Print this Article


අයං වස්සාන කාලො

අයං වස්සාන කාලො

දඹදිව සමාජ පරිසරය තුළ ඉතා ඈත අතීතයේ පටන් ම හේමන්ත, ගිම්හාන හා වස්සාන යනුවෙන් වසරකට සෘතු තුනක් පැවතිණ. වසන්ත සෘතුවක් ද මීට එක්කොට ඇතැම් තැනෙක සෘතු සතරක් ලෙස ද දැක්වෙයි.

වස්සාන සෘතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන තුළ උපසපන් භික්ෂූන් වහන්සේ වස් සමාදන් ව වැඩ සිටිති. සෑම වසරක ම ඇසළ පොහෝදා සිට වප් පෙහෝදා දක්වා යෙදෙන වස් කාලය සැදැහැවතුන් ගේ පුණ්‍ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි.

සතර පෙහොය ප්‍රමුඛ ව සිරිලක බොහෝ ආගමික හා සංස්කෘතික උත්සව යෙදී ඇත්තේ චන්ද්‍ර මාස ක්‍රමය අනුව යි. සූර්යයා මුල් කරගෙන ද බක් මහ උළෙල හෙවත් සූර්ය මංගල්‍යය පැවැත්වෙයි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව එමඟින් සංකේතවත් කෙරෙයි. එහෙත් වස් විසීම හා කඨින චීවර පූජාවෙහි ආරම්භය හිරු සඳු කේන්ද්‍රගතවීම් මත සිදුවූවක් නො වී ය. ඒ සඳහා මුල් ව ඇත්තේ දඹදිව සමාජ පරිසරය තුළ වස්සාන සෘතුව තුළ හටගන්නා අධික වර්ෂාපතනය යි.

රිසි සේ වැසි වසින්න

ගිම්හානයෙහි අධික සූර්ය රශ්මියෙන් පීඩා ලැබ සිටි දඹදිව වාසීන්ට වර්ෂා සමයෙහි උදාවන සිසිල් පවන් රැලි මුසු වූ වර්ෂාපතනය යම් සිසිලසක් ලබා දුනි. එහෙත් එහි යම් යම් උච්චතම අවස්ථාවන්හි ගෙන දුන්නේ බලවත් පීඩාවන් ය. මෙම තත්ත්වය හමුවේ වැස්සට නොබිය ව ජීවත්විය හැකි ව තිබුණේ සමාජයේ යම් ධනයක් හා බලයක් උරුම ව සිටි අයෙකුට පමණෙකි. බුදුරදුන් හා ධනියගෝපාල අතර සිදු වූ සංවාදය එයට හොඳම උදාහරණය යි.

බුදුරදුන් හමුවේ ධනියගෝපාල මෙවන් ධනවාදී ප්‍රකාශයක් ඉදිරිපත් කළේ ය. මම සිදු කළ බත්කිස ඇත්තෙමි. දෙවූ කිරි ඇත්තෙමි. මහී ගංතෙර සමීපයෙහි මාගේ පිරිවර සමග වාසය කරමි. ගෘහය මැනවින් සෙවිලි කර ඇත. ගිනි දල්වා ඇත. මේඝය ඉඳීන් රිසි සේ වැසි වසින්න. මෙයට බුදුරදුන් දුන් පිළිතුර මෙය යි.

මම නොකිපෙන සිත් ඇත්තෙමි. පහව ගිය රාග සිත් ඇත්තෙමි. මහී ගං තෙර සමීපයෙහි රාත්‍රී තනි ව වාසය කරමි. ආත්මභාව නමැති කුටිය කෙලෙස් නොමැති හෙයින් විවෘත ය.

රාගාදී ගිනි නිවී ඇත. මේඝය ඉඳීන් රිසි සේ වැසි වසින්න. මේ ආදී වශයෙන් ආරම්භ වූ සංවාදයේ දී තව දුරටත් බුදුරදුන්ගෙන් ලැබුණු පිළිතුරු අනුව වැස්ස ප්‍රාර්ථනා කිරීමට වඩාත් සුදුසු තමා නොව උන්වහන්සේ ම බව ධනියගෝපාල ඉතා මැනවින් වටහා ගත්තේ ය.

ථෙර ගාථාවන් හි හමුවන පිවිතුරු උදානයන් දෙස බැලීමේ දී ද මැනවින් පැහැදිලි වන කරුණක් නම් බුදුරජාණන් වහන්සේ මෙන් ම මහරහතන් වහන්සේ ද වැසි සමය දෙස බලා ඇත්තේ ඉමහත් ප්‍රබෝධයකින් බවයි. සිඳීම්, වියළීම් හා ගැලීම් උරුම කොට ගත් ගඟ දිය නොකඩවා ඉදිරියට ගලා බසින්නාක් මෙන් වැසි සමයෙහි මුහුණ දෙන සියලු බාධාවන් සහාය

කොට සිතමින් ස්වකීය ආධ්‍යාත්මික සුවය සපුරා ගැන්මට භික්ෂූන් වහන්සේ උත්සාහවත් වූ හ.

පරම අවිහිංසාවාදය

බුද්ධකාලීන මෙම දඹදිව සමාජ පරිසරය තුළ ම විවිධ ආගම් හා දර්ශනවාදයන් ඉගැන්වූ ආගමික නායකයින් විශාල සංඛ්‍යාවක් දැක ගත හැකි විය. ඒ සියලු ඉගැන්වීම් කැටිකොට ගත් කල දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන් පැවතිණ.එකී ආගමික නායකයින් අතර වඩාත් ප්‍රකට ව හා පිරිස් බලයක් සහිත ව සිටියේ ෂට්ශාස්තෘවරුන් ය. ඔවුන් අතර ද වඩාත් ම ඉදිරියෙන් සිටියේ ජෛන මහාවීර හෙවත් නිගණ්ඨනාථපුත්තතුමා ය. ඔහුගේ ප්‍රධාන ඉගැන්වීම වූයේ පරම අවිහිංසාවාදය යි. එම ඉගැන්වීම සෙසු නායකයින් ගේ ඉගැන්වීම් මෙන් ජන සමාජයට හානිදායක නොවීය.ගහකොළ මත සේ ම තණ කොළ මත ද එකීන්ද්‍රිය ප්‍රාණයක් ඇතැයි, ඔහු ඉගැන්වීය. ගස්වල අතුරිකිලි පවා කඩා දැමීම පාපයක් යැයි සැලකී ය. එසේ ම ජලය තුළ ද ක්ෂුද්‍ර ජීවින් සිටින බව පහදා දුන් ඔහු වැසි ජලය හා තණකොළ පයින් පෑගීම ද බලවත් ම පාපයක් සේ දුටුවේ ය. පෙරහන්කඩක් නිතර ම ළඟ තබා ගැනීමට නියම කළ ඔහු ජලය පානය කරන සෑමවිටෙක ම එය පෙරා පානය කළ යුතු බව ඉගැන්වූයේ ක්ෂුද්‍ර ජීවීන් ගේ ආරක්ෂාව සඳහා ය.

මෙම ඉගැන්වීම තුළ නිගණ්ඨනාථපුත්තතුමා ස්වකීය ශ්‍රාවකයන්ට හා අනුගාමිකයන්ට අධික වැසි සහිත වස්සාන සමය තුළ ගමන්බිමන් තහනම් කොට තිබිණ. මෙම පරම අවිහිංසාවාදී ඉගැන්වීම එකල දඹදිව වැසියන්ගේ සිත් තුළට තදින් ම කිඳා බැස තිබූ හෙයින් මෙකී ප්‍රතිපත්ති ඔවුහු දැඩි ව අනුගමනය කළ හ.

බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන්හට දේශනා කර තිබුණේ ජීවිතයේ පරම සංසිඳීම වූ නිවන සාක්ෂාත් කර ගැනීමට සේ ම අන් ජනතාවට ද එම මාර්ගය කියාදීම සඳහා අප්‍රමාදී ව ක්‍රියා කරන ලෙසයි. ප්‍රථම රහතන් වහන්සේ සැට නම අරභයා දුන් “මහණෙනි, බොහෝ දෙනාට හිතසුව පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද, දෙවිමිනිසුන්ට වැඩ පිණිස ද, හිත සුව පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. දෙදෙනකු එක මඟ නොයන්න. මුල, මැද, අග යහපත් වූ, අර්ථ සහිත වූ, සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මයක් දේශනා කරන්න” යන අවවාදය එයට එක් උදාහරණයකි.

මෙම අවවාදය මැනවින් ක්‍රියාත්මක කළ භික්ෂූන් වහන්සේ අව්ව, වැස්ස, රාත්‍රිය, දවාල සහ වෙහෙස මහන්සිය ගැන නොතැකූ අතර හේමන්තය ද,ගිම්හානය ද, වස්සානය ද යන කරුණු කෙරෙහි ද සැලකිල්ලක් නොදැක් වූ හ. ඒ අනුව වස්සාන සමය තුළ ද භික්ෂූන් වහන්සේ වැසි ජලය හා තණකොළ පාගමින් ගම්, නියම්ගම් හා නගර සිසාරා ධර්ම දූත චාරිකාවෙහි නිරත වූ හ.

මෙම ක්‍රියාව පරම අවිහිංසාවාදී ප්‍රතිපත්තියකින් යුක්ත ව ජීවත් වූ ජනතාවක ගේ දැඩි විමතියකට හේතු වුණි. එබැවින් ඔවුන් අතර ඇති වූයේ මෙවන් කතා බහකි.

කෙසේ නම් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ හේමන්තයෙහි ද, ගිම්හානයෙහි ද, වස්සානයෙහි ද නිල් තණකොළ පාගමින් ඒකීන්ද්‍රීය ජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද ? අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ වැරැදි සේ කියූ දහම් ඇත්තාහු වුවත් වස් විසීමෙහි යෙදෙති. උත්සාහ රහිත ව නිතර එක තැන වාසය කරති.

කුරුල්ලෝ ද ගස් මුදුන්වල කූඩු තනාගෙන වැසි කාලයෙහි ඒවායෙහි වාසය කරති.

මෙම කරුණු මත පිහිටා ඇතැම්හු භික්ෂූන් වහන්සේට අවමන් කළහ. නින්දා කළහ. දොස් කීහ. දිගින් දිගට ම මෙම බස් කන වැකීමත් සමඟ ම භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙය සැළකර සිටියහ.

පසුව බුදුරජාණන් වහන්සේ මේ කෙරෙහි දැඩි අවධානයක් යොමු කොට “මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි” යි, වදාළහ. එකල්හි “කවදා වස් එළඹිය යුතු දැ” යි, විමසීමට භික්ෂූන් වහන්සේට සිත් වූ හෙයින් එය බුදුරදුන් වෙත සැළ කර සිටියහ. එවිට බුදුරදුන් වදාළේ “මහණෙනි, වස්සාන සෘතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි යනුවෙනි. මෙම වස් විසීමට අනුව සංචාරක දිවියක් ගෙවමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත ව සිටි භික්ෂූන් වහන්සේට එයින් අත්මිදී එක් තැනෙක වැඩ වෙසෙමින් ග්‍රන්ථ ධුර හා විදර්ශනා ධුර වැඩීමටත්, සැදැහැවතුනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමටත් වස් කාලයේ අවස්ථාව උදා වුණි.

ගිහි - පැවිදි සබැඳීයාව ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් පැවතිය යුතු බව සිංහල බෞද්ධ ජන සමාජය පිළිගෙන තිබේ. එම සබැඳීයාව මැනවින් මූර්තිමත් වන කාල පරිච්ඡේදයක් මෙම වස් සමය තුළින් පිළිබිඹු කෙරෙයි. භික්ෂූන් වහන්සේ සහ සැදැහැවත් ගිහි සමාජය අතර මෙම සබැඳීයාව ඇති වූයේත්, ආරාමික දිවිපෙවෙත ක්‍රමානුකූල පදනමක් ඔස්සේ සංවර්ධනය වූයේත් වස් විසීමේ ප්‍රතිඵලයක් ලෙස යි.