තමන්ටත් අනුන්ටත් පීඩාවක් නොවෙමු
ශාස්ත්‍රපති අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
“මහණෙනි, තමා පීඩාවට පත් කර ගන්නා වූ, තමා ව පීඩාවට පත් කර ගන්නා පිළිවෙතෙහි
සිටින්නා වූ ද, ඒ වගේ ම අනුන් ව පීඩාවට පත් කරන්නා වූ, අනුන් ව පීඩාවට පත් කරවන
පිළිවෙතෙහි සිටින්නා වූ ද පුද්ගලයා කවරහු ද? පින්වත් මහණෙනි, මෙහි ලා එක්තරා
පුද්ගලයෙක් සිටියි. ඔහු ඔටුණු පැළඳූ රජකු විය හැක.
එසේ නැත හොත්, මහාසාර කුලයේ උපන් බමුණකු විය හැක. ඔහු නුවරට නැඟෙනහිරින් අලුත් යාග
ශාලාවක් කරයි. ඊට පස්සෙ කෙස්, රැවුල් බාලා අඳුන් දිවි සමක් පොරෝ ගනියි. ගිතෙලින්
ශරීරය ඉලීම්, පිරිමැදීම් කරයි. මුවකු ගේ අඟකින් පිට කසයි. රාජ මහේසිකාව, පුරෝහිත
බමුණා සමඟ යාග ශාලාවට පිවිසෙයි. ඉතින් ඔහු අමු ගොම තැවරූ, අමු කොළ අතුල බිම හාන්සි
වෙයි. මව් වැස්සියට සමාන වූ රූප ඇති වසු පැටියකු සිටින එළදෙනක ගේ එක් තන පුඩුවකින්
යම් කිරක් වැගිරෙයි ද, එයින් රජු යැපෙයි. දෙවැනි තන පුඩුවෙන් යම් කිරක් වැගිරෙයි ද,
එයින් මහේසිකාව යැපෙයි. තුන්වැනි තන පුඩුවෙන් යම් කිරක් වැගිරෙයි ද, එයින් පුරෝහිත
බමුණා යැපෙයි. සිව් වැනි තන පුඩුවෙන් යම් කිරක් වැගිරෙයි ද, එයින් ගිනි පුදයි.
අනිත් තන පුඩුවලින් වහු පැටියා යැපෙයි. පසුව ඔහු මෙලෙස කියයි.
‘ යාගය පිණිස මෙපමණ හොඳීන් වැඩුණු ගවයෝ නසත්වා! යාගය පිණිස මෙපමණ තරුණ ගවයෝ නසත්වා!
යාගය පිණිස මෙපමණ ගව නෑම්බියෝ නසත්වා! යාගය පිණිස මෙපමණ බැටලුවෝ නසත්වා! යාගය පිණිස
මෙපමණ එළුවෝ නසත්වා! යාගය පිණිස මෙපමණ වෘක්ෂයෝ සිඳීනු ලබත්වා! යාගයට ඇතිරීම පිණිස
මෙපමණ කුස තණ කපනු ලබත්වා!’එවිට ඔහුට සිටින යම් දාසයෝ වෙත් ද, යම් ඇත්ගොව් ආදීන්
වෙත් ද, යම් කම්කරුවෝ වෙත් ද, ඔවුනුත් දඬුවමට තැති ගන්නවා. බියෙන් තැති ගන්නවා.
කඳුළු වගුරුවා ගත් මුහුණින් යුතු ව යාගයට ආවතේව කරති. මහණෙනි, තමාවත් පීඩාවට
පත්කරවන වැඩපිළිවෙලක යෙදෙමින්, තමා ව ද පෙළන්නා වූ, අනුන් ව ත් පීඩාවට පත්කරවන
වැඩපිළිවෙලක යෙදෙමින්, අනුන් ව ද පෙළන්නා වූ පුද්ගලයා මොහු වෙයි”
මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයෙහි කන්දරක සූත්‍රය තුළ දී බුදුරජාණන් වහන්සේ පුද්ගලයකු
හදුන්වා දීමට කළ දේශනාවක් ඉහතින් උදෘත කරයි.
බුදු රජාණන් වහන්සේ චම්පා නුවර ගග්ගරා පොකුණ අසබඩ භික්ෂු සංගයා සමඟ වැඩ වෙසෙති.
උන්වහන්සේ එම ස්ථානයෙහි වැඩ වෙසෙද්දී පෙස්ස නම් වු ඇතුන් දමනය කරන්නකුගේ පුතකු සමඟ
කන්දරක නම් තවුසා පැමිණෙයි. උන්වහන්සේ හා පිළිසඳර කථා බහෙහි යෙදෙයි. කන්දරක තවුසා
මෙසේ ප්‍රකාශ කරයි. “බුදු හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ භික්ෂු සංඝයා හික්මා ඇති ආකාරය
හරිම අශ්චර්යයි, හරිම පුදුමයි. පෙර බුදුවරුත් උන්වහන්සේලාගේ ශ්‍රාවකයන් හික්මවනු
ලැබු වේ මේ අයුරින් දැ'යි ප්‍රශ්න කරයි. එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ
සියලු බුදුවරු එසේ කළ බව යි. ඔවුහු සතර සතිපට්ඨානය මැනවින් සිත පිහිටුවා වාසය කරන
බව ප්‍රකාශ කරයි. මේ භික්ෂූන් අතර රහත්භාවය ලැබූ අය සිටිති, රහත්බව ලබන්නට සිල්
පුරන අය සිටිති, ඒ කවුරුත් කෙලෙස් තවන වීර්යයෙන්, යෝනිසෝ මනසිකාරයෙන්, බැහැර කරන ලද
විෂම ලෝභය හා ද්වේෂය ඇති ව සතර සතිපට්ඨානය ඇතු ව හික්මී සිටිති.
එම අවස්ථාවේ පෙස්ස මෙසේ කියයි. මම ද සතිපට්ඨානයෙන් හික්මෙන අයකු වෙමි, බුදුරජාණන්
වහන්සේ හික්මවන්නේ මිනිසුන් නිසා උන්වහන්සේගේ හික්මවීම වඩාත් අශ්චර්යයකි ,
පුදුමයකි. මා හික්මවන්නේ ඇතුන්, අශ්වයන්. මේ සතුන්ට වංචාව, මායාව, කපටිකම තිබේ. එය
මා දැක ඇත.
සත්තුන්ගේ මේ කපටිකම් හසු වුව ද මිනිසුන්ගේ ඒවා සොයන්න නොහැකි ය. මිනිස්සු එකක්
කරති. තව එකක් කියති. තව එකක් සිතති.එවන් පිරිසක් හික්මවීම මහ ආශ්චර්යයකි.
එවිට බුදු රජාණනන් වහන්සේ මිනිසුන් ඔවුන්ගේ ගතිලක්ෂණ අනුව සතර ආකාරයකට බෙදෙන බව
දේශනා කරති.
පුද්ගලයෝ හතර දෙනෙක් මේ සමාජය තුළ වෙසෙති.
තමන්ට පීඩා කරන, තමන්ට පීඩා ගෙනදෙන ක්‍රියා කාරකම් අනුගමනය කරන පුද්ගලයා,
අනුන්ට පීඩා කරන, අනුන්ට පීඩා ගෙන දෙන ක්‍රියාකාරකම් අනුගමනය කරන පුද්ගලයා,
තමන්ට පීඩා කරන, අනුන්ට පීඩා කරන එම ක්‍රියාකාරකම් අනුගමනය කරන පුද්ගලයා,
තමන්ට පීඩාවක් නොවන, තමන්ට පීඩා නොවන ක්‍රියා කාරකම් අනුගමය කරන. අනුන්ට
පීඩාවක් නොවන අනුන්ට පීඩා ගෙන දෙන ක්‍රියාකාරකම් අනුගමනය කරන පුද්ගලා.
ඉහතින් සදහන් කරනු ලැබුවේ මෙයින් තුන්වැනි වර්ගයට අයත් පුද්ගලයෝ ය. බුදුරජාණන්
වහන්සේ ඒ තුළින් සමාජයේ එක්තරා පන්තියක් පිළිබද ව කතා කරයි. රජ තුළින්, ජනතා
බදුවලින් සුපෝෂණය වන පාලක පන්තිය හා මහාසාර බමුණන් තුළින් ධනපති පන්තිය නිරූපණය
කරයි. කිරි ලබා දෙන වැස්සිය තුළින් රටේ සම්පත් නිරූපණය කරයි. වැස්සිගේ කිරි අයත්
වන්නේ වහු පැටියටයි. රටක සම්පත් අයත් වන්නේ ඒ රටේ මහජනතාවටයි. එහෙත් වහු පැටියට
ලැබෙන්නේ එක් තන පුඩුවක කිරි පමණයි. රජු, මහේෂිකාව, පුරෝහිතයා, එක් එක් තනපුඩුව
බැගින් අයත් කොටගෙන කිරි බොන අතර, රජු එක් තන පුඩුවක් වෙන් කොට ඇත්තේ ගිනි
පීදීමටයි. මහජනයාට අයත් දේපළ හරි අඩක් පරිභෝජනය කරනුයේ පාලක පන්තියයි. ධනපති
පන්තියයි. ඒ විතරක් නොව ඔවුන්ගේ ආරක්ෂාව, හා සශ්‍රීකත්වය උදෙසා යාග පැවැත්වීමට ඒ
සම්පත් ලබා ගනියි. යාග සදහා දහස් ගණන් ගවයන්, එළුවන්, බැටලුවන් මරා දමයි. ගස් කොළන්
කපා දමයි. ඒ සදහා යොදා ගන්නා කම්කරුවන් අකමැත්තෙන්, දුකින් ඒ කටයුතුවල නිරත වෙයි.
රටේ සම්පත් වැඩි කොටසක් උරුම කර ගත් පාලක පන්තිය ධනපති පන්තිය තමන්ට හානියක් කර
ගනී. තමන්ට හානියක් වන ක්‍රියා කාරකම්හි නිරත වෙයි. අනුන්ට හානියක් කර ගනියි.
අනුන්ට හානි වන ක්‍රියා කාරකම්හි නිරත වෙයි.
මහජනයා දුකට පත්වන අයුරින් මහජනයාට සේවය නොකොට තමාගේ සුපෝෂණය උදෙසා, තමන්ගේ
සශ්‍රීකත්වය උදෙසා විවිධ සැණකෙළි පවත්වමින් ජනයා පෙළන, පාලකයන්, ධනපතියන් ඒ ක්‍රියා
මාර්ග තුළින් තමාගේ ජීවිතය හා සසර ගමන පීඩාවට පත් කර ගනියි. අන් අයට ද මේ තුළ ඇති
කරනුයේ පීඩාවකි. සම්පත් බහුතරයක් එක්තැනකට කොටු වූ කල, සුළුතරයක් සීමිත සම්පත්
ටිකක් පරිහරණය කරන කල සමාජ ගැටලු මතු වෙයි.
ඉල්ලිස ජාතකය තුළ කියැවෙන්නේත මෙවැන්නකි. ඉල්ලිස සිටුතුමා ධන කුවේරයකි. කිසිවක්
කිසිවකුට නොදෙන්නකි. ඔහු සම්පත් බහුතරයක් ගොඩනඟා ගත්තෙකි. අනෙක් බහුතරයකට
ජීවත්වන්නටවත් සම්පත් නැත. හට ගන්නා ජනතා අරගලය ඉල්ලිස වේෂයෙන් සිටින ශක්‍රයා
තුළින් නිරූපණය වෙයි. ඔහු හැම දෙනාට ම සැබෑ ඉල්ලිසගේ අකැමැත්තෙන් සම්පත් බෙදා දෙයි.
පුද්ගල පීඩනය සමාජ පීඩනයක් බවට පත් වෙයි. සම්පත් බෙදීමේ විෂමතාව කටයුතු කරගෙන
දිළිඳුකම බහුල වෙයි. දිළිදුකම බහුල වීමෙන් සොරකම බහුල වෙයි. සොරකම බහුල වීමෙන් ආයුධ
බහුල වෙයි. ආයුධ බහුල වීමෙන් ප්‍රාණඝාතය බහුල වෙයි. ප්‍රාණඝාතය බහුල වීමෙන් බොරුව,
කේළම බහුල වෙයි.හිස් වචන බහුල වෙයි. කාම මිථාචාරය බහුල වෙයි. මෙවන් සමාජය පුද්ගලයාට
හිරිහැරයකි. සමාජයට හිරිහැරයකි.මිනිසුන් කුලියට මිනී මරන්නේ, උපන් හැටියේ කිරි
කැටියන් කුඹුරුවල දමා යන්නේ, වංචා, සොරකම්, අල්ලස් ගැනීම ආදි වූ සමාජ ගැටුම්
ඇතිවන්නේ මෙවන් පසුබිමක් ගොඩනැඟුණු පසුවයි. පුද්ගලයකු පමණක් සශ්‍රික වී සමාජය
සශ්‍රික නොවේ නම්, එය ඒ පුද්ගලයාට පීඩාවකි. සමාජයට පීඩාවකි.
අපි වෙන වෙන ම හිතමු. තමාට පීඩා ගෙන දෙන පුද්ගලයකු නොවෙමු. එවන් ක්‍රියාකාරකම්
නොකරමු. අනුන්ට පීඩා දෙන පුද්ගලයකු නොවෙමු එවන් ක්‍රියාකාරකම් නොකරමු. අනුන්ටත්
තමන්ටත් පීඩා ගෙන දෙන්නකු නොවෙමු. එවන් ක්‍රියා මාර්ග නොගනිමු. තමන්ට පීඩාවක්,
අනුන්ට පීඩාවක් නොමැති පුද්ලයන් වෙමු. එවන් ක්‍රියාමාර්ගය ගොඩනඟමු. |