
මෙත් වඩන කාලය යි
සසුන් කෙත සරු කරන
නිවන් මඟ ඵල ලබන
සිව්වනක් පිරිස තම
සිත දියුණු කර ගන්න කාලය යි
මේ උදා වී ඇත්තේ
දුලබ මිනිසත් බවින්
ඵල නෙළා ගන්න නිසි කාලය යි
තුන් මසක් යන තුරුම මහ වැස්ස
ඇදහැලෙන
කුරා කුහුඹුන් පවා නිදහසේ
කල් ගෙවන කාලය යි
පිබිදෙන්න වෙර දරන
තණ පතක පණ නලට
නොරිදවා සිටිය යුතු
කාලය යි
දන් සිල් භාවනා
බණ දෙසුම් කරන්නට
බෝ දෙනා සිත් බඳින
කාලය යි
සිල් පුරා ගුණ දරා
නිවන් දකිනා තුරා
කුසල් වඩවා ගන්න උදා වූ කාලය යි
ආරාම තුළ වෙසෙන
සුපිළිපන් සඟරුවන
බණ දහම් මෙනෙහි කර
මෙත් වඩන කාලය යි
මේ උදා වී ඇත්තෙ
සැදැහැ දන පින් පුරන
වසරකට වරක් එන
වස්සාන කාලය යි
තලල්ලේ චන්දකිත්ති හිමි |