Print this Article


නේසාද මහරහතන් වහන්සේගේ කතා පුවත

නේසාද මහරහතන් වහන්සේගේ කතා පුවත

අනුරාධපුර රාජධානිය පැවතුණු කාලයේ ‘මාගම’ එහෙමත් නැත්නම් ‘රුහුණු පුරවරය’ ජනාකීර්ණ ව පැවැතියා. ජීවත් වෙන්න සමහරු කුඹුරු වගා කළා. තවත් කෙනෙක් හේන් බෝග වගා කළා. තවත් කෙනෙක් කම්කරුවන් ලෙස තමන්ගේ ශ්‍රමය යොදවමින් මුදල් උපයාගෙන ජීවත් වුණා.

මේ අතර මාගම ජීවත් වුණා වැදි පිරිසක්. ඒ අතරිනුත් මාගම පුරාම ප්‍රසිද්ධියට පත් වුණු තරුණ වැදි පුරුෂයෙක් හිටියා ‘විධොල’ කියලා. මෙයා දඩයම් කරන්න හරිම දක්ෂයි. උගුල් තබනවා, උල් හිටවනවා, බොරු වළවල් කපනවා, දිය-ගොඩ සතුන්ට විෂ වර්ග කළවම් කර ලබා දෙනවා. මේ වගේ උපක්‍රම කරලා දවසකට විශාල ප්‍රමාණයක් සතුන් දඩයම් කර ගන්නවා. මේ මස් මිල දී ගන්නත් ඒ වගේම මේ ප්‍රදේශවල මිනිසුන් පුරුදුවෙලා හිටියා. වෙළඳාම වැඩි වෙන්න වැඩි වෙන්න සතුන් දඩයම් කරන එකත් වැඩි වුණා. ඔහොම කාලයක් ගත වෙන කොට ප්‍රදේශයේ කැලෑවල ජීවත් වුණු මුවන්, ඌරන්, ගෝනුන්, මොනරුන්, හාවෝ, ඉත්තෑවෝ ආදී සතුන් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. තවත් කාලයක් ගත වෙනකොට දවස පුරාම කැලෑවේ ඇවිද ගියත් සතෙක් දඩයම් කර ගන්න බැරි මට්ටමට පත් වුණා. ඒ කාලයේ දවසක ‘උදෙන් ම සතුන් දඩයම් කරන්න යන්න ඕනෑයි තීරණය කරලා අවශ්‍ය උපකරණත් අරගෙන, දඩයම් කටයුතුවලට හුරු කර ගෙන හිටිය දඩයම් බල්ලාත් අඬගහගෙන කැලෑවට වැදුණා. කොහොම හරි සතෙක් දඩයම් කර ගන්න ඕනෑයි දැඩිව තීරණය කර ගත්තා. සතෙක් දඩයම් කර ගන්න පුළුවන් වුණොත් ලොකු මුදලක් අතට එන බවත් නිතර සිහි කළා. ඒ වගේම කටට රහට කෑම ටිකක් කන්න පුළුවන් බවත් හිතමින් ගමන පිටත් වුණා.

සවස් වෙන්න වෙන්න අඳුර ටිකෙන් ටික පැතිර යන්න වුණා. ඉර බැස යනකම්ම කැලෑව පීර-පීරා ගියත් සතෙක් දඩයම් කර ගන්න ලැබුණේ නෑ. බොහෝම වෙහෙසට පත් වුණා. ගෙදර ගිහින් බඩගින්න නිවා ගන්න කෑමට මස් ටිකක් අද නැත්තටම නැති වුණා‘යි සිත් තැවුලට පත් වුණා. මෙහෙම කල්පනා කරලා මාගම පුරයේ කුඹුරු වගා කරන්න පිහිට වන ගව පට්ටියකට ගිහින් වසු පැටවකුට තණ මිටක් දික් කරලා ඒ සතාට කන්න දුන්නා. එතකොට ම ඒ වසු පැටියා ඉතාම ආශාවෙන් ඒ තණ කොළ ටික ගන්න දිව දිගු කළා. ඒත් එක්ක ම ගෙනියපු තියුණු ආයුධයෙන් ඌගේ දිව කපලා ගත්තා. අරගෙන මල්ලට දමාගෙන ගෙදර ගිහින් බිරිඳට දුන්නා උයන්න කියලා. මේ වැදි තරුණයාත් රස කර කර මස් ටික කාලා නිදා ගත්තා. හෝරාවෙන් හෝරාව රාත්‍රිය ගත වුණා. දරුවනුත්, බිරිඳත් නිදා ගත්තා. හැබැයි මේ වැදි තරුණයාට නින්ද ගියේ නෑ. වසු පැටියා වේදනාවෙන් කෑගහපු හැටි මතක් වෙනවා. ලේ ගල ගලා දුවපු හැටි මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි හැම තැනින් ම තමන්ගේ ඇඟටත්, හිසටත් පොලු-මුගුරුවලින් පහර දෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. එක තැනකවත් ඉන්න බැරි තරම් ඇඟ පිච්චෙන්න පටන් ගත්තා. කොයි අතකටවත් දැන් ඉන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. මෙහෙම පීඩා විඳීමින් කොහොම හරි රැය පහන් කර ගත්තා. එක පාරට ම මතක් වුණා කාවන්තිස්ස රජ්ජුරුවෝ නිතර ගියපු තිස්ස විහාරය. විහාරයේ භික්ෂූන් වහන්සේ කාරුණික සිල්වත් අය බවත් අසා තිබුණා. පිහිටක් ගන්න පුළුවන් වෙයි කියලා හොඳ තීරණයකට ඇවිත් ගෙදර අයටත් කියා ගන්නවත් කාලය අපතේ යවන්නේ නැති ව විහාරයට දුවන්න පටන් ගත්තා. දුවල දුවල ගිහින් මහතෙරුන් වහන්සේ ළඟ වැද වැටිලා තමන් කරපු කටයුත්තත්, දැන් පත් වෙලා ඉන්න තත්ත්වයක් කියා සිටියා. මහතෙරුන් වහන්සේ ඉතාම කරුණාවෙන් මේ වැදි තරුණයා පිළිඅරගෙන සුදුසු තැනක ඉඳ ගැනීමට සලස්වලා ප්‍රාණඝාතයේ විපාකත්, සොරකම් කිරීම, කාමයවරදවා හැසිරීම, බොරුකීම, රහමෙර පානය ආදියේ විපාක ආදියත් කියලා දුන්නා. ඒ වගේම ඒවායින් වැලකී ජීවත් වෙන, පින්දහම් කරන අය දෙව්ලොව සැප විඳීන හැටිත් දේවදූත සූත්‍රයත්, විමානවත්ථුවත් ඇසුරු කරගෙන ධර්මය දේශනා කළා. තරුණයාගේ හිතට දැන් පුදුමාකාර සැහැල්ලුවක් දැනුණා. එදා ඉඳලා මේ වැදි පුරුෂයා දඩයමේ ගියේ නෑ. මහතෙරුන් වහන්සේ දේශනා කළ විදිහට පංචසීලය ආරක්ෂා කර ගෙන කර්මාන්තවල යෙදිලා අඹුදරුවෝ පෝෂණය කළා. දවසක් තමන්ගේ දරුවනුත්, යහළුවනුත් එක්ක එකතු වෙලා ගියා මුහුදේ නාන්න; විනෝද වෙන්න. මෙහෙම පිරිස ජල ක්‍රීඩා කරමින් ඉන්න අතරේ මේ වැදි පුරුෂයාගේ ඇඟ තදින් කවුදෝ කෙනෙක් වෙළා ගන්නවා දැනුණා. හැරිල බලන කොට මහා නාගයෙක් තමන් ව දරණ වැලෙන් වෙලාගෙන දැන් තරුණයට කරන්න කිසිම දෙයක් නෑ. වහාම තමන් ආරක්ෂා කරන පංචසීලයත්, දේවදූත සූත්‍රයත් සිහි කරන්න පටන් ගත්තා. සිතිවිලි ධාරාවන් ඔක්කොම බුදු ගුණවලින් පිරී ගියා. නාගයාගේ ඇඟ දැවෙන්න පටන් ගත්තා. ඔහුට හානියක් නො කරම නැවතත් වෙළා ගෙන නාග ලෝකයට අරගෙන යන්න ගියා. ගිහින් අසුනක තබලා අහනවා ‘ඔබ මගේ දරණ වැලෙන් බියට පත් වුණේ නෑ. වෙව්ලීමට පත් වුණේ නෑ. ඊට හේතුව මට පහදලා දෙන්න‘ කියලා.

ඒ මොහොතේ තමන්ට තිස්ස විහාරයේ මහ තෙරුන් වහන්සේ පහදලා දුන්න දේවදූත සූත්‍රය නාගරාජයාට පහදලා දුන්නා. පව් කරන්නා සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරෞරවය, තාපය, ප්‍රතාපය, අවිචි මහා නරකය යන අටමහා නරකයේ ඉපදෙමින් දුක් විඳීන බවත්, ඒ ඒ නිරයන්වල උපත ලබන්නෝ විඳීන දුක් පීඩාත් පැහැදිලි කරන්නට යෙදුණා. තමන් කරන්නට ගිය මහා විපාකයෙන් තමාව බේර ගත්තා‘යි නා රජු පැහැදීමට පත් වෙලා ‘නාග මාණික්‍යයක් පරිත්‍යාග කළා. ඒක අරගෙන නැවතත් මනුෂ්‍ය ලෝකයට පැමිණි මේ වැදි පුරුෂයා ඒ මාණික්‍යයේ බලයෙන් පහළ වුණු සම්පත්වලින් අඹුදරුවන් පෝෂණය කරමින් හා දන්පැන් පිරිනමමින් ජීවත් වෙලා අඹුදරුවන්ගේ යුතුකම් හා වගකීම් අවසන් කරලා තිස්ස මහා විහාරයට ගිහින් තමන් පැවිදි වීමට බලාපොරොත්තු වන බව මහා සංඝයා වහන්සේට පවසා සිටියා. ඔහුගේ පෙර පුණ්‍ය මහිමය හා මෙලොව යහපත් ව ජීවත් වුණු දිහා නිරීක්ෂණයෙන් හා අත්දැකීමෙන් යහපත් බව හඳුනන නිසා පැවිදි බිමට පත් කළා.

මහා සංඝයා පැවිදි නාමය ලෙස මේ පුරුෂයාට දුන්නේ ‘නේසාද තෙරුන් වහන්සේ“ කියලා. දිනෙන් දින තවතවත් ධර්මය අධ්‍යයන කරපු මේ නේසාද තෙරුන් නොබෝ කලකින් ම පෙර පුණ්‍ය ශක්තියත් මතු කරගෙන උතුම් අර්හත් භාවය ලබා ගත්තා. එදා ඉදලා විහාරවාසී සංඝයාත්, ජනතාවත් නේසාද මහ රහතන් වහන්සේයි ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා. ඒවගේම කීර්තිය දිනෙන් දින පැතිර ගියා‘යි රසවත් කථා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.

බලන්න පින්වතුනි, පාණාතිපාතාදි අකුසල ක්‍රියාවල යෙදී, මහා පාපයන් රැස් කරමින් හිටිය පුරුෂයෙක් භික්ෂූන් වහන්සේගේ ඇසුරට වැටිලා, ධර්මය ශ්‍රවණය කරපු නිසා, හොඳ මනුෂ්‍යයෙක් බවට පත් වෙලා අඹුදරුවන් පෝෂණය කරලා, ඒ අයට භෞතික සතුට අත්කර දීලා, තමන් උතුම් නිර්වාණ සම්පත්තියත් ලබා ගත්තා. මේ හැම

දෙයකට ම හේතු වුණේ ධර්මය අහන්න ලැබුණු නිසා. ඒ වගේ ම තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් වැරැදි කළේ යැයි සන්තාපයට පත් වෙවී නො සිට දහම් මඟට එලැඹුණු නිසා. ඒ නිසා කලක් පාප ක්‍රියාවල යෙදුණුත් ධර්මයේ ඇසුර ලබන දවසේ ඉඳලා හොඳ ජීවිතයකට හැඩ ගැහෙන්න. නොබෝ කලකින් ම එහි විපාක ඔබට මෙලොව ජීවිතයේ දී ම අත්විඳින්නට ලැබේවි. ඒ බව අනෙක් අයටත් කියා දෙන්න නිතර ම උත්සාහ ගන්න. ඒක බෞද්ධයකුගේ පරම යුතුකම ද වෙනවා.