සොඳුරු උරුමයක අභිමානය කියන මාලිගාතැන්න
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වතු හිරිපිටිය පස්ගම්මන යොන්ගම්මුල්ල
අඹගස්පිටිය සහ කඳුමුල්ල යන ග්‍රාමයනට මැදි ව උස් වූ පර්වත භූමිය වර්තමානයේ
හඳුන්වන්නේ මාලිගාතැන්න යන නාමයෙනි.
අක්කර සිය ගණනක් පුරා විහිදෙන කඳු පන්තියක නිර්මාණය වී ඇති මාළිගාතැන්න විහාරයට
පිවිසීමට පාදමේ සිට කැපූ ගලින් සැදී පිය ගැට පෙළ නැඟ යා යුතු වෙයි. පියගැටපෙළ මතින්
පැමිණ, වාහල්කඩින් ඇතුල් වී උඩමළුව වෙතට ගමන් කළ හැකි වේ. එතැනින් ඉහළට ගමන් ගන්නා
විට දෙගල්දොරුව නම් ස්ථානයට ගමන් කළ හැකි ය.
මෙම ස්ථානය පිළිබඳ පැරැණි ලේඛන, ඉතිහාස ග්‍රන්ථ, ජනශ්‍රැතීන්, පුරා විද්‍යාත්මක
සාධක දෙස බැලීමෙන් වඩාත් නිවැරැදි නිගමනයකට එළැඹිය හැකි වේ. මෙහි සිදු කළ නිර්ණය
කිරීමෙන් ක්‍රි.පූ. 01 වැනි සියවස තෙක් සාධක සොයා ගෙන ඇති බව පැවසේ.
සොළී ආක්‍රමණයන්ගෙන් සැඟවීම පිණිස වළගම්බා රජුගේ ආරක්ෂක බලකොටුවක් වූ බව ද සඳහන් ය.
ඒ අතීතයේ දී උයම්බඩකන්ද, වටගලකන්ද, කෙහෙල්වේරුගල යන නාමයන්ගෙන් හඳුන්වා ඇති බව ද
කියැවේ.
වංශ කතාවට අනුව වසර හතක් පමණ මෙම ස්ථානයේ වැඩ වාසය කළ ‘මිත්තාසභ’ භික්ෂූන් වහන්සේ
උඩ මළුවේ සුළං කපොල්ලේ දී රහත් ඵලය ලැබූ බව ද කියැවේ. එලෙස ම වළගම්බා රජු රාජ සභාව
මෙන් ම සේනාව රැස් කළ සුවිසල් ලෙන ද මෙම ස්ථානයේ දී දැක ගැනීමට හැකි වේ.
ක්‍රි.ව. 3 වැනි සියවසේ දී පමණ මුගලන් කුමරු සැඟවී සිටියේ මේ ආරක්ෂිත ස්ථානයේ බවත්
ඉන්දියාවේ සිට සේනාව රැගෙන පැමිණියේ ද මේ බළකොටුවට බවත්, කියැවේ. මුගලන් කුමරු සෑදූ
වෙද හලක නටබුන් මෙහි දක්නට ඇති බව ද කියැවේ. මෙහි ඇති ඇඹරුම් ගල එයට ප්‍රබල සාක්ෂි
සපයන බව කියැවේ. එම යුගයේ නෙළන ලද හිටි පිළිමයක පද්මාසනය ද, මලසුන ද ඉතිහාසය
කියැවීමට අවශ්‍ය සාධක බව කියැවේ. ඒ වගේ ම මෙම ස්ථානය කෝට්ටේ යුගයේ දී රහස්
බලකොටුවක් වශයෙන් පැවති බව ද කියැවී ඇත.
ක්‍රි.ව. 1215 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණයන්ගෙන් සම්බුද්ධ ශාසනයට ද මහත් විනාශයක්
සිදුවිය. එකල වැඩ විසූ ශ්‍රී වාචිස්සර සංඝරාජයාණන් වහන්සේ දන්ත ධාතූන් වහන්සේ ද,
පාත්‍රා ධාතූන් වහන්සේ ද රැගෙනවිත් ආරක්ෂිත ව වඩා හිඳුවා පුද පූජා පැවැත්වූයේ මෙම
ස්ථානයේ දී බව කියැවෙන තවත් ජනප්‍රවාදයක් ඇත.
කෝට්ටේ යුගයේ දී දළදා වහන්සේගේ භාරකාරත්වය දැරුවේ කීරගල දියවඩන නිලමේතුමා ය. එතුමා
දිනක් රාත්‍රියේ සිහිනයක් දුටුවේ ය. එහි දී කියැවී ඇත්තේ දන්ත ධාතූන් වහන්සේ රට
මැදට ගෙන යන ලෙසටයි. ඉණේ බැඳි හවඩියේ සඟවා ගත් දන්ත ධාතූන් වහන්සේ මායාදුන්නේ රජුගේ
අනුග්‍රහයෙන් දෙල්ගමු රාජ මහා විහාරය වෙත රැගෙන යන ගමනේ දී එක් සුරක්ෂිත කඳු මෙව්ලක
මාලිගාවක් ඉදිකොට දන්ත ධාතූන් වහන්සේ තාවකාලික ව එහි තැන්පත් කළ බව ජනප්‍රවාදිතය. ඒ
එක්තරා කඳු පන්තිය මාලිගාතැන්න ලෙස ප්‍රකට ය. එවකට මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ උයන්බඩ
කන්ද නම් වූ ස්ථානයේ වූ උඩමළුවේ මාලිගය ලෙස යැයි ද සඳහන් ය. මාලිගාතැන්න ලෙස
වර්තමානය වන විට හඳුන්වන මෙම නම පටබැඳුණේ උඩමළුවේ වූ මේ මාලිගාව නිසා යැයි ද
කියැවේ.
අතීත ජනප්‍රවාද දෙක ම සත්‍යයක් වූයේ නම් දන්තධාතූන් වහන්සේගේ පූජනීය වූ පහස දෙවරක්
ම ලැබූ කඳු පන්තිය ලද විශිෂ්ට වරප්‍රසාදයක් ලෙස සැලකිය හැකි ය.
මෙම ස්ථානය විවිධ යුගයන් හි බළකොටු වශයෙන් ද, වනවාසී භික්ෂු ආරාමයක් මෙන් ම, දන්ත
ධාතූන් වහන්සේ වැඩ සිටි පූජනීය ස්ථානයක් ලෙස ද ප්‍රකට ය. ඉතිහාස කතාවට සුවිශේෂ
පරිච්ඡේද කීපයක් එක්කල ජාතික, ආගමික උරුමයේ සැමරුම් සිහිවටනයක් බව ද කියැවේ.
කඳු පන්තිය පුරා පැතිරී ඇති ඓතිහාසික ශාසනික වටිනාකම් අපේ උරුමයේ සාධනීය ලක්ෂණයන්
ය. මළුවේ කටාරම් කෙටූ ලෙන් කීපයකි. උළුවස්සක් සහිත පැරැණි දේවාලයක ශේෂ ද, කටාරම්
කෙටු ගලකට සම්බන්ධ ගල් උළුවස්සක් ද, බිත්ති මත සිතුවම් කර ඇති දේව රූප සහ මල් වැල්
රටා ද මෙහි ඉපැරැණි බව තහවුරු කරවයි.
පැරැණි නටඹුන් රාශියක් මෙන් ම භාවනායෝගීන් භාවිත කළ උපකරණ රාශියක් ද, උමං මාර්ගයක්
ද, අඳුර රජයන ගුහා කීපයක් ද මෙහි අතීත රහස් සඟවා ගෙන සිටින බව කියාපායි. පුරාතනයේ
රහතන් වහන්සේලගේ පහසින් පිවිතුරු වූ පින් බිමක් වූ බව ද කියැවෙයි.

- දීපා පෙරේරා
|