අන්ධකාරය දුරු කළ
පුන්සඳ මඬල
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
ඒ භාග්‍යවත් වූ, අරහත් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන්
වදාරන ලද නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් උපන්නා වූ, අප භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර
වූ, ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි
අනුකම්පාවෙන් ම පොසොන් පුන් පොහෝ දිනෙක, මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට වදාළ සේක.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ පොසොන් පොහෝ දිනයේ ම එකල අපගේ මහරජු ව සිටි
දෙවනපෑතිස් නිරිඳාණන් උතුම් තිසරණ සහිත වූ පංචසීලයෙහි පිහිටුවා මේ ගෞතම බුදු
සසුනෙහි ශ්‍රාවක උපාසකභාවය අප රජතුමාට ලබා දුන් සේක.
අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙහි වැඩම කොට නොබෝ කලකින් එකල ගෞතම බුදුසසුන බබළන
දඹදිව් තලය සෙයින් ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී සිංහල මහරහතන් වහන්සේගෙන් අපගේ
ශ්‍රී ලංකා ද්වීපය ද බැබළී ගියේ ය.
පවිත්‍ර වූ සීලයෙන් සුශෝභිත වූ, සම්මා සමාධියෙන් සුපහන් වූ, නිමල ප්‍රඥාවෙන්
ප්‍රභාෂ්වර වූ, මගඵලලාභී උත්තම ශ්‍රාවක සංඝ රත්නයෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී
ගියේ ය.
තවද ඉතා සිල්වත් වූ, ගුණවත් වූ, මනා නුවණින් යුක්ත වූ, මහා ත්‍යාගී වූ, බුද්ධ
ශාසනමාමක වූ මගඵලලාභී සුපින්වත් උපාසක උපාසිකාවන්ගෙන් ද අපගේ ලංකා ද්වීපය බැබළී
ගියේ ය.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට පෙර යක්ෂාවාසයක් වූ ශ්‍රී ලංකාද්වීපය ගෞතම
බුදුසසුනෙහි පිහිට සොයා පැමිණි දෙව් බඹුන්ගෙන් සුන්දර වී ගියේ ය.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පා උපදවා සිය සොහොයුරිය වූ සංඝමිත්තා රහත්
තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩම කරවා ලංකාවාසී කුලකාන්තාවන්ට ද මේ ගෞතම
බුදුසසුනෙහි උතුම් භික්ෂුණී පැවිදි උපසම්පදාව පවා ලබා දුන් සේක.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ උතුම් ගෞතම බුදුසසුන චිරාත් කාලයක් ලෝකයෙහි පවතිනු
පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද උතුම් ධර්ම විනය සංඛ්‍යාත ත්‍රිපිටක
බුද්ධ වචනය සිංහල භික්ෂූන් වහන්සේ හට කටපාඩම් කරවා එහි අර්ථකථාවන් දීප භාෂාවෙන්
උගන්වා උතුම් සසුන් මඟ නො සිඳී පවත්වනු පිණිස භාණක පරම්පරාවන්ට භාරකොට ශ්‍රී ගෞතම
සම්බුදු සසුන සුරැකීමේ මහා සසුන් බර සිංහල භික්ෂූන් වහන්සේ හට උරුම කොට වදාළ සේක.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අප භාග්‍යවතුන් වහන්සේගේ ජය
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ දඹදිව් තලයෙන් මේ සිරිලක් බිමට වැඩමවා
ගෙන අවුත් අනුරාධපුරයෙහි රෝපණය කරවා ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශීර්වාද රැකවරණය අප
මවුබිමට ලබා දුන් සේක. එමෙන් ම ලංකාවාසීන් හට උතුම් බෝධි වන්දනාව තුළින්
භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නට ද අවස්ථාව සලසා දුන් සේක.
අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා තව්තිසාවේ සිළුමිණි සෑයෙහි
වැඩහුන් භාග්‍යවතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ ලවා මෙහි
වැඩම කරවා ථූපාරාම සෑ රජුන් තුළ නිදන් කරවා ලංකාවාසීන් හට උතුම් සර්වඥ ධාතු
වන්දනාවත්, ස්ථූප වන්දනාවත් උගන්වා බොහෝ පින් රැස් කර ගැනීමට මඟ සලසා දුන් සේක.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අප කවුරුත් නො දැන සිටි
භාග්‍යවතුන් වහන්සේගේ ලංකාගමනය ද වදාළ සේක. අප භාග්‍යවතුන් වහන්සේගේ පළමු ලංකා ගමනය
වන මහියංගණයට වැඩම කිරීම ගැන ද දෙවනුව නාගදීපයට වැඩම කිරීම ගැන ද තුන්වෙනුව කැලණියට
වැඩම කළ ගමනේ දී සමනොළ කඳු මුඳුනට වැඩම කොට උතුම් ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීම ගැන ද,
ලංකා ද්වීපයෙහි ස්ථූප තැනවෙන ඒ ඒ තැන්හි භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නිරෝධ
සමාපත්තියෙන් වැඩහිඳ ලංකාද්වීපය ආශීර්වාද ආරක්ෂා කොට වදාළ කරුණ ද අපට පහදා දුන්
සේක.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේගේ අතීත වැඩමවීම පමණක් නොව මේ මහා
භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන පෙර සම්බුදු රජාණන් වහන්සේ ද මේ
ශ්‍රී ලංකාවෙහි සිය බුද්ධ ශාසනය පිහිටුවා වදාළ කරුණ ගැන ද අපට වදාළ සේක.
අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අනුරාධපුරයෙහි මහමෙව්නා
වනෝද්‍යානයේ මහා විහාරය පිහිටුවා භික්ෂු සංඝයාගේ සීමාමාලකය පිහිටන තැන ද සංඝයාගේ
ගිනිහල්ගේ පොකුණ පිහිටන තැන ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන තැන ද, සංඝයාගේ
මහා උපෝසථාගාරය පිහිටන තැන ද සංඝ ලාභය බෙදන තැන ද, සිව්දිසාවෙන් දන්පැන් ගෙනවුත්
සංඝයාට බෙදන තැන වූ චතුෂ්ශාලාව පිහිටන තැන ද රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ පිහිටන
තැන ද සලකුණු කරවා අනුරාධපුරයේ මහා සීමාව ලකුණු කොට පිහිටුවා ශ්‍රී ගෞතම සම්බුද්ධ
ශාසනය මැනැවින් ස්ථාපිත කළ සේක.
අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ තිස් දෙහැවිරිදි වියෙහි දී ලංකා ද්වීපයට වැඩම කොට වදාළ
සේක. අසූවැනි වියෙහි දී පිරිනිවන් පාන මොහොත දක්වා ලංකාද්වීපයෙහි ම වැඩවාසය කරමින්
අප කෙරෙහි අනුකම්පා උපදවා උතුම් ත්‍රිපිටක බුද්ධ වචනය අකුරෙන් අකුර, වචනයෙන් වචනය,
පදයෙන් පදය ඡේදයෙන් ඡේදය නිවැරැදිව උගන්වා නවාංග ශාස්තෘ ශාසනයෙහි සමලංකෘත වූ
පර්යාප්ති බුද්ධ ශාසනය ලංකා ද්වීපයේ බැබළවූ සේක.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා සිංහල භික්ෂු සංඝයා වහන්සේ
ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් ද, ඉන්ද්‍රිය සංවර සීලයෙහි ද, ප්‍රත්‍යසන්නිශි‍්‍රත
සීලයෙන් ද ආජීව පාරිශුද්ධි සීලයෙන් ද, සුසිල්වත් කරවා ධූතාංග සමාදන් කොට
ප්‍රතිපත්ති සාරයෙහි පිහිටුවා, අරියවංශ ප්‍රතිපදාවෙහි පිහිටුවා, සමථ විදර්ශනා මාර්ග
ප්‍රතිපදාවෙහි පිහිටුවා උතුම් ප්‍රතිපත්ති බුද්ධ ශාසනය ද ලංකා ද්වීපයෙහි බැබළ වූ
සේක.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය තුළ ම
ලංකාවාසී භික්ෂූන් වහන්සේ ව මනා කොට පිහිටුවීමෙන් ඒ ධර්මයෙහි හැසිරීමේ පල වශයෙන්
සෝවාන් මාර්ග - ඵල, සකදාගාමී මාර්ග – ඵල, අනාගාමී මාර්ග - ඵල අර්හත් මාර්ග - ඵල යන
උතුම් ශ්‍රවණ ඵලයන් ලබාදී ප්‍රතිවේධ බුද්ධ ශාසනය ද ලංකා ද්වීපයෙහි බැබළ වූ සේක.
මෙසේ ශ්‍රී ලංකා ද්වීපවාසී සිංහලයන් ගෞතම බුදු සසුනෙහි මනා කොට පහදවා ලූ ඒ ගෞතම
බුදු සසුනෙහි උතුම් පිළිසරණ පරිපූර්ණ වශයෙන් ලබා දුන්නා වූ අපගේ මිහිඳු මහරහතන්
වහන්සේ ඒකාන්තයෙන් ම සිංහල ජාතියෙහි පිනට පහළ වූ අපගේ ප්‍රථම ආචාර්යපාදයන් වහන්සේ
වන සේක.
ඒකාන්තයෙන් ම සිංහල ජාතිය සුවපත් කළ මහා උපාධ්‍යායන් වහන්සේ වන සේක. සිංහල ජාතියට
ශාස්තෘන් වහන්සේ නමක් බඳු ව ශාසන දායාදය ලබා දුන් හෙයින් ඒකාන්තයෙන් ම අපගේ මිහිඳු
මහරහතන් වහන්සේ අනුබුදු වන සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපය
බැබළවූ හිරු මඬල වන සේක. යක්ෂ අන්ධකාරය දුරු කළ පුන් සඳ මඬල වන සේක. සිංහල ජාතිය
ලොවෙහි ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්කළ මහා ගුණවතාණන් වන සේක. සිංහල ජාතියට අභිමානය ලබා
දුන්, ධෛර්යය ලබා දුන්, වීරිය ලබා දුන්, සීලය ලබාදුන්, ගුණය ලබා දුන්, සියලු සසුන්
දායාද ලබා දුන් මහා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන සේක.
ඒකාන්තයෙන් ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වීතරාගී වූ සේක. වීතදෝෂී වූ සේක. වීතමෝහී
වූ සේක. ගෞතම බුදු සසුනෙහි වැඩහුන් උතුම් මහරහතන් වහන්සේ නමක් ම වන සේක. ඒ අපගේ පරම
පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. |