Print this Article


චෝර ඝාතකයාගේ අරුම පුදුම මන්ත්‍රය

චෝර ඝාතකයාගේ අරුම පුදුම මන්ත්‍රය

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩවාසය කරන කාලයේ කොසොල් රටේ මහ කැලෑවක ජීවත් වුණා හොරු පන්සියයක පිරිසක්. මේ අයගේ ජීවනෝපාය තමයි රෑ දෙගොඩහරියේ මිනිසුන් නිදාගෙන ඉන්න ගෙවල්වලට පැනලා හොරකම් කරන එක.

මෙහෙම හොරකමෙන් හම්බ කරන මුතු, මැණික්, මුදල් ආදිය යොදවලා තමන්ගේ අඹුදරුවන් පෝෂණය කරමිනුයි මේ අය ජීවත් වුණේ. දවසක් හොරකමේ යන මේ අයට හදිස්සියේ ම අම්බලමක නතර වෙන්න සිද්ධ වුණා. ටික වේලාවක් ඉන්න කොට අම්බලමේ මුල්ලක සීතලට ගුලිවෙලා නිදාගෙන හිටිය දුප්පත් මිනිහෙක් දකින්න ලැබුණා. ඔහුට කතා කරලා ‘උඹ කවුද? මොකද මේ තැන කරන්නේ? කොහේද උඹේ ගම? අඹුදරුවන් ඉන්නවද? ආදී ප්‍රශ්න කන්දක් අහලා ඔහුව අඳුනා ගත්තා. හොරු රංචුවම අඹුදරුවන් පෝෂණය කරන නිසා හොරකම් කරන්නේත් තද බයකින්. බැරිවෙලාවත් රාජපුරුෂයන්ට අහුවුණොත් රජු ඉදිරියට ගෙනිහින්ලා මරණීය දණ්ඩනයට යටත් කරන බවත් දන්නවා. ඒ නිසා මේ මිනිහා හැම හොරකමක දී ම පෙරට ම යවලා අපේ හොරකම් ටික කර ගන්න පුළුවනි. මේකා මෝඩ පහේ මිනිහෙක් වගේත් පේනවා‘යි හොර නායකයෝ කතා කර ගත්තා. ඊට අනුව තීරණය කරලා හොර නායකයෙක් මොහුට කියනවා ‘ඒයි, උඹට හොඳ කල දසාවක් උදාකරලා දෙන්නයි අපි මේ කතා කර ගත්තේ. උඹ ඔය විදිහට දුක් විඳින්න ඕන නෑ. සුව සේ ජීවත් වෙන්න අපි ඇති තරම් ධනය දෙන්නම්, වස්තුව දෙන්නම්, මිල මුදල් දෙන්නම්, අඹුදරුවොත් එක්ක සතුටින් ජීවත් වෙයන්. අපිත් එක්ක වැඩ කරන්න වරෙන්’ කියලා හිත හරවා ගත්තා. ඒ කතා ඔක්කොම අහගෙන ඉඳලා මේ මිනිහා තීරණය කළා හොරුත් එක්ක එකතු වෙලා නුවර ගෙවල් බිඳීන්න. මං පහරන්න. හොර නායකයෝ හොරකම් කරන හැටි පියවරෙන් පියවර මේ පුරුෂයට කියලා දුන්නා. ගෙවල් බිඳීන හැටි, ගෙට ඇතුළු වෙන හැටි, ගෙහිමියෝ අවදිවුණොත් කළ යුතු දේ ආදී හැම දේ ම කියලා දුන්නා. ඉතින් මේ මිනිසාත් හරිම දක්ෂ විදිහට හොරකම් ටික කළා.

ඔහුට ඇති පමණ වස්තුවත්, මිලමුදලුත් ලැබුණා. බිරිඳත්, දරුවනුත් සතුටින් ඉන්න හැටි නිතර නිතර මේ මනුෂ්‍යයාට මතක් වෙන්න පටන් ගත්තා. ඒ නිසා හොරකම තවතවත් උනන්දුවෙන් කරන්නත් වුණා. හැමදාම එකම කටයුත්ත එකම විදිහට කරන්න බෑ කියන එක ඔප්පු කරමින් දවසක් නුවර ගෙයක් බිඳීමින් ඉන්නකොට මේ මනුෂ්‍යා ව රාජ පුරුෂයන් අල්ලා ගත්තා. අනෙක් හොරු ඔක්කොම පැන ගියා. රාජපුරුෂයෝ මේ මිනිහට වධ දීලා අනෙක් හොරු ගැනත්, හොරකම් කරපු තැන් ගැනත්, සොරා ගත්ත වස්තු ගැනත් තොරතුරු ඔක්කොම හොයා ගත්තා. මේ මිනිහගෙන් තොරතුරු අහගෙන කැලෑවේ හොරු ඉන්න තැන වට කරලා අනෙක්

හොරු ටිකත් රාජපුරුෂයෝ අත් අඩංගුවට ගත්තා. මේ පන්සිය එක් දෙනා ම අරගෙන ගියා රජතුමා ළඟට. කොසොල් රජතුමා තමන්ගේ නුවර වැසියන්ට කලක් තිස්සේ කරපු අකටයුතුකම්, අපහසුකම්, ඔවුන්ගේ දුක් ගැනවිලි සිහි කරලා නැවතත් මේ නුවර හොරකම් ඇති නොවෙන්න ම තීරණයක් ගන්න ඕනෑයි හිතලා පිරිස අමතලා කියනවා ‘බොලව්, තොපි අතරින් කෙනෙක් මේ සියලු ම දෙනා මරල දාන්න ඉදිරිපත් වෙනවා නම් මම ඔහුට ජීවිත දානය දෙනවා, නුඹලා ම තීරණය ගනිව්‘යි දැඩි ව කෝපයෙන් කියා සිටියා. හොරු රංචුවේ හැම කෙනාම එකිනෙකාගේ මුහුණු බලා ගන්න පටන් ගත්තා. එක්කෙනෙකුටවත් පුළුවන්කමක් නෑ තවත් අයෙක් ව මරන්න. ඒ තරම් ඒ අය සමීප මිතුරු දමකින් හිටියා. ඒ වගේම ඒ අය හොරකම් කරපු මුදල්වලින් සුව සේ ජීවිත ගත කළා. අඹු දරුවන් මතක් වෙන්න පටන් ගත්තා.

ඒ නිසා ටික වේලාවක් යනකම් කවුරුත් ම ඉදිරිපත් වුණේ නෑ. මේක දිහා බලාගෙන හිටිය අම්බලමේ දී හමුවුණු මිනිහා කියනවා

‘රජතුමනි, ඔය කියන්නේ විහිළුවට නෙවෙයි නේද? ඇත්තට ම ඒ කෙනාට ජීවිත දානය දෙනවද?‘ කියලා ප්‍රශ්න කළා. රජතුමා ‘ඔව්“ යි නැවතත් තහවුරු කළා. ඊට පස්සේ අර මනුෂ්‍යා රජතුමාට කිව්වා ‘රජතුමනි, මම මේ පන්සියය ම මරල දාන්නම්‘ කියලා. රජතුමා මේ මනුෂ්‍යාව වධකාගාරයට ගෙනියලා අළුගෝසුවාගේ රාජකාරිය පුරුදු කරන්න රාජපුරුෂයන්ට අණ කළා. ඊට අනුව ඔහු හොරු පන්සියය ම මරා දැම්මා. රජතුමා බොහෝම සතුටට පත් වෙලා මේ පුරුෂයාට වධකාගාරයේ ස්ථිර අළුගෝසු තනතුර පිරිනැමුවා. මේ විදිහට අවුරුදු විසිපහක් ම සේවය සැපයුවා. දැන් බොහෝම වයසට ගිහින් එක මනුෂ්‍යයකුගේ හිස ගසා දාන්න කඩුපහර හත අටක් ම ගහන්න වෙන තත්ත්වයට කාය ශක්තිය හීන වෙලා ගියා. ඒ නිසා රජතුමා ඔහු ව රජමාලිගාවේ අළුගෝසු තනතුරෙන් ඉවත් කළා. ඊට පස්සේ ගෙදරට වෙලා ඉන්න මේ පුරුෂයාට දවසක් අහම්බෙන් ගමනක් යන අපූරු පුරුෂයෙක් හමුවුණා. ඔහුට පුළුවන් මන්ත්‍රයක් මතුරලා ඒ මොහොතේ එන නාසාවාතයෙන් මිනිහකුගේ අත්පා සිඳ බිඳ දමන්න. ඒ වගේම අධිෂ්ඨානය අනුව ඒ මොහොතෙම මරණයට පත් කරන්න. ඉතින් මේ මනුෂ්‍යයාට ඇප උපස්ථාන කරලා කොහොම හරි අර මන්ත්‍රය ඉගෙන ගත්තා. ඊට පස්සේ රජතුමාට පණිවිඩයක් යැව්වා තමන්ට නැවතත් අළුගෝසු තනතුර දෙන්න කියලා. රජතුමා ඔහු ව ගෙන්වලා ඇත්ත නැත්ත තහවුරු කර ගෙන නැවතත් එම තනතුරු පිරිනැමුවා. ඔහුත් පෙර පරිදි ම කටයුතු කළා. මෙහෙම අවුරුදු පහක් තව දුරටත් සේවය කරන කොට ලෙඩ ඇඳට වැටුණා. ඇවිද ගන්නවත් බැරි වුණා. ඉතින් ඇ‍ඳේ වැතිරිලා කෑ ගහමින්, විලාප තියමින් ඉන්නකොට දවසක් සැරියුත් මහරහතන් වහන්සේට මේ පුරුෂයාගේ පුණ්‍ය ශක්තියක්, නිසැකව ම නරකයට යාමත් දකින්න ලැබිලා කරුණාව උපදවාගෙන ‘මම අද මොහු ඉදිරියට ගිහින් පිහිට වුණොත් ඔහු නිරයෙන් මිදිලා දෙව්ලොව උපදිනවා. ඒ නිසා පිහිටක් වෙන්න ඕනෑ'යි තීරණය කරලා ඔහුගේ ඇඳ ඉදිරියේ පෙනී සිටියා. පින්-පව් නොසලකන මේ පුරුෂයා ඇඳේ ඉඳගෙන ම අර ප්‍රබල මන්ත්‍රය මතුරලා නාසාවාතය සැරියුත් තෙරුන් වෙත නිකුත් කළා. සැරියුත් මහ තෙරුන් වහන්සේ සමාපත්තියට සමවැදිලා එය වළක්වා ගත්තා. මෙහෙම කිහිපවතාවක් ම කළත් පුරුෂයාගේ උත්සාහය අසාර්ථක වුණා. අවසානයේ තෙරුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගෙන තමන්ට කෑමට ගෙනත් තිබුණ කිරිබත් පිඟාන තෙරුන් වහන්සේට පූජා කළා. තෙරුන් වහන්සේ ඔහුට බණ දේශනා කළා.

ජීවිතයේ පළමු වතාවට තෙරුන් වහන්සේ නමකට දානය දීමත්, බණ ඇසීමත් සිහි කරමින් ඉන්න අතරේ මිය ගිහින් දෙව්ලොව දිව්‍ය ආත්ම භාවයක් ලබා ගත්තා‘යි කතා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා. පින්වත්නි, තමන් පෙර පව් කළා කියලා හෝ තමන්ට ගුණ ධර්ම පුරුදු පුහුණු කරන්න කාලයක් තිබුණේ නෑ කියලා හෝ තමන්ට ධර්මය අහන්න ලැබුණේ නෑ කියලා හෝ දුක් වෙවී ඉන්න එපා. ධර්මය අහන්න ලැබුණ දවසේ ඉදලා, දන්දීමේ ආනිසංස අහන්න, කියවන්න ලැබුණ දවසේ ඉඳලා, ඒවා පුරුදු පුහුණු කරන්න. තරාගී ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියන්නේ ම ධර්මයේ ප්‍රතිබිම්බය යි. ඒ වගේම අපට සැමදා පිහිට වෙන පුණ්‍ය කෙතක්. ඒ පුණ්‍ය කෙතේ බීජ වපුරලා හොඳ අස්වැන්නක් ලබා ගන්න අප්‍රමාද වෙන්න එපා. එතකොට ඔබේ මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් දුකට පත් නො වී දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. ඒ වගේම හැමදාම හිතේ සතුට සොම්නස රැඳී පවතිනවා.