වා තිබේ.

විශේෂයෙන් ම විනය පිටකයේ බොහෝ නීතිරීතිවල භික්ෂු භික්ෂුණී යන දෙපිරිස විසින් ඉටු කළ යුතු වත් පිළිවෙත් අන්තර්ගත බව පැහැදිලි ය. මේ අනුව මේ දෙපාර්ශ්වයට ම සීලය ස්ථාවර කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වත් පිළිවෙත් අතර ආචාර්ය වත, උපාධ්‍යාය වත, සද්ධි විහාරිකවත, අන්තේවාසික වත, ආගන්තුක වත, අවාසික වත, ගමික වත, භත්තග්ග වත, අනුමෝදනා වත, පිණ්ඩපාත වත, ආරඤ්ඤත වත, සේනාසන වත, වැසිකිලි වත ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවන්ට අනුගත ව ඉටු කළ යුතු වත්පිළිවෙත් රාශියකි.

එපමණක් නොව විනය පිටකයේ දැක්වෙන හැත්තෑපහක් පමණ වන ‘සේඛියා’ ශික්ෂා පද මාර්ගයෙන් ද බුදුරජාණන් වහන්සේ භික්ෂු, භික්ෂුණී දෙපිරිස විසින් එදිනෙදා ජීවිතයේ දී අනුගමනය කළ යුතු වත් රාශියක් උගන්වා ඇත. ආහාර වැළඳීමේ දී ශබ්ද නඟමින්, තලු ගසමින් ආහාර ගැනීම, අත් ලෙවකෑම, ආහාර විසුරුවා දැමීම, කතා කරමින් දානය වැළඳීම ආදී ක්‍රියාවන් නොකළ යුතු බව උගන්වා ඇත.

වැසිකිලියට ඇතුළු වීමට පෙර තමන් පැමිණි බව ඇඟවීමට ශබ්දයක් නිකුත් කළ යුතු බවත්, වැසිකිලි භාජනයේ ජලය ඉතුරු කර තබා බැහැර නොවිය යුතු බවත් වැසිකිලි වතේ දී දක්වා ඇත. මේ ආකාරයට සෑම වත් පිළිවෙතක් ම භික්ෂූන්ගේ විනය සංවරය ආරක්ෂා කර ගැනීමට හේතු වන බව පැහැදිලි වේ. එය සීලයට මූලික ආධාරකයක් ද වෙයි.

භික්ෂු භික්ෂුණී දෙපිරිසගේ සදාචාර යහපැවැත්ම තහවුරු කර ගැනීම සඳහා දේශිත නීති රීති සහ නියාමනයන් ඇතුළත් ග්‍රන්ථය විනය පිටකය යි. මෙම විනය පිටකයේ දක්වා ඇති වත්පිළිවෙත් බොහෝමයක් ගිහි පින්වතුන්ගේ නැති නම් උපාසක උපාසිකා දෙපිරිසගේ ජීවිතවලට ද බලපා ඇති බව බෞද්ධ සංස්කෘතික සිරිත් විරිත් විමර්ශනය කර බැලීමෙන් පැහැදිලි වේ.

ගිහි පින්වතුන්ගේ උපතේ සිට විපත දක්වා බොහෝ වැදගත් අවස්ථාවල මෙන් ම සාමාන්‍ය ඇවතුම් පැවතුම්වල දී ද බුදු හිමියන් ලබා දුන් අවවාද උපදෙස් බොහෝමයක් බලපා ඇත.

සිඟාලෝවාද සූත්‍රයේ එන ෂඩ්දිසා නමස්කාරයේ දී මව්පිය-දූදරු, ආචාර්ය, ශිෂ්‍ය, අඹු-දරු, මිතුරන්, සේව්‍ය-සේවක, ගිහි-පැවිදි යුතුකම් වශයෙන් ඔවුනොවුන් අතර ඉටුවිය යුතු යුතුකම් සියල්ල වත්පිළිවෙත් ලෙස ද සැලකිය හැකි ය. එම යුතුකම් ඉටු නොවේ නම් ඒ තැනැත්තාගේ සීලය සම්පූර්ණ නොවේ. ඔහු දුසිල්වතෙකි. අඥානයෙකි.

පූජ්‍ය පක්ෂයට, මවුපියන්ට, වැඩිහිටියන්ට සැලකීම, ගරු කිරීම, ඔවුන්ට ඇහුම්කන් දීම, උපස්ථාන කිරීම, මිතුරන් මිතුරන් අතර අවංක වීම, නොරැවටීම, දුෂ්චරිතවලට ආධාර අනුබල නොදීම වැනි කරුණු ද, ප්‍රිය වචන කතා කිරීම, උදව් උපකාර කිරීම, සේවකාදීන්ට සැලකීම වැනි කරුණු වත්පිළිවෙත් ගණයට ඇතුළත් කළ හැකි ය.

මේ හැරෙන්නට එදිනෙදා ජීවිතයේ දී අනුගමනය කළ යුතු වත් පිළිවෙත් බොහෝ ය. පුණ්‍ය කටයුතුවල දී, මංගල, අවමංගල අවස්ථාවල දී, විවිධ උත්සවවල දී, ආගමික, සාමාජික චාරිත්‍රවල දී, ගිහි පින්වතුන් විසින් අනුගමනය කළ යුතු වත් පිළිවෙත් රාශියකි. මේවා සමාජ චාරිත්‍ර ලෙස සැලකෙන අතර, ගිහි අය නිත්‍ය සීලය වන පංච සීලය ස්ථාවර කර ගැනීම පිණිස මෙම වත්පිළිවෙත් ඉවහල් වේ.

නිදසුනක් ලෙස ගතහොත් භික්ෂූන් වහන්සේ වඩමවා සිදු කෙරෙන දානමය පින්කමක දී දායක පින්වතුන් විසින් වත් පිළිවෙත් රාශියක් ඉටුකළ යුතු බව පෙනේ. හිසට පිරුවටයක් තබා සධාතුක කරඬුව පාවඩ පිට, මුතු කුඩය යටින්, ගෞරවයෙන් වඩමවාගෙන පැමිණීම, ඒ අවස්ථාවේ කරඬුව වඩමවන දායකයාත්, මුතු කුඩේ අල්ලන අයත් පාවහන් ගලවා පෙරහරේ ගමන් කිරීම, භික්ෂූන් වහන්සේගේ පා දෝවනය කර පාවඩ මත නිවස තුළට වැඩමවීම, සාධුකාර පැවැත්වීම, ධාතු කරඬුව තැන්පත් කිරීම සඳහා සුදුසු මණ්ඩපයක් හෝ ආසනයක් සකස්කර එහි වඩා හිඳුවීම, පැන් වඩවා දාන පාත්‍රය, කැවිලි, පලතුරු ආදි වශයෙන් පිළිවෙලට ආහාරපාන පූජා කිරීම, වන්දනා කිරීම, භික්ෂූන් වහන්සේට පැන් පූජා කර අත්දෝවනය පිණිස භාජන අල්ලා ගෞරවයෙන් දානය පූජා කිරීම, දානය බෙදන අතර ගෞරවයෙන් ශබ්ද නඟා ඔවුනොවුන් කතා කරමින්, අණදෙමින් තෙරුවනට අගෞරව නොකරමින් හැසිරීම. අනුගාමිකයන්ට සංවර ව සවන්දෙමින්, භික්ෂූන් වහන්සේගේ උපදෙස් පිළිපදිමින් පූණ්‍ය කටයුත්තෙහි යෙදීම වැනි කරුණු අවධානයට ලක්විය යුතු ය.

මේ හැරෙන්නට බෞද්ධ නිවස සහ වටාපිටාව පිරිසුදු ව පවත්වා ගෙන යෑම නිවැසියන් සතු යහපත් පිළිවෙතකි. ගිහි ගෙදර අලංකාරවත්, පිරිසුදුවත් පවත්වා ගෙන යෑම සදහා හොඳම ආදර්ශය විහාරස්ථානය යි.

මෙම වස් කාලය දිවයිනේ සෑම විහාරස්ථානයක් ම පාහේ සැදැහැවතුන්ගෙන් පිරී යයි. ඒ බෝධි පූජා, බුද්ධ පූජා, ධර්ම ශ්‍රවණ ආදී පින්කම්වල යෙදීම සඳහා ය. මෙසේ පැමිණෙන බැතිමතුන් විහාරස්ථානයේ පිරිසිදුකම ගැන තම අවධානය යොමු කළ යුතු ය. පසුගිය වන්දනා සමය තුළ සිරිපා වන්දනාවේ ගිය බැතිමතුන් අපද්‍රව්‍ය ටොන් 20ක් පමණ මෙම පූජනීය පෙදෙසට දමා ඒ ප්‍රදේශය අපවිත්‍ර කළ බව ජනමාධ්‍ය මඟින් එළි දක්වා තිබිණි.

මෙම වස් කාලය බොහෝ විහාරස්ථානවල තත්ත්වය ද එසේ ම ය. නිවෙස්වල සහ වෙළෙඳ සැල්වල තිබෙන පොලිතින්, ප්ලාස්ටික් භාජන වැනි නොදිරන ද්‍රව්‍ය විහාරස්ථානවල එකතු වන කාලයක් බවට මෙම කාලය පත්ව ඇත. මෙය වෙනස් විය යුතු ය. පූජා කටයුතුවලට පැමිණෙන පින්වතුන් බෝ මළු, චෛත්‍ය මළු, විහාර මළු සහ මල් ආසන පිරිසිදු කර අපද්‍රව්‍ය ක්‍රමානුකූල ව බැහැර කොට පුද පූජාවන්හි නියැළීම පිළිබඳ ව අවධානය යොමු කළ යුතු ය. තමන් විසින් සිදු කරන පින්කම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම වටිනා පින්කම් බවට පත්වන්නේ එසේ වත් පිළිවෙත් සපුරාගෙන පිනෙහි යෙදෙන විටය.

මේ අනුව ගිහි පංචසීලය, අෂ්ටාංග සීලය, ගිහි දස සීලය වැනි ගිහි පින්වතුන් උදෙසා පනවා ඇති සිල් සහ පැවිදි පක්ෂය සඳහා අනුමත සාමණේර දස සීලය, උපසම්පදා සීලය වැනි සිල් පිරිසිදු කර ගැනීමට මෙන් ම ස්ථාවර කර ගැනීමට ඒ ඒ අයට පැවරී ඇති වත් පිළිවෙත් සම්පූර්ණ කර ගත් විට සීලය ද සම්පූර්ණ වේ. සීලය සපුරා ගත්විට සිතෙහි එකඟතාව හෙවත් සමාධිය ස්ථාවර වේ. සමාධිගත සිත ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා උපකාරී වන අතර, ප්‍රඥාව වඩාගෙන නිවන් අවබෝධය සඳහා මාර්ගය සකස් වේ.

නිවන අපේක්ෂා කරන කවුරුත් ඒ සඳහා පසුබිම සැකසීමේ දී වත්පිළිවෙත් පිරීම පිළිබඳව උනන්දු විය යුතු බව පැහැදිලි ය.